රැලේ සාමාජිකයින්ට පිස්සු නටන්නට ඉඩ හැර බලා සිටීම

April 27, 2003
Publication:
The editorial credits Ranil Wickremesinghe with opening roads, keeping calm in the face of the President's outbursts and internationalising the peace effort, but faults him for failing to discipline his team. It lists reports of ministers and MPs assaulting police, freeing detained supporters and demolishing a Matara sports club building, with endless inquiries and no action, and warns that repeating the lawlessness tolerated under Chandrika Kumaratunga would be ruinous.

ව්‍යවස්ථානුකූලව විධායක බලතල තිබෙන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අත වුවත්, දැන් රටේ පාලකයා ලෙස සැලකෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහය.

රනිල් විරුද්ධ පක්ෂයේ සිටියදි රගපෑ භූමිකාව චන්ද්‍රිකා විරුද්ධ පක්ෂයේ සිටියදි රගපෑ භූමිකාව තරම් ආකර්ශණීය එකක් නොවීය. රනිල්ට එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමේ හැකියාවක් ඇද්ද යන විචිකිච්ඡාව එම පක්ෂය තුළ තිබුණි. එම පක්ෂයේ සමහර නායකයින් එම පක්ෂය අතහැර පොදු පෙරමුණට එකතු වූයේ ද ඔවුන් තුළ පැවති ඒ හැගීම නිසාය. එහෙත් ඒ සියලු විවේචන මැද රනිල් සිය පක්ෂය බලයට පත්කිරීමට සමත් වූවා සේ ම විරුද්ධ පක්ෂයේ සිටියදි පෙන්නුම් කිරීමට අසමත් වූ ශක්තිමත් ප්‍රතිරූපයක් ඉදිරියට ගැනීමට ද සමත් විය.

බලයට පැමිණ වහාම ආරක්ෂක මුර කපොලු ඉවත් කොට වසා තිබූ මාර්ග විවෘත කිරීම බලයට පැමිණ වහාම ගනු ලැබූ නිර්භීත හා ආකර්ෂණීය පියවරක් විය. ජනාධිපතිනිය වට්ටි අම්මාකෙනෙකු මෙන් ප්‍රසිද්ධියේ බැණ වදින අවස්ථාවලදි පෙරළා බැණ වදින තත්ත්වයකට නොගොස් නිශ්ශබ්දව බලා ඉන්නා ප්‍රතිපත්තියක් මගින් තමා වඩා තැන්පත් හා සන්සුන් ගති ඇති රාජ්‍යතාන්ත්‍රිකයකු බව ඔහු රටට සනාථ කළේය. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්සොයා යන ගමනේදි ද ජාත්‍යන්තර තලයේ ඒ ක්‍රියාවට සම්බන්ධ කරගත හැකි හැම රටක් ම සම්බන්ධ කරගනිමින් එම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට තමාට වඩා පුළුල් ඉදිරි දර්ශනයක් ඇති බව ද සනාථ කළේය.

එහෙත් අගමැතිවරයාට තාමත් තමා සාර්ථක නායකයකු බව සනාථ කිරීමට හැකිවී තිබෙන්නේ එවැනි අංශ ගණනාවක පමණය. අසාර්ථක අංශ අතර වඩාත්ම කැපී පෙනෙන්නේ තම කණ්ඩායම පාලනය කිරීමට අදාළ විෂය ක්ෂේත්‍රයේදිය.

ඕනෑම ආණ්ඩුවක පැවැත්ම හෝ විනාශය කෙරෙහි ඒ ආණ්ඩුව කෙරෙහි මහජනයා තුළ ඇති කැමත්ත හෝ අකමැත්ත බලපායි. ඕනෑම ආණ්ඩුවක් මහජනයාගේ ගෞරවයට හේතුවනු ඇත්තේ ආණ්ඩුවේ නායකයාගේ පමණක් නොව, එම නායකයාගේ කණ්ඩායමේ පැවැත්ම ද ගෞරවයට හේතුවන්නේ නම් පමණය. කණ්ඩායමේ සාමාජිකයින්ට ඕනෑම පිස්සුවක් නටන්නට ඉඩ හැර බලා සිටින නායකයකු මහජනයාගේ ගෞරවයට හේතුවන්නේ නැත. කණ්ඩායම පාලනය කිරීම නායකයාගේ වගකීමකි. කණ්ඩායම තුළ පිස්සු නටන අය සිටී නම්, ඔවුන් පාලනය කිරීම ද නායකයාගේ වගකීමකි.

රට මේ සා විශාල විනාශයකට යොමුවීම කෙරෙහි බලපා ඇති එක් හේතුවක් වී ඇත්තේ රටේ පවත්නා විනය පිරිහීමය. විනය පිරිහුණු ආණ්ඩුවකට රටක් විනය ගරුක කළ නොහැකිය. විනය විරෝධීව ක්‍රියා කරන අයට දඬුවම් නොකොට ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් ඉදිරියේ විය හැක්කේ විනය පිරිහීමේ ක්‍රියාවලිය වඩා වේගවත් වීම පමණය.

නිරන්තරයෙන්ම මැති, ඇමතිවරුන් ගැන අසන්නට ලැබෙන කතා පුදුම සහගතය. ඇමති බිරීය හා ඇමති අනියම් බිරීය අතර බිත්තර යුද්ධයක්. මන්ත්‍රීවරයෙක් පොලිසියට කඩා වැදි එහි සිටි නිලධාරින්ට පහර දි අත්අඩංගුවේ සිටි පාක්ෂියෙක් මුදාගෙන ගියේලු. නුවරඑළියේ රේස් බලන්නට ගිය මන්ත්‍රීවරයෙක් එහි රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුට පහරදිම නිසා පොලිස් නිලධාරියා රෝහල් ගත කළේලු-ඇමතිවරයෙක් මාතර කොටුවේ තිබුණ ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් පොළවට සමතලා කළේලු.

එහෙත් මේ කිසිම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නේ නැත. හැමදේටම කියන්නේ පරීක්ෂණ කෙරෙමින් තිබෙන බවය. එහෙත් ඒවා කවදාවත් අවසන් වන පරීක්ෂණ වන්නේ ද නැත. පරීක්ෂණයක් පවත්වා වරදක් කර ඇති බව සනාථ වේ නම්, තරාතිරම නොබලා දඬුවම් කරන බවට කෙරෙන පොරොන්දු වලින් හැමදාමත් ජනතාව රැවටිය නොහැකිය. රට පාලනය කරනවා යන්නෙහි තේරුම නායකයා තම කණ්ඩායමේ සගයින්ට පිස්සු නටන්නට ඉඩ හැර බලා සිටීම විය නොහැකිය.

මෙවැනි අශෝභන දේවල් චන්ද්‍රිකා පාලනය තුළ ද නිතර නිතර අසන්නට ලැබුණි. එක්තරා නියෝජ්‍ය ඇමතිවරියක් විකට ඇඳුම් තරගයකදි තමා මෙන් පෙනී සිටි කුඩා දැරියකගේ ගෙය බිමට සමතලා කෙරෙව්වාය. නුවර, හගුරන්කෙත, රඹුක්කන, දඹුල්ල වැනි ප්‍රදේශ පාලනය වූයේ යුද්ධ අධිපතින්ගේ පාලනය යටතේ පවත්නා ප්‍රදේශ විලසය. රටේ නායිකාව ඒ සියල්ල ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් ඉදිරියේ එවැනි බිහිසුණු හා අශෝභන ක්‍රියා නිරන්තරයෙන් සිදුවෙන සාමාන්‍ය දේවල් බවට පත්විය.

දෑන් ඇතිවෙමින් තිබෙන තත්ත්වය ද ඊට සමානය. ඒ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන්නට යන්නේ චන්ද්‍රිකා අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් නම්, ඇතිවිය හැකි ප්‍රතිඵල ඉතා විනාශකාරිය.