17 වැනි ව්යවස්ථා සංශෝධනයක් ඇති කරගත්තේ පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම වැනි ආයතනවල ක්රියාකාරිත්වය ස්වාධීන තත්ත්වයකට ගැනීමේ අරමුණ ඇතිවය.
ජනතා විමුක්ති පෙරමුණ සමග තාවකාලික සන්ධානයකට යාමේ අවශ්යතාව සලකා පොදු පෙරමුණ එම ව්යවස්ථා සම්පාදන ක්රියාවලියට දායක වුවත් ඉතාමත් සියුම් ලෙස ඒ ක්රියාවලිය විකෘති කළේය.
ඉන්පසු බලයට පැමිණ එජාප ආණ්ඩුව ඇතිවී තිබුණු විකෘතිය අහෝසි කොට ස්වාධීන කොමිෂන් සභාවල ක්රියාකාරිත්වයට පහර දෙනවා වෙනුවට, සියුම් ලෙස ගෙල මිරිකා මරා දමන ප්රතිපත්තියකට යොමුවී තිබෙන බව පෙනේ.
ව්යවස්ථා සභාවේ සිට ඒ යටතට වැටෙන හැම කොමිෂන් සභාවක්මත් ගම්භීර බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ ආයතන ක්රමයක් බවට පත්වෙමින් තිබේ.
පොලිස් කොමිසමට සාමාජිකයන් පත් කර ඇතත්, කාර්ය මණ්ඩලයක් ලබා නොදෙන ප්රතිපත්තියක් තුළ එය ක්රියාකාරිත්වයක් නැති ආයතනයක් බවට පත්ව තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිසම ද ක්රියාකළ නොහැකි තැනකට ඇද දමා තිබේ. මානව හිමිකම් කොමිසමට නාමධාරි සාමාජික පිරිසක් පත්කර ඇතත්, තාමත් එකම දිනක්වත් රැස්වී නැත.
අධිකරණ සේවා කොමිසමේ භුක්තිය අගවිනිසුරුවරයාට බාරදි ව්යවස්ථා සභාව ඒ ඉදිරියේ දත නියවා ගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මැතිවරණ කොමිසමට තාමත් සාමාජිකයින් පත් කර නැත.
මේ රටට සිදුවී තිබෙන්නේ කුමක්ද? සමාජය ද දේශපාලන පක්ෂ අනුව බෙදි ඒ ඒ පක්ෂවලට රට විනාශ කරන්නට ඉඩ හැර බලා සිටී.
රටට අල්ලස් හෝ දූෂණ කොමිසමක් අවශ්ය නැද්ද? පොදු පෙරමුණු පාලන කාලය තුළ සිදුවූයේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ ක්රියාකාරිත්වය පටු දේශපාලන රාමුවක හිර කොට තැබීමය. එය ආණ්ඩුවට සම්බන්ධ අයගේ අල්ලස් හෝ දූෂණ ක්රියාවන්ට ඉඩදි දේශපාලන විරුද්ධවාදින් හා නොවැදගත් පුංචි මිනිසුන් පසුපස හඹා යන ආයතනයක් ලෙස ක්රියා කළේ ය. ඉන්පසු බලයට පැමිණ එජාප ආණ්ඩුව කරමින් සිටින්නේ එය ස්වාධීනව ක්රියාකරන තැනකට ගන්නවා වෙනුවට එය බලරහිත තත්ත්වයකට පත් කිරීම ය. දෑන් දේශපාලකයින්ට හිතේ ඇති කර ගන්නා බියකින් තොරව ඕනෑම තක්කඩිකමක් කළ හැකි ය.
අපේ රටේ විචාරකයින්ට ද කැලේ සිටින ප්රභාකරන්ගේ අමනකම් පෙනෙනවා විනා, තමන් තෝරාපත් කරගන්නා දේශපාලන නායකයින්ගේ අමනකම් පෙනෙන්නේ නැත.