රටේ අදහස් පළකරන්නන් අතර සිටින දියුණු පුද්ගලයකු ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දෙමළ ප්රශ්නය පිළිබඳව අදහස් පළ කරන සම්මුඛ සාකච්ඡාවක් පසුගිය රාවයේ පළවී තිබුණි. ඔහු එහිදී පළකර තිබූ එක අදහසක් (එය සම්මුඛ සාකච්ඡාවේ එන සියලු අදහස් අධිනිශ්චය කළ අදහස හෝ මතය ලෙස සැලකිය හැකිය.) ප්‍රශ්න කිරීමකට ලක්කිරීම මේ ලිපියේ ප්‍රධාන අරමුණ වේ.
අවුරුදු තිහක කාලයක් තිස්සේ පැවති ප්රභාකරන්ගේ බෙදුම්වාදී යුද ව්‍යාපාරයට යුද්ධය හැර වෙනත් විසඳුමක් තිබුණේ නැතැ”යි කියන අදහස සුනිල් පිළිගන්නේ නැත. ප්රභාකරන් යුදමය වශයෙන් නොව දේශපාලන වශයෙන් පරාජය කිරීමට හැකියාවක් තිබුණු බව ඔහු අවධාරණයෙන් කියයි. මේ අදහස වෙනත් සමහර විචාරකයන් විසින් ද කියනවා මා අසා ඇතත්, සාමාන්‍යයෙන් තියුණුව හා තර්කානුකූලව කරුණු සලකා බලන පුද්ගලයකු ලෙස සැලකිය හැකි සුනිල් විජේසිරිවර්ධන වැනි පුද්ගලයකු මෙවැනි මතයක් පළකිරීම මාගේ පුදුමයට හේතුවිය. ඔහු කියන දෙය සත්‍යයක් නම් සිදුවී ඇත්තේ මහා වැරැද්දකි.
“අද දක්වා විසඳී නැති දෙමළ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී ප්රශ්නය සඳහා ලෝකයාටත් පෙනෙන, එල්ටීටීඊයටත් පෙනෙන ඉතා සාධාරණ විසඳුමක් ලබාදීමට” සමත් වී නම් ප්රභාකරන්ගේ පැවැත්ම ඒ සමග අහෝසි වන්නට ඉඩ තිබුණු බව ඔහු කියයි. ඔහු ඊළඟට කියන්නේ මේ ප්රශ්නය දිග්ගැස්සවීම සම්බන්ධයෙනුත්, අවසානයේ එය ඉතා ප්රචණ්ඩ අයුරින් පරාජය කිරීම සම්බන්ධයෙනුත් “මේ රටේ දකුණේ ජනතාවත්, දකුණේ රජයත්” වගකිව යුතු බවය.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ මෙම විග්‍රහය ඒකපාක්ෂික හා අසාධාරණ වනවා පමණක් නොව, ඇත්ත ඔළුවෙන් සිටුවීමට දරන ලද උත්සාහයක් ලෙසද සැලකිය හැකිය. ප්රශ්නය විසඳා ගැනීමට කිසිදු උත්සාහයක් නොගත්තේයැ”යි කියන කතාව මුළුමනින් වැරදිය. සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට එක වරක් නොව අවස්ථා ගණනාවකදීම උත්සාහ කරන ලදි. එම උත්සාහයන් තුළ වැරදි හා අඩුපාඩුකම්ද තිබුණා විය හැකිය. එසේ ගනු ලැබූ සමහර උත්සාහයන් බලවත් උත්සාහයන් ලෙස සැලකිය හැකි අතර ඉන් එකක් ඉතාමත් විප්ලවකාරී උත්සාහයක් ලෙසද සැලකිය හැකිය.
ජේ.ආර්.ගේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක අතකට ඉතාමත් නරක ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකි වුවද එය ජනවාර්ගික අර්බුදයේ නොවිසඳී තිබුණු ව්‍යවස්ථාමය ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන් ව්‍යවස්ථාව ලෙසද සැලකිය හැකිය. එහෙත් ඒ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි සාම්ප්‍රදායික දෙමළ නායකයෝ ආපසු හැරී බැලීමකට නොගොස් තෝරාගෙන තිබුණු මනෝරාජික මාවතේම ගමන් කළෝය. ඔවුන් එසේ නොකොට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ සහතික ප්‍රායෝගික කරවා ගන්නා තැනට ගියේ නම් සමහරවිට 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණේය.
මා, ජේ.ආර්. ජයවර්ධන එම ව්‍යවස්ථාවෙන් ඇති කළ දේශපාලන ක්‍රමයට කැමති නැත. එහෙත් ඔහු එම නරක ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට ඒ දක්වා මුහුණ දෙන්නට සිදුවී තිබුණු සියලුම ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී තිබෙන බව කිවයුතුය. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා පවත්වාගෙන ගිය ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළේය. දෙමළ භාෂාවට ලබාදී තිබුණු දෙවැනි පෙළේ තත්ත්වයද නැති කළේය. දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට හා රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට තිබෙන අයිතිය තහවුරු කළේය. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී නඩු පැවරීමේ අයිතිය ලබාදීමෙන් අපේක්ෂා කළේ ද සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීමය.
83 කළු ජූලිය, ආයුධ සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ සටන්කාමී කණ්ඩායම්වල පැවැත්ම ශක්තිමත් කළේය. ඉන්දු-ලංකා ගිවිසුම ඇති කරගන්නා ලද්දේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරවල ආයුධ සන්නද්ධ ක්‍රියාකාරීත්වය කිසියම් විශාල ප්‍රමාණයකට ශක්තිමත් තත්ත්වයකට වර්ධනය වී තිබූ අවස්ථාවකදීය. ගිවිසුමේ ප්‍රධාන පරමාර්ථයක් වූයේ දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමය. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව දකුණේ ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිව තිබියදී පවා ප්රභාකරන්ට වැඩි බලයක් ලැබෙන අන්තර්වාර පාලනයකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද කැමති වී සිටියේය. එහෙත් ඊලමට වඩා අඩු දෙයක් භාරගැනීමට ප්රභාකරන් කැමති නොවීය. සීමාසහිතකම් තිබුණා විය හැකි වුවත් ජනාධිපති ප්‍රේමදාස සේ ම ජනාධිපතිනි චන්ද්‍රිකාද තිබෙන ප්‍රශ්න සාකච්ඡා මගින් විසඳා ගැනීමට උත්සාහ කළේය. ඉන්පසු අගමැති රනිල් වික්‍රමසිංහ ද ජාත්‍යන්තර ප්‍රජාවගේ අභිලාෂයන්ට ගැළපෙන අලුත් ආකාරයක අත්හදා බැලීමක යෙදුණේය.
ඒ නිසා යුද්ධ කරනවා හැර සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීමට උත්සාහ කළේ නැතැ”යි කියන සුනිල් විජේසිරිවර්ධනගේ අර්ථකථනය මුළුමනින් වැරදිය.
එසේම ප්රභාකරන් නොසලකා දෙමළ ප්‍රශ්නයට, දෙමළ ජනතාවගේ සේ ම ලෝක ප්‍රජාවගේ පිළිගැනීමට හේතුවන දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත් වී නම් ප්රභාකරන්ගේ පැවැත්ම අහෝසි කරන්නට ඉඩ තිබුණේය කියන සුනිල් විජේසිරිවර්ධනගේ තිසීසයද මහ පොළොවේ පැවති යථාර්ථය නොසලකා කර තිබෙන අරුත් විරහිත තීසිසයක් ලෙස සැලකිය හැකිය.
දෙමළ ඊලමක් වෙනුවෙන් ප්රභාකරන්ගේ එල්ටීටීඊය පමණක් නොව, වෙනත් කණ්ඩායම් ගණනාවක්ද සටන් කරමින් සිටි යුගයක් තිබුණි. ඒ කාලයේ ප්රභාකරන්ට දෙමළ අරගලයේ පරම බලය නොතිබුණි. සුනිල් කියන මතය කිසියම් ප්‍රමාණයකට හෝ ඇත්තක් වන්නට ඉඩ තිබුණේ ඒ විශේෂ අවධියට පමණය. ඉන්පසු එම කණ්ඩායම්වල වැඩි හරියක් නායකයන් හා ඔවුන්ගේ ප්‍රබල ආධාරකරුවන් ඝාතනය කොට දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ හා දෙමළ අරගලය මෙහෙයවීමේ පරම බලය ප්රභාකරන් සියතට ගත්තේය. ඉන්පසු භාරගත යුත්තේ කුමක්ද භාර නොගත යුත්තේ කුමක්ද යන්න අවසන් වශයෙන් තීරණය කරන පුද්ගලයා බවට පත්වූයේ ප්රභාකරන්ය. ඔහුගේ සිරකරුවන් පිරිසක් බවට පත්ව සිටි දෙමළ ජනයා ප්රභාකරන් එකඟ නොවන දෙයකට එකඟවීමට බියවූහ. ප්රභාකරන් එකඟ නොවන දෙයකට එකඟවීමට සූදානම් ධෛර්යවන්ත සුළු පිරිසක් හෝ ඔවුන් අතර සිටියේ නම් ප්රභාකරන් විසින් ඒ සියලුදෙනාද ඝාතනය කළේය. 13 වැනි සංශෝධනය ඇතුළු දෙමළ ජනයාට එකඟ විය හැකි නොයෙකුත් විසඳුම් ඉදිරිපත් වුවද දෙමළ ජනයා ඒ කිසිවකට එකඟ නොවූයේ ඒවාට ප්රභාකරන්ගේ අනුමැතිය නොලැබීම නිසාය. ප්රභාකරන් ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයකි. එසේ නොවේ නම් කොන්ෆෙඩරේෂන් ක්රමයකි. ඊට වඩා අඩු කිසිවකට එකඟවීමේ හැකියාවක් ප්රභාකරන්ට නොතිබුණු අතර ප්රභාකරන්ගේ අනුමැතිය නොමැතිව ඉදිරිපත් වන මොනම විසඳුමකටවත් එකඟවීමේ හැකියාවක් දෙමළ ජනතාවටද නොතිබුණේය.
මේ ප්රශ්නය මෙවැනි තත්ත්වයකට මෝරන්නට පෙර ප්රශ්නය විසඳා නොගැනීම ගැන රජයන්ට චෝදනා කරන්නේ නම් එය සාධාරණය. එහෙත් ප්රශ්නය ඒ තත්ත්වයට මේරූ පසු ඒ චෝදනාව ඉදිරිපත් කිරීම අසාධාරණය. මීට පෙරද යුදමය වශයෙන් ප්රශ්නය බේරාගැනීමට දරන ලද බලවත් ප්රයත්නයක් අත්හරින්නට සිදුවූයේ ඉන්දියාවේ මැදිහත්වීම නිසාය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට යුදමය වශයෙන් ඔවුන් මුළුමනින් පරාජය කළ හැකිවූයේ ප්රභාකරන් යුදමය වශයෙන් පරාජය නොකොට මේ ප්‍රශ්නයට සාර්ථක ලෙස දේශපාලන විසඳුමක් ලබාදීමේ හැකියාවක් නැති බව අසල්වැසි ඉන්දියාවද පිළිගත් දෙයක් බවට පත්ව තිබුණු නිසාය.
මා බල්ලන් ඇති කරන්නට කැමතිය. එහෙත් මාගේ ආදරණීය බල්ලා පිස්සු වැටුණහොත් ඌ මරා දමනවා හැර මට තෝරාගැනීමට අන් විකල්පයක් නැත. සමහරවිට උගේ පිස්සු වැටීම කෙරෙහි මාගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම්ද බලපෑවා විය හැකිය. මා නිසි වේලාවට ඌට ලබාදිය යුතු එන්නත් ලබාදුන්නේ නම් සමහරවිට ඌ පිස්සු නොවැටෙන්නට ඉඩ තිබුණි. බල්ලා පිස්සු වැටුණු පසු මා අතින් සිදුවී තිබෙන අතපසුවීම් සලකා ඌ නොමරා සිටීමේ හැකියාවක් මට තිබිය නොහැකිය. උගේ පිස්සුව හොඳ කිරීමට මොනයම් හෝ මාර්ගයක් තිබෙන්නේ නම් මා තෝරාගන්නේ එම මාර්ගයයි. එහෙත් එවැනි මාර්ගයක් නැත්නම් ඌ මා ආදරයෙන් හදා වඩාගත් බල්ලා බව නොසලකා ඌ මරා දැමීමට මම මැලි නොවෙමි. මා එසේ කරනු ඇත්තේ සංතෝෂයෙන් නොව මහත් කනගාටුවක් ද හිතේ ඇතිවය.
ප්‍රධාන පෙළේ ඉන්දීය ඉතිහාසඥයකු වූ බීපන් චන්ද්‍ර ප්‍රධාන පෙළේ ශාස්ත්රාලීය උගතුන් පස්දෙනකු විසින් ඉන්දීය නිදහස් අරගලය පිළිබඳව ලියන ලද ග්රන්ථයක් 1992දී පළවිය. මෙම ග්‍රන්ථය ඉන්දීය නිදහස් අරගලය දෙස විවේචනාත්මකව ආපසු හැරී බලන ග්රන්ථයක් ලෙස සැලකිය හැකිය. එහිදී මෙම කෘතියේ කතුවරුන් මහත්මා ගාන්ධිට එරෙහිව හා ඉන්දීය කොංග්‍රසයට එරෙහිව එල්ල වී තිබුණු සියලු විවේචනයන්ද සැලකිල්ලට ගෙන තිබුණි. මහත්මා ගාන්ධිගේ ප්‍රවේශය එක දෙයකදී හැර අන් හැම දේකදීම නිවැරදි බව ඔවුන්ගේ මතය වේ. මහත්මා ගාන්ධි අතින් සිදුවී තිබෙන ලොකු වරදක් ලෙස ඔවුන් දකින එකම දේ වනුයේ මුස්ලිම් බෙදුම්වාදී වර්ගවාදය සම්බන්ධයෙන් මහත්මා ගාන්ධි දැඩි ප්රතිපත්තියක පිහිටා ක්‍රියා නොකිරීමය. මහත්මා ගාන්ධි හින්දු ආගමික වර්ගවාදයට එරෙහිව ඉතා බලවත් ලෙස පෙනී සිටියේය. එහෙත් මුස්ලිම් වර්ගයා සුළු ජනවර්ගයක් වීම හේතු කොටගෙන ගාන්ධි ඔවුන්ගේ වර්ගවාදය දෙස බැලුවේ අනුකම්පාවෙනි. ගාන්ධි ඔවුන්ගේ වර්ගවාදී අදහස් මතවාදීමය වශයෙන් පරාජය කිරීම සඳහා බලවත් ලෙස ක්‍රියා නොකළේය. මහත්මා ගාන්ධි හින්දු වර්ගවාදයට එරෙහිව පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් මුස්ලිම් වර්ගවාදයට එරෙහිවද පවත්වාගෙන ගියේ නම් සමහරවිට නොබෙදුණු ඉන්දියාවක් දිනාගන්නට මහත්මා ගාන්ධි සමත්වන්නට ඉඩ තිබුණු බව බීපන් චන්ද්‍රගේ නිරීක්ෂණය වී තිබේ. බීපන් චන්ද්‍රගේ මතය ගාන්ධි වෙත ඉදිරිපත් කළහොත් ඔහු එකහෙළා ඊට එකඟ වනු ඇතැ”යි මම විශ්වාස කරමි.
මහ ජාතියේ වර්ගවාදී අදහස් වලට පමණක් විරුද්ධ වීමෙන් වර්ගවාදය පරාජය කළ නොහැකිය. සුළු ජාතීන්ගේ වර්ගවාදී අදහස්වලටද විරුද්ධ විය යුතුය. වර්ගවාදීව සිතන්නේ හැමවිටම අසාධාරණයක් ඇති නිසා පමණක් නොවේ. අසාධාරණයක් නැතිවද එසේ විය හැකිය. එක්සත් ජාතියක් ඇති කරගත හැකිවනු ඇත්තේ සුළු ජාතීන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර මහ ජාතීන්ගේ වර්ගවාදී අදහස්වලට පමණක් නොව සුළු ජාතීන්ගේ වර්ගවාදී අදහස්වලටද විරුද්ධවීමෙනි.
ප්රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්පසු දෙමළ ප්‍රශ්නයට සාධාරණ හා සාර්ථක විසඳුමක් ලබාදෙන්නට සමත්වේද නැද්ද යන්න කිව නොහැකිය. එම ප්රශ්නයේදී වෙන්නට යන දේ කුමක් වුවත් ප්රභාකරන්ගේ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම නිවැරදි සේ ම යුක්තිසහගතය. ප්රභාකරන් හිතන විදිය කවදා හෝ වෙනස් වන තෙක් ඔවුන්ට නිදහසේ මිනිසුන් හා දේපළ විනාශ කරන්නට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ඒ නිසා සිදුවිය හැකිව තිබුණු විනාශය දැවැන්තය. දෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමට උනන්දුවක් දක්වන්නන් දැන් කළයුතුව තිබෙන්නේ දෙමළ ජනතාවගේ පෑරී තිබෙන හදවත් තව තව පෑරීම නොව ඔවුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා උපරිම ශක්තිය යොදා ක්රියාකිරීමය.