ශ්රී ලංකාවේ නීතියට හා අධිකරණයට අදාළ සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධීන් හතරක් පසුගිය සතියේදි සිදුවිය. මේ සිද්ධීන් හතර අන්තර් සම්බන්ධතාවකින් යුතුය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දුම්රීය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්යාධිකාරිවරයෙකු වූ වැක්සිල්වාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීය. මේ නඩුවට පාදක වූ චෝදනාත්මක කාරණා මුල් පුවතක් ලෙස “රාවය” ප්රසිද්ධියට පත් කළේ 1992 නොවැම්බර් 15 වැනිදාය. රාජ්ය මට්ටමෙන් සිදුවන මහා පරිමාණයේ දූෂණවලදි දූෂිත රාජ්ය නිලධාරින්ට රාජ්ය නායකයාගේ රැකවරණය ලැබෙන අවස්ථාවකදි නීතිය ක්රියාත්මක කරවන ආයතන ක්රියාකරන අවලක්ෂණ ආකාරය පිළිබඳ පළමු පාඩම “රාවය” ඉගෙන ගත්තේ වැක් සිල්වාගෙනි. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සාරය උරා බිව්වේය. එහෙත් මෙම දූෂිත නිලධාරීයාට රාජ්ය නායකයාගේ රැකවරණය ලැබෙන තත්ත්වයක් තුළ නීතිය ක්රියාත්මක කරවන ආයතන නැගී සිටියේ මේ දූෂිත නිලධාරියාට එරෙහිව නොව, ඔහු කරමින් තිබූ මහා පරීමාණයේ දූෂණවලට එරෙහිව පෑන හැසිර වූ “රාවය”ට එරෙහිවය. ඒ සියලු දෙනාට හිරේ යවන්නට අවශ්ය වූයේ වැක් සිල්වා නොව, “රාවය” කර්තෘය. එහෙත් ඒ තත්ත්වයට එරෙහිව “රාවය” ධෛර්ය සම්පන්නව නැගී සිටියේය. අවසානයේ වැක් ආරක්ෂාව සඳහා රට අතහැර පළා ගියේය. දැන් වැක් සිල්වාට එරෙහිව ආණ්ඩුවට අවුරුදු 10කට පසුව හෝ නඩු පවරන්නට සිදුවී තිබේ.
සමස්ත අධිකරණ සේවය කෙරෙහිම අතිවිශාල නින්දාවක් ඇති කිරීමට හේතුවූ චරිතයක් ලෙස සැලකිය හැකි දිසා විනිසුරු ලෙනින් රත්නායක නොකැමැත්තෙන් හෝ අධිකරණ සේවයෙන් පළවා හරින ලද්දේ ද පසුගිය සතියේදිය. මෙම අධම මහේස්ත්රාත්වරයා තමන් විසින් රිමාන්ඩ් භාරයට යවනු ලැබූ විත්තිකරුවකුගේ බිරිඳක් දූෂණය කිරිමේ සිද්ධියක් “රාවය” මුල් පුවතක් ලෙස පළ කරන ලද්දේ 1997 අගෝස්තු 17 වැනිදාය. ඒ පුවත පළකිරිමෙන් ටික කලකට පසුව මෙම පුද්ගලයා අධිකරණ සේවයට එන්නට පෙර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත්, එහිදි තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරිමේ සිද්ධියක් මත විනය පරික්ෂණයකින් පසුව සංස්ථා සේවයෙන් පළවා හරිනු ලැබූ පුද්ගලයකු බවත් කරුණු සහිතව හෙළිදරව් කරන ලදි.
ස්ත්රී දූෂණයක ඇත්ත නැත්ත සොයා ගැනීමට කිසියම් දිර්ඝ කාලයක් ගතවිය හැකි සංකීර්ණ දෙයක් විය හැකි වුවත්, එම පුද්ගලයා මුදල් වංචා චෝදනාවක් මත සේවයෙන් පළවා හරීනු ලැබූ පුද්ගලයෙකුද යන්න සොයා ගැනීම දුෂ්කර දෙයක් විය නොහැකිය.
එහෙත් සිදුවූයේ ද ඇත්ත නැත්ත සොයා බලන සාධාරණ පරික්ෂණයකට යනවා වෙනුවට, සියලු බලවතුන් එකට කල්ලි ගැසී මෙම දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ නිසා ඇතිවූ ඊළග ප්රතිඵලය වූයේ අධිකරණය අතිවිශාල අර්බුදයකට තල්ලුවීමය. එම අර්බුදයේ කේන්ද්රීය ලක්ෂය බවට පත්වූයේ අගවිනිසුරුවරයාය.
ස්ත්රී දූෂක මහේස්ත්රාත්වරයාගෙන් ආරම්භ වී අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම දක්වා දුරදිග ගිය මෙම දිග්ගැසුණු හා සංකීර්ණ අරගලයේ කතාව පොතක් ලෙස “නොනිමි අරගලය” නමින් පළවූයේ ද පසුගිය සතියේය. ඒ වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය තේමාව කොටගත් කථිකාවක් අගමැතිවරයාගේ ද සහභාගීත්වය ඇතිව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි පවත්වන ලද්දේ ද පසුගිය සතියේය.
අධිකරණයේ ස්වාධීනත්වය
26 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති කථිකාවට ප්රමුඛ තත්ත්වයේ විශ්රාමලත් විනිසුරුවන් ගණනාවක්ද, සේවයේ යෙදි සිටින විනිසුරුවරුන්, නීතිඥයින් හා නීති විෂයට අදාළ ශ්රාස්ත්රාලයීය උගතුන් ප්රමුඛ පිරිසක් ද සහභාගි විය.
ප්රධාන දේශනය පවත්වන ලද්දේ එංගලන්තයේ ප්රමුඛ නීතිවේදියෙකු වූ බේරනන් සාමිවරයාය. ඔහු මීට පෙර නීතියේ පාලනයට අදාළව ශ්රී ලංකාවේ පවත්නා තත්ත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා අන්තර් ජාතික නීතිඥ සංගමය එවන ලද ත්රි පුද්ගල දූත මණ්ඩලයක ද ප්රධානියා ලෙස ක්රියා කළේය. ඒ වෙනුවෙන් පළ කළ වාර්තාවට ශ්රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය පිළිබඳව අපූරු විවරණයක් ඇතුළත් ය. සමුළුවේ අවසාන දේශනය පවත්වන ලද්දේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය. ඩෙස්මන් ප්රනාන්දු, රංජිත් අබේසූරිය යන ප්රමුඛ නීතිවේදින් ද නීතිය, අධිකරණ විෂය පිළිබඳව ශ්රී ලංකාවේ සිටින කැපී පෙනෙන ශාස්ත්රාලයීය උගතකු ලෙස සැලකිය හැකි රොහාන් එදිරිසිංහ ද සමුළුව අමතා කතා කළේය.
බේරනන් සාමිවරයා අන්තර් ජාතික ප්රමිති ගැන කතා කරමින් ඒ ප්රමිතීන්ට අනුව ශ්රී ලංකාව සිටින්නේ කොතරම් පහළ තත්ත්වයක ද යන්න පෙන්වා දුන්නේය. ඔහු එම කතාවේදි සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරුධුරයට පත් කළ අවස්ථාවේදි එම පත්කිරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ශ්රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වූ ආකාරය ගැන ද කතා කළේය.
තමාගේ නඩුවක් තමාම අසන ක්රමයක් සාධාරණ ශිෂ්ට සම්පන්න හෝ නීත්යනුකූල විය නොහැකිය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා තමාගේ නඩුව තමාම ඇසුවේ නැති බව සත්යයකි. ඒ වෙනුවට කළේ දුරස්ත පාලන ක්රමයක් යොදාගැනීමය.
සැකයක් ඇති කිරීමට ඉඩක් නොතබා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලෙසත්, එසේ නොකරන්නේ නම්, අනුපිළිවෙල අනුව ජේයෂ්ඨත්වයක් ඇතුළත් වන ආකාරයේ විනිශ්චය මණ්ඩලයක් පත් කරන ලෙසත් පැමිණිල්ලේ නීතිඥයන් ඉල්ලා සිටියේය.
අගවිනිසුරුවරයා ඊට දක්වන ලද ප්රතිචාරය වූයේ ජේයෂ්ඨත්වය පහළ සිට ඉහළට පවතින ආකාරයට මුදුනේම සිටින ජේයෂ්ඨයන් බැහැර කෙරෙන ආකාරයට හත්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමය. පැමිණිල්ලේ නීතිඥයන් ඒ ක්රමයට විරෝධය පළ කළ අවස්ථාවේදි විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයෙකු ප්රකාශ කළේ ජේයෂ්ඨත්වය මිථ්යාවක් බවය.
එහිදි ඉදිරිපත් කෙරුණු කතා අතර තිබුණු විශිෂ්ටතම කතාව ලෙස සැලකිය හැක්කේ රොහාන් එදිරීසිංහගේ කතාවයි. ඔහු සමස්ත ගැටලුව ගැනත්, එහි ප්රධාන පැති ගැනත් කදිම විග්රහයක් කළේය. ඔහුගේ කතාව ඉතා හොඳින් කපා ඔප මට්ටම් කළ මැණිකක් බඳු වී යයි කිව හැකිය.
කථිකාවේ අවසාන දේශකයා වූයේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය. ඔහු කථිකාව ආරම්භයේ සිට අවසානය දක්වා එහි කෙරුණු සංවාදයට හොඳින් ඇහුම්කන් දුන්නේය. අර්බුදයේ කේන්ද්රීය ප්රශ්නය බවට පත්ව තිබෙන අගවිනිසුරු පිළිබඳ ප්රශ්නය ඔහු කතා කළේ නැතත්, ඒබ්රහම් ලින්කන් ජනාධිපතිවරයාට සාමය දිනාගැනීම පිණිස එරට අගවිනිසුරුවරයා හිරගෙදර යවන්නට සිදුවූ බව ප්රකාශ කළේය.
සුළු ජාතීන්ගේ ගැටලුවට අදාළව අධිකරණයට එල්ල වී තිබෙන චෝදනාවන් ද අගමැතිවරයා විග්රහ කළේය. සෝල්බරි ව්යවස්ථාවට ඇතුළත් 29 වැනි වගන්තියට අනුකූලව ක්රියා කරන පිළිවෙතක් අධිකරණය අනුගමනය කළේ නම්, ජනවාර්ගික ප්රශ්නය මෙතරම් දුර දිග නොයන්නට ඉඩ තිබුණු බව සමහර විචාරකයන් ප්රකාශ කරන බව ද ඔහු ප්රකාශ කර සිටියේය.
නොනිමි අරගලය
“නොනිමි අරගලය” පාදක කොටගෙන ඇත්තේ මහේස්ත්රාත්වරයෙකු විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ පුද්ගලයකුගේ බිරිඳක් දූෂණය කිරිමේ නින්දාසහගත සිද්ධියකින් ඇරඹී, අගවිනිසුරුවරයා කේන්ද්ර කොටගත් අර්බුදයක් දක්වා විකසිත වූ අධිකරණ අර්බුදයේ කතාවය. ඒ ක්රියාවලිය පොතක් ලෙස ලේඛනගත කිරීමට අවශ්ය වූයේ එම සිද්ධි දාමයට ලැබෙන ඓතිහාසික වැදගත්කම සලකාය. එය අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් කෙරුණු කෙළවරක් නොපෙනෙන නිම නොවූ දුෂ්කර අරගලයක් වනවා සේ ම, ඒ ගැන ලියවුණු නිම නොවූ අරගලය ද, එම නිම නොවූ අරගලයේ ම තවත් වැදගත් අදියරයක් ලෙස සැලකිය හැකිය. නිම නොවූ එම අරගලය තර්කානුකූල අවාසනයකට යන තෙක් වළලන්නට ඉඩ නොතැබීම ද එම කෘතියේ තවත් අරමුණකි.
මෙම අර්බුදය ඉතාමත් සරල තැනකින් ආරම්භ වී ඉතාමත් සංකීර්ණ තැනකට විකාශනය වූ ආකාරය ද, එම ක්රියාවලිය තුළ ඇති වූ වාද විවාද ද, විවිධ නාමධාරි පුද්ගලයන් රගපෑ භූමිකාවන්ගේ ස්වභාවය ද, එහි සැකෙවින් දැක්වීමට උත්සාහ දරා තිබේ.
මෙම අර්බුදයේදි සමහර උගත් නාමධාරි පුද්ගලයන් ක්රියාකර තිබෙන ආකාරය ඉතාමත්ම ජුගුප්සාජනක බව කිවයුතුය. මෙය පත්තරකාරයෙකු අතට ගත යුතු අරගලයක් නොවීය. අධිකරණයේ ගෞරවයට හේතුවන ලෙස ප්රශ්නය විසඳ ගැනීම පිණිස මැදිහත් වී ක්රියාකිරිමේ වගකීම තිබුණේ සේවයේ යෙදි සිටින විනිසුරුවරුන්ට, විශ්රාම ලත් විනිසුරුවරුන්ට, නීතිඥයින්ට හා මේ විෂයට සම්බන්ධ ශ්රාස්ත්රාලයීය උගතුන්ටය. එහෙත් බොහෝ දෙනෙක් නිහඬව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේය. තවත් සමහරෙක් අර්බුදය කුණුවන්නට හැර කුණුවූ තුවාලයෙන් ගලන ඕජස් උරා බොන ප්රතිපත්තියක් අනුගමනය කළේය. ඒ හැම කෙනෙකුම හොඳට හෝ නරකට රගපෑ භූමිකාවන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතට, හිත මිතුරන් අතට, මහජනතාව අතට පත් කිරීම මෙවැනි කෘතියක් කිරිමේ තවත් අරමුණකි. එහෙත් මේ විෂය ක්ෂේත්රයට සම්බන්ධ ඉතාමත් සුළු පිරිසක් ගග පහළට නොව, ගගේ ඉහළට පිහිනීමට උත්සාහ කළේය. මේ කෘතිය එම නිර්භීත සුළු පිරිසට පිදෙන උපහාරයකි.
අවංකකම ඉතිරිවී ඇත්තේ පැල්පත්වලය
ලෙනින් රත්නායක අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා ද මේ කෘතියට ඇතුළත් කැපී පෙනෙන චරිත දෙකකි. අබේසිංහ ජීවත් වූයේ නිදහස් ලෝකයේය. එහෙත් පුෂ්පකුමාර ජීවත් වූයේ රිමාන්ඩ් භාරයේය. ඒ නිසාම මේ දෙදෙනා ලෙනින් රත්නායකට එරෙහිව දක්වන ලද ප්රතිචාරයන්ගේ ස්වරූපවල වෙනසක් තිබුණි.
අබේසිංහගේ බිරිඳ අධිකරණයේදි විනිසුරුවරයෙකු අතින් දූෂණයට ගොදුරුවීම නිසා ඔහු කවර මට්ටමකින්වත් නීතිය හෝ අධිකරණය මගින් යුක්තිය ඉටු කරගත හැකිවේ යැයි විශ්වාස නොකළේය. ඔහු විශ්වාසය තබා තිබුණේ තමන්ගේ හැඩි දැඩි අත් දෙක කෙරෙහි පමණය. තම අත්දෙකෙන් මහේස්ත්රාත්වරයාගේ බෙල්ල මිරිකා මරා දැමීමට ඔහුට අවශ්ය වී තිබුණි. ඔහු මහව තානායමේදි ඒ සඳහා දරන ලද උත්සාහයක් අසාර්ථක වූයේ තානායමේ සිටි ඇල්සේෂන් බල්ලා ලෙනින් රත්නායකගේ බෙල්ල මිරීකමින් සිටි අබේසිංහගේ ඇගට කඩා පැනීම නිසාය.
පුෂ්පකුමාර කෙරෙන් ප්රකාශ වූ ප්රතිචාරයන් ද ඉතාමත් ආවේගකාරිය. මහේස්ත්රාත්වරයා ඔහුට ඇපදිමෙන් වැළකී සිටියේ මහේස්ත්රාත්වරයාට ඔහුගේ බිරිඳ ග්රහණයට ගැනීමට අවශ්ය වූ නිසාය. අවසානයේදි මහේස්ත්රාත්වරයා සිය නීතිඥයන් දෙදෙනාගේ ද සහාය ඇතිව සිය බිරීඳ දූෂණය කරන ලද බව දැනගත් විට ඔහු ඒ සියලු දෙනාට පෙරළා පහරදිම සඳහා යොදාගත් ක්රමවේදය ද අපූරු සහගතය.
ඔහු උසාවියේ රිමාන්ඩ් කරුවන් රඳවා සිටින කූඩුව අසලට සිය නීතිඥයා ගෙන්වා ගෙන ඔහුගේ ඔලූව වැරෙන් යකඩ කණුවේ හැප්පුවේය. බන්ධානාගාරයේ සිට සගවා ගෙන ආ අසූචි පාර්සලයක් මහේස්ත්රාත්වරයාගේ ඔලුවේ හැලුවේය. මහේස්ත්රාත්වරයාට පිම්පිකම් කළ බන්ධනාගාර නිලධාරින්ට සේ ම පොලිස් පරික්ෂකවරයාට ද පහර දුන්නේය. ඒ සියල්ල වෙනුවෙන් ඒ සියලු දෙනාගෙන් ඔහු තමාගේ අතපය කැඩෙන තෙක් බැට කෑවේය.
ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කිරීමට පත් කළ ත්රි පුද්ගල පරික්ෂණ කමිටුව පුෂ්පකුමාර ද පරික්ෂණ කමිටුව ඉදිරියට කැඳවූවේය.
ඔහු සිය සාක්ෂිය ආරම්භයේදි මෙහි පැමිණ සාක්ෂි දිමෙන් වැළකී සිටින ලෙස ලෙනින් රත්නායකට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයෙකු තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, සාක්ෂි දිමෙන් වැළකී සිටින්නේ නම්, වෙළෙඳමක් ආරම්භ කිරීමට අවශ්ය කරන ලක්ෂ 05ක පමණ ආරම්භක මුදලක් ලබාදිය හැකි බව ප්රකාශ කළ බවත්, එහෙත් ඒ බව නොසලකා සාක්ෂි දෙන්න යන්නේ නම්, ජීවත්වීමට තිබෙන ආසාව අත්හැර ගත්තාට වරදක් නැති බව ප්රකාශ කළ බවත් කියා සිටිමින් සමහරවිට තමන් දෙන ලද මේ සාක්ෂියෙන් පසුව තමන්ගේ ජීවිතය අවසන් වියහැකි බවත් ප්රකාශ කර සිටියේය.
පුදුමයකට මෙන් ඒ දේ එසේම සිදුවූයේය. සාක්ෂි දිමෙන් කෙටි කලකට පසුව කිසියම් පිරිසක් ඔහු කපා කොටා මරා දැම්මේය.
ඔහුගේ බිරිඳ තමන්ට සිදුවූ අතවරය කියන්නට සිය නැන්දණිය සමග මා හමුවීමට “රාවය” කාර්යාලයට පැමිණි දින සමස්ත සිද්ධිය අසා දැන ගැනීමෙන් පසුව මා ඇයට කරන ලද ප්රකාශයක් හා ඇය එයට දක්වන ලද ප්රතිචාරය මෙහි සටහන් කිරීම වැදගත්ය.
“ඔබ මහේස්ත්රාත්වරයා පිළිබඳව කියන ලද කතාව අවංක කතාවක් ලෙස මම පිළිගන්නවා. ඒත් කතාව ලියන්න වෙන්නෙ මට. අවසානයේදි මහේස්ත්රාත්වරයා සිය බලය පාවිච්චි කරන්නෙත් ඔබට එරෙහිව නොව, මට එරෙහිවය. අන්තිමට මේ ගැන නඩු කියන අවස්ථාවකදි මහේස්ත්රාත්වරයා ඔබේ අතට ලොකු ගාණක් දිලා පත්තරේ පළවූ කතාව බොරුවක් කියලා ඔබ ලවා කියවා ගත්තොත්, ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ගිය මට වෙන්නේ හිරේ යන්න. එහෙම දේවල් ඕන තරම් රටේ වෙනවා.”
මේ කතාව අසා ඇය කීවේ තමා ඉතාමත් දුප්පත් වුවත්, කවදාවත් තමා එවැනි ජඩ තත්ත්වයකට පත් නොවන බවය.
මේ කාන්තාවන් දෙදෙනාගෙන්ම මට එරෙහිව දිවුරුම් ප්රකාශ දෙකක් ලබාගැනීම සඳහා බලවත් ප්රයත්නයක් ක්රියාත්මක වූ බව දනිමි. ඒ සඳහා ඔවුන්ට විශාල මුදල් ප්රමාණයක් ලබාදිමට ද කැමැත්ත ප්රකාශ වී තිබුණි.
එහෙත් මේ කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් කොතරම් දුප්පත් වුවත්, මුදලට යට වීමට එකග නොවීය. එසේ වී නම් මා ලිව් දේ කොතරම් සත්ය වුවත්, මාගේ ගමන අවසන් වන්නට ඉඩ තිබුණේ හිරගෙදරිනි.
පිළිතුරු නැති ප්රශ්න කිහිපයක්
1. අධිකරණ සේවා කොමිසම පත් කරන ලද ත්රි පුද්ගල පරික්ෂණ කමිටුව ලෙනින් රත්නායකට එල්ල වී තිබුණු චෝදනා හතරටම වරදකරු කිරිමෙන් පසුව, ලෙනින් රත්නායක එක මොහොතක්වත් අධිකරණ සේවයේ තබා නොගත යුතු තරම් නින්දා සහගත පුද්ගලයෙකු බව දැන දැනම ඔහුට තිබූ ඥාතිකම හා හිතවත්කම සලකා එවකට සිටි නීතිපති සරත් සිල්වා මහතා ඔහු ආරක්ෂා කිරීම සඳහා ඇත්ත විකෘති කළ රහස්ය වාර්තාවක් අධිකරණ ඇමතිවරයාට යවා අධිකරණ ඇමතිවරයා නොමග යැවීය යන චෝදනාව මත මම ශ්රේෂ්ඨාධිකරණය වෙත නීතිපති සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව පැමිණිලි කළෙමි. ඔහු විසින් ඒ බරපතල වරද සිදුකර ඇත්නම් ඔහුගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හැරිය යුතු බව මා විසින් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම විය.
අගවිනිසුරුවරයා මාගේ පැමිණිල්ල සියලු විනිශ්චයකාරවරුන් වෙත යවමින් ඒ ගැන පරික්ෂණයකට යා යුතු ද නැද්ද යන්න ගැන ඔවුන්ගෙන් මත විමසීමක් කළේය. තුන් දෙනෙක් පරික්ෂණයකට යනවාට විරුද්ධ විය. හත්දෙනෙක් පරික්ෂණයකට යනවාට පක්ෂ විය. අවසානයේදි ඒ ගැන පරික්ෂණයක් ආරම්භ කිරීමට ශ්රේෂ්ඨාධිකරණයට සිදුවිය. ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ශ්රේෂ්ඨාධිකරණය ඔහුට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කර තිබුණු අවස්ථාවේදිය.
ඒ පරික්ෂණයට කුමක්වීද? ශ්රේෂ්ඨාධිකරණය එහි අවසාන ප්රතිඵල ප්රකාශයට පත් නොකළේ ඇයි?
2. අධිකරණ සේවා කොමිසම පත් කළ ත්රි පුද්ගල පරික්ෂණ කමිටු දෙකක් විසින් මහේස්ත්රාත් ලෙනින් රත්නායක හා සරත් නන්ද සිල්වා මහතාගේ අනාචාර නඩුව විභාග කළ උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා සියලු චෝදනාවලට වරදකරු කිරිමෙන් පසුව ඒ දෙදෙනාගේ නම් ද නීතිඥ නාමලේඛනයෙන් කපා හැරිම සඳහා පරික්ෂණයක් ආරම්භ කරන ලෙසට එවකට ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුව සිටි රංජිත් ධීරරත්න මහතා ශ්රේෂ්ඨාධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණ. ඊට අමතරව නීතිඥ පර්සි වික්රමසේකර මහතා ද ලෙනින් රත්නායකට අදාළව එවැනි ඉල්ලීමක් කර තිබුණි. ඒ දෙදෙනා ගේ එම ඉල්ලීම් පිළිබඳව මේ දක්වා ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් ආරම්භ නොකළේ ඇයි?
3. ත්රි පුද්ගල පරික්ෂණ කමිටුව උපාලි අබේරත්න මහතා සියලු චෝදනාවලට වරදකරු කිරිමෙන් පසුව අධිකරණ සේවා කොමිසම වහාම ක්රියාත්මක වන පරිදි උපාලි අබේරත්න මහතා විශ්රාම ගැන්වීමට තීන්දු කොට, ඒ බව ඒ මහතාට දැනුම් දුන්නේය. ඉන්පසුව ඒ මහතා වෙනුවෙන් ෆයිස් මුස්තාපා මහතා ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා කොමිසම දෙන ලද දඬුවම ලිහිල් කළේය. ඒ මහතාට මොණරාගලට දඬුවම් මාරුවක් ලබාදි සියලු උසස්වීම් අවුරුදු දෙකක කාලයකට බලපාන ලෙස අත්හිටවූවේය. එහෙත් පුදුමයට මෙන් අගවිනිසුරු කමට පත් වීමෙන් පසුව සරත් නන්ද සිල්වා තමාගේ අනාචාර නඩුව තමාගේ වාසියට විමසා අමාරුවේ වැටී සිටි මේ විනිසුරුවරයාට මහාධිකරණයට උසස්වීමක් ලබා දෙන ලද්දේ එම අවුරුදු දෙකේ දඬුවම් කාල සීමාව ඉක්මවන්නට පෙරාතුවය.
4. කොමිසම ලෙනින් රත්නායක සම්බන්ධයෙන් නීතියට පටහැනි ලෙස ගෙදර සිට වැඩ නොකෙට පඩි ලබාගත හැකි ආකාරයට ඒ මහතා අනිවාර්ය නිවාඩු යවන ලද්දේ හැකි ඉක්මනින් නීතිපති ඒ මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කළ යුතුයි කියන පදනමක පිහිටාය. මේ දක්වා නීතිපති ඔහුට එරෙහිව නඩු නොපවරන ලද්දේ ඇයි? හොරකම සහ දුරාචාරය අධිකරණය තුළ ආරක්ෂා කළයුතු යහපත් ගුණ ධර්මයක් ලෙස සලකන නිසාද?
5. ලෙනින් රත්නායක පරික්ෂණයේ පැමිණිලිකරු වූයේ මාය. එහෙත් කොතරම් ඉල්ලා සිටිය ද එම පරික්ෂණ කමිටුවේ තීන්දුව ඇතුළත් වාර්තාව අද දක්වා මා වෙත ලබා දි නැත. ඒ ඇයි ?