මෙම ලිපිය යුද්ධය හා ජනවර්ග අර්බුදය අළලා දෙමළ භාෂාවෙන් පළවෙන වීරකේසරී පුවත්පත සඳහා එම පුවත්පතේ ආරාධනාවක් අනුව ලියන ලද්දකි. එය රාවයේ පළකැරෙන්නේ සිංහල පාඨකයන්ද එම සංවාදයට සම්බන්ධ කරගැනීමේ අරමුණෙනි.
සිදුවූයේ කුමක්ද?
යුද්ධයෙන් පසුව දෙමළ ජනයාට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අවුල්සහගත තත්ත්වය හා එම තත්ත්වය ජයගත යුතුව තිබෙන ආකාරය ගැන අදහස් පළකැරෙන මෙම ලිපිය දෙමළ පුවත්පතකට ලියන මෙම ලේඛකයා දෙමළ ජාතිකයකු නොව සිංහල ජාතිකයෙකි. සිංහල ප්‍රදේශයක ඉපදුණු සිංහල ජාතිකයකු නොව, මඩකළපුවේ ඉපදුණු සිංහල ජාතිකයෙකි. දෙමළ ජාතියට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව පිළිගනිමින් ඒ ගැන සිංහල ජනතාව අතර මහජන මතයක් ඇති කිරීමට පෑන මෙහෙයවූ, දෙමළ අරගලය ගැන අනුකම්පාවක් තිබුණද, එල්ටීටීඊය ගැන සැකයෙන් බැලූ, එවැනි සැකයක් තිබියදීත් එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන අභියෝගය යුද්ධයෙන් නොව සාකච්ඡාවෙන් විසඳා ගතයුතුයැ”යි කලක් විශ්වාස කළ, පසුව එම විශ්වාසය අතහැර එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම අත්‍යවශ්‍ය වේයැ”යි විශ්වාස කරන තැනකට යමින්, එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කර තිබුණු යුද්ධයෙන් ගරිල්ලා ව්‍යාපාරයකට පවා මාරුවීමට ඉඩ නොලැබෙන ලෙස එල්ටීටීඊය පරාජය වනු ඇතැ”යි පුරෝකථනය කළ හා ඒ ගැන වාද විවාද කළ පුවත්පත් කතුවරයකු ලෙස සැලකිය හැකිය.
යුද්ධය කිලිනොච්චියට පැමිණ තිබුණු අවස්ථාවේදී මා හා ආචාර්ය කුමාර් ඩේවිඩ් අතර ලිඛිත විවාදයක් ඇතිවිය. එම විවාදය සිංහලෙන් පළවෙන රාවය පුවත්පතට සීමා නොවීය. දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල සේ ම දෙමළ හා ඉංග්‍රීසි වෙබ් අඩවිවලද පළවිය. මා එම විවාදයේදී පළ කරන ලද ප්‍රධාන අදහස් කිහිපයක් මෙසේය.
1. ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහස කිසිදා අත්පත් කරගත නොහැකි මනෝරාජික අදහසකි. එහෙත් එල්ටීටීඊය වෙනම රාජ්‍යයකින් මෙපිට කිසිම විසඳුමකට එකඟවන්නේ නැත. ඒ නිසා එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන යුදමය අභියෝගය ජයගත යුතුව තිබෙන්නේ යුදමය වශයෙනි.
2. එල්ටීටීඊය ඉන්නේ ඓතිහාසික සංවර්ධනයේ වර්ධනය කරා යන තැනක නොව, පරිහානිය කරා යන තැනකය. ඒ නිසා ඔවුන් මෙම යුද්ධයෙන් පරාජය වීම නොවැළැක්විය හැකිය.
3. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව ජයග්‍රාහකයා දෙමළ ජනතාවට විශේෂ කිසිවක් ලබා නොදුන්නද දෙමළ ජනතාවගේ ජීවිත, එල්ටීටීඊ පාලනය යටතේ පැවති ජීවිතවලට වඩා යහපත් වනු ඇත.
යුද්ධය පැවති කාලයේ මා ඉදිරිපත් කළ නිරීක්ෂණ තුනෙන් මේ මොහොතේ දෙමළ ජනතාවගේ විවාදයට හේතුවනු ඇත්තේ තුන්වැනි නිරීක්ෂණය පමණය. මා හිතන්නේ මාගේ එම තුන්වැනි නිරීක්ෂණයද නිවැරදි වන බවය. එහෙත් සමහර උද්වේගකර සාධක විසින් ඒ තත්ත්වය තේරුම් ගැනීම දුෂ්කර කර තිබෙන්නේයැ”යිද කිවහැකිය.
දෙපක්ෂයන් අතර කැරෙන යුද්ධයකින් එක පක්ෂයක් පරාජය වූ විට රීතියක් වශයෙන් ම වැඩි හානියක් සිදුවන්නේ පරාජිතයාටය. එහිදී ජයග්රාහකයාටද විශාල ජීවිත හානියක් සිදුවිය හැකිය. එහෙත් ලැබූ ජයග්‍රහණය නිසා ඔවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ තමන්ට සිදුවූ ජීවිත හානිය ගැන නොව ලැබූ ජයග්‍රහණය ගැනය. එහෙත් ඒ තත්ත්වය පරාජිතයා කෙරෙහි බලපාන්නේ ඊට වෙනස් ආකාරයකටය. ඔවුන් තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ පරාජය විසින් ඇති කළ අවමානය ගැනත් සිදුවූ ජීවිත හා දේපල හානි ගැනත්ය. යුද්ධයෙන් නැතිවූ අඹු දරුවන් හා ඥාතීන් ගැනද, සිදුවූ දේපළ හානි ගැනද ඔවුන්ගේ ඇති වී තිබෙන අප්‍රසන්න මතක සටහන් වහාම මැකීයන්නේ නැත. ඒ සඳහා කිසියම් කාලයක් ගතවන්නේය.
එහෙත් දෙමළ ජනයා මෙම තත්ත්වය ජනවර්ගයක් වශයෙන් තමන්ට පමණක් සිදුවූ නස්පැත්තියක් ලෙස නොසැලකිය යුතුය. මේ හා සමාන අවාසනාවන්ත තත්ත්වයට දකුණේ සිංහල ජනයාට ද මුහුණ දෙන්නට සිදුවිය. උතුරේ දෙමළ තරුණ පරපුරේ සන්නද්ධ නැගිටීම වැනි තරුණ නැගිටීම් දෙකක් සිංහල දකුණේද සිදුවිය. ඔවුන්ගේ එම නැගිටීම් දෙකද අනුකම්පා විරහිතව මර්දනය කරන ලද අතර, ඒ නිසා සිංහල දකුණේද විශාල ජීවිත හානියක් සිදුවිය. ජේවීපී දෙවැනි කැරැල්ලෙන් හා එය මර්දනයෙන් මියගිය අයගේ සංඛ්‍යාව පනස් දාහකට වැඩිය. ජේවීපීයට එල්ටීටීඊයට මෙන් නවීන ආයුධ නොතිබුණේය. ඔවුන්ට තිබුණු ලොකුම ආයුධය ලෙස සැලකිය හැක්කේ ටී 56 තුවක්කුවය. එසේ තිබියදීත් ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කිරීමේදී විශාල ජීවිත හානියක් සිදුවිය. ආරක්ෂක හමුදා ජේවීපීය මර්දනය කිරීම සඳහා යොදාගත් ප්‍රතිපත්තිය එල්ටීටීඊය මර්දනය කිරීම සඳහා යොදාගත් ප්රතිපත්තියටත් වඩා දරදඬු වීයැ”යි කිව හැකිය. එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජය කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද කිසියම් විශාල පිරිසකට ජීවත්වීමේ වාසනාව හිමි වුවද ජේවීපී කැරැල්ල පරාජය කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද අයගෙන් ජීවත්වීමේ වාසනාව හිමිවූයේ කලාතුරකින් ඉතාමත් සුළු පිරිසකට පමණය. ජේවීපී කැරැල්ල අවසානයේදී ද අතුරුදන් වූවන් වෙනුවෙන් හඬා වැළපෙන දෙමාපියන් හා අඹු දරුවන් කිසියම් විශාල පිරිසක් සිංහල සමාජයේ ද සිටියේය. ඒ අර්ථයෙන් ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු දකුණේ පැවති තත්ත්වය කිසියම් ප්‍රමාණයකට දැන් උතුරේ පවතින තත්ත්වයට සමානවීයැ”යි කිව හැකිය.
සිදුවූ දේවල් පිළිබඳව සාධාරණ චිත්‍රයක් ඇතිකර ගැනීම සඳහා උතුරේ දෙමළ ජනතාව සැලකිල්ලට ගත යුතුව තිබෙන මූලික ප්‍රශ්න කිහිපයක් මෙසේය.
එල්ටීටීඊය හා ජේවීපීය
1. මෙම ව්‍යාපාර දෙකම (එල්ටීටීඊය හා ජේවීපීය) සිය දේශපාලන අභිලාෂයන් දිනාගැනීම සඳහා තෝරාගත් මාර්ගය ප්රචණ්ඩ විය. මෙම ව්‍යාපාර දෙකේම ඉලක්ක ද මනෝරාජික විය. සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීම ජේවීපී ඉලක්කය වූ අතර සන්නද්ධ අරගලයක් මගින් වෙනම රාජ්‍යයක් දිනාගැනීම එල්ටීටීඊ ඉලක්කය විය. මෙම ව්‍යාපාර දෙකම තමන්ගේ දේශපාලන අරමුණුවලට එකඟ නොවන හා පටහැනිව ක්‍රියාකරන මිනිසුන් මරා දැමීමේ අයිතිය තමන්ට ඇතැ”යි විශ්වාස කළා පමණක් නොව, එම විශ්වාසය මත පිහිටා ඒ ගණයට වැටෙන තමන්ගේ සමාජයේ මිනිසුන් කිසියම් විශාල සංඛ්‍යාවක් ද ඝාතනය කළේය. ජේවීපීය අතින් සිංහල සමාජයේ ඵලදායී කාර්ය භාරයක් ඉටු කිරීමේ හැකියාවක් තිබූ ප්‍රයෝජනවත් මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ අතර එල්ටීටීඊය අතින් ද දෙමළ සමාජයේ එවැනි විශාල පිරිසක් ඝාතනයට ලක්විය. සාම්ප්‍රදායික දෙමළ හා සිංහල නායකයන් පොදුවේ ගත්විට දූෂිත පිරිසක් ලෙස සැලකිය හැකි වුවද මෙම ව්‍යාපාර දෙක විසින් සිය දේශපාලන භාවිතයේ පෙන්නුම් කර තිබෙන ෆැසිස්ට් ගති ලක්ෂණ අනුව ඔවුන් සිය ඉලක්ක ජයගෙන බලයට පත්වීමට සමත් වී නම් ඔවුන් අතින් සිදුවිය හැකිව තිබුණු විනාශය ඔවුන් පරාජය කිරීම නිසා සිදුවූ විනාශයටත් වඩා විශාල වන්නට ඉඩ තිබුණි.
2. මෙම ව්‍යාපාර දෙක දරන ලද දේශපාලන අදහස්වල වෙනස්කම් තිබුණද ඔවුන් සමාන සමාජ පසුබිමක් තිබූ ව්‍යාපාර දෙකක් විය. සිංහල හා දෙමළ සමාජයේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය හිමිව තිබුණේ සිංහල හා දෙමළ කුල ධුරාවලි ක්‍රමය තුළ මුදුනේම සිටි ගොවිගම හා වෙල්ලාල කුලයටය. එහෙත් මෙම ව්‍යාපාර දෙකේ ප්‍රධාන නායකයන් දෙදෙනා ලෙස සැලකිය හැකි විජේවීර හා ප්රභාකරන් අයත් වූයේ එම කුල ධුරාවලි ක්‍රමය තුළ අතරමැදි තත්ත්වයක් හිමි කරගෙන සිටි කරාව හා කරයාර් කුලයටය. එම ව්‍යාපාර දෙකේ කැපී පෙනෙන නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකි ගමනායක ඔලී කුලයට අයත් වන විට තමිල් චෙල්වම් අයත් වූයේ බාබර් කුලයටය. මෙම ව්‍යාපාර දෙකම පාද සෙබළුන් ලෙස යොදාගත් තරුණ තරුණයන්ගෙන් වැඩි පිරිසක් අයත් වූයේ ද පීඩිත කුලවලටය. ඉන් පෙනෙන්නේ වර්ගය, පන්තිය වැනි සාධකවලට අතිරේකව කුල සාධකය ද ඔවුන්ගේ කැරලිකාරීත්වය කෙරෙහි වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවය. ජේවීපීයට ගොවිගම විරෝධී අන්තර්ගතයක් තිබුණු අතර එල්ටීටීඊයට වෙල්ලාල විරෝධී අන්තර්ගතයක් තිබුණි. ඉන් පෙනෙන්නේ මෙම ජනවර්ග දෙක අතර පමණක් නොව, එම ජනවර්ග දෙක තුළද පීඩාකාරී බෙදීම් තිබුණු බවය. සිංහල සමාජය තුළ සියලු සිංහලයන් එක සමාන නොවූ අතර දෙමළ සමාජය තුළද සියලු දමිළයෝ එක සමාන නොවූහ.
3. අසාධාරණයට ලක්ව සිටින සමාජ කණ්ඩායමකට තමන් මුහුණ දෙන අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ අයිතියක් ඇතත්, සටන් කිරීම සඳහා තෝරාගන්නා මාර්ගය ඒ සටනේ හොඳ නරක හා ජය පරාජය කෙරෙහි බලපාන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරයි. අසාධාරණයක් වූ පමණින් ඒ අසාධාරණයට ලක්වූ පුද්ගලයාට හෝ කණ්ඩායමට නිදහසේ මිනිසුන් මැරීමේ හා දේපළ විනාශ කිරීමේ අයිතියක් හිමිවන්නේ නැත. නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය යටත්විජිත ආධිපත්‍යය ඉන්දියානු සමාජය කෙරෙහි ද පීඩාකාරී ලෙස බලපෑවේය. එහෙත් ගාන්ධි බ්‍රිතාන්‍ය යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ නැත. ආයුධ සන්නද්ධ අරගලයක් මගින් නිදහස දිනාගැනීමට හැකි වුවද එසේ ලබාගන්නා නිදහස සැබෑ නිදහසක් නොවනු ඇති බව මහත්මා ගාන්ධිගේ මතය විය. කිසියම් පුද්ගලයකු මොනම අරමුණක් සඳහා හෝ පුද්ගලයකු ඝාතනය කරන විට එසේ කරන්නා ද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වන බව ගාන්ධිගේ මතය විය. ප්රචණ්ඩ අරගල මාවත, සමාජ අධ්‍යාත්මය විකෘති කොට රෝගී කිරීමට හේතුවන බව ගාන්ධි තරයේ විශ්වාස කළේය. ප්රභාකරන් සේ ම විජේවීර ද, ඉන්දියාවෙන් තෝරාගත් පරමාදර්ශී වීරයා වූයේ ගාන්ධි නොව සුභාෂ් චන්ද්‍ර බෝස්ය. දෘෂ්ටිමය තලයේ ඒ දෙදෙනාට තිබූ පුංචි බව ඒ මගින් සංකේතවත් කළේය. ඇමරිකාවේ කල්ලන්ට විඳින්නට සිදුවූ අසාධාරණකම්වල ප්‍රමාණය ඉතා විශාල වුවත් කල්ලන් සිය පීඩකයා ඝාතනය කරන තැනකට ගියේ නැත. ඇමරිකානු කල්ලන්ගේ සටනට නායකත්වය දුන් මාර්ටින් ලුතර් කිංගේ අරමුණ වූයේ එම අසාධාරණකම්වලට එරෙහිව කරන අවිහිංසාවාදී සටනක් මගින් ඇමරිකානු සමාජය, සදාචාරමය අර්බුදයකට තල්ලු කිරීමය. ඒ මගින් කල්ලන්ට සාධාරණව ක්‍රියාකරන තත්ත්වයක් දිනාගැනීමය. සිය නායකයා වූ ඝාතනයට ලක්කිරීමෙන් පසුව වුවද කල්ලන් සුද්දන් ඝාතනය කරන තැනකට ගියේ නැත. මාර්ටින් ලුතර් කිංගේ මරණය ඇමරිකානු සමාජය විශාල සදාචාරමය අර්බුදයකට තල්ලු කරමින් එහි ප්‍රතිඵලයක් වශයෙන් කල්ලන් අපේක්ෂා කළ ප්‍රතිසංස්කරණ ලබාදෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තවත් දශක හතරකට පසුව කල්ලෙකුට ඇමරිකානු ජනාධිපති පදවියට තේරී පත්වීමට හැකිවිය. සන්නද්ධ අරගල මාවත තෝරාගත් ප්රභාකරන් සේ ම විජේවීර ද යුක්තිය ඉටුකර ගැනීමේ නාමයෙන් විශාල මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරයකට නායකත්වය දුන්නා පමණක් නොව, අවසානයේ ඔවුහු දෙදෙනා ද ඔවුන්ගේ අනුගාමිකයන් සමග එම ප්රචණ්ඩ ක්‍රියාවලියේ රුදුරු ගොදුරු බවට පත්වූය. ඒ මගින් තම වර්ගයාට හෝ තම රටට ප්‍රයෝජනවත් කාර්ය භාරයක් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය හා දක්ෂතා තිබූ පිරිසකගේ ජීවිත නැති කළෝය. දෙමළ උතුරේ සේ ම සිංහල දකුණේ ද අතුරුදන්වූවන්ගෙන් වැඩි පිරිසක් මුළුමනින් අහිංසකයෝ නොවූහ. ඔවුන්ගේ අත්වලද ලේ තැවරී තිබුණේය.
දැන් අපට සිංහල හා දෙමළ සමාජයේ පවතින ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනිව මෙම පුපුරනසුලු ආරාවුල ඇතිවීම කෙරෙහි බලපෑ ඇත්ත හේතු සංක්ෂිප්ත වශයෙන් සලකා බැලිය හැකිය.
1. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ජනවර්ග විදේශ සම්භවයකින් යුතුය. ඔවුහු විවිධ කාලවකවානුවලදී මෙහි පැමිණි අය වෙත්. සමහරෙක් පළමුවද, තවත් සමහරෙක් පසුවද පැමිණියෝය. ඒ සියලුදෙනාම ඉතාමත් දීර්ඝ කාලයක් මේ රටේ ජීවත් වූ හා ඒ ජීවත්වීමේ ක්‍රියාවලිය තුළ දේශීය බවට පත්වූ ජනවර්ග වෙති. රටේ පවතින ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් පවත්නා ත්තත්වයද ඊට සමානය. සමහර ආගම් පළමුවද, තවත් ආගම් පසුවද පැමිණියේය. මුලදී සංස්කෘතිය නිර්ණය කළ ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කළේ ආගමය. සිංහල ජනයා ජීවත් වූ ප්‍රදේශවල පදිංචි වී බුද්ධාගම වැළඳගත් අය සිංහලයන් ලෙසද දෙමළ ප්‍රදේශවල පදිංචි වී හින්දු ආගම වැළඳගත් අය දමිළයන් ලෙසද සැලකුණි. ඉස්ලාම් ආගම අදහන්නෝ පමණක් සිය ආගම අත්නොහැරියෝය. කතෝලිකාගම පැමිණීමෙන් පසු බුද්ධාගම ඇදහූ සිංහලයන්ගෙන් කිසියම් පිරිසක් ද, හින්දු ආගම ඇදහූ දමිළයන්ගෙන් කිසියම් පිරිසක් ද කතෝලිකාගමට මාරුවීම නිසා සිංහලයන් අතර බුද්ධාගමට ද, දමිළයන් අතර හින්දු ආගමට ද තිබූ ඒකාධිකාරය නැතිවී ජනවර්ගය නිර්ණය කළ සාධකයේ අවුලක් ඇතිවිය. එහෙත් මෙම කිසිම ජනවර්ගයක් නවීන අර්ථයෙන් ජාතියක් බවට පත්ව නොසිටියේය. පෘතුගීසීන් ලංකාවට එන අවස්ථාව වන විට ලංකාව එක රාජ්‍යයකින් යුතු රටක් නොවූ අතර රාජ්‍යයන් ගණනාවකින් යුතු රටක් විය. ලංකාව එක රාජ්‍යයක් හා එක පාලන ක්‍රමයක් සහිත නවීන අර්ථයෙන් වන ජාතික රාජ්‍යයක් බවට පත්වූයේ බ්‍රිතාන්‍ය යුගයේදීය. උරුමයෙන් තේරී පත්වන වැඩවසම් රජවරුන්ගේ පාලන ක්‍රමයක් වෙනුවට මහජනයා පාලකයන් තීරණය කරන ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් රටට ලැබුණේද බ්‍රිතාන්‍යයන්ගෙනි.
2. ජාතික රාජ්‍යයේ හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයේ සාර්ථක පැවැත්ම සඳහා ලංකාවේ ජනවර්ග ආශ්රයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කරගැනීම සේ ම ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. මෙම කොන්දේසි දෙකම බ්‍රිතාන්‍ය යුගය තුළ සම්පූර්ණ වී නොතිබුණු අතර එය සම්පූර්ණ කරගැනීමේ වගකීම පැවරී තිබුණේ අලුතෙන් ඇතිවන නිදහස් යුගයේ නායකයන්ටය. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ මහත්මා ගාන්ධි ප්රමුඛ නායකයන්ට එම මූලික ප්‍රශ්න දෙක ගැන න්‍යායික විශ්ලේෂණයක් තිබුණේය. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට ලබාදී තිබූ ජාතික රාජ්‍ය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට නම් ඉන්දියානු ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් ගනිමින් නිදහස දිනාගැනීම සඳහා කරන සටන ඊට පමණක් සීමා නොකොට, එය ඉන්දියානු ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩනගන ව්‍යාපාරයක් බවට පත්කර ගත්තේය. එය ඉන්දියාවේ ජනවර්ග සමානතා පදනමක් මත එකට ඒකරාශි කරන හා ඉන්දියානු ජනතාවට පැරණි වැඩවසම් වටිනාකම් වෙනුවට නව ප්රජාතන්ත්රවාදී වටිනාකම් උරුම කර දෙන ව්‍යාපාරයක් විය. ඒ සඳහා ඉන්දියානු නිදහස් සටනේ නායකයෝ ඉන්දියානු ජනතාව අතර පැවති කුලභේදය ද, වර්ග භේද හා ආගම් භේදයන්ට එරෙහිව ශක්තිමත් දෘෂ්ටිමය අරගලයක නිරත වූවෝය. ඒ මගින් නව ඉන්දියානු ජාතියක් ද ප්රජාතන්ත්රවාදී සමාජයක් ද ඇති කර ගත්තෝය. අපේ රටේ නිදහස වෙනුවෙන් පෙනී සිටි සිංහල-දෙමළ-මුස්ලිම් නායකයන්ට සමජාතික ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඉන්දියානු නායකයන්ට තිබුණු ආකාරයේ ශක්තිමත් න්‍යායික ඉදිරි දැක්මක් නොතිබුණි. ඔවුහු සිහින දැක්කෝ මහජන අරගලයකින් තොරව, චාටුකතාවලින් දිනාගන්නා නිදහසක් ගැන පමණය. සමජාතික ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණු කාරණයක් නොවීය.
3. රටේ ජනතාව වර්ගය, කුලය, අදහන ආගම හා කතා කරන භාෂාව අනුව බෙදී සිටියේය. කුලභේදය ඒ සියලු බෙදීම් අතර තිබුණු ඉතාමත් පසුගාමී, පීඩාකාරී හා ප්රතිගාමී බෙදීම ලෙස සැලකිය හැකිය. එය පැරණි වැඩවසම් ක්‍රමයෙන් ලැබී තිබුණු උරුමයක් විය. ඒ අනුව මිනිසුන්ගේ උස් පහත් බව ජන්මයෙන් ලැබෙන අත්හැරිය නොහැකි උරුමයක් විය. කුල ක්‍රමය අනුව සිංහල වර්ගයේ සේ ම දෙමළ වර්ගයේ සියලු මිනිස්සු එක සමාන නොවූහ. එක කුලයක් උසස් ලෙස සැලකෙන විට අන් සියලුදෙනා සැලකුණේ පහත් ලෙසය. මහත්මා ගාන්ධි ප්රමුඛ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයන් කුල ක්‍රමයට තිබෙන පිළිගැනීම අහෝසි කිරීම සඳහා බලවත් අරගලයක නිරතවූවත් ලංකාවේ එවැනි දෙයක් නාමමාත්රික ලෙස හෝ සිදු නොවීය. අනගාරික ධර්මපාලතුමාගේ සිට ඩී.එස්. සේනානායක දක්වාත් ආරුමුගම් නාවලර්ගේ සිට පොන්නම්බලම් රාමනාදන් දක්වාත් වන සියලු සිංහල දෙමළ නායකයන් කුලවාදීහු වූහ. එසේම ඔවුන් ආගම්වාදීන් හා වර්ගවාදීන් ලෙස සැලකිය හැකිය.
4. ශ්‍රී ලංකාවේ සමාජ ක්රමයේ හා දේශපාලන ක්රමයේ පවත්නා විකෘතිය ඒ ක්‍රියාවලියේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. එක්සත් ජාතියක් හෝ ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරව නිදහස දිනාගැනීමෙන් පසුව විටින් විට බලයට පැමිණි පාලකයන් රට පාලනය කළේ තමන්ගේ වර්ගයට, තමන්ගේ කුලයට හෝ තමන්ගේ ආගමට බර තැබෙන ආකාරයටය. එකුදු ලේ බිඳුවක්වත් නොසොල්වා නිදහස දිනාගත් ලංකාව කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් දෙමළ මිනිසුන් පමණක් නොව සිංහල හා මුස්ලිම් මිනිසුන් ද කිසියම් තැනක හිරවී සිටින බව පෙනේ. සාර්ථක ඉදිරි ගමනකට මුල පිරිය හැකිවනු ඇත්තේ නිදහසේදීත්, ඉන් පසුවත් සම්පූර්ණ කරගැනීමට අසමත්ව තිබෙන එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීමෙනි. හරි පිළිතුරක් සොයාගත යුතුව තිබෙන්නේ එය කෙසේ කළ යුතුද යන්න ප්රශ්නයටය.