වෘත්තීයවේදීන් ලෙස සැලකෙන්නේ විශේෂ වෘත්තියක් සඳහා අවශ්‍ය අධ්‍යාපනික හා වෙනත් සුදුසුකම් සම්පූර්ණ කළ වෘත්තිකයන්ය. ඕනෑම විෂය ක්ෂේත්රයක කොඳු නාරටිය ලෙස ක්‍රියා කරන්නේ ඔවුන්ය. රටක මධ්‍යම පන්තියේ වැදගත්ම ස්ථරය සමන්විත වන්නේද ඔවුන්ගෙනි.
ඕනෑම ක්ෂේත්රයකට අයත් වෘත්තීයවේදීන්ට ඔවුන් නිරත වන විෂයයෙහි විශේෂතාවන්ට ගැළපෙන ලෙස සකස් කළ ආචාර ධර්ම පද්ධතීන් ඇත්තේය. ඒ මගින් අපේක්ෂා කරන්නේ වෘත්තීයවේදීන්ට ලැබෙන විශේෂ බලය අයථා ලෙස හෝ පීඩාකාරී ලෙස පාවිච්චි කිරීම වැළකීමය. ඊට පටහැනිව ක්‍රියාකරන වෘත්තීයවේදීන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි පරීක්ෂා කර බලා යුක්තිය ඉටු කිරීම සඳහා වන ආයතන ක්‍රමද රටේ ඇත්තේය. වැරදි කරන වෘත්තීයවේදීන් එම වෘත්තියෙන් පලවා හැරීමේ බලය පවා එම ආයතන සතුය. එහෙත් රටේ පවතින ඉතාම කනගාටුදායක තත්ත්වය වනුයේ වෘත්තීයවේදීන්ගෙන් කිසියම් කොටසක් ආචාර ධර්මලට පටහැනිව ක්‍රියාකරනවා පමණක් නොව එවැනි අයට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලිවලදී වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදුනොවීමය. මෙය නීතිඥයන් සම්බන්ධයෙන් සේ ම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද රටේ දක්නට තිබෙන අශෝභන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා නීතිඥයන්ට එරෙහිව සේවාදායකයන්ගෙන් ලැබෙන පැමිණිලිවල වර්ධනයක් ඇති බවට උත්සව අවස්ථාවකදී කරන ලද ප්‍රකාශයක් පුවත්පත්වල පළවී තිබුණි. ඉතාමත්ම වැදගත්ම ප්රශ්නය වන්නේ නීතිඥයන්ට එරෙහිව සේවාදායකයන්ගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන කාර්යක්ෂම වැඩසටහනක් තිබේද යන්නයි.
නීතිඥයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42 (2) වගන්තිය අනුව නීතිඥයන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. සමහර අවස්ථාවල ඉතාමත් බරපතළ විෂමාචාර පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වන බව මා දන්නේ අධිකරණය විෂය ගැන උනන්දුවක් දක්වන බවට ප්‍රසිද්ධ පුවත්පත් කතුවරයකු වශයෙන් සමහර පැමිණිලිකරුවන් මා හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලි මටද කියන නිසාය. කිසියම් පුද්ගලයකු මා වෙත පැමිණ ඔහුගේ නීතිඥයා අතින් ඔහුට වරදක් සිදුවී ඇති බව කියා කුමක් කළයුතුදැ”යි මගෙන් විමසා සිටියහොත් මා ඔවුන්ට කියන්නේ එම නීතිඥයාට එරෙහිව අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිලි කරන ලෙසය. පැමිණිලි කිරීමෙන් පසුත් මා හමුවන්නට එන අයද සිටින්නේය. ඉතාම කනගාටුදායක දේ වනුයේ එවැනි අයගෙන් යහපත් ප්‍රතිචාර අසන්නට නොලැබීමය.
නීතිඥයන් අතර සිය වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගනිමින් වෘත්තියේ නිරත වන ගරුකටයුතු පුද්ගලයෝ සිිටිති. ඒ සමග සිය සේවාදායකයන් රවටන, ඔවුන් රස්තියාදු කරන, ඔවුන් අසාධාරණ ලෙස ගසාකන හා සමහරවිට ඔවුන් අමාරුවේ දමන වර්ගයට අයත් නීතිඥයෝ ද රටේ සිටින්නෝය. එවැනි අයගේ ගොඩ හුඟක් පුංචි නැත. එවැනි අයගේ ගොඩ ලොකුවීමට හේතුවී තිබෙන්නේ නීතිඥ වෘත්තියේ ගෞරවය කෙලෙසීමට හේතුවන ආකාරයේ වැරදි කරන නීතිඥයන් ගැන සොයා බැලීමට හෝ අඩුම වශයෙන් ඔවුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වන අවස්ථාවල එම පැමිණිලි ගැන ක්‍රියාකරන විධිමත් ක්‍රමයක් රටේ නැතිකමය.
නිසි ක්‍රමයක් නැතිකම
නීතිඥ වෘත්තියට හා නීතිඥ වෘත්තියෙන් අධිකරණ සේවයට පුද්ගලයන් ඇතුළත් කරගැනීමේදී එම පුද්ගලයන්ගේ පසුබිම් කරුණු හොඳින් සොයා බලන ක්‍රමයක් නැති බව මා පළමුවරට තේරුම් ගත්තේ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ප්රශ්නයේදීය. ඔහු විසින් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින පුද්ගලයකුගේ තරුණ බිරිඳක් දූෂණය කර ඇති බව දැනගන්නට ලැබුණු විට ඒ ගැන කරුණු වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුව මා එය වාර්තා කළේ එවැනි නරක පුද්ගලයන් අධිකරණය වැනි ගරු කටයුතු තැනක තබාගැනීමට ඉඩ නොදිය යුතුයි කියන සත්චේතනාවෙනි. එම පුවත පළකිරීමෙන් පසු එම පුද්ගලයාගේ අපකීර්තිමත් ඉතිහාසය පිළිබඳව තොරතුරු රැසක් මා අතට පත්විය. මෙම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට එකතු වන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණු අතර තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ ව්‍යාපාරයක් සංවිධානාත්මක ලෙස පවත්වාගෙන ගොස් එය බලධාරීන්ට හසුවී විනය පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකර තිබුණි. මම එම විනය පරීක්ෂණයට අදාළ වාර්තා ද පුවත්පතේ පළ කළෙමි. එවකට සිටි අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිසම මෙම මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය මගේ පුදුමයට හේතුවිය. මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබුණේ ස්ත්‍රී දූෂණ චෝදනාවකි. ඉන්පසු ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ චෝදනා මත ඔහු සේවයෙන් පහකළ පුද්ගලයකු බව වාර්තා කළ විට එහි ඇත්ත නැත්ත පහසුවෙන්ම සොයාගැනීමේ හැකියාව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට තිබුණි. රක්ෂණ සංස්ථාවෙන් ඒ ගැන කරන සරල කරුණු විමසීමකින් පමණක් වුවත් සම්පූර්ණ ලිපිගොනුව ගෙන්වා ගැනීමේ හැකියාව තිබුණි. එහෙත් එවැන්නක් සිදු නොවීය.
ඉන් පෙනෙන්නේ මෙම පුද්ගලයා නීතිඥයකු ලෙස දිවුරුම් දීමට පෙර ඔහු ගැන කිසිදු සොයාබැලීමක් සිදුවී නැති බවය. අතීතයේදී නම් පොලීසියට පුද්ගලයකු බඳවා ගැනීමට පෙර ගමට ගොස් ඔහුගේ පසුබිම් තොරතුරු සොයා බලන ක්‍රමයක් පොලිස් සේවයටද තිබුණේය. එහෙත් නීතිඥ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම් තොරතුරු සොයා බලන ක්‍රමයක් තිබී නැති බව ඉන් පෙනීයයි. එහෙත් ඒ දේ එයින් අවසන්වන්නේ නැත. මෙම පුද්ගලයා බාධාවකින් තොරව අධිකරණ සේවයටද එකතු වූයේය. අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පසුබිම් තොරතුරු සොයා බලන ක්‍රමයක් තිබී නැති බව ඉන් පෙනීයයි. අඩුම වශයෙන් මෙම පුද්ගලයා අපකීර්තිමත් ඉතිහාසයක් ඇති අධිකරණයට තබා එහි පැත්ත පළාතකටවත් වැද්ද නොගත යුතු තරම් නරක පුද්ගලයකු බව තහවුරුවීමෙන් පසුවවත් මෙම පුද්ගලයා අධිකරණ සේවයට නිර්දේශ කළ පුද්ගලයන්ගෙන් ඔවුන් දැන හෝ නොදැන කර තිබෙන වරද ගැන කරුණු විමසීමක් කළ යුතුව තිබුණේය. එහෙත් එවැන්නක්ද සිදු නොවීය.
මහේස්ත්‍රාත්ගේ දුරකතන අංකය දී රිමාන්ඩ් භාරයේ සිටින ස්වාමිපුරුෂයාට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් එම අංකයට කතා කරන ලෙස රිමාන්ඩ් සිරකරුවාගේ තරුණ බිරිඳට උපදෙස් දී ඇත්තේ ඇය වෙනුවෙන්ද රිමාන්ඩ් භාරයේ සිටින ඇගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ද පෙනී සිටි නීතිඥයාය. ඔහු එක විට නීතිඥයකු ලෙසද, තමන් වැඩ කරන උසාවියේ මහේස්ත්රාත්වරයට ගෑනු සපයන පිම්පියකු ලෙසද ක්‍රියාකර තිබෙන බව පෙනේ.
මා මේ කරුණු ඉදිරිපත් කරන්නේ අධිකරණයේ ගෞරවය හෑල්ලු කිරීම පිණිස නොව අධිකරණයේ අහිමි වී තිබෙන ගෞරවය නැවත ඇති කරගැනීමේ වැදගත්කම අවධාරණය කරනු පිණිසය.
අසන්නට ලැබුණු කතා
වරක් මා හමුවන්නට රජයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක උසස්ම තත්ත්වයේ නිලධාරියෙක් පැමිණියේය. උසස්වීම් ලබාදීමේදී ඔහුට සිදුවී තිබුණු අසාධාරණයක් නිවැරදි කරගැනීම සඳහා ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඔහු වෙනුවෙන් සිට ඇත්තේ නාමධාරී නීතිඥයෙකි. විවෘත උසාවියේ වාචිකව ප්‍රකාශ කළ නඩු තීන්දුවත් උසාවියෙන් ලබාගත් සහතික පිටපතේ ඇති තීන්දුවත් එකක් නොව දෙකක් බව ඔහු මට කීවේය. වාචිකව ප්‍රකාශ කරන ලද තීන්දුව තමාට පක්ෂපාතී එකක් වුවත් සහතික පිටපතේ තීන්දුව අනුව එය තමාගේ අවාසියට හේතුවන තීන්දුවක් බවත් කීවේය. ඒ ගැන ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සමග කතා කළේදැ”යි මා ප්‍රශ්න කළවිට ඔහු කීවේ තමා ඒ ගැන නීතිඥයා සමග කතා කළ බවත් එවැනි අපබ්‍රංස දේවල් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන බව කියා සිටිමින් තමාට කළහැකි කිසිවක් නැති බව ඔහු කියා සිටි බවත් වැඩිදුරටත් ඔහු කියා සිිටියේය. නීතිඥයාට ගෙවන ලද ගාස්තුව කොපමණදැ”යි විමසූ විට ඔහු ඒ ගණන කියා සිටියේය. මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ඒවා නිරාකරණය කරදීමේ වගකීම ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට වන නිසා ඒ ගැන ඔහු සමග නැවත සාකච්ඡා කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු පසුදිනක දුරකතනයෙන් මා අමතා නීතිඥයා සමග ඇතිවූ සාකච්ඡාවේ ප්‍රතිඵලය මට දැනුම් දුන්නේය. නීතිඥයා ඔහුට කියා ඇත්තේ උසස්වීම් පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්, මෙම ප්රශ්නය අවුස්සන්නට ගියහොත් තිබෙන ලොකු වැටුපත්, ලැබෙන රස්සාවත් අහිමි විය හැකි බවය. එම කතාව දැනුම්දීමෙන් පසු ඔහු මට කීවේ කට පියාගෙන තිබෙන රස්සාව ආරක්ෂා කරගන්නවා හැරෙන්නට තමන්ට කළහැකි දෙයක් නැති බවය.
තවත් වරෙක උසස් පෙළ ශිෂ්‍ය ප්රජාවකට අදාළ නඩුවක් පරාජයවීමෙන් පසු මා හමුවන්නට පැමිණි ගුරුවරුන් දෙදෙනෙක් එහිදී සිදුවූ අසාධාරණය ගැන මට කරුණු කියා සිටියහ. මම පළමු කොට පෙනී සිටි නීතිඥයා ගැන ප්‍රශ්න කළෙමි. නීතිඥයාගේ නම දැන ගත්විට ඒ නඩුව වෙනුවෙන් ගෙවන ලද ගාස්තුව කොපමණදැ”යි මම අසා සිටියෙමි. ලක්ෂ 14ක් බව කිව් විට එය මගේ පුදුමයට හේතුවිය. ශිෂ්‍ය පිරිසකගේ නඩුවකට එතරම් විශාල ගාස්තුවක් සොයාගත්තේ කෙසේදැ”යි විමසූවිට නඩුවට සම්බන්ධ හා නඩුවට බලපාන ශිෂ්‍යයන් විසින්ම එය එකතු කරන ලද බව ඔවුහු කියා සිටියෝය. අභියාචනාධිකරණයට රැගෙන යායුතු නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ගොස් ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. මෙවැනි නඩුවකට නීතිඥයාට එතරම් විශාල අස්වාභාවික ගාස්තුවක් ගෙවන්නට එකඟ වූයේ ඇයිදැ”යි මම ගුරුවරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ විට ඔවුහු ඊට කිසි පිළිතුරක් නොදී ඇඹරි ඇඹරී සිටියෝය. මට පෙනෙන රහස කියන්නදැ”යි ඔවුන්ගෙන් විමසා මම මෙසේ කීවෙමි. ඔයගොල්ලො දන්නවා අල්ලපු නීතිඥයා අධිකරණයේ ලොකුම කෙනාගේ යාළුවෙක් බව. එයාට අස්වාභාවික ලොකු ගාස්තුවක් ගෙවලා වැරදි උසාවියට ගියේ එයා පෙනී සිටින නිසා වාසිදායක තීන්දුවක් ලැබෙනු ඇතැ”යි විශ්වාසයෙන් නේදැ”යි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. එක් ගුරුවරයෙක් මගේ මතය පිළිගනිමින් හිස සැලුවේය. මම කෝපයෙන් වහාම මගේ කාර්යාලයෙන් පිටවී යන ලෙස එම ගුරුවරුන් දෙදෙනාට කීවෙමි.
අප්‍රසන්න අත්දැකීම්
මා ගාස්තු ගෙවා මගේ නඩුවක් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයකු විසින් අටවන ලද මාරක උගුලකට මම ද අසුවී ඇත්තෙමි. මෙම නීතිඥයා මා වෙනුවෙන් වෙනත් නඩුවකටද පෙනී සිට ඇති බාහිර පෙනුමෙන් ඉතාමත් ප්‍රියජනක, මිත්‍රශීලී, දේශපාලන තලයේ සිදුවන වැරදි ගැනද හැඟීම්බරව මා සමග කතා කර ඇති පුද්ගලයෙකි. දේශපාලනඥයකු මට එරෙහිව දිස්ත්‍රික් උසාවියේ පවරා තිබුණු වන්දි නඩුවක් ඉදිරියට ගෙන නොයෑම නිසා කල් ඉකුත් වී එය අවලංගු වී තිබුණි. එහෙත් පුදුමයකට මෙන් අවුරුදු ගණනාවකට පසුව ඒ නඩුවට උසාවිය ඉදිරියේ පෙනී සිටින ලෙස කරන දැනුම්දීමක් මට උසාවියෙන් ලැබුණි. එය ලොකු වංචාවක් බව තේරුම් ගැනීම අමාරු දෙයක් නොවීය. ඒ වන විට මගේ සුපුරුදු නීතිඥයා ජීවතුන් අතර නොසිටියේය. ඒ නිසා ඉහත කී නීතිඥයා වෙත යෑමට මට සිදුවිය. නඩුව වංචාවක් බව ඔහු ද පිළිගත්තේය. ඔහු මාගේ නඩුවට පෙනී සිටීමට එකඟ විය. නොමිලේ නොව ගාස්තු ගෙවන ක්රමයකටය.
පළමු නඩු දිනයට පෙර දිනක නැවත මම මගේ ලේකම්වරිය සමග ඔහු හමුවන්නට ගොස් නඩුව ගැන කතා කළෙමි. සිදුවී තිබෙන වංචාව පෙන්වාදීම ඉතා පහසු නිසා පළමු නඩු දිනයේදීම අවසානයක් ඇති කරන ලෙස ඉල්ලා සිටියෙමි. එය සිදුවිය යුත්තේ පළමු දිනයේදී නොව සුදුසුම අවස්ථාවේදී බව ඔහු කීවේය.
පළමු නඩු දිනයට ඔහු නාවේය. ඒ වෙනුවට පැමිණියේ වයසට ගිය ඔහුගේ කනිෂ්ඨ නීතිඥයෙකි. දෙවැනි නඩු දිනයටද ඔහු නාවේය. තුන්වැනි නඩු දිනයට ද නාවේය. විරෝධයකින් තොරව නඩුව පවත්වාගෙන යන බව පෙනුණු විට ඔහුගේ හැසිරීම මගේ සැකයට හේතුවී මා ඒ බව මගේ ලේකම්වරියටද (ඇයද දැන් නීතිඥවරියකි) ප්‍රකාශ කොට ඇය සමග ඔහු හමුවන්නට ගොස් ඔහු ළඟ තිබූ නඩු ගොනුව ඔහුගෙන් ඉල්ලා ගත්තෙමි. ඔහු මට වෙනදා මෙන් මුහුණ නොදෙන බවක් පෙනෙන්නට තිබුණි. මා ඔහුගෙන් නඩු ගොනුව ඉල්ලා ගත්තා මිස ඔහුට දෝෂාරෝපණය කරන තැනකට ගියේ නැත. පළමුවෙන්ම සිදුවී තිබෙන්නේ කුමක්දැ”යි හරියාකාරව දැනගැනීමට මට අවශ්‍ය විය.
නඩු ගොනුව රැගෙන මම මගේ පරණ ගුරුවරයකු වෙත ගියෙමි. ඔහු ද පළපුරුදු හොඳ නීතිඥයෙකි. ඔහු නඩු ගොනුව කියවා බලා මට මෙසේ කීවේය. “ඔයාගේ නීතිඥයා ඔයාට වැඩේ දීලා.” සිදුවී තිබෙන්නේ කුමක්දැ”යි තේරුම් ගැනීම අමාරු නොවීය. අවලංගු වී තිබූ නඩුවක් උසාවියේද සහාය ඇතිව ආරම්භ කර තිබූ අතර එය ආරම්භක අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරගන්නා තැනකට නොගොස් වංචාවක් ලෙස සැලකිය හැකි නඩුවක් ආරම්භ කොට පවත්වාගෙන යෑමට සහාය වීම මගින් මගේ නීතිඥයාද දැනුවත්ව එම වංචාවේ කොටස්කරුවකු ලෙස ක්‍රියාකර තිබුණි. මට පැමිණිලි කිරීමට තිබෙන මාර්ගය වැසී තිබෙන බව මෙම නීතිඥයා දැන සිටියේය. අගවිනිසුරු ධුරයේ සිටියේ සරත් නන්ද සිල්වාය. ඔහුට පැමිණිලි කිරීමේ හැකියාවක් මට නොතිබුණි. මා වැනි පුද්ගලයකුට පවා මෙවැනි බිහිසුණු වංචාවක් කිරීමට මෙම නීතිඥයා බිය නොවී නම්, මේ විෂයයේදී දුප්පත්, නූගත් හා අසරණ මිනිසුන් රවටන හා ඔවුන්ට වංචා කරන ප්‍රමාණය කොතරම් විශාල විය හැකිද?
එය උසාවි කටයුතුවලදී මෙවැනි අප්‍රසන්න දේකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව නොව දෙවන අවස්ථාවය. රාවයේ වැඩ කළ පුද්ගලයකු දිගින් දිගට වැඩට නොපැමිණීම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කොට ඒ බව දැනුම්දීමෙන් පසු විනය පරීක්ෂණයටද සහභාගි නොවීම නිසා ඔහු සේවයෙන් පහකිරීමට මට සිදුවිය. ඔහු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට සම්බන්ධ හොඳ අත්තක් අල්ලා ගත්තේය. සේවයෙන් පහකිරීමට එරෙහිව ඔහු කම්කරු උසාවියේ මට එරෙහිව නඩුවක් පැවරීය. නඩුවට මා හා ආයතනය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ සුරංජිත් හේවාමාන්නය. ඔහු මාගේ සුපුරුදු නීතිඥයා වූවා පමණක් නොව, වඩාත්ම මාගේ ගෞරවයට හේතුවූ මිත්‍රයාද වූයේය. මා නඩුව ඇසෙන දිනවල කම්කරු උසාවියට නොගිය මුත් එම නඩුවට අදාළව කටයුතු සිදුවෙමින් තිබුණු ආකාරය සුරංජිත් මට දැනුම් දුන්නේය. ඔහු වරක් මට කීවේ නඩුව අසන කම්කරු උසාවියේ විනිශ්චයකාරවරයා එය තමාගේ ප්‍රධානියා එවන ලද නඩුවක් ලෙස සලකා ක්‍රියාකරමින් තිබෙන බවය. නීතිය අනුව කිසිම වන්දියක් පැමිණිලිකරුට අයිති නැතත් ලොකු වන්දියක් නියම කරනු ඇති බවද ඔහු කීවේය. ඔහුගේ අනාවැකිය ඒ ආකාරයටම සිදුවිය. අසාමාන්‍ය තරමේ වන්දියක් නියම විය.
නඩු තීන්දුව ප්‍රකාශවීමෙන් පසුව සුරංජිත් මට කීවේ තීන්දුව නීති විරෝධී තීන්දුවක් වුවත් එය අභියෝගයට ලක් කරන තැනට යනවාට වඩා නියම කර තිබෙන ලොකු වන්දිය ගෙවීම ඇඟට ගුණ බවය. අභියාචනාධිකරණයට ගොස් නඩු තීන්දුව නිෂ්ප්‍රභ කරගත්තද ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය යන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ළඟට බැවින් අභියාචනයකට යෑමෙන් වැළකී සිටීම සුදුසු බව ඔහු කීවේය. ඒ නිසා අසාධාරණ බව පෙනිපෙනීත් එම වන්දිය ගෙවන්නට අපට සිදුවිය. මේ සියලු අවලස්සණ දේවල් කතා කරන්නට සිදුවූයේ නීතිඥයන්ගේ හා විනිශ්චයකාරවරුන්ගේ පමණක් නොව, වෙනත් වෘත්තීයවේදීන්ගේද ක්‍රියාකාරීත්වය පිළිගත හැකි ගරු කටයුතු තත්ත්වයක තබාගැනීම පිණිස සුදුසු ආයතන පද්ධතියක් ඇති කරගැනීමේ අවශ්‍යතාව පෙන්වාදීම සඳහාය. ඒ සඳහා වන කාර්යක්ෂම ක්‍රමවේදයක් බොහෝ රටවල්වල ක්‍රියාත්මක වේ. අපටද ඒවා ආදර්ශයට ගත හැකිය.
එක්සත් රාජධානියේ ක්‍රමය
නිදර්ශනයක් වශයෙන් එක්සත් රාජධානියේ නීතිඥයන් සමග ගනුදෙනු කරන සේවාදායකයන්ගේ ආරක්ෂාව ඉලක්ක කරගත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. සේවාදායකයන්ගේ ආරක්ෂාව සඳහා පවත්වාගෙන යන රක්ෂණ ක්‍රමයක් ඒ රටේ පවතී. රක්ෂණ ක්‍රමයට දායක මුදල් ගෙවිය යුත්තේ නීතිඥයන්ය. එම රක්ෂණ ක්‍රමයකට හැම නීතිඥයකුම අනිවාර්යෙන්ම දායක විය යුතුය. වාර්ෂික දායක මුදල පවුම් 16,000කි. නීතිඥයකු අතින් හිතාමතා හෝ නොසැලකිල්ල නිසා සේවාදායකයකුට සිදුවන වරදකදී සේවාදායකයාට වන්දි ගෙවනු ලබන්නේ එම රක්ෂණ අරමුදලිනි. සේවාදායකයන්ට නීතිඥයන් අතින් සිදුවන වැරදිවලදී නීතිඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කැරෙන කාර්යක්ෂම ආයතන ක්රමයක්ද එහි පවතී.
හැම නීතිඥයකුම නීතිඥ වෘත්තිකයන්ට අදාළ හා දිවුරුමේදී සහතික වන ආචාර ධර්ම තරයේ පිළිපැදිය යුතුය. එම ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියාකරන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ආයතන ක්‍රමයක් පවතී. පැමිණිල්ලක් ලැබුණු විට එම ආයතනය නීතිඥයාගෙන් දින තුනක් තුළ නිදහසට කරුණු විමසා ඔහුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. ලැබෙන පැමිණිලි හා පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රගතියට අදාළ තොරතුරු පැමිණිලිකරුවන්ට සේ ම අවශේෂ මහජනතාවටද එම ආයතනය පවත්වාගෙන යන වෙබ් අඩවිය ඔස්සේ දැක බලාගත හැකිය. චෝදනාවලට වරදකරු වන නීතිඥයකුගේ නීතිඥභාවය අහෝසි කිරීම, අත්හිටුවීම, තරයේ අවවාද කිරීම හා සේවාදායකයන්ට වන්දි නියම කිරීමේ බලය එම ආයතන ක්‍රමය සතුය. එක්සත් රාජධානියේ විෂමාචාර වැරදිවලට මසකට දඬුවම් ලබන නීතිඥයන්ගේ සංඛ්‍යාව 20කට අඩු නැත. හැම නීතිඥයකුටම සේවාදායකයන්ට අදාළ සටහන් පොතක් පවත්වාගෙන යායුතු බව නීතියෙන් නියම කර තිබේ. සේවාදායකයා පැමිණි දිනය වෙලාව සාකච්ඡාවට ලක් කරන ලද කරුණු එහි සටහන් කළ යුතුය.
අලුතෙන් නඩුවක් භාරගන්නා අවස්ථාවලදී කෙටි තත්ත්ව වාර්තාවක් ඔහු සේවාදායකයාට ලබාදිය යුතුය. ආරම්භ කරන්නට යන නඩුව පිළිබඳව නීතිඥයා දරන මතය, නඩුව කියන්නට යන්නේ කවර නීතියක් යටතේද යන්න හා ඒ සඳහා ඔහු සේවාදායකයාගෙන් අය කරගන්නට යන ගාස්තුව, එම ගාස්තුව අයකර ගැනීමට යන පිළිවෙළ එහි විස්තර කළ යුතුය.
හැම නීතිඥයකුම සේවාදායකයන් සඳහා වන විශේෂ බැංකු ගිණුමක් පවත්වාගෙන යා යුතුය. එම පොදු ගිණුම තුළ සේවාදායකයන් සඳහා අතුරු ගිණුම් ඇත්තේය. සේවාදායකයා ගාස්තුව ඍජු ලෙස නීතිඥයා අතට දීම තහනම්ය. ඒ වෙනුවට විය යුත්තේ සේවාදායකයා එම නීතිඥයාගේ සේවාදායක ගිණුමට එම ගාස්තු බැර කිරීමය.
එහි නීතිඥයන් හැම වසරකම තමන් නිරත වී සිටින ක්ෂේත්රයට අදාළ අලුත් දැනුම අත්පත් කරගත් පුද්ගලයකු බව ඔප්පු කරමින් සිය සේවා බලපත්‍රය අලුත් කරගත යුතුය. නිදර්ශනයක් වශයෙන් අපරාධ නඩු විෂය සඳහා හෝ මානව හිමිකම් නඩු විෂය සඳහා පෙනී සිටින නීතිඥයන් වේ නම් එම ක්ෂේත්රයට එකතු වී තිබෙන අලුත් දැනුම ලබාගැනීමට හේතුවන පාඨමාලාවකට ඔහු යායුතුය. වසරකට වරක් එවැනි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා නීතිඥයකු ගත කළයුතු කාලය දින 16කි. බලපත්‍රය අලුත් කරගැනීම සඳහා තෝරා ගත් එවැනි පාඨමාලාවකට සහභාගිවීම සේ ම එම පරීක්ෂණයෙන් සමත් වූ බවට සහතිකයක් තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. නීතිඥයන් සඳහා පමණක් නොව, මේ හා සමාන ක්‍රමයක් වෛද්‍ය වෘත්තිය ඇතුළු වෙනත් අංශවල වෘත්තීයවේදීන් සඳහා ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවද එවැනි ක්‍රමයකට යායුතුය. ඊට ජනමාධ්‍යවේදීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද ඇතුළත් කරගත යුතුය. තමන් වෙත පැවරී තිබෙන සමාජ යුතුකම් හා වගකීම් පිළිබඳ අවබෝධයක් ඇති, නීතිගරුක හා විනයගරුක වෘත්තීයවේදී ප්‍රජාවක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය. රටේ පවතින දේශපාලන සංස්කෘතිය කෙරෙහි වෘත්තීයවේදීන් කෙරෙන් යහපත් හා ඵලදායී බලපෑමක් ඇතිවනු ඇත්තේද එවිටය. වෘත්තීයවේදීන්ගේන් සේවාවන් ලබාගන්නා සේවාදායකයන්ට මනා ආරක්ෂාවක් ලැබෙනු ඇත්තේද එවිටය. ක්‍රමවත් ශක්තිමත් බදු පද්ධතියක් රටේ ගොඩනැගෙනු ඇත්තේ ද එවිටය.
වෘත්තීයවේදීන් හා දේශපාලකයන්
දූෂිත දේශපාලකයන් ගැන වැඩියෙන්ම හැඟීම්බරව කතා කරන්නේද ඔවුන් විවේචනය කරන්නෝද වෘත්තීයවේදීහුය. වෘත්තීයවේදීන් දේශපාලකයන්ට වඩා උගත්ය. බුද්ධිමත්ය. එහෙත් ඔවුන්ගේ උගත් ලෝකයද දේශපාලකයන්ගේ නූගත් ලෝකය තරම්ම දූෂිතය. සමහරවිට ඊටත් වඩා දූෂිතය. අඩුම වශයෙන් වැරදි කරන දූෂිත දේශපාලකයන් අවුරුදු හයකට වරක් හෝ ගෙදර යැවීමේ බලය මහජනයාට ඇත්තේය. එහෙත් වැරදි කරන වෘත්තීයවේදීන් සම්බන්ධයෙන් එවැනි බලයක් මහජනයාට නැත.
මා හිතන අන්දමට පරිවර්තනය ආරම්භ වියයුත්තේ නූගත්කම රජ කරන දේශපාලන තලයෙන් නොව උගත්කම රජකරන වෘත්තීයවේදී තලයෙනි. වැඩියෙන් ප්‍රඥාව ඇත්තේ ඔවුන්ටය. තර්කානුකූලව කරුණු සලකා බැලීමේ වැඩි හැකියාව ඇත්තේද ඔවුන්ටය. වැඩි උගත්කමක් ඇති, වැඩි ප්‍රඥාවක් ඇති, තර්කානුකූලව කරුණු සලකා බැලීමේ වැඩි හැකියාව ඇති අය පළමුවෙන් නිවැරදි නොවී අඩු උගත්කමක් ඇති, අඩු ප්‍රඥාවක් ඇති, තර්කානුකූල නුවණ අඩුවෙන් ඇති අයගෙන් නිවැරදි වන ලෙස ඉල්ලා සිටීම කුහකකමකි. පරිවර්තනය ආරම්භ විය යුත්තේ දේශපාලකයන් අතරින්වත්, සාමාන්‍ය මහජනයා අතරින්වත් නොව වෘත්තීයවේදීන් අතුරිනි. ඔවුහු වෙනස් වෙත් නම්, හිතට එකඟව, පිළිගත් ආචාර ධර්මවලට අනුකූලව ක්‍රියාකරන ගරුකටයුතු පිරිසක් බවට පත්වෙත් නම් ඉන්පසු අන් හැමතැනක්ම වෙනස් වනු ඇත්තේය. දේශපාලන ලෝකය යහපත් වනු ඇත්තේ එවිටය.
එවැනි වෙනසක් වහාම ඇතිවිය නොහැකිය. එහෙත් සමාජ විචාරකයන් සේ ම මහජනයාද ඔවුන්ගේ අවධානය දේශපාලන ලෝකයට සීමා නොකොට, ඉන් පිටස්තර ප්‍රධාන අංශ කෙරෙහි ද යොමු කළ යුතුය.
පිළිකාව ඇත්තේ දේශපාලන ශරීරවල පමණක් නොවේ. අපගේ ශරීරවලද ඒ පිළිකාව ඇත්තේය. මෙම පිළිකා අභියෝගය ජයගැනීමට අවශ්‍ය නම්, අප පළමුකොට අනුන්ගේ ශරීරවල තිබෙන පිළිකාවන් ගැන නොව අපගේ අපේ තිබෙන පිළිකාව ගැන අවධානය යොමු කළ යුතුය. අනුන්ට බණ කියන්නට පෙර අප නිවැරදි විය යුතුය. අනුන්ට බණ කීමේ අයිතිය අපට ලැබෙන්නේ එවිටය.