ටෝනි සිරගත කොට අප්රේල් 20 වැනිදාට දින 80කි. එය මෑත කාලයේ ජාත්යන්තර තලයේ මානව හිමිකම් සංවිධානවල මහත් අවධානයට හා සාකච්ඡාවට යොමුවූ අනුවේදනීය සිද්ධියකි. ටෝනි බලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රමුඛ පෙළේ නිලධාරියෙකු (පරම් කුමාරස්වාමි මහතා) රෝහලට ද ගියේය. ඔහුට දඬුවම් කර තිබෙන ආකාරය ස්වාභාවික යුක්තියට සේ ම නීතියට ද පටහැනි බව ප්රකාශ කරමින් ටෝනි නිදහස් කරගැනීම සඳහා නොබියව නැගී සිටින ලෙසත්, ක්රියාකරන ලෙසත් පරම් කුමාරස්වාමි මහතා ශ්රී ලංකා නීතිඥ සංගමයෙන් ද ඉල්ලා සිටියේය.
එහෙත් ටෝනි වෙනුවෙන් ශ්රී ලංකාවේ නීතිඥ සංගමය නම් කිසිවක්ම කළේ නැත.
වරද සිදුවී ඇත්තේ තමන්ගේ ප්රධානියා අතිනි. ඊට එරෙහිව තමන් කතා කරන්නේ කෙසේදෑයි ඔවුන් සිතනවා විය හැකිය.
ඉන්පසු ජීනිවාහි පැවති මානව හිමිකම් කොමිසමේ 59 වැනි සැසි වාරයේදි ද ටෝනි පිළිබඳ ප්රශ්නය බලවත් ලෙස මතුවිය. පරම් කුමාරස්වාමි මහතා ඉදිරිපත් කළ සිය නිරික්ෂණ ඇතුළත් වාර්තාවට ටෝනි පිළිබඳ ප්රශ්නය සේ ම, අගවිනිසුරුවරයා පිළිබඳ ප්රශ්නය හා අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් දිසා විනිසුරුවරුන් දෙදෙනා පවරන ලද නඩුව පිළිබඳව නිරික්ෂණ ද ඇතුළත් විය. ඊට අතිරේකව ආසියානු නීති සම්පත් කේන්ද්රය (Asian Legal Resource Center) වෙනුවෙන් අලි සලිම් මහතා වාචිකව සම්මේලනය හමුවේ ටෝනිගේ ප්රශ්න පිළිබඳව කතාවක් පැවැත්තුවේය.
මේ අතර ආසියානු මානව හිමිකම් කොමිසම ටෝනි නිදහස් කරන ලෙස ඉල්ලා විද්යුත් මාර්ගයෙන් පෙත්සමකට අත්සන් ලබාගනී. දැනට ඊට අත්සන් තබා ඇති අයගේ සංඛ්යාව 3000කටත් වැඩිය. ලෝකයේ ප්රධාන පෙළේ මානව හිමිකම් සංවිධාන සේ ම, ප්රධාන පෙළේ පුද්ගලයන් ගණනාවක් ද ඊට අත්සන් තබා ඇත. ඉන්දියාවෙන් පමණක් එම පෙත්සමට අත්සන් තබා ඇති නීතිඥයින් සංඛ්යාව 300කටත් වැඩිය. අත්සන් තබන ලද අය අතර විනිසුරුවරු වෙති.
ආසියානු මානව හිමිකම් කොමිසම දිනපතා පෙත්සම් 25 බැගින් ජනාධිපතිනිය හා අගමැතිවරයා වෙත යවමින් පවතී.
ජාත්යන්තර තලයේ ටෝනිගේ ප්රශ්නය ගැන මොනතරම් වාද විවාද කෙරෙමින් තිබුණත්, තාමත් ටෝනි ඉන්නේ හිරගෙදරය. ටෝනි ගැන පාලකයින්ට කතා කිරීම බීරී අලීන්ට වීනා වාදනය කරනවාට වෙනස් නැත.
ජනාධිපතිනි චන්ද්රිකාට මේ ප්රශ්නයට මැදිහත්වීමේ හැකියාවක් නැත. සිදුවී තිබෙන වරද ඉතා බරපතල වුවත්, වරද සිදුවී ඇත්තේ ඈ පත් කළ ඇගේ විශ්වාසවන්තම පුද්ගලයෙකු අතිනි. ශ්රේෂ්ඨාධිකරණය සරත් නන්ද සිල්වාට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබූ අවස්ථාවක හා ඒ පරීක්ෂණ දෙක අවසන් වන තෙක් ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරිමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරම් කුමාරස්වාමි මහතා ජනාධිපතිනියගෙන් ඉල්ලා තිබුණු අවස්ථාවක එය ද නොසලකා ජනාධිපතිනිය ඔහු ඒ ධුරයට පත් කරන ලද්දේ ශ්රේෂ්ඨාධිකරණය තමන්ට මනාප ලෙස මෙහෙයවිය හැකි තත්ත්වයක් ලබාගැනීම සඳහාය. සියලුදේට වඩා දෝෂාභියෝගයක් අවසාන වශයෙන් තීන්දු කරන්නේ ශ්රේෂ්ඨාධිකරණය වන නිසා තමන්ට ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයෙකු අගවිනිසුරුකමේ තබාගැනීමට ජනාධිපතිනියට අවශ්ය වූවා විය යුතුය.
අධිකරණය අවුල් කළේ ජනාධිපතිනිය බැවින්, එය ලිහීමේ හැකියාවක් ජනාධිපතිනියට නැත. ඒ පිළිබඳව අගමැති අනුගමනය කරමින් තිබෙන පිළිවෙත ද ගෞරවයට හේතුවන්නක් වන්නේ නැත.
අගමැතිවරයා බලයට පත්වී ගංගාරාමයට ගිය පළමු ගමනේදි කියා සිටියේ තමන් මේ රටේ නීතියේ පාලනයක් ඇති කරන බවය. නීතියේ පාලනයක් තිබිය හැක්කේ ස්වාධීනව ක්රියා කරන හා ජනයාගේ ගෞරවයට හේතුවන අධිකරණයක් ඇත්නම් පමණය.
එහෙත් රටේ අධිකරණය තිබෙන්නේ අවුල් ජාලාවකය. නිකම්ම බලා සිටිනවා හැර ඒ තත්ත්වය නිවැරදි කිරිමේ අවශ්යතාවක් අගමැතිවරයා තුළ තිබෙන බවක් පෙනෙන්නට නැත. අවසාන විග්රහයේදි ටෝනිට සිදුවන අගතියක වගකීම යායුතුව ඇත්තේ ද ජනාධිපතිනියගේ කරපිටට වඩා අගමැතිගේ කරපිටටය.
සමාව දිමේ බලයක් ඇත්තේ තමාට නොව, ජනාධිපතිනියට වේ යයි අගමැතිට තර්ක කළ හැකිය. එහෙත් ජනාධිපතිනිය ද කැබිනට් මණ්ඩලයේ කොටස්කාරියකි. රටේ පුරවැසියෙකුට යුක්තියේ මහා දේවාලයෙන් සිදුවී ඇති මහා අයුක්තියක් පිළිබඳ ප්රශ්නය කැබිනට් මණ්ඩලයට නොවැදගත් ප්රශ්නයක් වේ නම්, ඒ කැබිනට් මණ්ඩලය හිතක් පපුවක් ඇති කැබිනට් මණ්ඩලයක් ලෙස සැලකිය නොහැකිය.