ශ්‍රද්ධාව ඵලදායී කරගැනීම

May 22, 2011
Publication:
Two young men from the village came to the house for a contribution to an alms-giving before Vesak. What usually happens is that something is put on the subscription list; this time, because Ivan knew one of them well, he fell into a plain conversation with them about what the alms-giving would cost and what it was meant to achieve.

පසුගිය වසරේ වෙසක් උත්සවයට පෙර හෝ පොසොන් උත්සවයට පෙර ගමේ පවත්වන්නට යන දන්සැලක් සඳහා ආධාර ලබාගැනීම පිණිස ගමේ තරුණයෝ දෙදෙනෙක් මගේ නිවසට පැමිණියෝය. මීට පෙර සාමාන්‍යයෙන් සිදුවූයේ රැගෙන එන ආධාර පත්‍රයට කිසියම් ආධාරයක් ලබාදීමය. එහෙත් මෙවර ආධාර ලබාගැනීම සඳහා පැමිණි දෙදෙනාගෙන් එක් අයකු මා හොඳින් දන්නා හඳුනන කෙනකු වීම නිසා දෙන්නට යන දන්සැලට යන වියදම හා දන්සැලෙන් අපේක්ෂා කරන පරමාර්ථ ගැන ඔවුන් සමග සරල සංවාදයක යෙදුණෙමි.

ඔවුන්ට අනුව දන්සැල සඳහා අපේක්ෂිත වියදම රුපියල් 50,000කි.

දන්සැලක් පැවැත්වීම සඳහා ගමේ කුඩා කණ්ඩායමක් හෝ එකට එකතුවී එම අරමුණ වෙනුවෙන් වැඩ කළ යුතු බව පෙන්වා දෙමින් එම සාමූහික උත්සාහය හා ගමෙන් එකතු කරන ආධාර මුදල් ආගමික වැදගත්කමක් ඇති ඒ දිනයේදී වඩා ඵලදායී අරමුණක් සඳහා යොදාගැනීමට තිබෙන හැකියාව මම ඔවුන්ට පෙන්වාදීමට උත්සාහ කළෙමි.

එම මුදලින් හරි වහලක් නැති ගෙයකට හොඳ වහලක් තනාදිය හැකි බවත්, විදුලිබලය නැති එක ගෙයකට විදුලිබලය ලබාදිය හැකි බවත්, වැසිකිළි නැති ගෙවල් දෙකකට වැසිකිළි තනා දිය හැකි බවත් සමූහය ඒ කාර්යය හොඳින් ඉටු කළවිට දන්සලක් පැවැත්වීමෙන් ලැබෙන සංතෘෂ්ටියට වැඩි සංතෘෂ්ටියක් ලබාගත හැකි බවත් මුදලින් ආධාර කරන්නන්ටද දන්සැලකට ආධාර කිරීමෙන් ලැබෙන සංතෘෂ්ටියට වැඩි සංතෘෂ්ටියක් ලැබෙන බවත් ගමේ එවැනි දෙයක් හැම වසරකම සිදුවේ නම් එය ගමේ දියුණුව කෙරෙහි බලපාන වැදගත් සාධකයක් වන බවත් ආගමික අර්ථයෙන් ගත්තද ඒ මගින් ලැබෙන පින දන්සලක් දීමෙන් ලැබෙන පිනට වඩා උසස් බවත් මම කියා සිටියෙමි.

ඔවුන් මා කියන දේවල් සාවධානව අසාගෙන සිටියද ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවීමක් සිදුවූයේ නැත.

2600 බුද්ධ ජයන්තිය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා යොදා ගැනුණු ශක්තිය හා වැය කරන ලද ධනය යුද්ධයෙන් විපතට පත් උතුරේ ජනතාව ජීවත් වන ප්‍රදේශ වලින් තෝරාගත් එක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීම සඳහා යොදාගැනීමට හැකිවී නම් එය 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් කැරෙන වඩා ඵලදායික පිංකමක් වන්නට ඉඩ තිබුණි. එවැන්නක් සිදුවී නම් එය දෙමළ ජනතාවගේ ආකල්පය කෙරෙහි සේ ම ලෝක ප්‍රජාවගේ ආකල්ප කෙරෙහිද බලපාන වැදගත් සංසිද්ධියක් වන්නට ඉඩ තිබුණි. එය ආගමික අර්ථයෙන් බෞද්ධයන් කෙරෙහිද, වාර්ගික අර්ථයෙන් සිංහලයන් කෙරෙහිද ගෞරවය ලබාදෙන සංසිද්ධියක් වන්නට ද ඉඩ තිබුණි. අවශ්‍ය නම් එවැනි අර්ථවත් පුණ්‍යකර්මයක් එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් කළ හැකිය.

රටේ තිබෙන සිංහල ගම් සංඛ්‍යාව 150,000ක් ලෙස සලකා මෙම පුණ්‍ය කර්මයට එක ගමකින් එකතු කරගත හැකි මුදල රුපියල් 50,000ක් ලෙස සලකතොත් එකතු කරගත හැකි මුදල රුපියල් මිලියන 750කි. පෞද්ගලික අංශයේද සහාය ලබාගත හැකි නම් ඔවුන්ගෙන්ද මෙම අරමුදලට තවත් රුපියල් මිලියන 250ක් ලබාගැනීමට හැකි වෙතොත්, අරමුදලේ ප්‍රමාණය මිලියන 1000ක් බවට පත් කළ හැකිය. එවැනි මුදලකින් තෝරාගත් එක ප්‍රදේශයක නිවාස 1250ක් සමග ප්‍රදේශයේ පොදු පහසුකම්ද දියුණු කළ හැකිය.

එළැඹෙන පොසොන් උත්සවය එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත හැකිය. එයට නායකත්වය දීමේ වගකීම රජය අතට ගත හැකිය. විරුද්ධ පක්ෂ ද ඒ වැඩසටහනට සම්බන්ධ කරගත හැකිය. නැතිනම් ඔවුන්ට ඒ සඳහා වෙනම වැඩසටහනක් පවත්වාගෙන යා හැකිය. සියලු ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම සේවකයන් හා සමෘද්ධි නිලධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ කරගත හැකිය. ජනමාධ්‍ය ආයතනවලද සහාය ලබාගත හැකිය. රටේ සමස්ත අවධානය උතුරට යොමුකරවා දකුණේ සිංහල ජනතාවගේ ශ්‍රම ශක්තියෙන් හා ධනයෙන් තෝරාගත් ප්‍රදේශයක් සංවර්ධනය කර දිය හැකිය. එය යුද්ධයෙන් විපතට පත් උතුරේ දෙමළ ජනයා බලන්නට නෑගම් යන දිනයක් බවට පත් කරගත හැකිය. දන්සැල්, පිංකම් වෙනුවට ඒ සියලු දේ සඳහා යොදන ශක්තිය උතුරට යොමු කළ හැකිය. ඒ මගින් ඔවුන්ගේ හදවත්වල ඇති තුවාල යම් පමණකට සුව කළ හැකිය. ඒ මගින් සිංහල, දෙමළ, මුස්ලිම් මිත්‍රත්වයක් සඳහා ශක්තිමත් අත්තිවාරමක් ගොඩනැගිය හැකිය.

කොහොමටත් යුද්ධයෙන් විනාශ වී තිබෙන එම ප්‍රදේශවල සංවර්ධනය ආණ්ඩුවේ දායකත්වයෙන් හා විදේශ රටවල දායකත්වයෙන් පමණක් කරන්නට ඉඩ හැරීම පාපයකි. එයට සිංහල ජනතාවද හැකි තරමින් දායක විය යුතුය. මෙම ජනවර්ග දෙක අතර අන්‍යොන්‍ය අවබෝධය ශක්තිමත් වනු ඇත්තේ එවිටය. ශක්තිමත් ජාතික සමගියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනු ඇත්තේ එවිටය.