ඉන්දියාවේ පවතින දූෂණයට එරෙහිව නව නීති පද්ධතියක් දිනාගැනීම සඳහා අන්නා හසාරේ දියත් කළ ජයග්‍රාහී සත්‍යග්‍රහ ව්‍යාපාරයෙන් පසුව බිඳ වැටී තිබුණු මහජන විශ්වාසය නැවත ඇති කරගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් සැප්තැම්බර් 3 වැනිදා අගමැති කාර්යාලය විසින් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් 77 දෙනාගේ අලුත්ම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී විෂයට සම්බන්ධ පර්යේෂණ ආයතනයක් (ADR) මෙම ඇමති මණ්ඩල සාමාජිකයන් 2009 පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ කොමිසමට ලබාදී තිබූ වත්කම් බැරකම් ප්‍රකාශ පදනම් කොටගෙන අලුත් ප්‍රකාශවලට ඇතුළත් තොරතුරු පිළිබඳව තුලනාත්මක විග්‍රහයක් සැප්තැම්බර් 15 වැනිදා නිකුත් කරන ලද අතර එම ADR වාර්තාවට ඉන්දියාවේ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විශාල ආවරණයක් ලබා දුන්නේය.
ඉන්දියානු ඇමති මණ්ඩලයේ වත්කම් පිළිබඳව එම ADR ආයතනයේ තුලනාත්මක විග්‍රහයට ඇතුළත් ප්‍රධාන නිරීක්ෂණ කිහිපයක් මෙසේය.
2009 ප්‍රකාශන අනුව ඇමති මණ්ඩලයේ එක පුද්ගලයකුට වැටෙන වත්කම්වල සාමාන්‍ය වටිනාකම ඉන්දියන් රුපියල් මිලියන 73කි. වසර දෙකක කාලයක් තුළ එක් ඇමතිවරයකුට වැටෙන වත්කම්වල සාමාන්‍ය වටිනාකම ඉන්දියන් රුපියල් මිලියන 106 දක්වා ඉන්දියන් රුපියල් මිලියන 33කින් වර්ධනය වී තිබේ.
වත්කම්වල අගය වැඩියෙන්ම වර්ධනය වී ඇත්තේ තොරතුරු හා ගුවන් විකාශන නියෝජ්‍ය ඇමතිවරයාගේය. දෙවසරක කාලයක් තුළ ඔහුගේ වැඩිවී තිබෙන වත්කම්වල ප්‍රමාණය ඉන්දියන් රුපියල් මිලියන 641කි. ඔහුගේ 2009 ප්‍රකාශනය අනුව ඔහුට තිබුණු වත්කම්වල වටිනාකම ඉන්දියන් රුපියල් මිලියන 59ක් වන විට දැන් තිබෙන වත්කම්වල වටිනාකම ඉන්දියන් රුපියල් මිලියන 700කි. මෙම කාලය තුළ බැර කර්මාන්ත ඇමතිගේ වත්කම්වල වටිනාකමද ඉන්දියන් රුපියල් මිලියන 798 සිට ඉන්දියන් රුපියල් මිලියන 1218 දක්වා ඉන්දීය රුපියල් මිලියන 420කින් වැඩිවී තිබේ. නාගරික සංවර්ධන ඇමතිගේ වත්කම්වල වටිනාකම මේ කාලය තුළ රුපියල් මිලියන 140 සිට රුපියල් මිලියන 410 දක්වා රුපියල් මිලියන 270කින් වර්ධනය වී තිබේ. බලශක්ති ඇමති තමන්ට හිමි නිවාස තුනක තොරතුරු සඟවා තිබියදීත් වත්කම්වල වටිනාකම 107%කින් වර්ධනය වී තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමතිගේ වත්කම් රුපියල් මිලියන 70 සිට රුපියල් මිලියන 220 දක්වා රුපියල් මිලියන 150කින් වැඩිවී තිබේ. විද්‍යා හා තාක්ෂණ ඇමතිගේ වත්කම් රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 250 දක්වා රුපියල් මිලියන 170කින්ද, වෙළෙඳ ඇමති හා ඔහුගේ බිරිඳට අයත් කෘෂිකාර්මික ඉඩම් 04ක් හා නිවාස 12කට අදාළ තොරතුරු සඟවා තිබියදීත් ඔහුගේ වත්කම් වටිනාකම 119%කින් ද වැඩිවී තිබේ. තාක්ෂණ හා ළමා සංවර්ධන කටයුතු විෂය භාර ඇමතිනිය තමන්ට අයත්ව තිබූ කිලෝ 6.58ක බර රත්රන් ආභරණ පිළිබඳ තොරතුරු වසන් කොට ඇති බවටද වාර්තාව චෝදනා කරයි.
මෙම වත්කම් ප්‍රකාශයේදී ඇමතිවරුන් 19 දෙනකු තමන්ගේ වත්කම් සඟවා ඇති බවට ද වාර්තාව චෝදනා කරයි. ඊළඟ වැදගත්ම දේ වනුයේ ඇමතිවරුන් 15 දෙනකු 2009 වසරට වඩා 2011 වසරේදී දුප්පත් වී සිටීමය. සමහර අයගේ තිබුණු වත්කම් වාෂ්ප වී තිබෙන්නේ පුදුම උපදවන වේගයකිනි. නිදර්ශනයක් වශයෙන් අධිකරණ ඇමතිවරයාගේ වත්කම් එම දෙවසරක කාලය තුළ 95%කින් ක්ෂය වී තිබෙන විට ප්‍රතිජනක බලශක්ති ඇමතිවරයාගේ වත්කම් එම කාලය තුළ 73%කින් වාෂ්ප වී තිබේ.
ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ආශ්‍රයෙන් ඉන්දියාව් දැන් මතුවී තිබෙන මෙම විවාදය කොතැනින් අවසන්වේදැ”යි යන්න පැහැදිලි නැත. එහෙත් මෙම විවාදය ආශ්‍රයෙන් ඇමති මණ්ඩලයේ කිසියම් පිරිසක් මහත් අර්බුදයකට තල්ලුවී යනු නොවැළැක්විය හැකිය. වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක හැම රටකම (ශ්‍රී ලංකාවේ පවා) වත්කම් බැරකම් ප්‍රකාශනයෙදී තොරතුරු වසන් කිරීම හෝ තොරතුරු විකෘති කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එහිදී ඉන්දියානු ආණ්ඩුව දූෂිත ඇමතිවරුන් ආරක්ෂා කරන දැඩි පිළිවෙතක් අනුගමනය කළහොත් ආණ්ඩුවේ පැවැත්ම විශාල අර්බුදයකට තල්ලු වන තත්ත්වයක් ඇතිවිය හැකිය. විය හැකිව තිබෙන දේ වනුයේ ඇමති මණ්ඩලයේ සිටින දූෂිතම ඇමතිවරුන්ට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයකට තල්ලුවීමය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ දූෂිත ඇමතිවරුන් කිසියම් පිරිසකට තනතුරු අහිමි වී, සමහරවිට ඔවුන්ගේ දේපළ ද රාජසන්තකවීමෙන් නොනැවතී ඔවුන් හිරබත්කන තත්ත්වයකට පත්වීමය. ලැබෙන ප්‍රතිඵලය එසේ වුවහොත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට තිබෙන පිළිගැනීම වර්ධනය වී අනාගත ඇමතිවරුන්ට අයථා ලෙස ධනය රැස් කිරීමට තිබෙන ඉඩ බොහෝ දුරට ඇහිරෙනු ඇතැ”යි උපකල්පනය කළ හැකිය. හොංකොං දේශය කලින් සැලකුණේ ලෝකයේ තිබෙන අංක එකේ දූෂිත රටක් ලෙසය. එහෙත් හොංකොංවල ඇති කරගත් දූෂණ විමර්ශන කොමිසම කිසියම් වසර කිහිපයක් තුළ ඒ රටේ දූෂණය මුළුමනින්ම පාහේ අතුගා දැමීමට සමත් විය. එවැනි වටාපිටාවක් ඉන්දියාවේද ඇතිවිය හැකිය.
මේ ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ අපට උගත හැකිව තිබෙන පාඩම් මොනවාද? ශ්‍රී ලංකාවේද ඉතා බලවත් වත්කම් බැරකම් නීතියක් තිබෙන්නේය. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත් ජනාධිපතිවරයාට පවා පූර්ණ මුක්තියක් ලබා නොදෙන නීතියකි. නීතිය ඉතා බලවත් වුවත් ක්‍රියාකාරීත්වයේදී එය තිබෙන්නේ නොන්ඩි ගසන තත්ත්වයකය. දූෂණයට එරෙහිව සටන් කරන සංවිධාන පවා එම නීතිය අකුරටම ක්‍රියාත්මක වනවා දකින්නට වැඩි කැමැත්තක් නොදක්වන බවද පෙනෙන්නට තිබේ. ඔවුන්, තිබෙන වත්කම් බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් දිනාගැනීම සඳහා කැරෙන සටනකට වඩා, නැති තොරතුරු පනතකට කැමතිය. දූෂණයට එරෙහිව බලවත් ලෙස කෑගසන පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ස බලවේග (එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි) අවුරුදු කිහිපයකට බලපාන ආකාරයට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරමින් ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ද අවුරුදු කිහිපයකට බලපාන ආකාරයට ලබාගනිමින් (ඔවුන්ට ඒවා නීතිය අනුව පහසුවෙන් ලබාගත හැකිය) ඒ සියල්ල මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරන තැනකට ගියහොත් දැන් කිසිදු ඉලක්කයකින් තොරව අයාලේ යන දූෂණ විරෝධී සටන නිසි ඉලක්කක් ඇතිව කැරෙන අර්ථවත් සටනක් බවට පත් කළ හැකිය.
වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මකවීම නොන්ඩි ගසන තත්ත්වයක තිබීම කෙරෙහි ජනමාධ්‍ය ආයතනවල හා ජනමාධ්‍යවේදීන්ගේ වැරදි ක්‍රියාකාරිත්වයද බලපා තිබේ. මෙම විශේෂ විෂයේදී අන් සියලුදෙනාට වඩා වඩා නරකම තත්ත්වයක සිටින්නේ ඔවුන්ය. වත්කම් බැරකම් නීතිය අනුව ජනමාධ්‍යවේදීන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ද වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම පාහේද, දේශපාලකයන් කිසියම් පිරිසක් ද වත්කම් බැරකම් ප්‍රකාශ කරන විට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමෙන් මුළුමනින් වැළකී සිටින පිරිස බවට පත්ව සිටින්නේ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ය. ඔවුන් මෙම නීතිය නොපිළිපදින තත්ත්වයක සිටීම මෙම විෂයට නිසි ජනමාධ්‍ය ආවරණයක් නොලැබීම කෙරෙහි විශේෂ වශයෙන් බලපා ඇතැ”යි කිව හැකිය. එය එසේ වී ඇත්තේ ඇයි? එම නීතිය තමන්ට අදාළ කිරීම යුක්තිසහගත නොවේයැ”යි ඔවුන් කල්පනා කරන නිසාද? නැතිනම් දූෂණ නීති ඉතාමත් පිරිසිදු විෂය ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකි ජනමාධ්‍ය විෂයට අදාළ නොවිය යුතුයි කියා කල්පනා කරන නිසාද? ඒත් නැත්නම් මේ නීතිය තමන්ට අදාළ බව නොදන්නා නිසාද? පුවත්පත් ආයතනය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැනි සංවිධාන හා ආයතන නිශ්ශබ්දව නොසිට ඒ ගැන වන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන තැනකට යායුතුය. මහජනතාව ද එසේ කරන ලෙස ඔවුන්ට බල කළ යුතුය.
දූෂණයෙන් හා අත්තනෝමතිකභාවයෙන් තොර යහපාලනයක් දිනාගැනීම සඳහා කරන අරගලය දේශපාලන තලයට පමණක් සීමා කරගෙන සිටින තාක් කල් සාර්ථක ප්‍රතිඵල දිනාගත හැකිවනු ඇතැ“යි සිතිය නොහැකිය. දේශපාලන තලයට පෙර ජනමාධ්‍ය තලය නිවැරදි කරගත යුතුය. ජනමාධ්‍ය තලය කිසියම් ප්‍රමාණයට සාධාරණව හා ශිෂ්ටසම්පන්නව ක්‍රියාකරන තැනකට ගතහැකි නම් දේශපාලන තලය පිරිසිදු කිරීම පහසු වනු ඇතැ”යි කිව හැකිය.