දෝෂාභියෝගයක්

May 20, 2001
Publication:
With an impeachment motion filed against Chief Justice Sarath N. Silva, Ivan recalls the only earlier one under the 1978 Constitution, against Neville Samarakoon. He recounts Samarakoon's career and clashes with Jayewardene's government: the reconstituted Supreme Court, the Kalawana seat, the referendum amendment, the Ratanasara and Vivienne Goonewardene cases and mobs outside judges' homes, and his 1984 speech that led to a select committee and impeachment committee. The contrast with today shows how far politics has declined.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝග යෝජනාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එම ධුරය හෙබවු පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝග යෝජනාව ලෙස සැලකිය හැකිය. පළමු දෝෂාභියෝග යෝජනාව එල්ල වූයේ ශ්‍රී ලංකාව බිහි කළ කීර්තිමත්ම අගවිනිසුරුවරයා ලෙස සැලකිය හැකි නෙවිල් සමරකෝන් මහතාට එරෙහිවය. නෙවිල් සමරකෝන් මහතා ඉතාමත් ගරු කටයුතු හා චරිතවත් පුද්ගලයෙකු විය. ඔහු නොයෙකුත් නඩු හබවලට පැටලුණු, ඒ නඩු හබ ජයගැනීම සඳහා සිය බලය අයථා ලෙස භාවිතා කළ වර්ගයේ පුද්ගලයෙකු නොවීය. ඔහුට එල්ල කළ හැකිව තිබුණු චෝදනාවක් වී නම්, ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට දේශපාලන වශයෙන් සමීප පුද්ගලයෙකු වීය යන්න පමණය. එහෙත් ඔහු එම තනතුරට පත්වීමත් සමග ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග තිබුණු සියලු දේශපාලන සම්බන්ධකම් අතහරිමින් තමා හෙබවූ තනතුරේ ගෞරවය හා ස්වාධීනත්වය සඳහා අභීතව පෙනී සිටින පුද්ගලයෙකු ලෙස ක්‍රියාකළා පමණක් නොව, ඒ නිසාම විධායකයේ දැඩි උදහසට ලක්වූ පුද්ගලයෙකු බවට ද පත්විය.

සරත් සිල්වා මහතා විරුද්ධ පක්ෂවල විරෝධයට ලක්වී තිබෙන එක් හේතුවක් වී තිබෙන්නේ ඒ මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව අධිකරණය විධායකයේ වුවමනාවන් මත ක්‍රියා කරන රූකඩයක තත්ත්වයට පත් කිරීම ගැනය. එහෙත් නෙවිල් සමරකෝන් මහතා එවකට බලයේ සිටි එජාප ආණ්ඩුවේ උදහසට ලක්වීමට හේතුවූයේ අධිකරණය, විධායකයේ රූකඩයක් බවට පත්කර ගැනීමට විධායකය දරන ලද උත්සාහයට අවනත නොවීම නිසාය.

එජාපය පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලයක් ලබා බලයට පත්වූයේ 1977 ජූලි 22 වැනිදාය. එවකට අගවිනිසුරු ධුරය ඉසිලු වික්ටර් තෙන්නකෝන් මහතා 1977 සැප්තැම්බර් 08 වැනි දින විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවන ලද්දේ සමරකෝන් මහතාගෙනි. එය නිල අධිකරණයෙන් පිටස්තරව අගවිනිසුරු ධුරයට පුද්ගලයෙකු පත් කෙරුණු ප්‍රථම අවස්ථාව විය.

නෙවිල් සමරකෝන් මහතා නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය හදාරා එස්.ජේවී. චෙල්වනායගම් මහතා යටතේ කලක් සේවය කොට, 1945 දි ශ්‍රේෂ්ඨාධිකරණයේ අද්වකාත්වරයෙකු බවට පත්විය. ඒ මහතා කෙටි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුව යටතේද සේවය කර තිබුණි. 1968 දි රැජිණ නීතිඥ (QC) පදවියක් ලැබ ඔහු අගවිනිසුරු ධුරයට පත්වන අවස්ථාව වනවිට සිවිල් නීතිඥ සේවයේ ප්‍රමුඛම පුද්ගලයෙකු බවට පත්ව සිටියේය.

1977 ඔක්තෝබර් 04 වැනි දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී, එතෙක් අගමැති ධුරය හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා රටේ විධායක ජනාධිපති ධුරයට පත්වූ අතර ඒ සමග ශ්‍රේෂ්ඨාධිකරණයට තේරි පත්වී සිටි සියලු දෙනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අලුතෙන් දිවුරුම් දිමට නියම කෙරිණි. එතෙක් පැවති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, නව ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් දිවුරුම් දිමට අවස්ථාව ලැබුණේ පැරණි ශ්‍රේෂ්ඨාධිකරණයේ 13 දෙනෙකු අතහැර හත්දෙනෙකුට පමණය. ජනාධිපති ජයවර්ධන මහතා විසින් දියත් කරන ලද එම ක්‍රියාව තමන් කැමති පිරිසක් ඉහළ අධිකරණයට ගෙන තමන් අකමැති පිරිසක් පහළ අධිකරණයට හෝ අධිකරණ සේවයෙන් ඉවත් කිරීම අරමුණු කරන ලද්දක් විය.

මෙම ක්‍රියාව නව අගවිනිසුරුවරයාගේ සතුටට හේතු නොවූ අතර, නව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම සඳහා පැවති උළෙලේ දි ඒ පිළිබඳ තමන් තුළ ඇති අසතුට ප්‍රකාශ කිරීමට ද ඔහු මැලි නොවීය. විධායකය හා අගවිනිසුරුවරයා අතර මතුවන ආරාවුල ආරම්භ වන්නේ එතනිනි.

කලවාන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අබේරත්න පිලපිටිය මහතාගේ තේරි පත්වීමට එරෙහිව සරත් මුත්තෙට්ටුවගම ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමකින් පිලපිටිය මහතාට ආසනය අහිමි වීමෙන් පසු අභියාචනාධිකරණයේ එම තීරණයට එරෙහිව පිලපිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ එම තීන්දුව ස්්ථිර කර තිබියදි පිලපිටිය මහතා ඒ බව නොසලකා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා ලද අතර, අතුරු මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදි පිලපිටිය මහතාට අහිමි වූ අසුන ආරක්ෂා කරදිම සඳහා කලවාන අසුනට මන්ත්‍රීන් දෙදෙනෙකු පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධනයක් ඉදිරිපත් කරන ලදි. එම තුන්වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි 168 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවට තවත් එක් මන්ත්‍රීවරයෙකු හෝ ඇතුළත් කරගැනීම පාර්ලිමේන්තුවට අයිතියක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඉන්පසු එජාප ආණ්ඩුව තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයක් මගින් තවත් 6 අවුරුදු කාලයකට දිර්ඝ කරගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 4 වැනි සංශෝධනයක් ද ඉදිරිපත් කළේය. එහිදී තමන්ට පක්ෂපාත තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගැනීමට ආණ්ඩුව සමත් වුවත්, 4 වැනි ව්‍යවස්ථා සංශෝධනය විභාග කළ රජ හත් කට්ටුවෙන් අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු විනිසුරුවරුන් තිදෙනෙක් එම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කළහ. ව්‍යවස්ථාදායකයා සිය පාලන කාලය දිර්ඝ කරගැනීමට ඉදිරිපත් කරන කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ නොදිය යුතුය යන්න පිළිගත් මූලධර්මයකි. එය අධිකරණයක් එම මූලධර්ම ඉක්මවා ක්‍රියා කළ ප්‍රථම අවස්ථාව වන අතර, ඒ මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ විකෘතියක් ඇති කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දායක වූ අපකීර්තිමත් අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.

ඉන්පසු ජනමතවිචාරණයට එරෙහිව බෞද්ධ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් හා කතෝලික පූජක කණ්ඩායමක් එකතුව පැවිදි හඬ නමින් මුද්‍රණය කළ පත්‍රිකාවක් බෙදාහැරිම වැළැක්වීමට ගම්පහ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොල මහතා ක්‍රියාකිරිමේ සිද්ධියකට එරෙහිව දරමිටිපල රතනසාර හිමියන් විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් අධිකාරීවරයා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ක්‍රියාකර ඇති බව තීන්දු කරමින් පෙත්සම්කරුට රුපියල් දස දහසක වන්දියක් සමග නඩු ගාස්තු ද ගෙවන ලෙස නියෝග කළේය. එම උසාවි නියෝගයෙන් පසුව ජනාධිපතිවරයා උඩුගම්පල මහතා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙසට උසස් කිරිමෙන් නොනැවතී ඔහුට ගෙවීමට තිබුණු වන්දි මුදල හා නඩු ගාස්තු ද රජයේ මුදලින් ගෙවීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති සිය විරෝධය පළකර සිටියේය.

එම සිද්ධියෙන් තවත් දින කිහිපයකට පසුව අන්තර්ජාතික කාන්තා දිනයේදි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකදි, විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද අතර අත්අඩංගුවට ගන්නා ලද පිරිස බැලීමට පොලිසියට ගිය අවස්ථාවකදි විවියන් ගුණවර්ධන මහත්මියට පහර දි සිරභාරයට ගැනීමේ සිද්ධියකට අදාළව විවියන් ගුණවර්ධන මහත්මිය විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවකදි ශ්‍රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයා වරදකරු කරමින් රුපියල් 2500/-ක වන්දියක් ගෙවන ලෙස උප පොලිස් පරික්ෂකවරයාට නියම කළේය.

එම තීන්දුවෙන් පසුව රජයේ වාහනවලින් නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරියට පැමිණ මැර පිරිසක් විනිශ්චයකරුවන්ට එරෙහිව බැණ වදිමින් සිය විරෝධය පළකර සිටියහ. ඊට අතිරේකව ආණ්ඩුව දඬුවම් ලැබූ උප පොලිස් පරික්ෂකවරයා උසස් කොට ඔහුට නියම කරන ලද වන්දිය ද රජයේ මුදලින් ගෙවීය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට සිදුවිය. එහි මෙසේ සඳහන් විය.

දීශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ස්වාධීනව සිය යුතුකම් ඉටුකිරීම මේ නිසා කිසිලෙසකින්වත් නතර කළ නොහැකිය. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් ක්‍රියා නිසා ගිය සෙනසුරාදා (ජූනි 11) සිදුවීමට අනුබලයක් ලැබෙන්නට ඇතැයි විනිශ්චයකාරවරු සිතති. අපගේ යුතුකම් ස්වාධීනව ඉටුකිරීමට මෙබඳු සිද්ධීන් බාධාවක් කර නොගන්නෙමු.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ මුළු ඉතිහාසයේම මෙවැනි සිද්ධියක් මීට පෙර සිදුවී නැත. ඉදිරියේදි එවැනි දේ සිදු නොවේ යැයි මම ප්‍රාර්ථනා කරමි.”

ඉන්පසු 1984 මාර්තු 14 වැනිදා කොල්ලුපිටිය සී වීව් හෝටලයේ පැවති උත්සවයකදි ඊට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා එම උත්සවයේ දි කරන ලද කතාවකට සියලු ජනමාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබා දි තිබූ අතර, නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයකට පාදක වූයේ ද එම කතාවට ඇතුළත් කරුණුය.

එහිදී ඒ මහතා 83 කළු ජූලිය පිළිබඳ සිය අදහස් පළකරමින් කියා සිටියේ තමාගේ මතය එය ජාතිවාදි කලබලයක් නොවන බවය. එකල පැවති රැකියා බැංකු ක්‍රමය ගැන ද අගවිනිසුරුවරයා එහි දි අදහස් පළකර තිබුණි. තමා වෙත මසකට පහේ සිට දහය දක්වා අතර ගණනක් රක්ෂෂා බැංකු ක්‍රමය යටතේ රක්ෂෂා ලබාදිම සඳහා එවන බවත් ඔවුන්ගෙන් සමහරෙක් එවන්නේ ලඝු ලේඛකයන් වශයෙන් බඳවා ගැනීම සඳහා බවත් ඔවුන් ලඝු ලේඛනය නොදන්නා බවත් ඒ නිසා තමන්ට සිය ආයතනය කාර්යක්ෂෂමව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ප්‍රකාශ කරමින් රක්ෂෂා බැංකු ක්‍රමය තරුණ පරපුරට කර තිබෙන වංචාවක් බව ද කියා සිටියේය.

ඒ සමග “සන්” පත්‍රයේ ජනාධිපති විසින් ප්‍රකාශ කළ උපුටා දැක්වීමක් ගැන සඳහන් කරමින් තමන්ට ලැබෙන්නේ ඉතා අඩු වැටුපක් බැවින් තමන්ට දිළිඳු සීමාවක ජීවත් වීමට සිදු වී ඇති බව එහි සඳහන් බවත් එම ප්‍රකාශය කියවූ විට තමා තුළ විශ්මයක් ඇතිවූ බවත් ජනාධිපතිවරයා ජනතාව තෝරා පත්කර ඇති නියෝජිතයකු බවත් ඔහු දුප්පත් තත්ත්වයක තැබීම පිණිස අති විශාල මහජන මුදලක් වැය කෙරෙමින් තිබෙන බවත් ප්‍රකාශ කර තිබුණි.

පුවත් පත්වල පළ වූ මෙම කතාව ඇත්ත වශයෙන් ම අගවිනිසුරුවරයා විසින් කරන ලද්දක්ද, කරන ලද්දේ නම් එම ධූරය දරන පුද්ගලයෙකුට එවැනි කතාවක් කිරීම කොතරම් උචිත ද යන්න සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කළ යුතුය යන යෝජනාව අගමැති ආර්. ප්‍රේමදාස මහතා විසින් 1984 අප්‍රේල් 3 වැනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ය. එය විවාදයට ලක් කරන ලදුව යෝජනාවට පක්ෂෂව ඡන්ද 120ක් ද විපක්ෂෂව ඡන්ද 6ක් ද ලැබීමෙන් යෝජනාව සම්මත විය.

ඒ අනුව 1984 අගෝස්තු 9 වැනි දින ඒ ගැන සොයා බැලීම පිණිස තේරිම් කාරක සභාවක් පත් කරනු ලැබී ය. එය අගමැති ආර්. ප්‍රේමදාස, අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ, අධිකරණ ඇමති නිශ්ශංක විජේරත්න හා එම්.සී.එම්. අබුසාලි, වසන්ත උදයරත්න, ආර්. පද්මනාදන්, එස්.වයි.එස්.බී. හේරත්, ලක්ෂෂමන් ජයකොඩි, අනිල් මුණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය.

තමන් කැමති නම් තේරිම්කාර සභාව හමුවේ පෙනී සිටින ලෙස අගවිනිසුරුවරයාට දැනුම් දුන්නද අගවිනිසුරුවරයා තේරිම් කාරක සභාව ඉදිරියට නොපැමිණ ඒ ගැන ලිඛිතව සිය අදහස් දැනුම් දුන්නේ ය.

මෙම අදහස් විනිශ්චයකාරවරයකුගේ මට්ටමෙන් පළකළ අදහස් නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සියලු පුරවැසියන්ට හිමි වී තිබෙන තත්ත්වයක් තුළ තමන් ඒ අදහස් පළ කිරීම කරන ලද්දේ ඊට අනුකූලව බවත් එම ලිඛිත ප්‍රකාශයේ සඳහන් විය.

ජනමාධ්‍යවල පළ වූ වාර්තා අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා එම උත්සවයේ පළකළ අදහස් වීය යන්න කමිටුවේ නිගමනය විය.

එසේ ම එම කතාවට ඇතුළත් ඇතැම් කරුණු ඔහු දරන ධූරයට නොගැළපෙන දේශපාලන වශයෙන් විවාදයට හේතුවන කරුණු බව ද ඒ නිසා ඒ ගැන තවදුරටත් ක්‍රියාකළ යුතු බව ද කමිටුවට ඇතුළත් සියලු ආණ්ඩු පක්ෂෂ සාමාජිකයන්ගේ නිර්දේශය විය. කමිටුවට ඇතුළත් විරුද්ධ පක්ෂෂ සාමාජිකයන් දෙදෙනාගේ මතය වූයේ එම කතාවේ එන කිසිම කරුණක් වැරදි නොවන බවත් ඒ නිසා වැඩිදුරට ක්‍රියා කිරීමක් අවශ්‍ය නොවන බවත් ය.

අගවිනිසුරවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරියට ගැනෙන්නේ ඉන් පසුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධිවිධාන අනුව අගවිනිසුරුවරයාගේ විෂම පැවැත්ම සලකා ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බව කියන ආණ්ඩු පක්ෂෂයේ මන්ත්‍රීවරුන් 57කගේ අත්සන් සහිත යෝජනාවක් 1984 සැප්. 6 වැනි දා කථානායකවරයා වෙත බාර දෙන ලද අතර ඒ අනුව කතානායකවරයා එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරමින් චෝදනා විභාග කිරීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සභාපතිත්වයෙන් රංජිත් අතපත්තු, ෆෙස්ටස් පෙරේරා, සී. රාජදොරේ, එම්.ඒ. අබ්දුලි මජීඩ්, ඊ. පෝල් පෙරේරා, අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන හා සරත් මුත්තෙට්ටුවේගම යන අයගෙන් සමන්විත පරික්ෂෂණ කාරක සභාවක් පත් කළේ ය.

අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ද පරික්ෂෂණ කාරක සභාව ඉදිරියේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ එස්. නඩේසන් මහතා ද කමිටුව හමුවේ පෙනී සිටියේ ය.

අගවිනිසුරුවරයාගේ කතාව විෂම පැවැත්ම පිළිබඳ චෝදනාවක් ඔප්පු කරන්නක් නොවූවත් එවැන්නක් ඔහු උසුලන තනතුරට නොගැළපේය යන්න හා එය ඔහු වැන්නෙකු නොකළ යුතු තරම් බරපතල වරදක්ය යන්න කමිටුවේ ආණ්ඩු පක්ෂෂ සාමාජිකයන්ගේ නිගමනය විය. එම කතාව කවර මට්ටමකින්වත් විෂම පැවැත්මක් ඔප්පු නොකරන බවත් එම කතාවේ කිසිම වැරැද්දක් නැති බවත් විරුද්ධ පක්ෂෂ නියෝජිතයන් තිදෙනාගේ මතය විය.

කමිටුව මේ නිගමන ප්‍රකාශ කරන අවස්ථාව වන විට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා සිය පදවියෙන් විශ්‍රාම ගොස් තිබුණේ ය. ඒ නිසා ඡන්ද විමසීමක් හෝ ඉවත් කිරීමක් ද අවශ්‍ය නොවී ය.

නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවල ස්වභාවයෙත්, වත්මන් අගවිනිසුරුවරයාට එල්ල වී තිබෙන චෝදනාවල ස්වභාවයයේත්, අහසට පොළොව තරම් වෙනසක් පවතී. නෙවිල් සමරකෝන් මහතා එම ධූරයෙන් පළවා හැරිමට එජාප නායකයන් දැක්වූ උනන්දුවේ ප්‍රමාණයත්, වත්මන් අගවිනිසුරුවරයා එම ධූරයෙන් පළවා හැරිමට ඇතැම් එජාප නායකයන් අද දක්වන අකමැත්තේ ප්‍රමාණයත්, අගවිනිසුරුවරයා රැක ගැනීමට ආණ්ඩුව දක්වන උනන්දුවේ ප්‍රමාණයත්, බලන විට රටේ දේශපාලනය ඇද වැටී තිබෙන පරිහානියේ තරම තේරුම්ගත හැකි ය.