චණ්ඩි ගණයෙහි ලා සැලකිය හැකි ප්රාදේශීය දේශපාලන නායකයන් පිරිසක් මතු කරගනිමින් ඔවුනට කැපී පෙනෙන බලතල දෙමින් ඔවුන් පෝෂණය කරන පිළිවෙතක් ආණ්ඩුව පවත්වාගෙන ගිය බව පැහැදිලිව දැකිය හැකිය. කෑගල්ලේ දි ආචාර්ය ජගත් බාලසූරිය වැනි තැන්පත්කමක් ඇති උගත්කමක් හා පළපුරුද්දක් ඇති පුද්ගලයන් ආණ්ඩුවට වැදගත් නොවීය. ආණ්ඩුව වැදගත් කොට සැලකුවේ චණ්ඩි බලයෙන් ක්රියාකිරීමට හැකියාවක් ඇති මහීපාල හේරත් වැනි ප්රාදේශීය නායකයන්ය. තමන් බලයට පත් කළ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නැතිකම හා මැර බලය ප්රධාන උල්පත ලෙස සැලකීම මීට හේතුවන්නට ඇති බවට සැකයක් නැත.
මේ වර්ගයේ දේශපාලකයන්ගේ ශක්තිය රැඳී තිබුණේ මැර බලය මතය. ඔවුන්ට අවශ්ය කරන එම ශක්තිය ලබාගන්නේ ප්රදේශයේ නමගිය අපරාධකරුවන්ගෙනි. මෙවැනි අපරාධකරුවන් තමන්ට රැකවරණය ලබා දෙන දේශපාලන ස්වාමියා වෙනුවෙන් අපරාධ කටයුතුවල යෙදෙනවාට අතිරේකව තමන්ට ලැබී තිබෙන දේශපාලන රැකවරණය මුවාවක් කොට ගනිමින් තමන්ට අවශ්ය කරන අපරාධ කටයුතුවල ද යෙදෙන්නේය. මේ පිරිස් තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අපරාධ කටයුතුවල යෙදි තිබෙන තත්ත්වයක් යටතේ හා අනාගත මැතිවරණ සඳහා ද ඔවුන්ගේ ආධාරය අවශ්ය තත්ත්වයක් යටතේ ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් කරන අපරාධවලදි ද ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට දේශපාලනඥයන්ට ද සිදුවන්නේය.
ආණ්ඩුවට සම්බන්ධ ප්රාදේශීය දේශපාලන බලවතුන්ට ලැබී තිබෙන අතිවිශාල බලය නිසා ඔහුගේ කිට්ටු හෙන්චයියන් ලෙස ක්රියා කරන පුද්ගලයන් කරන අපරාධවලදි ඔවුන්ට එරෙහිව යාමේ ශක්තියක් ප්රාදේශීය පොලිසිවලට නැත. බොහෝවිට ප්රාදේශීය පොලිසිවල ප්රධානීන් ප්රාදේශීය දේශපාලන බලවතාට සම්බන්ධය. ඒ නිසා ප්රාදේශීය දේශපාලන බලවතාගේ කිට්ටු හෙන්චයියන් ලෙස ක්රියා කරන අපරාධකරුවන් රැකීම ප්රාදේශීය පොලිසිවල ද නිල පිළිවෙත බවට පත්වී තිබේ.
ජනාධිපතිනිය විසින් මාවනැල්ලේ ඇතිවූ විනාශයේ වගකීම අවස්ථාවාදි බලලෝභීන් පිරිසක් වෙත භාර කර ඇතත්, එහි ඇත්ත වගකීම යා යුත්තේ මහීපාල හේරත් ඇමතිවරයාගේ මදාවිකාර ගෝල බාලයන් වෙතය. මේ සිද්ධිය වන අවස්ථාවේදි මහීපාල හේරත් ඇමතිවරයා ශ්රී ලංකාවේ සිටියේද නැද්ද යන්න වැදගත් ප්රශ්නයක් වන්නේ නැත. මහීපාල හේරත් ඇමතිවරයාගේ දේශපාලන හෙවණැල්ලට මුවා වූ පිරිසක් කලක පටන් මේ ප්රදේශවාසීන්ගෙන් කප්පම් ලබාගන්නා පිළිවෙතක් අනුගමනය කර තිබුණි. ඔවුන්ට එරෙහිව ප්රදේශවාසීන් පොලිසියට කරන පැමිණිලිවලදි ඔවුන් ඇමතිවරයාගේ කිට්ටු ගෝල බාලයන් පිරිසක් වීම හේතු කොටගෙන එම පැමිණිලි ඉදිරියේ ඇස් වසාගෙන සිටින පිළිවෙතක් පොලිසිය අනුගමනය කළේය.
අප්රේල් 30 වැනිදා රාත්රියේ මේ පිරිස මාවනැල්ල බස් නැවතුම්පොළ අසළ ඇති සහිරා හෝටලයට කඩා වැදි කප්පම් ඉල්ලා සිටි අවස්ථාවේදි හෝටලයේ අයකැමියා ඔවුන් ඉල්ලා සිටි කප්පම් ලබාදිම ප්රතික්ෂේප කළේය. එහි ප්රතිඵලය වූයේ එම පිරිස අයකැමියා හෝටලයෙන් පිටතට ගෙන අසළ තිබූ ප්රේමදාස පිළිරුවේ ගැට ගසා පහරදිමෙන් නොනැවතී ඔහුගේ මුහුණ කපා දැමීමය.
මෙම සිද්ධිය ප්රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ අතර, සාහසිකයන්ට එරෙහිව පොලිසිය ක්රියාත්මක නොවීම නිසා ප්රදේශවාසීන්ගේ කෝපය පොලිසිය වෙත ද යොමුවන තත්ත්වයක් ඇති විය. ඔවුන් පොලිසිය වටලා විරෝධය පළකරන්නට වූ විට පොලිසිය කර ඇත්තේ ඔවුන් ප්රකෝප කෙරෙන ආකාරයට ඔවුන්ට පහර දෙන පිළිවෙතක් අනුගමනය කිරීමය. සිද්ධිය විනාශකාරි ආරාවුලක් බවට පත්වී ඇත්තේ ඉන්පසුවය.
පොලිසිය ඒ අවස්ථාවේදි එම අපරාධකරුවන් පිරිසට ඇමතිවරයාට තිබෙන සම්බන්ධය නොසලකා නීතිය අකුරටම ක්රියාත්මක කළේ නම් කිසිදු විනාශයක් ඇතිවන්නේ නැත. එහෙත් පොලිසිය එහිදී අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා දැවැන්ත විනාශයක් ඇතිවූවා පමණක් නොව, ඇමතිවරයාට සම්බන්ධ පිරිසක් නිසා ඇතිවූ විනාශයට අවසානයේ වන්දි ගෙවන්නට සිදුවූයේ ද වරද කළ පුද්ගලයන් සම්බන්ධ පක්ෂයට නොව මහජනතාවටය. සිදුවූ විනාශයට මහජන මුදලින් වන්දි ගෙවනවා වෙනුවට හරි නම් වන්දි ගෙවිය යුතුව තිබුණේ එම පක්ෂයේ අරමුදල්වලිනි.
ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන් කරන වැරදිවලදි ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොවන තත්ත්වයක් මාවනැල්ලට පමණක් ආවේණික විශේෂ තත්ත්වයක් නොව, මුළු රටට ම ආවේණික පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
ද.මු. දසනායක මන්ත්රීවරයාට එරෙහිව ඇසෙමින් තිබෙන නඩුවකදි එම මන්ත්රීවරයා දිගින් දිගටම අධිකරණය මගහැර සිටින තත්ත්වයක් ඉදිරියේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කිරීමට නඩුව විනිශ්චය කරන විනිශ්චයකාරවරියට සිදුවිය. එහෙත් ඒ අධිකරණ නියෝගය අනුව තවමත් පොලිසිය එම මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැත.
වයඹ පළාත් සභා මැතිවරණයේදි ප්රදේශයේ ආණ්ඩුවේ දේශපාලන බලවතාට සම්බන්ධ මැර පිරිසක් විරුද්ධ පක්ෂයක ඡන්ද පත්රිකා බෙදාහරිමින් සිටි තරුණියක් නිරුවත් කොට බලහත්කාරයෙන් මහ මග ඇවිද්දෙව්වේය. මෙම නින්දාසහගත සිද්ධියට එරෙහිව රටේ ඇතිවූ බලවත් විරෝධය හේතු කොටගෙන එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිමට නීතිපතිට සිදුවිය. එහෙත් එම නඩුවේ ප්රධාන විත්තිකරුවකු වන වාරියපොළ ප්රාදේශීය සභාවේ සභිකයා දිගින් දිගට අධිකරණය මගහැර සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන විට පොලිසිය නිහඬව බලා සිටින ප්රතිපත්තියක් අනුගමනය කරන පිළිවෙතක් ඉදිරියේ එම පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස කටුපොත පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කිරීමට මහාධිකරණ විනිසුරුවරයාට සිදුවිය.
පාර්ලිමේන්තු මැතිවරණයේදි වෙඩි තැබීමේ සිද්ධියක් නිසා ඇතිවූ පුද්ගල ඝාතනයකට අදාළව ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා වගඋත්තකරුවකු කරමින් පවරා තිබුණු නඩුවකදි ද ඇමතිවරයා දිගින් දිගටම අධිකරණය මගහැර සිටින පිළිවෙතක් ඉදිරියේ පොලිසිය ද ඔහු අත් අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින පිළිවෙතක් අනුගමනය කරන තත්ත්වයක් ඉදිරියේ අගතියට පත් පාර්ශ්වයට අභියාචනාධිකරණය වෙත යමින් ඇමතිවරයා අත් අඩංගුවට ගැනීම සඳහා වන නියෝගයක් ඉල්ලා සිටීමට සිදුවිය. එම ඇමතිවරයා යම් තරමකට හෝ අධිකරණයට අවනත වන තත්ත්වයකට ගියේ එම නියෝගයෙන් පසුවය.
නීතියට අවනත නොවීමේ මේ ලක්ෂණය පොදු පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ මන්ත්රීවරුන් හා ඇමතිවරුන් වැනි අය කෙරෙහි පමණක් නොව, රාජ්ය නායිකාව කෙරෙන් පවා ප්රකාශ වී ඇති ලක්ෂණයකි. ඇඹිලිපිටිය ශිෂ්ය ඝාතන නඩුවෙහි ප්රධාන විත්තිකරුවකුව සිටි පැරි ලියනගේ නිදහස් විය. සියලු චෝදනාවලින් තමා නිදහස් වී සිටින තත්ත්වයක් ඉදිරියේ තමා නැවත යුද්ධ හමුදාවට බඳවා ගන්නා ලෙසත්, ලැබිය යුතුව තිබෙන සියලු උසස්වීම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ඔහු ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහු නැවත යුද්ධ හමුදාවට බඳවා ගනිමින් ඔහුට හිමි සියලු උසස්වීම් ලබාදිය යුතුය යන්න ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුව විය. එහෙත් ත්රිවිධ හමුදාවේ නිල ප්රධානියා වශයෙන් ජනාධිපතිනිය එම තීන්දුවට අවනත නොවීම නිසා තමන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා නැවත ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යන්නට සිදුවුවත්, එම නියෝගය නොපිළිගනිමින් ජනාධිපතිනියට ලැබී තිබෙන මුක්තිය යටතේ ශ්රේෂ්ඨාධිකරණයට කළ හැකි දෙයක් නැති බව ප්රකාශ කිරීමට ශ්රේෂ්ඨාධිකරණයට සිදුවිය. ශ්රී ලංකාව ඉන්නේ කෙබඳු තැනකද යන්න ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.