ජනාධිපති ඡන්ද පෙත්සම ඉවත් කරගැනීම

February 18, 2001
Publication:
The UNP has withdrawn its petition against Kumaratunga's election, citing, through deputy leader Gamini Atukorale, Supreme Court rulings that limited evidence and demanded proof that it lost 1,230,258 votes to malpractice. Ivan shows by arithmetic that far fewer votes would have changed the result, or forced a second count since she cleared 50 per cent by only 5,489 votes, and urges the Elections Commissioner to investigate allegations of forged ballot papers.

ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ තේරිපත්වීමට එරෙහිව එජාපය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණු පෙත්සම ඉවත් කරගත්තේය. ඉන්පසු පක්ෂයේ උපනායක ගාමිණ අතුකෝරාල මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදුකෙරෙමින් තිබෙන ආකාරය පිළිබඳව ප්‍රධාන විරුද්ධ පක්ෂය තුළ ඇතිවී තිබෙන අතෘප්තියේ ප්‍රමාණයයි.

ගාමිණ අතුකෝරාල මහතාගේ නිවේදනයේ එන කරුණු අනුව පෙත්සමට ඇතුළත් සමහර චෝදනා සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ නොදුන්නේය. දූෂණ සිදුවූ බවට පෙත්සමේ සඳහන් කොට්ඨාශ 87න් 67ක් සඳහා පමණක් සාක්ෂි ඉදිරිපත් කිරීමට ඉඩ දෙන අතර, පෙත්සම ඔප්පු කිරීමට දූෂණ නිසා සිය අපේක්ෂකයාට තවත් ඡන්ද 1230258ක් හෙවත් 29.32%ක් ලබාගත හැකිව තිබූ බව සනාථ කිරීම ද අවශ්‍ය විය.

පහසුවෙන් ඔප්පු කළ හැකිව තිබුණු චෝදනා විභාග කිරිමෙන් වැළකී නිශ්චිතව ඔප්පු කිරීමට අමාරු චෝදනා සඳහා පමණක් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. ඒ අනුව මැතිවරණයකදි ආණ්ඩුවේ ජනමාධ්‍ය නීති විරෝධී ලෙස යොදා ගැනීම, මැතිවරණ දිනට පෙර පැය 72ක කාලයක් ඡන්ද කටයුතුවල යෙදිමෙන් වැළකී සිටීම, මැතිවරණ කටයුතු සඳහා රජයේ සම්පත් පාවිච්චි කිරීම, ඡන්දය ලබාගැනීම සඳහා පත්වීම් ලබාදිම වැනි වැරදි තවදුරටත් බරපතල වැරදි ලෙස නොසලකන තත්ත්වයක් රටේ ඇතිවිය හැකිය.

පෙත්සම සනාථ කිරීම සඳහා එජාප අපේක්ෂකයාට මැතිවරණ දූෂණ, නොවී නම් තවත් වැඩිපුර ඡන්ද 1230258ක් හෙවත් 29.32%ක් ලබාගත හැකි බව ඔප්පු කරන ලෙස ඉල්ලා සිටියේ ඇයිද යන්න ද නොපැහැදිලිය.

එම මැතිවරණයේදි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4312157ක් විය. එජාප අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3602748ක් විය. දූෂණ නොවන්නට එජාප අපේක්ෂකයා ලබන ඡන්ද සංඛ්‍යාව වර්ධනය වන තත්ත්වයක් ඉදිරියේ පවා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලැබුණු ඡන්ද සංඛ්‍යාව නොවෙනස්ව පවතිනු ඇතැයි උපකල්පනය කළත් (එවැනි උපකල්පනයක් නිවැරදි විය නොහැකිය.) චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අභිබවා එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය වනුයේ ඡන්ද 1230258ක් නොව ඡන්ද 709410ක් පමණය.

ඡන්ද දූෂණ යන්නෙහි තේරුම එක් පුද්ගලයකුට ලැබෙන ඡන්ද නීති විරෝධී ලෙස අහිමි කිරීම පමණක් විය නොහැකිය. නීති විරෝධී ලෙස ඡන්ද හිමිකර ගැනීමක් ද විය හැකිය. ඡන්දපොළ මධ්‍යස්ථානයක සිටින විරුද්ධ පක්ෂ නියෝජිතයන් පළවා හැරිම මගින් හා විරුද්ධ පාක්ෂිකයන් වෙත ඒ සමග පිටස්තර සිට කෙරෙන බියගැන්වීම් මගින් විරුද්ධ පක්ෂවලට ලැබෙන ඡන්ද සීමාකිරීමක් පමණක් නොව, ආණ්ඩු පක්ෂයට නීති විරෝධී ලෙස ඡන්ද පාවිච්චි කිරීමට ඉඩලබාගැනීමක් ද සිදුවේ. ඒ නිසා එක් අපේක්ෂකයකුට ලැබෙන ඡන්ද සීමාවී දූෂණයට සම්බන්ධ ඡන්ද අපේක්ෂකයාට ලැබෙන ඡන්ද ප්‍රමාණය කෘතීම වශයෙන් වැඩිවීමක් ද සිදුවන්නේය. එහෙත් ඡන්ද දූෂණවලට ආවේණක මෙම ද්විත්ව ලක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත. නිදර්ශනයක් වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලැබෙන ඡන්ද සංඛ්‍යාව 354705කින් අඩුවී ඒ ගණන එජාප අපේක්ෂකයාට එකතු වී නම් සමස්ත ප්‍රතිඵලය ද වෙනස් වන්නේය.

අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළමු ගණන් ගැනීමකින් සිදුවන ජයග්‍රහණයක් සඳහා ජයග්‍රාහකයා මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වැඩියෙන් ලබාගැනීම අත්‍යවශ්‍යය. එසේ නොවෙතොත්, දෙවැනි ගණන් ගැනීමට යන්නට සිදුවේ.

ජනාධිපතිවරණයේදී මුළු ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාව 8635290කි. ඉන් අඩක් යනු 4317645කි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පළමු වටයේ ගණන් ගැනීමකින් ලබන ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩිපුර ලබාගෙන තිබුණේ ඡන්ද 5489ක් පමණය. ඡන්ද 5490ක වෙනසක් දෙවැනි වර ගණන් ගැනීමක් කරා යන තත්ත්වයක් ඇති කිරීමට ඉඩක් තිබුණු බව ඉන් පෙන්නුම් කරයි.

ඡන්ද පෙත්සම් ක්‍රමයකට ඉඩ තබා ඇත්තේ ඡන්දයකදි දූෂිත ලෙස තේරි පත්වන තත්ත්වයකට ඉඩ නොතැබීම සඳහාය. ජයග්‍රාහකයා තේරිපත්වන්නේ දූෂිතව වුවත් ජයග්‍රාහකයා ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම ලෙස සලකන තත්ත්වයක් ඇති වුවහොත් තේරි පත්වීම සඳහා කෙරෙන තරග ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීම නොවැළැක්විය හැකිය. වයඹ ඡන්ද අන්ත දූෂිත තත්ත්වයක පැවතියත් එම තේරි පත්වීම නීති විරෝධී වීමක් ද සිදු නොවීය. එය මහජනතාව තුළ නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමයි.

ඡන්ද පෙත්සමකදි දූෂණ නිසා වැරදි පුද්ගලයකු තේරි පත්වීමක් හඳුනාගත හැකි අවස්ථා තිබිය හැකිය. එසේම ජයග්‍රාහකයා කවුරුන් විය හැකිද යන්න හඳුනාගැනීමට බැරී අවස්ථා ද තිබිය හැකිය. ඡන්ද දූෂණ ඔප්පු වී ඇති අවස්ථාවක ජයග්‍රාහකයා සහ පරාජිතයා අතර තිබෙන පරතරය ඉතා විශාල වුවත් මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කොට ඊළග මැතිවරණයේදි දූෂණ සිදුවීමට තිබෙන ඉඩකඩ ඇහිරිමට හේතුවන විධි විධාන ඇති කොට, නැවත පිරිසිදු මැතිවරණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරිවීම අධිකරණයේ වගකීමකි. තහනම් උත්තේජක භාවිතා කොට කිසියම් පුද්ගලයකු තරගයක් ජයග්‍රහණය කළ අවස්ථාවකදි දෙවැන්නා අතර පරතරය මැන පරතරය ඉතා විශාල වන අවස්ථාවකදි තහනම් උත්තේජකයෙන් ලැබී තිබෙන වේගය ඉවත් කළ පසුත් ජයග්‍රාහකයා වැඩි වේගයක් පෙන්නුම් කර ඇති බව කියමින් නීති විරෝධී ලෙස ජයගත් තැනැත්තාගේ ජයග්‍රහණය යුක්තිසහගත කිරීමක් නිවැරදි වන්නේ නැත. අධිකරණය ප්‍රධාන කොට සොයා බැලිය යුතුව තිබුණේ දූෂණ නොවී නම්, ජයගැනීමට පුළුවන්කම තිබුණේ කාටද යන්නට වඩා සිදුවූ දූෂණ ප්‍රතිඵල අවලංගු කොට නැවත මැතිවරණයක් පැවැත්වීමට තරම් බරපතල වී ද නැද්ද යන්නයි.

ජනාධිපතිවරණයට එරෙහිව මතුවී තිබුණු ලොකුම චෝදනාව වූයේ ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරෙන නිල ඡන්ද පත්‍රිකාවලට සමාන හොර ඡන්ද පත්‍රිකා විශේෂයක් ඉතාමත් සංවිධානාත්මක ආකාරයකින් බොහෝ ප්‍රදේශවල පාවිච්චි කර ඇත්තේය කියන චෝදනාවය. එය ඇත්තක් නම්, ඉදිරිපත්වී තිබෙන සියලු චෝදනා අතරින්එය වඩාත්ම බරපතල චෝදනාව ලෙස සැලකිය හැකිය. අනෙක් අතට ඉදිරිපත් වී තිබෙන සියලු චෝදනාවලට වඩා ඇත්ත නැත්ත පහසුවෙන්ම සොයා බැලිය හැකි චෝදනාව වනුයේ ද එයයි.

ජනාධිපතිවරණයේදී පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා විනාශ කළ නොහැකිය. එම ඡන්ද පත්‍රිකා අතර ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුද්‍රණය නොවූ ඡන්ද පත්‍රිකා වේ නම් එය සරල පරික්ෂණයකින් හඳුනාගත හැකිය. ව්‍යාජ ඡන්ද පත්‍රිකා භාවිතා වී ඇත්නම් ඒවායේ ප්‍රමාණය සේ ම එම ඡන්ද පත්‍රිකාවලින් ඡන්දය පාවිච්චි කොට ඇත්තේ කාටද යන්න ද හඳුනාගත හැකිය.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා භාවිතය පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාව මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රතික්ෂේප කර නැත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ව්‍යාජ ඡන්ද පත්‍රිකාවලට ඉඩක් නොලැබෙන ලෙස මැතිවරණ කොමසාරිස් වරයාට විශේෂ විධි විධාන යොදාගන්නට සිදුවූයේ ද එම චෝදනාව සුරංගනා කතාවක් නොවූ නිසාය.

මැතිවරණ පෙත්සම ඉවත් කරගැනීමත් සමග ජනාධිපතිවරණයට අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වී ඇති බැවින් දැන් බෝලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ අතේය. පසුගිය ජනාධිපතිවරණයේදී ව්‍යාජ ඡන්ද පත්‍රිකා භාවිතයක් වී ද යන්න ගැන අපක්ෂපාත හා විවෘත පරික්ෂණයකට යන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානය මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටී. එම ඉල්ලීම නොසලකා සිටීමේ හැකියාවක් මැතිවරණ කොමසාරිස්වරයාට නැත. ඉතා වැදගත් දේ මහජනයා අතර ඒ පිළිබඳව සැකයක් ඇත්නම් එය දුරු කිරීමය. වරදක් සිදුවී ඇත්නම් එය සොයා බලා නැවත එවැනි බරපතල වරදක් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීය හැක්කේත්, වරදක් සිදුවී නැත්නම් මහජනයා තුළ පවත්නා සැකය දුරු කළ හැකිවනු ඇත්තේ ද ඒ ගැන වන සාධාරණ හා විවෘත පරික්ෂණයකට යාමෙන් පමණය.

එහෙත් පරික්ෂණයකදි ව්‍යාජ ඡන්ද පත්‍රිකා භාවිතා වී ඇති බව ඔප්පු වී, භාවිතා වී ඇති ව්‍යාජ ඡන්ද පත්‍රිකාවල ප්‍රමාණය ද විශාල බව ඔප්පු වුවහොත් සමස්ත ජනාධිපතිවරණයට ලැබී තිබෙන සුජාතභාවයේ ද බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය.