ටෝනිට සිදුවූයේ කුමක්ද

March 2, 2003
Publication:
Ivan traces Tony Fernando's long search for redress after his employer refused to meet his private hospital bills following a workplace accident, through the Labour Commissioner, Human Rights Commission, Ombudsman, Speaker and Supreme Court, until the Chief Justice jailed him for a year for contempt and he was beaten in prison. He argues that Sarath N. Silva has placed close associates at the head of every institution of redress, including the human rights and bribery commissions, the Public Trustee and the prisons, forming an octopus-like net.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එක් අවුරුදු සිර දඬුවමක් පමුණුවා සිරගෙට යවනු ලැබීමෙන් පසුව අමානුෂික පහරදිමකට ලක් වූ ටෝනිගේ කථාවේ කෙළවර කුමක්ද යන්න නොපැහැදිලි ය. එහෙත් යුක්තිය වෙනුවෙන් ඔහු කරන ලද අහිංසක අරගලයට යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා තිබෙන ආයතන ක්‍රමයෙන් ලැබුණු හිංසන ප්‍රතික්‍රියාව එම සමස්ත ආයතන ක්‍රමයම දරුණු ප්‍රශ්න කිරීමකට ලක් කිරිමෙන් නොනැවතී මේ ආයතන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන බූවලු න්‍යායයේ හැඩතල මතු කිරීමට හේතු වී තිබෙන බව ද පැහැදිලි ය.

දිග්ගැස්සුණ අවුලකට හේතුවන ඔහුගේ ආරවුල හටගන්නේ ද සිත් කම්පා කිරීමට හේතුවන සරල සිද්ධියක් මුල් කොට ගෙන ය. සේවයේ යෙදි සිටිය දි හදිසි අනතුරකට ලක්වීම හේතු කොටගෙන ටෝනිට මහා රෝහලට ඇතුළු වීමට සිදු වේ. රෝහල් ගතවීමෙන් දින දෙකකට පසුව මහ රෝහලේ ඇතිවන වෛද්‍ය වැඩවර්ජනයක් නිසා ප්‍රතිකාර අවශ්‍ය නම් පෞද්ගලික රෝහලකට ඇතුළත් විය යුතු තත්ත්වයකට මුහුණ දිමට ඔහුට සිදුවන්නේ ය. ඒ අනුව ඔහු නවලෝක රෝහලට ඇතුළුවන අතර රෝහල් බිල ගෙවන්නට සිදුවන්නේ ද ටෝනිට ය. ටෝනි නවලෝක රෝහලට ගෙවන ලද බිල් හා එහි නැවතුම් ගෙන සිටි දින ගණන් පිළිබඳ සියලු විස්තර සේව්‍ය පක්ෂෂය වෙත ඉදිරිපත් කරනු ලැබුවත් මහ රෝහලේ ගත කර තිබුණු දින දෙක හැර අන් කිසිවක් ගණන් ගැනීමට සේව්‍ය පක්ෂය (සමහරවිට ටෝනිගේ නවලෝක බිල තමන්ට ගෙවන්නට සිදුවනු ඇතැයි ඔවුන් කල්පනා කළා විය හැකි ය.) කැමති නොවී ය.

ටෝනි එහි දි සේව්‍ය පක්ෂෂයට එරෙහිව කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කළේ ය. කම්කරු කොමසාරිස්වරයාගෙන් යුක්තිය ඉටු නොවූ කල ටෝනි කම්කරු කොමසාරිස්වරයාට එරෙහිව කම්කරු ඇමතිවරයාට, මානව හිමිකම් කොමිසමට හා පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයාට ද පැමිණිලි කළේ ය. මානව හිමිකම් කොමිසම ටෝනිගේ පැමිණිල්ල බාරගෙන ඔහුගෙන් ඒ ගැන කටඋත්තරයක් ද ලබාගත්තේ ය. මානව හිමිකම් කොමිෂන් සභා නීතිය අනුව කොමිසමට කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාකළ නොහැකි නම් ඒ බව පැමිණිලිකරුට දින 30ක් තුළ දැනුම් දිය යුතු වුවත් ටෝනිගේ පැමිණිල්ල බාරගෙන කටඋත්තරය ලියාගත් පුද්ගලයා ටෝනිගේ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාකළ නොහැකි බව ටෝනි වෙත දැනුම් දුන්නේ අවුරුදු කිහිපයකට පසුව ය. පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයාට කරන ලද පැමිණිල්ල මත ඔම්බුඩ්ස්මන්වරයා කිසියම් දිනෙක ටෝනිද කම්කරු කොමසාරිස්වරයා ද තමන් වෙත කැඳවනු ලැබුවත් එදින පැමිණියේ ටෝනි පමණ ය. කම්කරු කොමසාරිස්වරයාගේ නොපැමිණීම ගැන ඔහුට එරෙහිව ක්‍රියා කරන බවට එහි දි ඔම්බුඩ්ස්මන්වරයා පැමිණිලිකරුට වාචිකව දැනුම් දෙනු ලැබුවත් මොනයම් හේතුවක් නිසා හෝ ඔම්බුඩ්ස්මන්වරයා ද මේ පැමිණිල්ලේ ලිපිගොනුව වසා දමන ලද බව ටෝනිට දැනගන්නට ලැබී ඔහු ඔම්බුඩ්ස්මන්වරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ කථානායකරවයාට පැමිණිලි කළේය. ඔම්බුඩ්ස්මන්වරයාගෙන් අසාධාරණයක් වී ඇත්නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන ලෙස කතානායකවරයා ඔහුට ලිඛිතව දැනුම් දුන්නේ ය. ඒ අනුව ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක ස්වරූපයෙන් එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. පෙත්සමේ මූලික විභාගය සිදුවූයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ය. ඔම්බුඩ්ස්මන්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට එන ලෙස කීවේ කතානායකවරයා නම් ඔහු පිළිබඳ ක්‍රියාකිරිමේ වැඩි හැකියාවක් පාර්ලිමේන්තුවට ඇති නිසා පාර්ලිමේන්තුවෙන් ම ප්‍රශ්නය විසඳ ගන්නා ලෙස අගවිනිසුරුවරයා එහි දි ඔහුට ප්‍රකාශ කර සිටියේ ය. තමාගේ පෙත්සම වැඩිදුර විභාගයට නොගත්තේ ඒ කරුණ මත යයි කල්පනා කළ ටෝනි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මගින් අගවිනිසුරුගේ එම නියෝගය ලබාගැනීමට උත්සාහ කළේ ය. රෙජිස්ට්‍රාර්වරයාගෙන් එම නියෝගය ලබාගැනීමට උත්සාහ කොට එය අසාර්ථක වූ තැන ඔහු නියෝගය ලබාගැනීම සඳහා රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව ඔහු නැවත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ ය. ඔහුගේ එම නඩුවේ මූලික විභාගය සිදුවූයේ ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ය. එහි දි ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ඔහුගේ දුක්ගැනවිල්ලට සවන් දි ඒ පිළිබඳව නියෝගයක් දෙන බව ප්‍රකාශ කළා ය. ඉන් පසු ඔහු රෙජිස්ට්‍රාර්වරයා මගින් ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ නියෝගය ලබා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූ තැන ඔහු රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේ ය. එම කරුණ සිය විෂය පථයට අදාළ නොවන බව අධිකරණ සේවා කොමිසම ඔහුට දැනුම් දුන්නේ ය. අගවිනිසුරුවරයා යටතේ තිබෙන අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව අගවිනිසුරුවරයා ද වගඋත්තරකරුවකු කරමින් අධිකරණ සේවා කොමිසමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ ඉන් පසුව ය. ටෝනි අගවිනිසුරුවරයාට අපහාසයක් කළේ යයි සලකා අගවිනිසුරුවරයා ඔහුට එරෙහිව එක් අවුරුදු සිර දඬුවමක් පමුනුවන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ටෝනිගේ නඩු පැවරිමේ ක්‍රමයේ හරි වරද කුමක් වුවත් නඩු පැවරිමේ ක්‍රමයේ වරදක් අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා සිර දඬුවම් පැමිණවීමේ හැකියාවක් කිසිම අධිකරණයකට තිබිය නොහැකිය. ඔහු යුක්තිය ඉටුකරවාගැනීම සඳහා යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති හැම ආයතනයක් වෙත ම සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට කටුක හා දිර්ඝ උත්සාහයක යෙදි ඇති අහිංසක පුද්ගලයකු බව තේරුම් ගැනීමට අපහසු නැත. ඔහු නඩු පැවරූ ක්‍රමයේ කුමන වරදක් තිබුණත් අගවිනිසුරුවරයා වග උත්තරකරුවකු කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරුවරයා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් මගින් විභාගයට ගැනීමෙන් අගවිනිසුරුවරයා බරපතල වරදක් කර තිබෙන බව පැහැදිලි ය.

අගවිනිසුරුවරයා ටෝනි කෙරෙහි කෝපයක් ඇති කරගන්නට ඇත්තේ වෙන ඕනෑම කරුණකට වඩා තමා ද වග උත්තරකරුවකු කිරීම ගැන විය යුතු ය. මෙය අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් ඔහුට එරෙහිව පැවරුණ එකම නඩුව නොවී ය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධූරයට පත් කෙරුණු අවස්ථාවේ දි ද අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් විය. ඉන් පසු වෙනත් පැමිණිලිකරුවන් කිහිප දෙනෙකු ද අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රසිද්ධ චෝදනා නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට නොපමුණුවන ලෙස ඉල්ලා තිබුණි. ඉන් පසු අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ලේකම් ද (දිසා විනිසුරුවරුන් දෙදෙනෙක්) අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළේ ය. එම පෙත්සම් දෙක දැන් විභාග වෙමින් පවතී. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් ටෝනි තම පෙත්සම ඉදිරිපත් කළේ ඉන් පසුව ය. මේ ආකාරයෙන් තමන් වගඋත්තරකරුවකු කරමින් නඩු පවරන ප්‍රතිපත්තියකට ඉඩ දුනහොත් එය කෙළවරක් නොපෙනෙන ක්‍රියාවක් බවට පත්වනු ඇතැයි කල්පනා කරමින් වර්ධනය වෙමින් පවතින එම පුරුද්ද වැළකීම අත්‍යවශ්‍ය වේ යයි කල්පනා කරමින් අගවිනිසුරුවරයා සිය ආරක්ෂෂාව සඳහා ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් දුන්නා විය යුතු ය.

එහෙත් ටෝනිගේ මේ අරගලය තුළ බැලු බැල්මට නොපෙනෙන ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති ආයතන ක්‍රමය වසාගෙන ඇති බූවලු න්‍යාය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් ඉතා වැදගත් කරුණු ගණනාවක් අන්තර්ගතවී පවතී.

නීතිය පසිඳලීම සඳහා ඇති හැම ආයතන ක්‍රමයක්ම තමන්ගේ දැඩි ග්‍රහණයේ තබාගැනීම සඳහා ඒ හැම ආයතනයකම ප්‍රමුඛ තනතුරු තමන්ට හිතවත් පුද්ගලයන්ගෙන් පුරවන ක්‍රමයක් අගවිනිසුරුවරයා විසින් පවත්වාගෙන ගොස් ඇති බව බැලූ බැල්මට දැකිය හැකි ය.

අධිකරණ සේවා කොමිසම තිබෙන්නේ අගවිනිසුරුවරයා යටතේ ය. අධිකරණ සේවා කොමිසමට සෙසු සාමාජිකයන් පත් කිරිමේ දි තමන්ට අවනත තමන් කැමති පුද්ගලයන් නම් කරවා ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වූ බව ද ප්‍රකට ය. මානව හිමිකම් කොමිසමේ සභාපති ධූරය හෙබවූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ද අගවිනිසුරුගේ සමීපතම හිතවතෙකි. ඔහු මේ තනතුරට ආවේ අගවිනිසුරුගේ අනුග්‍රහයෙනි. අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආනන්ද කුමාරස්වාමි මහතා ද අගවිනිසුරුගේ සමීප හිතවතෙකි. ඒ පත්වීම කෙරෙහි ද අගවිනිසුරුවරයා බලපාන්නට ඇති බවට සැකයක් නැත.

ඉන් පසු එම කොමිසමේ අධ්‍යක්ෂෂ ජනරාල් ධූරය උසුලන රණසිංහ මහතා ද කලින් අධිකරණ සේවයේ සිටි පුද්ගලයෙකි. විවාදයට හේතු වූ සූරියකන්ද නඩුව විමසුවේ ඒ මහතා ය. දැන් මහාභාරකාර ධූරය හොබවන සෙනෙවිරත්න මහතා ද කලින් අධිකරණ සේවයේ නිරතව සිටි විනිශ්චයකාරවරයෙකි. මහාභාරකාර දෙපාර්තමේන්තුව තුළ නිදහසේ සිය තක්කඩිකම් කරගෙනයාම පිණිස විගණකාධිපතිවරයාගේ අත්බැඳ තබන අර්ථ නිරූපණයක් නීතිපති ධූරයේ සිටිය දි සරත් නන්ද සිල්වා මහතා විසින් දි තිබුණු බව ද ප්‍රකට ය. ඉන් පසු පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධූරය හෙබවූ දැන් ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය හොබවන ධම්මික කිතුල්ගොඩ මහතා ද අධිකරණ සේවයේ නිරත වූවෙකි. ඔහු එම තනතුරට එන්නට පෙර අධිකරණ සේවා කොමිසමේ ලේකම් ධූරය හෙබවූයේය. පාර්ලිමේන්තුවේ ලේකම්වරයා විශ්‍රාම යාම හේතුකොටගෙන ඒ ධූරයේ පුරප්පාඩුවක් ඇති වූ විට සුදුසු හා පළපුරුදු පුද්ගලයකු පාර්ලිමේන්තුවේ සිටියදි කිතුල්ගොඩ මහතා එම තනතුරට ගෙනඒම කෙරෙහි ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතා සේ ම එකල නීතිපති ධූරය හෙබවූ සරත් නන්ද සිල්වා මහතා ද බලපෑ බව එකල ප්‍රකට කරුණක් විය. පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන් ධූරය හොබවන රණරාජා මහතා ද විශ්‍රාමක විනිශ්චයකාරවරයෙකි. ඒ මහතා ද සරත් නන්ද සිල්වා මහතාගේ සමීප මිත්‍රයෙකි. යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට පරිබාහිරව තිබෙන සෑම ආයතනයක්ම සිය ග්‍රහණයේ තබාගත හැකි ආකාරයේ සියුම් දැලක් පවත්වාගෙන යාමට සරත් නන්ද සිල්වා මහතා සමත් වී තිබෙන බව ඒ අනුව තේරුම් ගැනීම අමාරු නැත. ඒ අනුව මේ එකම ආයතනයකින්වත් ටෝනිට යුක්තිය ඉටුකරවා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්න තේරුම් ගැනීම ද අමාරු විය නොහැකි ය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වාට හෝ අධිකරණ සේවා කොමිසමට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වන කිසිම පැමිණිල්ලකට සාධාරණය ඉටු වන්නේ නැත. මා දන්නා තරමින් අධිකරණ සේවයෙන් අසාධාරණ ලෙස පළවා හැර තිබෙන විනිසුරුවරුන් ගණනාවක් අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඒ කිසිදු පැමිණිල්ලක් විභාග කරන තත්ත්වයක නොපවතී. මා අගවිනිසුරුට හා ලෙනින් රත්නායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේ ද එම කොමිසම අගවිනිසුරුගේ දැඩි ග්‍රහණයට හසු වූ ආයතනයක් බව දැන දැන ය. මා ඒ දෙදෙනාට එරෙහිව ඔවුන්ගේ දැඩි ග්‍රහණයක් තිබෙන කොමිසමකට පැමිණිලි කළේ ඔවුන් ඒ ගැන කුමක් කරන්නේද යන්න දැනගැනීම සඳහා ය. එහි දි කොමිසම දෙන ලද අර්ථ නිරූපණය ඉතිහාසයට එකතු විය යුතු වැදගත් ලියවිල්ලක් ලෙස සැලකිව හැකිවා සේ ම එය එම කොමිසම කෙරෙහි අගවිනිසුරුට තිබෙන ග්‍රහණයේ තරම පෙන්නුම් කරන ලියවිල්ලක් ලෙස ද සැලකිය හැකි ය. මේ සියල්ලටම අතිරේකව නීතිපති දෙපාර්තමේන්තුව ද අගවිනිසුරුගේ දැඩි ග්‍රහණයේ පවත්නා තවත් ආයතනයකි. ලෙනින් රත්නායක සම්බන්ධයෙන් පැවති පරීක්ෂෂණයෙන් පසුව අධිකරණ සේවා කොමිසම ලෙනින් රත්නායකට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරිමේ වගකීම පවරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවට ය. එහෙත් අද දක්වා නීතිපති දෙපාර්තමේන්තුව ලෙනින් රත්නායකට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරීමක් කර නැත. නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව කිසිම පියවරක් ගනු ඇතැයි ද සිතිය නොහැකි ය.

යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති හැම ආයතනයක්ම අගවිනිසුරුගේ දැඩි ග්‍රහණයේ පවත්නා තත්ත්වයක් තුළ මෙම කවර ආයතනයකට එරෙහිව හෝ තවත් ආයතනයකට පැමිණිලි කිරිමෙන් සාධාරණය ඉටුකරවා ගැනීමේ හැකියාවක් නොපවතී. එසේ කරන ඕනෑම පුද්ගලයකුට වියහැක්කේ ද ටෝනිට වූ දෙය ම ය.

වසරක සිර දඬුවමක් පැමිණවීමෙන් පසුව බන්ධනාගාරයට ගිය ටෝනිට බන්ධනාගාරයේ දි ද අමානුෂික පහරදිමකට මුහුණ දිමට සිදුවිය. එය එසේ සිදුවූයේ ඇයි? අගවිනිසුරුවරයා හා බන්ධනාගාරය අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

මේ මෑතක් වන තුරුම බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස ක්‍රියා කළේ අධිකරණ නිලධාරියෙකි. මේ අධිකරණ නිලධාරියා විජය කුමාරතුංගට අදාළ නඩුවක දි නීතියට පටහැනිව ඔහුට ආධාර කරන්නට ගොස් අමාරුවේ වැටී සිටි පුද්ගලයෙකි. එහෙත් පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු ඔහු දේශපාලන පළිගැනීමකට ලක්වී යයි යන පදනම මත පහළම ශ්‍රේණියක සිටි ඔහු ඉහළම ශ්‍රේණියකට උසස්වීමක් ලබාදෙමින් පසුව බන්ධනාගාර කොමසාරිස්වරයා බවට පත් කළේය. ඔහු අගවිනිසුරුගේ අතිජාත මිත්‍රයෙකු වන අතර අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරනු ලැබූ විනිසුරුවරුන් දෙදෙනාට එරහිව ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ ක්‍රියාත්මක වූ පෝස්ටර් ව්‍යාපාරය මෙහෙයවූ කිහිප දෙනා අතර මේ පුද්ගලයා ද සිටියේ ය. ටෝනි සිරගත කිරිමෙන් පසුව ඔහු දරුණු ප්‍රහාරයකට ලක්වූයේ ඇයිද යන හරස්පද ප්‍රහේලිකාව විසඳ ගැනීම ඒ අනුව අමාරු විය නොහැකි ය.

මේ බූවල්ලාගේ අඬු විහිදි ඇත්තේ යුක්තිය පසිඳලීමේ ආයතන හා බන්ධනාගාරය කෙරෙහි පමණක් නොවේ. ඒ අඬු රජගෙදර සිට පාතාල ලෝකය දක්වා ම විහිදි පවතී. බොහෝ දෙනකු අගවිනිසුරු මොන තරම් බරපතල වැරදි කළත් ඊට එරෙහිව කිසිවක් කතා කරන්නට බිය වන්නේ ද ඒ නිසා ය.