දේශපාලන චරිත විවිධ ආකාරවලින් විවිධ තලවල උපහාසයට ලක්කිරීම ශ්රී ලංකාවට පමණක් ආවේණක ලක්ෂණයක් නොව, මුළු ලෝකයට ම ආවේණක පොදු ලක්ෂණයකි. උපහාසය තුළ එක්තරා ප්රමාණයක අපහාසයක් ද තිබිය හැකි අතර, ඉතාමත් අහිංසක උපහාසයක් පවා අපහාසයක් ලෙස සලකන නායකයන් ද සිටිය හැකි ය. පුදුමයට මෙන් එජාප පෙළපාලියේ ගමන් ගත් කාන්තාවක් ජනාධිපතිනිය ලෙස වෙස් ගැන්වීමේ සිද්ධිය එවැන්නක් මීට පෙර රටේ සිදුවී නැති දෙයක් ලෙස මහා කතාබහකට හේතුවූ අතර එම කතාබහ කෙළවර වූයේ ද එම කාන්තාවගේ නිවස ඉලක්ක කොට එල්ල කරන ලද මහා ප්රහාරයකිනි.
දේශපාලන පෙළපාලිවලදි මෙවැනි දේවල් මීට පෙරද, බොහෝ අවස්ථාවලදි සිදුවිය. මැයි දින පෙළපාලිවලට මෙවැනි අංග සාමාන්යයෙන් දැකිය හැකිය. එජාප යුගයේදි විරුද්ධ පක්ෂ මැයි දින පෙළපාලිවලදි ද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ලෙස, ජනාධිපති ආර්. ප්රේමදාස ලෙස පමණක් නොව, හේමා ප්රේමදාස මහත්මිය ලෙස වෙස් ගැන්වූ චරිත ගමන් ගෙන ඇත්තේය. නැත්නම් එවැනි නායකයන්ගේ ආකෘතිවලට තනන ලද රූකඩ එම පෙළපාලිවල ගෙන ගොස් ඇත්තේය. කමලාවතී සිද්ධිය පමණක් විශේෂ කතාබහකට හේතුවූයේ මීට පෙර කොතෙකුත් එවැනි දේවල් සිදුවී තිබුණද එවැනි දෙයක් උලුප්පා රූපවාහිනියට ගෙන මහා පරිමාණයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු ප්රථම අවස්ථාව මෙය වීම නිසාය. අනෙක් අතට එම කාන්තාව කෙරෙන් ප්රකාශ වූ වෙස්ගැන්වීමේ සිද්ධියට උද්වේගකර බවක් ලැබීම කෙරෙහි වඩාත්ම බලපා ඇත්තේ කොටි සංවිධානයේ බෝම්බ ප්රහාරය නිසා ආබාධිත තත්ත්වයට පත් ජනාධිපතිනියගේ ඇස එම චරිත නිරූපණය සඳහා යොදාගැනීම නිසාය.
ජනාධිපතිනිය සිය ආබාධිත ඇස ලින්ට් කැබැල්ලකින් වසාගෙන සිටින පිළිවෙතක් අනුගමනය නොකරයි. එහෙත් මොෂේ ඩයාන් සිය ආබාධිත ඇස ආවරණයකින් වසාගෙන සිටියේය. ජනාධිපතිනිය බෝම්බ ප්රහාරයෙන් පසුව ජනාධිපතිනිය ලෙස දිවුරුම් දෙන අවස්ථාව වනවිට එම ඇස ශල්ය කර්මයකට ලක් කර තිබීම හේතු කොටගෙන දිවුරුම් දෙන අවස්ථාවට ඇය සහභාගි වූයේ එම ඇස ලින්ට් කැබැල්ලකින් ආවරණය කොටගෙනය. එහෙත් එය එම විශේෂ අවස්ථාවට පමණක් සීමාවූ තාවකාලික දෙයක් විය.
එම ඇස සංකේතවත් වන ආකාරයේ වෙස් ගැන්වීමක් කොතරම් සුදුසුද යන්න සලකා බලන අවස්ථාවක එජාපය පමණක් නොව පොදු පෙරමුණු ආණ්ඩුව ද ආවරණය කරන ලද ඇස සහිත ඡායාරූපය බොහෝ අවස්ථා සඳහා යොදාගෙන ඇත්තේය යන කරුණ ද සැලකිල්ලට ගත යුතුය. නිදහස් උත්සවය සඳහා ආණ්ඩුව විසින් නිකුත් කරන ලද පෝස්ටරයට ද එම ආවරණය කරන ලද ඇස සහිත ඡායාරූපය ඇතුළත් කොට තිබුණි. ඉන්පසු ධර්ම යාත්රා වැඩපිළිවෙළ සඳහා ආණ්ඩුව නිකුත් කරන ලද පෝස්ටරයට ඇතුළත් වූයේ ද එම ඡායාරූපයයි.
අනෙක් අතට බැලු බැල්මටම එතරම් උචිත නොවන බව පෙනෙන මෙවැනි ආරෝපණය කිරිම් එජාප දේශපාලන සංස්කෘතියට පමණක් නොව, පොදු පෙරමුණු දේශපාලන සංස්කෘතියට ද ආවේණක පොදු ලක්ෂණයක් වූ බව ද අමතක නොකළ යුතුය. පසුගිය මැතිවරණ දෙකේදි පොදු පෙරමුණ විසින් නිකුත් කරන ලද පෝස්ටරයක රනිල් වික්රමසිංහ ඡායාරූපය දක්වා තිබුණේ ඩ්රැක්යිුලාගේ වැනි ලේ සහිත දත් දෙකක් ඉදිරියට නෙරා තිබෙන ආකාරයටය.
කාටුන් චිත්ර ශිල්පීන් දේශපාලන චරිත නිරූපණයේදි එම පුද්ගල චරිතවලට අදාළ ශරිරවල ඇති ඇතැම් විශේෂ ලක්ෂණවලට බර තබන ප්රතිපත්තියක් අනුගමනය කරයි. බොහොමයක් කාටුන් ශිල්පීහු රෝහණ විජේවීරහෝ ජනාධිපති ඩී.බී. විජේතුංග නිරූපණය කරන අවස්ථාවලදි ඉදිරියට නෙරා ඇති දත් හුවා දැක්වූහ. ජේ.ආර්. ජයවර්ධන නිරූපණය කිරිමේදි ගිරා නාසයක්ද, ආර්. ප්රේමදාස නිරූපණය කිරිමේදි පෙට්ටි හැඩයක්ද ආරෝපණය කළහ. කාටුන් චිත්ර ශිල්පියෙකුට මහාචාර්ය ජී.එල්. පිරිස්ගේ පිටේ ඇති සුළු ඇදයද, කර්නල් අනුරුද්ධ රත්වත්තගේ බස්තම හා කොරය ද වැදගත්ය.
සියලුම ජන නායකයන්ට මහජනයා විසින් හෝ විරුද්ධ පක්ෂ විසින් හෝ ආරෝපණය කරන ලද අන්වර්ථ නාම තිබුණි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක “සෙවල බණ්ඩා” වශයෙන්ද, ඩඩ්ලි සේනානායක “පච බාහු” වශයෙන්ද, සර් ජෝන් කොතලාවල දීවල් ජෝන්” වශයෙන්ද, ඩබ්ලිව්. දහනායක “වවුලා” වශයෙන්ද, ජේ.ආර්. ජයවර්ධන “යැංකි ඩිකී” වශයෙන්ද හැඳින්විණ. එජාපය චන්ද්රිකාට ආරෝපණය කර ඇති නාමය වී ඇත්තේ “පච මල්ල” යන්නය. පොදු පෙරමුණ එජාප නායකයාට ආරෝපණය කර ඇති අලුත්ම නාමය වී ඇත්තේ “මිස්ටර් බීන්” යන්නයි.
ජනාධිපතිනිය මේ මෑතකදි කරන ලද රූපවාහිනී සාකච්ඡාවකදි කමලාවතී සිද්ධිය පිළිබඳව සිය අදහස් පළ කළාය. කමලාවතීගේ ක්රියා කලාපය පිළිබඳව ජනාධිපතිනිය හිතන්නේ කෙසේදෑයි අසන්නියක් ජනාධිපතිනියගෙන් ප්රශ්න කළාය. ඇය තමා වගේ දැයි පෙරළා ප්රශ්න කරන අතර, ජනාධිපතිනිය ප්රකාශ කළේ එය එසේ වේ නම්, තමා දිවි නසාගන්නා බවය. එම පිළිතුර තුළ ඇති අවඥාව තුළ පන්ති කෝණයක් ඇති බව පෙනේ. තමා වැනි ප්රභූ පන්තියෙන් පැවත එන කෙනෙකුගේ චරිතය එම පන්තියෙන් පිටස්තර පහළම සමාජ තීරුවක් නියෝජනය කරන කමලාවතී වැනි දුප්පත් හා නූගත් ගැහැනියක් විසින් නිරූපණය කිරීම මගින් තමන්ට අපහාසයක් කර ඇත්තේය යන හැගීම එම පිළිතුර තුළ අඩංගුය.
කමලාවතීගේ චරිත නිරූපණ ක්රියාවලිය හෙළා දකින්නට විශාල විචාරකයන් පිරිසක් රටේ සිටියත්, ඒ නිසාම ඇයට මුහුණ දෙන්නට සිදුවූ බිහිසුණු ඉරණමේදි ඒ කිසිවකු එම සාහසික සිද්ධිය හෙළා දකින්නට ඉදිරිපත් නොවීය. “ලයිව් ඇට් එයිට්” වැඩසටහනේ මනූෂ නානායක්කාර ඇගේ නිවසට එල්ල කරන ලද පහරදිම විග්රහ කළේ ඇය කළ වරදට මේ ආත්මයේදිම සිදුවූ පඩිසන් දිමක් ලෙසය. අපට ජීවත්වන්නට සිදුවී ඇත්තේ කොතරම් සාහසික සමාජයකද?
කමලාවතීගේ රද්දොලූගම නිවසට එල්ල කරන ලද ප්රහාරය මහජන කෝපය නිසා සිදුවූවක් ලෙස හෝ දේව කෝපය නිසා සිදුවූවක් ලෙස සැලකිය නොහැකිය. පහර දෙන්නට පැමිණ අය පැමිණ තිබුණේ සර්ච් ලයිට් පියසේ සවිකළ ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනවලිනි. එහි හැඩතල ප්රසිද්ධ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ නිවස ඉලක්ක කොටගෙන සිදු කෙරුණු ප්රහාරයට සමානය.
කමලාවතී සිද්ධිය මේ ආකාරයට සිදුවූ පළමු සිද්ධිය ලෙස සැලකිය නොහැකිය. මීට වසර කිහිපයකට පෙර පවිත්රා වන්නිආරච්චි නියෝජ්ය ඇමතිවරියගේ බල ප්රදේශයට අයත් පාසලක සිගිත්තන් සඳහා පැවති විකට ඇඳුම් තරගයකදි සිගිති දැරියක් ඇමතිනියගේ චරිතය අභිනයෙන් නිරූපණය කළාය. එය උත්සව සභාවට සහභාගි වූ සියලුදෙනාගේ විනෝදයට හේතුවුවත්, එය කෙළවර වූයේ එදින රාත්රී විදුහල්පතිවරයාගේ නිවසට එල්ල කෙරුණු දැවැන්ත ප්රහාරයකිනි. කමලාවතී සිද්ධිය ද එම ක්රියාවලියේම තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහි තේරුම මතවාදි විසංවාදයන්ට තිබෙන ඉඩකඩ ශීඝ්ර ලෙස පටුවෙමින් තිබෙන බවය.