එළඹෙන නිදහස් උත්සවයේ ප්රධාන තේමාව වී ඇත්තේ ජාතික සමගියයි. ජාතික ඒකාග්රතාවක් සඳහා අවශ්ය වාර්ගික එක්සත් භාවයක් ඇති කරගන්නේ කෙසේද යන්න අද රට ඉදිරියේ තිබෙන ප්රධාන දේශපාලන අභියෝගය වී තිබේ. ඒ සඳහා විසඳුමක් ඇතිකර ගැනීමේදි උතුරු නැගෙනහිර දෙමළ ප්රශ්නය පමණක් නොව, මුස්ලිම් ප්රශ්නය ද, අනාගතයේ මතුවිය හැකි උඩරට දෙමළ ජනතාව පිළිබඳ ප්රශ්නය සේ ම, මහජාතිය වන සිංහල ජනතාව අතර පවත්නා අපේක්ෂාවන් ද ගැඹුරින් සැලකිල්ලට ගන්නට සිදුවේ. ඊටත් අතිරේකව දේශපාලන ආයතන ක්රමයේ ඇතිවී තිබෙන පිරිහීම හා ප්රජාතන්ත්රවාදි නිදහස පිළිබඳ ගැටලුව ද සැලකිල්ලට ගන්නට සිදුවේ.
දකුණේ ප්රධාන පක්ෂ දෙක අතර පොදු එකගතාවක් නැතිකම මේ ප්රශ්නය විසඳ ගැනීමට තිබෙන බැරිකම කෙරෙහි බලපා තිබෙන එක් ප්රධාන ගැටලුවකි. පොදු පෙරමුණ ඒ වෙනුවෙන් විසඳුමක් ඉදිරිපත් කළ අවස්ථාවේදි එජාපය උපායික ලෙස කීවේ අප එකග වුවත්, කොටි සංවිධානය ඉදිරිපත් කරන යෝජිත විසඳුම පිළිනොගන්නේ නම් සාමයක් ඇති නොවන නිසා පළමුව කොටි සංවිධානය සමග සාකච්ඡාවට යන ලෙස ය. පොදු පෙරමුණු ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ දෙමළ ප්රශ්නය සඳහා විසඳුමක් ඉදිරියට ගෙන සිංහල ජනයාගේ ද සංතෝෂයට හේතුවන ලෙස කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට හෝ ඔවුන් යුදමය වශයෙන් බෙලහීන කොට යෝජිත විසඳුම ක්රියාවට නැංවීමය. එහෙත් ඒ උපාය මාර්ග යථාර්ථවාදි නොවීය. අපේක්ෂා කළ පරිදි කොටි සංවිධානය යුදමය වශයෙන් බෙලහීන කිරීමට හෝ පරාජය කිරීමට හැකිවූයේ නැත. එජා පෙරමුණු ආණ්ඩුව ඊට වෙනස්ව කොටි සංවිධානය සමග සුහදව සාකච්ඡා කරන තැනකට යාමට සමත් වී ඇතත්, තවමත් ඒ වැඩපිළිවෙළට ප්රධාන විරුද්ධ පක්ෂය වන පොදු පෙරමුණේ ආශිර්වාදය ලබාගැනීමට සමත් වී නැත.
පොදු පෙරමුණේ හැගීම වී ඇත්තේ එජා පෙරමුණු ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළට තමන් සහාය දි එය සාර්ථක වුවහොත් ඒ නිසා තමන්ගේ දේශපාලන අනාගතය අඳුරු වනු ඇති බවය.
මේ දෙපාර්ශ්වය අතර පවත්නා බල තරගය සාමකාමී විසඳුමක් ඇති කරගැනීමට බාධාවක් වේ නම්, ඔවුන්ගේ බලකාමී අපේක්ෂාවන්ට බාධාවක් නොවන ආකාරයට මේ ප්රශ්නය විසඳගත් හැකි ක්රමවේදයක් රට සොයා ගත යුතු ය. දකුණු අප්රිකාවේ සාමය සොයා යන ගමනේදි ද මේ ප්රශ්නය මතුවිය. ඔවුන් ඊට මුහුණදිම සඳහා සියලුම පිළිගත හැකි ක්රමවේදයන් ඇති කරගත්තේය.
ඔවුන් තමන් ඇති කරගන්නට යන නව ආණ්ඩු ක්රම ව්යවස්ථාව තුළ අවශ්යයෙන්ම තිබිය යුතු මූලික මූලධර්ම හඳුනාගෙන ඒ සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමෙන් පසු ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකස් කිරීම පසුවට තබා මැතිවරණයෙන් පසුව වෙන්ව තරග කරන සියලුදෙනා සිටින කාලයක් සඳහා එකට එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා වන පොදු එකගතාවකට යමින් මැතිවරණයක් පවත්වා මැතිවරණයෙන් පසුව තේරි පත්වූ සියලු දෙනා එකට එකතු වී මැතිවරණයට පෙර හඳුනාගෙන එකග වූ මූලධර්ම වලට අනුකූල ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරගත්තේ ය.
අපට ද මීට සමාන ආකාරයකින් ක්රියාකළ හැකි ය. කොටි සංවිධානය ද ඇතුළත් කරගන්නා සර්වපාක්ෂික සාකච්ඡාවකට යමින් අනාගත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් තුළ තිබිය යුතු මූලික මූලධර්ම හඳුනා ගනිමින් හා ඒ සඳහා පොදු එකගතාවක් ඇති කර ගනිමින් මැතිවරණ ක්රමය පමණක් වෙනස් කොට සියලු පක්ෂවලට වෙන් වෙන්ව තරග කළ හැකි මැතිවරණයකට යා හැකි ය. ඉන්පසු තේරි පත්වන සියලු දෙනා එකතු වී සිටින වසර ගණනක් සඳහා වන ජාතික ආණ්ඩුවක් ඇති කරගනිමින් මැතිවරණයට පෙර හඳුනාගත් මූලධර්ම සඳහා වන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරගත හැකි ය. එය මේ ප්රශ්නය විසඳ ගැනීමේදි දේශපාලන පක්ෂ අතර ඇති බලතරගයෙන් එල්ල වී ඇති හානිය වළකා ගැනීම සඳහා ගත හැකි එක් සාර්ථක පියවරකි.