තමන්ට රජ සැප ඇත්නම් රට මකබෑවී ගියත් කම් නැතැයි සිතන ඇමතිවරු

February 25, 2001
Publication:
Despite the President's circular limiting ministers to three vehicles, Planning Minister Pavithra Wanniarachchi uses fourteen, including seven kept from the Health Ministry, as does former Health Minister Nimal Siripala de Silva, so the new Health Minister borrows vehicles from the Labour Ministry. The piece also cites S.B. Dissanayake's granite in his new official residence and warns that the country is at the limit of such greed.

ඇමතිවරුන් පාවිච්චි කරන වාහන සංඛ්‍යාව තුන දක්වා සීමා කරන ලෙස ජනාධිපතිනිය ඇමතිවරුන්ට දැනුම් දි තිබේ. ඒ සඳහා වන අලුත් චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ද ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. එහෙත් ක්‍රම සම්පාදන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාවිච්චි කරන වාහන සංඛ්‍යාව 14කි. ජනාධිපතිනියගේ නියෝගයක් තිබියදිත් ඇය ගණන්කාරියක ලෙස කියන්නේ තමාට එතරම් වාහන සංඛ්‍යාවක් අවශ්‍ය බවත් තමා ඒවා පාවිච්චි කරන බවත් ය.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති වාහන සංඛ්‍යාව 07කි. හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරීපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති වාහන සංඛ්‍යාව 08කි. දෙදෙනාම දැන් සේවය කරන්නේ වෙනත් අමාත්‍යාංශවල වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන ආපසු ලබා දි නැත. ඒ නිසා දැන් සෞඛ්‍ය ඇමතිවරයා තමාට අවශ්‍ය වාහන තුනක් ලබාගෙන ඇතැයි කියන්නේ කම්කරු අමාත්‍යාංශයෙනි. මෙය කොතරම් ඛේදජනක තත්ත්වයක්ද?

මහජනතාවගේ පටි තද කරමින් තිබුණත් ඇමතිවරු රටේ පවතින තත්ත්වය පිළිබඳ කිසිම හැගීමකින් තොරව සිය සුඛෝපභෝගී වුවමනාවන් සඳහා හිතේ හැටියට පොදු මුදල් පරිහරණය කරති. රත්නසිරී වික්‍රමනායක මහතාගේ නිල නිවසේ පදිංචියට ගිය එස්.බී. දිසානායක මහතාට ඒ නිවසේ අල්ලා තිබූ ටයිල් හොඳ මදි වී අල්ලා තිබූ ටයිල් ඉවත් කොට විශාල වියදමක් දරා ග්‍රැනයිඩ් ඇල්ලු පුවතක් පුවත් පත්වල පළ වී තිබුණි. රට මකබෑවී ගියත් තමන්ගේ මඩිය තර කර ගැනීම ඇමතිවරුන් වැඩි පිරිසකගේ වුවමනාව වී තිබෙන බව පැහැදිලි ය.

ආශාවන් සීමා රහිත විය හැකි වුවත් කෑදරකමට සීමාවක් තිබිය යුතු ය. රටට ගෙවන්නට සිදු වී ඇත්තේ දුෂ්කර කාලයක් නම් මහජනයා මත බර පටවන්නට පෙර රට කරවන අය මහජනයාට ආදර්ශමත් විය යුතු ය. හොඳ මහජන සේවාවක් සඳහා ක්‍රම සම්පාදන ඇමතිනිය වැනි කෙනෙකුටත් වාහන දුසිමකට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය නම් රටට දෙයියන්ගේ ම පිහිට ය. ඇමතිවරුන් වැඩි පිරිසකට ඇති තරම් සැප විඳීම හා හිතේ හැටියට හරි හම්බ කර ගැනීම මිස රටට හෙණ ගැහුවත් කම් නැත. එහෙත් මේ ආකාරයට රටකට යා හැකි දුරේ ද සීමාවක් පවතී. දැන් රට ඒ සීමාවේ අද්දරටම පැමිණ ඇති බව පෙනේ.