ජනතා විමුක්ති පෙරමුණ මරා දැමූවන් සැමරිම පිණිස ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්රදර්ශනයක අරමුණු ප්රශ්න කරමින් මා විසින් ලියන ලද ලිපියකට ඇතුළත් රිචඩ් සොයිසා පිළිබඳ සඳහනක් මහත් විවාදයට හේතුවූ මාතෘකාවක් බවට පත්වී තිබේ.
ඒ ගැන පළමු අදහස් පළකිරීම සිදුවූයේ “දි අයිලන්ඩ්” පුවත්පත මගින් සී.ඒ. චන්ද්රප්රේම මහතාය. ඉන් දින ගණනාවකට පසුව “දි අයිලන්ඩ්” පුවත්පත රිචඩ්ගේ අවතාරය යන මාතෘකාව යටතේ කතු වැකියක් පළ කළේය. රිචඩ් ඝාතනයට හේතුව ඔහුට ජනතා විමුක්ති පෙරමුණ සමග තිබුණු සම්බන්ධකම් නම් ඔහු අදහස් පළකිරිමේ නිදහස පිළිබඳ සද් ව්යාපාරය වෙනුවෙන් දිවි පිදූවකු හැටියට පෙන්නුම් කළේ ඇයි ද යන ප්රශ්නය මතුකරමින් මාගේ හා නිදහස් මාධ්ය ව්යාපාරයේ පටන් ප්රජාතන්ත්රවාදය සඳහා වූ සංවිධානයේ ද අවංකභාවය එම කතුවැකිය මගින් තියුණු ප්රශ්න කිරීමකට ලක් කොට තිබුණි.
එම කතුවැකිය පළවී තිබුණේ සෙනසුරාදාය. අධිකරණ ඇමති බැටී වීරකෝන් මහතා විසින් ලියන ලද පිළිතුරක් “ඉරීදා ටයිම්ස්” පුවත්පතේ පළවිය. එදින සවස ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති විකාශනයේ මුල් ප්රවෘත්තිය වූයේ ද “දි අයිලන්ඩ්” කතු වැකියයි. එම කතුවැකියේ එන කරුණු මත ආණ්ඩුවේ දැඩි විරෝධයට හේතුවී තිබෙන ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයට පහර ගැසීම එම ප්රවෘත්ති විකාශනයේ අරමුණ විය. පුදුමයකට මෙන් එම කතුවැකිය ඇතුළත් පුවත සඳුදා දිනයේද ගුවන් විදුලි සංස්ථාව සිය ප්රධාන ප්රවෘත්තියක් ලෙස ප්රකාශයට පත් කළේය. ඉන් නොනැවතුන ගුවන් විදුලිය එදින රාත්රී එම විවාදය අළලා විශේෂ වැඩසටහනක් විකාශය කළ අතර, ඉන්පසු අගහරුවාදා උදේ සජීවී ලෙස විකාශනය කෙරෙන “සුභාරතී” වැඩසටහන වෙන්කර තිබුණේ ද එම මාතෘකාවටමය.
ජාත්යන්තර ප්රවෘත්ති සේවයට සම්බන්ධ ජනමාධ්යවේදියකු වශයෙන් රටේ සිදුවෙමින් තිබුණු දරුණු මනුෂ්ය ඝාතන නිර්භයව ලෝකයාට වාර්තා කිරිමේ ප්රතිඵලයක් වශයෙන් එජාප ආණ්ඩුව රිචඩ් සොයිසා ඝාතනය කළේය යන්න රිචඩ් සොයිසා ඝාතනයෙන් පසුව රට තුළත්, ජාත්යන්තර වශයෙනුත් තහවුරු වී තිබුණු ජනප්රියම මතයයි. එහෙත් රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව පරික්ෂණ කටයුතු මෙහෙයවූ ප්රධාන පොලිස් නිලධාරීයාට මාගේ කිසියම් ඇඳුණුම්කමක් තිබුණු අතර, එහි ඇත්ත කුමක්දැයි වරක් මා ඔහුගෙන් විමසීමක් කළෙමි. රිචඩ් සොයිසා ඝාතනය ආණ්ඩුවේ උවමනාව මත රොනී ගුණසිංහ ප්රමුඛ පිරිසක් විසින් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන්නට ඇතත්, ඒ ඇත්ත ඉදිරියට ගැනීමේ හැකියාවක් තමන්ට නැති බව ඔහු ප්රකාශ කර සිටියේය. ඒ සමග රිචඩ් පිළිබඳව මා නොදන්නා පැත්තක් ද මා සමග ප්රකාශ කර සිටියේය. එනම් ඔහු ඉතා අහිංසක මිනිසකු නොවන බවත්, ඔහු ක්රියාකාරි ලෙස ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට පිළිගත හැකි තොරතුරු තිබෙන බවත්ය. ඔහු රිචඩ් පිළිබඳව තමා දන්නා තොරතුරු මා සමග ප්රකාශ කළේ වාර්තා කිරීම සඳහා නොව මගේ දැනගැනීම සඳහාය. ඒ අසන්නට ලැබුණු කරුණු හා බැලු බැල්මට එම කරුණුවල පෙනෙන්නට තිබුණු විශ්වසනීයභාවය නිසා රිචඩ් පිළිබඳව පැවති ජනප්රිය මතයෙන් වෙන්ව සිටීමට මට පුළුවන්කම ලැබුණ. මා ඒවා ප්රසිද්ධ කිරිමෙන් වැළකී සිටියේ එක් පුද්ගලයකුගෙන් පමණක් (විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙකුගෙන්) අසන්නට ලැබුණු කරුණු මත පිහිටා එසේ කිරීම යුක්තිසහගත නොවූ නිසාය. එහෙත් කවර අවස්ථාවකදිවත් රිචඩ් සොයිසා පුවත්පත් කලාව වෙනුවෙන් දිවි දුන් වීරයෙකු ලෙස මා හඳුන්වානැත.
එදා මට පොලිස් නිලධාරියාගෙන් රිචඩ් පිළිබඳව අසන්නට ලැබුණු තොරතුරු තහවුරු කෙරෙන අතිරේක සාක්ෂි මට සොයා ගැනීමට තවත් අවුරුදු ගණනාවක් ගතවූ බව කිවයුතුය. මා එම තොරතුරු දැනගත්තේ රිචඩ් ඇසුරු කළ ඔහුගේ ළග මිතුරෙකුගෙනි.
89-90 කැරැල්ල වනවිට රිචඩ් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ආවේගයෙන් ක්රියා කරන තත්ත්වයකට පත්ව සිටියේය. ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස නොව, ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරි ආධාරකරුවෙකු බවට පත්ව සිටියේය. ඔහුගේ මිතුරන් ඒ බව ඔහුගේ මව වෙත දැනුම් දුන්නත්, තමාට සිටින එකම පුතා ඔහු බැවින් ඔහු කරන දේවල හරි වැරදි කුමක් වුවත්, ඔහුගේ නිදහස් කැමැත්තට එරෙහිව යාමේ හැකියාවක් නැති බව ඇය ඔවුන් වෙත ප්රකාශ කළ බව ද මට දැනගන්නට ලැබුණ.
රාජ්ය නිලධාරියෙක් ශ්රී ලංකාවෙන් බැහැරව සිටි අවස්ථාවක ඔහුගේ නිවස පරිහරණය කළ පුද්ගලයා වූයේ රිචඩ්ය. රිචඩ් පරිහරණය කළ නිවස ජනතා විමුක්ති පෙරමුණ සිය රහසිගත මධ්යස්ථානයක් බවට පත් කොට ගෙන තිබුණේය. සෝමවංශ අමරසිංහ රටින් පලායන්නට පෙර නැවතුම් ගෙන සිටියේ ද එම නිවසේය. සෝමවංශ රටින් පලායාමෙන් පසුව කෙරුණු පරික්ෂණවලදි ඒ බව හෙළිදරව් වී ආරක්ෂක හමුදාවන්ට බුල්ඩෝසර් යොදා එම නිවස විනාශ කිරීමට අවශ්ය විය. එහෙත් එම රාජ්ය නිලධාරීයාගේ පවුලේ අය රන්ජන් විජේරත්න මහතාට තිබුණු දැන හැඳුනුම්කම් ප්රයෝජනයට ගෙන නිවස විනාශ කිරීම වළකා ගැනීමට සමත් විය.
රිචඩ් පැහැර ගෙන ගියේ ඔහු නිදි ඇඳේ සිටියදිය. පැහැරගෙන ගිය වුන්ට ඔහු පරිහරණය කළ උපැස් යුවළ වැදගත් නොවීය. එහෙත් ඒ උපැස් යුවළ සමග වැදගත් ලිපි ගොනුවක් ද ඒ අසළ තිබුණේය. ඒ ලිපිගොනුවේ තිබුණේ වෙනත් කිසිවක් නොව, දෙමළ ඊළාම් ප්රශ්නයට විසඳුම කුමක්ද යන හිසින් රෝහණ විජේවීර විසින් සිංහලෙන් ප්රකාශයට පත් කර තිබූ පොතේ රිචඩ් කරමින් තිබු නිම නොවූ ඉංග්රීසි පරිවර්තනයක කොළ ගොනුවකි. රිචඩ් පැහැර ගනු ලැබූ දිනයේ හිමිදිරී උදයේ රිචඩ් සමග සම්බන්ධකම් පැවැත්වූ තරුණයෙකු කලබලකාරි නිවසට පැමිණ උපැස් යුවළ සමග තිබී ඇති එම ලිපි ගොනුව ඉල්ලා ගෙන ඒ ස්ථානයෙන් වහාම අතුරුදහන් වී තිබේ.
විවාදයට හේතුවී තිබෙන මාගේ ලිපිය ප්රකාශයට පත්වීමෙන් පසුව කලක් රූපවාහිනී සංස්ථාවේ සේවය කළ නාමධාරි පුද්ගලයෙකු මා සමග කීවේ රිචඩ් පිළිබඳව එම ලිපියේ එන නිරික්ෂණ නිවැරදි බවය. එහෙත් දැන් ඒවා කතා කිරිමෙන් වැඩක් ඇත්දැයි ප්රකාශ කරමින් කැරැල්ල අවස්ථාවේදි රිචඩ් තමා හමුවී තමා වෙත ද බිහිසුණු යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවත්, තමා ඊට එකග නොවූ බවත් ප්රකාශ කර සිටියේය. එහෙත් රිචඩ් ඔහුගෙන් ඉල්ලා සිටියේ කුමක්දැයි මා ප්රශ්න කළත්, ඒ ගැන කිසිවක් ප්රකාශ කිරීමට ඔහු කැමති වූයේ නැත. රූපවාහිනී සංස්ථාව අඩපණ කිරීම සඳහා ඒ අවස්ථාවේදි දියත් කර තිබුණු වැඩපිළිවෙළ පිටුපස සිටි එක් ඔළුවක් වන්නට ඇත්තේ රිචඩ් සොයිසා බව ද ඔහු ප්රකාශ කර සිටියාය.
රිචඩ් සොයිසා මහතාගේ පවුලේ අය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ළග මිතුරන් විය. රිචඩ් සොයිසා ඝාතනය ලලිත් ඇතුලත්මුදලි මහතා මහත් කම්පනයට පත්කිරීමට හේතුවූ සිද්ධියක් බව ද මම දනිමි. ජීවිත ආරක්ෂාව සඳහා වරුණ හා අරුණ ශ්රී ලංකාවෙන් කලක් පිටමං කොට තැබීමට ලලිත් ඇතුලත්මුදලි මහතා දායක වූ බව ද ප්රකටය. ඒ දෙදෙනා ගුවන් තොටුපළට රැගෙන ගියේ ලලිත්ය. එහෙත් එම සිද්ධියෙන් කලකට පසුව රිචඩ් තමා ඇසුරු කළේ පවුලේ ළග මිතුරකු වූ නිසාද, නැත්නම් ආරක්ෂක මණ්ඩලවල රහස් හා කැබිනට් මණ්ඩල රහස් දැනගැනීමේ අරමුණින් දැයි එක් අවස්ථාවකදි ලලිත් රිචඩ්ගේ මිතුරකුගෙන් අසනු ලැබූ බව ද මට අසන්නට ලැබී තිබේ.
රිචඩ්ගේ ඝාතනය පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුවට අවශ්ය වුවත්, රිචඩ්ගේ මව ඊට විරුද්ධ වූ නිසා එම කොමිෂන් සභාව පත් නොකරන ලද බව මා ප්රකාශ කරන විට මා අදහස් කළේ අධිකරණ ඇමති බැටී වීරකෝන් මහතා අදහස් කරන සරත් මුත්තෙට්ටුවගම මහත්මියගේ ප්රධානත්වයෙන් පත් කරන ලද පොදුවේ සිදුවූ ඝාතන ගැන සොයා බලන කොමිෂන් සභාවක් නොවන බව ද කිව යුතුය. පසුව සරත් මුත්තෙට්ටුවගම මහත්මියගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වූ කොමිෂන් සභාව අනෙකුත් අතුරුදහන් කිරිම් ගැන සොයා බලන අතර, රිචඩ්ගේ අතුරුදහන්වීම ගැන ද සොයා බැලූවා විය හැකිය. එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුවට විජය කුමාරතුංග ඝාතනය ගැන පමණක් සොයා බැලීමට කොමිෂන් සභාවක් පත්කිරීමට අවශ්ය වුවා සේ, රිචඩ් සොයිසා ඝාතනය ගැන සොයා බැලීමට ද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරිමේ වුවමනාවක් තිබුණි. එහෙත් ඊට මනෝරානි මහත්මිය විරුද්ධ වීම නිසා ඒ අදහස ක්රියාත්මකවීම වැළකිණ. ඒ බව මට පළමුවෙන්ම දැනගන්නට ලැබුණේ ජනමාධ්ය ඇමති මංගල සමරවීර මහතාගෙන් බව ද කිවයුතුය. ඉන්පසු වෙනත් අයගෙන් ද ඒ බව දැනගන්නට ලැබුණ.
මා රිචඩ් පිළිඳව තොරතුරු ලබාගත් පොලිස් නිලධාරියා ඇතුළු සියලු දෙනා අදත් ජීවතුන් අතර සිටී. එහෙත් තමන් දන්නා මේ තොරතුරු ප්රසිද්ධියේ ප්රකාශ කරන තැනකට ඔවුන් පැමිණෙනු ඇත්ද නැද්ද යන්න මට කිව නොහැකිය. රිචඩ් පිළිබඳව මා දන්නා තොරතුරු ප්රකාශ කිරීම මට අවශ්ය වූයේ ද ඓතිහාසික වැදගත්කමක් ඇති සිද්ධි දාමයක අදාළ එක් වැදගත් සිද්ධියක් යථා තත්ත්වයෙන් ඉතිහාසයට එකතු වනු දැකීමට අවශ්ය වූ නිසාය.
රිචඩ්ගේ දේශපාලනය කුමක් වුවත්, ඔහු ඝාතනයට ලක් කිරීම යුක්ති සහගත විය නොහැකිය. රිචඩ්ගේ ඝාතනය පමණක් නොව, එම බිහිසුණු කාලවකවානුවේ කවර පාර්ශ්වයක් අතින්වුවත් සිදුවූ ඝාතන යුක්තිසහගත කළ නොහැකිය. එහෙත් එය සාමාන්ය කාලයක් නොවූ බව ද ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් යක්ෂාවේශවී ක්රියාකළ කාලපරීච්ඳෙදයක් වන බවද අමතක නොකළ යුතුය. අනෙක් අතට එම කාලවකවානුව තුළ ඝාතනයට ලක්වූ එකම ජනමාධ්යවේදියා රිචඩ් සොයිසා පමණක් නොවන බවද අමතක නොකළ යුතුය. ඝාතනයට ලක්වූ අනෙක් කිසිම ජනමාධ්යවේදියෙකුට නොලැබුණු අතිවිශාල ප්රසිද්ධියක් රිචඩ් සොයිසා ඝාතනයට ලැබීම කෙරෙහි රිචඩ්ගේ පන්ති පසුබිම හා විදේශ ජනමාධ්ය ආයතනයකට සම්බන්ධ ජනමාධ්යවේදියකු වශයෙන් කටයුතු කිරීම යන සාධක බලපෑවා විය යුතුය. එසේම අහිමි වූ දරුවන් වෙනුවෙන් කඳුළු හළන දස දහස් ගණනක් මව්වරුන් සිටි රටක ඒ සියලුදෙනා අතරින් දොස්තර මනෝරානි මහත්මිය පමණක් විශේෂ තත්ත්වයක් ලැබීම කෙරෙහි ද ඒ මහත්මියගේ පන්ති පසුබිම බලපෑවාය. කැරැල්ල මුළුමනින් පරාජය කොට අවසන් කොට තිබූ අවස්ථාවක රිචඩ් සොයිසා විශේෂ ඉලක්කයක් වීම කෙරෙහි ද පන්ති පසුබිම බලපෑවා විය හැකිය. රංජන් විජේරත්න මහතා රිචඩ් කෙරෙහි ඇති කරගත් විශේෂ කෝපය කෙරෙහි අපේම කෙනෙක් එසේ කළේ ඇයි ද යන ප්රශ්නය බලපෑවා විය හැකිය.
රිචඩ් සොයිසා ආශ්රයෙන් මතුවී තිබෙන මෙම කථිකාවට ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය ඈඳ ගත්තේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. වර්තමානයේ මා නිදහස් මාධ්ය ව්යාපාරයේ කැඳවුම්කරු ලෙස ක්රියා කළත්, රිචඩ් සොයිසා පිළිබඳව මා පළකර තිබෙන අදහස් මගේ පුද්ගලික අදහස් ලෙස මිස නිදහස් මාධ්ය ව්යාපාරයේ නිල අදහස ලෙස සැලකිය නොහැකිය. මා නිදහස් මාධ්ය ව්යාපාරයේ ආරම්භක සාමාජිකයකු වුවත්, මා ඉන් පිටස්තරව සිටි දිර්ඝ කාලයක් තිබුණි. නැවත මා ඊට සම්බන්ධ වූයේ 1998දිය. නිදහස් මාධ්ය ව්යාපාරය ජනමාධ්යවේදින් පිරිසකට සීමාවූ අදහස් ප්රකාශ කිරිමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ව්යාපාරයකි. එහෙත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ සන්ධානය විශාල සංවිධාන එකතුවකින් යුතු ප්රජාතන්ත්රවාදී නිදහස වෙනුවෙන් පෙනී සිටින ව්යාපාරයකි. නිදහස් මාධ්ය ව්යාපාරය ද එම සංවිධාන එකතුවට ඇතුළත්ය. එහෙත් එය නිදහස් මාධ්ය ව්යාපාරයේ ව්යාපාරයක් ලෙස හැඳින්වීම වැරදිය. ජනාධිපති ප්රේමදාස මහතාගේ මරණයෙන් පසුව මිස, ඊට පෙර නිදහස් මාධ්ය ව්යාපාරයක් නොතිබුණු බව බැටී වීරකෝන් මහතා කරන කතාවද ප්රලාඵයකි. නිදහස් මාධ්ය ව්යාපාරයේ ප්රථම ප්රසිද්ධ රැස්වීම පවත්වන ලද්දේ නව නගර ශාලාවේදි 1992 වසරේ ජූනි 2 වැනිදාය. ඊට සහයෝගය පිණිස එහි පැමිණ සිටි අය අතර, දේශපාලන බල අධිකාරයේ ප්රධාන තැන් හොබවන චන්ද්රිකා කුමාරතුංග, මංගල සමරවීර, එස්.බී. දිසානායක, නන්දිමිත්ර ඒකනායක යන මහත්ම මහත්මීහු ද වූහ.