රටේ පැවැත්ම සමග සෙල්ලම් නොකළ යුතුය

April 27, 2003
Publication:
The LTTE's temporary withdrawal from talks does not mean imminent war, yet the President appears to be stoking public fear of one, ordering roadblocks back in Colombo and extra guards for Anuruddha Ratwatte and state television. The editorial argues that she has no right to risk bloodshed for political advantage and that the LTTE must be kept within the negotiating process.

කොටි සංවිධානය සාකච්ඡාමය ක්‍රියාවලියෙන් තාවකාලිකව ඉවත් වී ඇතත්, වහාම නැවත යුද්ධයක් ඇතිවන්නට යන බව ඉන් අදහස් වන්නේ නැත. එහෙත් ඒ නිසා වහාම යුද්ධයක් ඇතිවිය හැකිය යන බියක් මහජනතාව තුළ ඇති කරන වැඩපිළිවෙළකට ජනාධිපතිනිය යොමුවෙමින් සිටින බව පෙනේ. ඉක්මන් බලය සඳහා මුළු රටම ලේ වැගිරෙන තත්ත්වයකට පත්කිරිමේ අයිතියක් රාජ්‍ය නායිකාව වශයෙන්වත් ඇයට තිබිය නොහැකි ය.

ඇය වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර තිබූ ආකාරයට කොළඹ නගරයේ යළි මාර්ග බාධක ඇති කරන ලෙස ද ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට පෙර දින අනුරුද්ධ රත්වත්ත මහතාගේ ආරක්ෂාව පිණිස ද කොමාන්ඩෝ කණ්ඩායමක් යොදවන ලද අතර, රූපවාහිනියේ ආරක්ෂාව පිණිස ද අතිරේක පොලිස් නිලධාරින් පිරිසක් යවනු ලැබීය.

ඇතිවී තිබෙන අවුල සිය දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා යොදාගැනීමට ඇය උත්සාහ දරමින් සිටින බව පෙනී යයි.

මොනම තත්ත්වයක් යටතේවත් නැවත යුද්ධයකට මාරුවීමේ අවශ්‍යතාවක් රටට නැත. කොටි සංවිධානය අහිංසක දේශපාලන ව්‍යාපාරයක් නොවන බව සත්‍යයකි. එහෙත් ඔවුන් සාකච්ඡාමය ක්‍රියාවලියෙන් ඉවත් වූයේ යුද්ධයකට මාරුවීම සඳහා නොවේ. ඔවුන් ද ඒ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබුණ. තවදුරටත් ඔවුන් සාකච්ඡාමය ක්‍රියාවලිය තුළ තබා ගන්නවා මිස, ඔවුන් යුදමය ක්‍රියාවලියකට තල්ලු කරන ක්‍රියාමාර්ගයක් නිසා රටට විනාශයක් මිස හොඳක්වන්නේ නැත.

ජනාධිපතිනියට තමන්ගේම දේශපාලන අරමුණු තිබෙනවා විය හැකි ය. එහෙත් ඒ සඳහා රටේ පැවැත්ම සමග සෙල්ලම් කරන ක්‍රමයක් යුක්තිසහගත විය නො හැකි ය. නීති කැඩීම පහසු ය. එහෙත් එවැනි සාහසික ක්‍රියා වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ රටට ය.