පසුගිය අප්රේල්වලදි පැවති මධ්යම පළාත් සභාවේ ඡන්දයට අදාළව ඉදිරිපත් වී තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් අළලා ශ්රේෂ්ඨාධිකරණය දි තිබෙන තීන්දු මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීම අරබයා ඉතා වැදගත් මූලික ප්රශ්න ගණනාවක් මතු කරයි.
ශ්රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති ආකාරයට පෙත්සමට අදාළ බල ප්රදේශය වන උඩුදුම්බර, පාතදුම්බර, හේවාහැට හා ගලගෙදර යන ඡන්ද කොට්ඨාශවල පැවති ඡන්දය අන්ත දූෂිතය. එක් ඡන්ද මධ්යස්ථානයක් වෙනුවට එම බලප්රදේශයට ඇතුළත් ඡන්ද මධ්යස්ථාන 23 ම ඡන්ද අවලංගු කොට නැවත ඡන්දයක් තැබීමේ වගකීමක් මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණු බව ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි. එම ඡන්ද මධ්යස්ථාන 23 පැවති දූෂණ නිසා පොදු ප්රතිඵලය කෙරෙහි බලපෑමක් සිදුවීමේ ඇත්ත හැකියාවක් තිබුණු බව ද ශ්රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම වී තිබේ. පිරිසිදු ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා අවංක උත්සාහයක් දරා ඇතත්, වෙනත් තැන්වලින් ඊට අවහිරකම් සිදුවී ඇති බවද, එහෙත් ඒ සියලු අවහිරකම් තිබියදිත් මැතිවරණ කොමසාරිස්වරයාට වගකීමෙන් නිදහස් වීමේ හැකියාවක් නැති බව ද ප්රකාශ කරන ශ්රේෂ්ඨාධිකරණය ඒ මගින් පෙත්සම්කරුවන්ගේ අදහස් ප්රකාශ කිරිමේ නිදහස, සමානතා නිදහස, සමාන ලෙස ආරක්ෂාව ලැබීමේ නිදහස මැතිවරණ කොමසාරිස්වරයා විසින් උල්ලංඝණය කර ඇති බව ද නිගමනය කළේ ය.
විධායකයේ අනෙක් අවයවවල අක්රියතාව නිසා මේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් ඊට ප්රතිකර්ම නෙකොට අක්රීයව සිටීමට විධායකයේ තවත් අවයවයක් වන මැතිවරණ කොමසාරිස්වරයාට නොහැකි බව ද ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කරයි.
ශ්රේෂ්ඨාධිකරණයේ මේ නිරික්ෂණ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා යොදා ගත් විට ලැබෙන චිත්රය කොතරම් බිහිසුණු ද? ශ්රේෂ්ඨාධිකරණය ප්රකාශ කර තිබෙන ආකාරයට “ඡන්දයක් පැවැත්විණැයි නාමික පෙනුමක් ලබාදිම ප්රමාණවත් නැත. පාර්ලිමේන්තුවේ අභිමතය වනුයේ සැබෑ ඡන්දයකි. නිකම්ම රැවටිල්ලක් හෝ ප්රෝඩාවක් නොවේ.” එහෙත් ඇත්තටම ක්රියාත්මක වන්නේ රැවටිල්ලක් හා ප්රෝඩාවක් නොවේ ද?
ජනාධිපතිවරණයේ දි රජයේ මුද්රණාලයෙන් පිටස්තරව මුද්රණය වූ හොර ඡන්ද පත්රිකා සංවිධානාත්මකව රට පුරා පාවිච්චි කර ඇති බවට බලවත් චෝදනාවක් එල්ල වී තිබේ. එවැනි සැකයක් මැතිවරණ කොමසාරිස්වරයා කෙරෙන් ද ප්රකාශ විය. ඒ පිළිබඳව විවෘත පරික්ෂණයක් පවත්වන ලෙස ප්රජාතන්ත්රවාදය සඳහා වූ සන්ධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත්, මැතිවරණ කොමසාරිස්වරයා අද දක්වා ඒ ගැන නිහඬ ය.
බරපතල වැරදි නැවත ඇතිවීම වැළකිය හැකි වනු ඇත්තේ සිදුවී ඇති වැරදි ගැන සාධාරණ සොයා බැලීමක් කරන්නේ නම් පමණ ය.