පසුගිය 17 වැනිදා අලව්වේදී සිදුවූ මහා දුම්රිය අනතුර ආශ්‍රයෙන් හෙළිදරව් වී තිබෙන තොරතුරු අනුව පෙනීයන්නේ දුම්රිය මිලදී ගැනීමේදී හා ඒවා භාවිතයට යොදා ගැනීමේදී අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගතයුතු ප්‍රමිති තත්ත්වයන් වගකිවයුත්තන් සැලකිල්ලට ගෙන නැති බවය. ෆයිබර් ග්ලාස් යොදා නිපදවන මෝටර් රථ ගැන අප අසා ඇතත්, ෆයිබර් ග්ලාස් යොදා නිපදවන දුම්රිය බලවේග කට්ටල් ගැන මීට පෙර අප අසා නැත. මෝටර් රථයක ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉතා සීමිතය. එහෙත් දුම්රියක මගීහු දහස් ගණනක් ගමන් ගනිති. සැහැල්ලු මෝටර් රථ සඳහා මිස බරවාහන සඳහා පවා ෆයිබර් ග්ලාස් යොදාගන්නේ නැත. මෙවැනි අනතුරුදායක අත්හදා බැලීමකට එකඟ වූයේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය.
දුම්රිය ඉංජිනේරුවන් ප්‍රකාශ කරන ආකාරයට මෙම දුම්රිය බලවේග කට්ටල් ලංකාවට ගෙන්වීමෙන් පසුව ඒවාහි තිරිංගවල දෝෂ තිබෙන බව පෙන්වා බලධාරීන් වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇතත්, ඒ සම්බන්ධයෙන් ගත යුතුව තිබූ පියවර බලධාරීන් ගෙන නැති බවක් පෙනෙන්නට තිබේ. මරණයට පත්වූ දුම්රිය රියදුරා හා ඔහුගේ සහායක රියදුරු කුටිය අතහැර නියාමන කුටියට පැමිණ තිබීමෙන් පෙනීයන්නේ තිරිංග පිළිබඳ විශ්වාසයක් ඔවුන්ට ද තිබී නැති බවය. මේ සියල්ලෙන් පෙනීයන්නේ දුම්රිය සේවාවන් ගැන මිස එහි ජීවිත ගැන අවශ්‍ය තරම් සැලකිල්ලක් යොමුකර නැති බවය.
මීට පෙර මාවනැල්ලේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරෙන් පසුද ඒ ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට කුමක් වීද? කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ යටපත් කිරීමට අවශ්‍ය වූයේ ඇයි?
ඕනෑම දෙයකදී ප්‍රමිතියට ලැබිය යුතු වැදගත්කම නොසලකා ක්‍රියාකරන තත්ත්වය දුම්රිය සේවයේදී පමණක් නොව, අන් හැම තැනකදීම දක්නට ලැබෙන ලොකු දුර්වලතාවක් ලෙස සැලකිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා යමින් ඇති උමං දොරටු ගණනාවක්ම හදිසියේ කඩා වැටුණි. නිසි ප්‍රමිතියකට එම ඉදිකිරීම් සිදුකර නැති බව ඉන් සනාථ විය. ඉන්පසු කැඩෙන ඒවා පිළිසකර කරනු ලැබූ මුත් ඒවා කොතරම් කලක් පවතීද යන්න දන්නේ දෙවියන් පමණය.
ප්‍රමිතිය නොසලකා ක්‍රියාකිරීම කෙරෙහි බලපා ඇත්තේ අල්ලස හෝ දූෂණයයි. ප්‍රමිතිය නොසලකා ක්‍රියාකිරීම ලාභ උපරිම කරගැනීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයකි. මෙවැනි ඉදිකිරීම්වල ප්‍රමිති තත්ත්වය හා සොයා බැලීම සඳහා පත්කරන ලද රජයේ නිලධාරීන් සිටියද බොහෝවිට ඔවුන් ඉන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවේය. කුමන වරදක් සිදුවුවත් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව කොන්ත්‍රාත්කරුවෝ ද රජයේ නිලධාරීහු දනිති. මීට වෙනස්ව හොංකොං දේශයේ ඉදිකළ රජයේ නිවාස ව්‍යාපෘතියක් කඩා වැටුණු අවස්ථාවකදී ඒ රටේ දූෂණ විමර්ශන කොමිසම ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කළේය. ඉදිකිරීම සිදුකළ කොන්ත්‍රාත්කාර සමාගමට අදාළ වගකිවයුතු පුද්ගලයන් පමණක් නොව, මොන මොන හේතු නිසා හෝ ඔවුන් සිදුකළ වරදට ආධාර අනුබල දී තිබූ සියලු රජයේ සේවකයන්ටද දැඩි දඬුවම් ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. එම ගොඩනැගිලි ව්‍යාපෘතියට සම්බන්ධ පිරිසකට සිරදඬුවම් විඳින්නට සිදුවිය. ඒ සමග ඒ රටේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මහා වෙනසක් ද ඇතිවිය.
මෙවැනි වැරදි දිගින් දිගට සිදුවීම වැළකීමට නම් ශ්‍රී ලංකාවද එවැනි දැඩි ප්‍රතිපත්තියකට යා යුතුය. එහෙත් හැම ක්ෂේත්‍රයකම අල්ලස හෝ දූෂණය රජ කරන තත්ත්වයක් තුළ අල්ලසට හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක තත්ත්වයක් රටේ නොපවතී. ලංකාවේ අල්ලස් හෝ දූෂණ දැලට හැමවිටම අසුවන්නෝ හාල්මැස්සන් මිස තෝරු හා මෝරු නොවෙති. මේ මෑතකදී නිසි ප්‍රමිති තත්ත්වයක් නැතැ”යි කියන ලොකු සිමෙන්ති තොගයක් වෙළෙඳපොළට නිකුත් කළේ නම් ඒවා යොදා ඉදිකරන කොන්ක්‍රීට්වල අනාගතය කුමක්ද?