සාම කතා තාවකාලිකව ඇණ හිටින තැනකට ඇද වැටී ඇතත්, නැවත ඒ ක්රියාවලිය ඉක්මණන් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙනෙන්නට තිබීම සුභ ලක්ෂණයකි.
සාම කතා ක්රියාවලියට ආවේණික ඉතාමත් ශක්තිමත් අංග ඇතිවා සේ ම, ඉතාමත් දුර්වල අංග ද පවතී. සමස්ත ප්රවේශය තුළ පවත්නා කැරට් අල න්යාය ඒ තුළ පවත්නා දුර්වලම ලක්ෂණය ලෙස සැලකිය හැකිය.
අපි සාමකාමී විසඳුමකට යා යුතුව තිබෙන්නේ ආර්ථික වශයෙන් තවදුරටත් යුද්ධය ඉදිරියට ගෙන යා නොහැකි තැනකට ඇද වැටී තිබෙන නිසා හෝ සාමාකාමී විසඳුමකට ඒම මගින් විශාල ප්රමාණයකට ආධාර ලබාගත හැකි නිසා නොව, මානුෂික අර්ථයෙන් රටක් තුළ ජීවත්වන මනුෂ්ය කණ්ඩායම් දෙකක් අතර පැවති අන්යොන්ය සම්බන්ධය ශිෂ්ට සම්පන්න තත්ත්වයක නොතිබුණ නිසාය. රටක් වශයෙන් අපට ශිෂ්ට සම්පන්න තැනකට ආ හැකිවනු ඇත්තේ මේ දෙපාර්ශ්වය අතර පවත්නා මානුෂික සම්බන්ධය ශිෂ්ට සම්පන්න තත්ත්වයකට ගැනීමෙන් පමණය. ආධාර ඒ නිසා ලැබිය හැකි අතිරේක ප්රතිලාභයක් පමණය.
මේ අවුල නිරාකරණය කරගැනීමට සුදුසු දේශපාලන රාමුවක් ඇති කරගැනීමේදි ජනවාර්ගික ප්රශ්නය එහි එකම ඉලක්කය කරගත යුතු නැත. එය එම න්යාය පත්රයට ඇතුළත් විය යුතු ප්රධාන ඉලක්කයක් වන විට රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අනෙක් පොදු මූලික ගැටලුද සැලකිල්ලට ගත යුතුය. ඇති කරන නව දේශපාලන රාමුව දෙමළ ජනයාගේ පමණක් නොව, සිංහල, මුස්ලිම් ජනයාගේ ද විශ්වාසයට හා ගෞරවයට හේතුවන්නක් විය යුතුය.
මේ අවුල විසඳ ගැනීමේදි තෝරාගත හැකි මාර්ග දෙකක් පවතී. ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් වැනි සාධන නොසලකා ගැටුමට මුල්වී ඇති පාර්ශ්ව අතර බලය බෙදාහැරිම සඳහා වන රාමුවක් සඳහා එකගත්වයක් ඇති කරගැනීම. එය ඒ සඳහා තිබෙන එක් ක්රමයක් වනවිට, ඊළගට තිබෙන අනෙක් ක්රමය වනුයේ ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් යන කාරණා ද බලවත් ලෙස සැලකිල්ලට ගනිමින් ප්රජාතන්ත්රවාදි වැඩසටහනක් තුළ බලය බෙදාහැරෙන නව දේශපාලන රාමුවක් ඇති කරගැනීමය. එවැනි රාමුවක් තුළ ප්රභාකරන් පමණක් නොව, රනිල්, චන්ද්රිකා වැනි සිංහල නායකයින්ට ද පිළිගත් ප්රජාතන්ත්රවාදි මූලධර්මවලට අනුකූලව ක්රියාකරන තැනකට එන්නට සිදුවන්නේය.
ප්රජාතන්ත්ර විරෝධී ගති පැවතුම් කැලේ සිටින ප්රභාකරන්ට පමණක් සීමා වූවක් නොවන බව අපි අමතක නොකළ යුතුය. පාර්ලිමේන්තුවේ සිටින ඉතාමත් ශිෂ්ට සම්පන්න අය ලෙස පෙනෙන අපේ නායකයින් තුළ ද එවැනි ප්රජාතන්ත්ර විරෝධී ගති පැවතුම් පවතී. චන්ද්රිකාගේ පොදු පෙරමුණ වයඹ පළාත් සභා ඡන්දය ජයගත්තේ බලහත්කාරයෙනි. ජේ.ආර්. ගේ එක්සත් ජාතික පක්ෂය 82 ජනාධිපතිවරණය ජයගත්තේ ද බලහත්කාරයෙනි. ප්රභාකරන් තරමට ම නොවෙතත්, අපේ ශිෂ්ට සම්පන්න නායකයන්ගේ අත්වල ද ලේ තැවරි ඇත්තේය. විරුද්ධවාදින් මරා දමන පිළිවෙත ප්රභාකරන්ට පමණක් ආවේණික ලක්ෂණයක් නොවන අතර, ජවිපෙට අතිරේකව ප්රධාන දේශපාලන පක්ෂ දෙක අතින් ද අඩු වැඩි වශයෙන් ඒ වැරදි සිදුවී ඇත්තේය. ඒ නිසා සාමකාමී විසඳුමක් ඇති කරගැනීමේ අරමුණ විය යුත්තේ ප්රභාකරන් හා ඔහුගේ කොටි සංවිධානය ශිෂ්ට සම්පන්න තත්ත්වයකට ගැනීම පමණක් නොවිය යුතුය. ශිෂ්ට සම්පන්න අය ලෙස පෙනෙන අපේ පක්ෂ නායකයන් හා අනුගාමිකයන් ද ශිෂ්ට සම්පන්න තැනකට ගැනීම එහි අරමුණ විය යුතුය. තුවක්කුවෙන් හෝ කඩු කිණසිවලින් දේශපාලන වශයෙන් ගනුදෙනු කරන ක්රමයට ද නැවතීමේ ලකුණක් තැබීම එහි අරමුණ විය යුතුය.
එහෙත් මේ මහා අවුල ලිහාගැනීමට අපට හැකිවනු ඇත්තේ මතුපිට පෙනෙන්නට තිබෙන තුවාලවලට සීමා නොවී අභ්යන්තරීක වශයෙන් බැලු බැල්මට නොපෙනෙන තුවාල හඳුනාගනිමින් ඒවාට අවශ්ය ප්රතිකාර කරන වැඩපිළිවෙළකට යොමුවීමෙනි.
සාම වැඩපිළිවෙළ දෙපාර්ශ්වයේ නායකයින්ට පමණක් සීමාවූ තැනක තිබෙනවා මිස තවමත් ඒ ක්රියාවලිය බිම් මට්ටමට පැමිණ නැත. ඒ ක්රියාවලිය බිම් මට්ටමට ගන්නේ කෙසේදෑයි ආණ්ඩුව දන්නා බවක් ද පෙනෙන්නට නැත.
අන්යොන්ය අවබෝධය නායක මට්ටමට පමණක් සීමා නොවිය යුතුය. එය බිම් මට්ටමට ද ගෙන යා යුතුය. වැඩියෙන්ම අභ්යන්තර තුවාල ඇත්තේ ද සාමාන්ය ජනතාවගේ හදවත්වලය.
අවසාන විග්රහයේදි කොතරම් හොඳ වැඩපිළිවෙළක් ඇති කරගත්ත ද විරුද්ධ පාර්ශ්වයේ එකගත්වයකින් තොරව ඒ වැඩපිළිවෙළ ක්රියාවට නැංවීමේ හැකියාවක් නොපවතී. ඒ නිසා අඩුම වශයෙන් එජාප හා පොදු පෙරමුණ අතර එකගත්වයක් ඇති කරගැනීම මේ අරමුණ ජයගැනීම සඳහා නැතුවම බැරී කොන්දේසියකි.