පාර්ලිමේන්තුවේ නිල කාලය වසරක් සම්පූර්ණවීමෙන් පසුව සාධාරණ හේතු ඇතිව හෝ නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන බලය අහෝසි කොට අවශ්ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය පාර්ලිමේන්තුවට ලැබෙන ලෙස ව්යවස්ථාව සංශෝධනය කරගැනීම සඳහා වන බලවත් උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටී. ඒ අරමුණ ව්යර්ථ කිරීම සඳහා ජනාධිපතිනිය ද උපරිම ලෙස බලය පාවිච්චි කරන ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නී ය.
ව්යවස්ථා සභාවක් යටතේ ක්රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කිරිමේ අරමුණ ඇතිව දඩිබිඩියේ සම්මත කරගන්නා ලද 17 වැනි ව්යවස්ථා සංශෝධනය ද බලරහිත, මහජනතාවගේ හාස්යයට හේතුවූ විහිළුවක් බවට පත්වී තිබේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාව යන්නෙන් රටේ මූලික නීතිය අදහස් වන අතර, ඒ සමග සෙල්ලම් කරන්නට යාම භයානක ය. 17 වැනි ව්යවස්ථා සංශෝධනයේ අරමුණ ඉතා අවංක හා යහපත් වුවත්, එය තමන්ට ලැබී තිබෙන අතිවිශාල බලය සීමා කරන්නක් ලෙස සලකා ජනාධිපතිනිය ඉතාමත් දක්ෂ හා සටකපට ලෙස ජනතා විමුක්ති පෙරමුණ ද සහාය කරගනිමින් එය පුස් වෙඩිල්ලක් බවට පත් කළා ය. එක්සත් ජාතික පක්ෂය ද එහිදි මනා ලෙස කරුණු හැදෑරිමකින් තොරව දඩිබිඩියේ සම්මත කරගන්නා වැඩපිළිවෙළකට ආධාර කරන පිළිවෙතක් තුළ ඒ හාස්යජනක විගඩමේ කොටස්කරුවන් පිරිසක් බවට පත්වූහ.
අවසානයේදි එයින් රටට සිදුවූයේ යහපතක් නොව විනාශයකි. ව්යවස්ථා සභාව නඩත්තු කිරීම සඳහා විශාල මහජන මුදලක් වැය කෙරේ. එහෙත් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවල ප්රමුඛ තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරිමේ බලයක් ඊට නැත. ඇති කර තිබෙන විකෘතිය තුළ ඔවුන්ට කිරීමට ලැබී ඇත්තේ ජනාධිපති නිර්දේශ කරන නම් අනුමත කිරීම හෝ අනුමත කිරිමෙන් වැළකී සිටීම පමණ ය.
19 වැනි ව්යවස්ථා සංශෝධනය ගමන් ගනිමින් තිබෙන්නේ ද එවැනි වැරදි මාවතක ය.
සාධාරණ හේතු ඇතිව හෝ නැතිව නිල කාලය වසරක් සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට ලැබී තිබෙන බලය අහෝසි කළ යුතු බවට විවාදයක් තිබිය නො හැකි ය. ප්රංශයේ සිටිනුයේ ද මහජනයා තෝරා පත් කළ විධායක ජනාධිපතිවරයෙකි. එහෙත් ප්රංශ ව්යවස්ථාව අනුව අගැමතිගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලයක් ජනාධිපතිට ලැබී නැත.
එහෙත් මේ වරද නිවැරදි කළ පමණන් ව්යවස්ථාව පරිපූර්ණ වන්නේ නැත. එය තවදුරටත් නිවැරදි කළ යුතු අංග රාශියක් පවතී. ජනාධිපතිනියට තමන් කැමති තරම් කැබිනට් ඇමති ධුර දැරිමට තිබෙන අයිතිය ද ඉවත් කළ යුතුව තිබෙන තවත් අයහපත් අංගයකි. ජනාධිපතිනියට ලැබී තිබෙන මුක්තිය ද අවශ්යයෙන්ම ඉවත් කළ යුතු තවත් අංගයකි. මීට අතිරේක ව 17 වැනි සංශෝධනය තුළ පවත්නා විකෘතිය ද නිවැරදි කළ යුතු ය.
දෑන් වහා ම එල්ල විය හැකි තර්ජනයක් වී තිබෙන පාර්ලිමේන්තුව හිතුවක්කාරි ලෙස විසුරුවා හැරිමට ජනාධිපතිනියට ලැබී තිබෙන බලය අහෝසි කරන අතර, ඒ සමග ව්යවස්ථාව තුළ පවත්නා අනෙකුත් විකෘති ද ඉවත් කිරීම සඳහා වන වැඩපිළිවෙලකට පොදු එකගතාවක් ඇති කරගත යුතු ය. 19 වැනි සංශෝධනය හරහා ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ඇති කරගනිමින් විපක්ෂය බෙලහීන තත්ත්වයකට ඇද දමනු ඇතැයි යන බියක් විපක්ෂය තුළ පවතී. විපක්ෂයට එවැනි බියක් ඇතිකර ගැනීමට හේතු නොවන ආකාරයේ සංක්රමණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ සමග ජාතික වැදගත්කමක් ඇති මෙවැනි පොදු ප්රශ්නවලදි කට්ටිවාදයෙන් තොරව ක්රියාකිරිමේ වගකීමක් විපක්ෂයට ද ඇත්තේ ය.
වඩා වැදගත් ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග හෝ අගමැති රනිල් වික්රමසිංහ නොව, රට හා රටේ ජනතාවයි. පුද්ගලයන්ට නොව රටේ ආරක්ෂාව හා අභිවෘද්ධියට මුල්තැන ලැබිය යුතු ය.