ප්රභාකරන් මෙහෙයවන ලද දෙමළ තරුණයන්ගේ ත්‍රස්තවාදී යුද ව්‍යාපාරය සේ ම විජේවීර මෙහෙයවන ලද සිංහල තරුණයන්ගේ ත්‍රස්තවාදී යුද ව්‍යාපාරය, පරාජය කිරීම සඳහා දියත් කැරුණු ප්‍රති යුද ව්‍යාපාර තුළ මොනතරම් වැරදි හා අඩුපාඩුකම් තිබුණා විය හැකි වුවත් එම ව්‍යාපාර දෙක පරාජය කිරීමට අසමත් වී, ඔවුන් ජයගැනීමට සමත් වී නම් ඇතිවිය හැකිව තිබුණේ මහා විනාශයකි. ඒ අර්ථයෙන් කැරලි දෙක මර්දනය කිරීම සඳහා ක්‍රියාවට නගන ලද ව්‍යාපාර තුළ මොනතරම් වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකි වුවත් එම යුද්ධ ව්‍යාපාර රටේ පැවැත්ම ආරක්ෂා කළ යුද ව්‍යාපාර ලෙස සැලකිය හැකිය.
විප්ලවකාරී නායකයන් හා සාම්ප්‍රදායික නායකයන්
ඔවුන්ගේ මේ සීමිතකම කෙරෙහි බලපෑවේ ඔවුන්ගේ පන්ති ස්වරූපය නොව ඔවුන්ගේ ප්රචණ්ඩ ආකල්පයන්ය. පන්ති අර්ථයෙන් ගත්විට ඔවුන් අයත් වූයේ සිංහල දෙමළ සමාජයේ නිර්ප්‍රභූ පීඩිත ගණයටය. ඔවුන් මෙවැනි ප්රචණ්ඩ නැගීමකට තල්ලු කිරීමට හේතුව සාධාරණ සමාජ ආර්ථික ප්‍රශ්න ඔවුන්ට තිබුණේය. එහෙත් ඔවුන් තමන්ට තිබෙන ප්‍රශ්න විසඳා ගන්නට උත්සාහ කළේ සාධාරණ ලෙස නොව අසාධාරණ ලෙසය. ඔවුන් දෙපිරිසටම ආවේණික ලොකුම දුර්වලතාව වූයේ ප්රචණ්ඩත්වය කෙරෙහි ඇති කරගෙන තිබූ භක්තිය හා විශ්වාසයයි. තමන්ට අවනත නොවන ඕනෑම කෙනකු තුරන් කිරීමේ අයිතියක් තමන්ට ඇත්තේයැ”යි ඔවුහු විශ්වාස කළෝය. එම විශ්වාසය මත පිහිටා ඔවුහු තමන් කැමති නැති දහස් ගණනකගේ ජීවිත විනාශ කළෝය. ඔවුන් බලය ලබාගැනීමට සමත් වී නම් තමන්ට පක්ෂපාත අයගෙන් සමන්විත සමාජයක් ඇති කරගැනීම සඳහා ඔවුන් අතින් තවත් විශාල පිරිසක් මරණයට පත්වන්නට ඉඩ තිබුණේය.
සාම්ප්‍රදායික පාලකයන් යහපත් නැත. ඔවුන්ගේ අත් අපිරිසිදුය. සාධාරණත්වය දෙස බලන්නේ කල්ලි කෝණයකිනි. සුදුසුකමට වඩා තැන දෙන්නේ පක්ෂවාදීකමටය. ඔවුන් හොඳ නැතත් ස්ථිර හා ඔවුන්ට වඩා හොඳ පාලකයන් අපේක්ෂා කළ යුතු වුවත් ඔවුන් ද විජේවීර ගණයේ හෝ ප්රභාකරන් ගණයේ පාලකයන්ට වඩා යහපත්ය. ඔවුන් ප්රභාකරන් හෝ විජේවීර තරම් ප්රචණ්ඩ නැත. ඒකාධිපතිවන්නේද නැත. දෙමළ සමාජයට සිංහල සමාජය සමග ගැටුමක් තිබීම හේතු කොටගෙන ප්රභාකරන් ලද පරාජය ඔවුන් තුළ හිත් වේදනාවක් ඇති කිරීමට හේතුවූවා විය හැකි වුවත් ප්රභාකරන් පාලනයක් ඇතිකර ගැනීමට සමත් වී නම් ඔවුන්ගේ ජීවිත ඔවුන් දැන් ගතකරන ජීවිතවලට වඩා පීඩාකාරී සේ ම විනාශකාරී වනු නොවැළැක්විය හැකිය.
ඒ නිසා ප්රභාකරන්ගේ ආධිපත්‍යය පරාජය කිරීම භේදයකින් තොරව රටේ ජීවත් වන සියලු ජනයා හිමි කරගත් ඉතා වැදගත් හා තීරණාත්මක, ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
එහෙත් ඒ දිනාගත් ඓතිහාසික ජයග්‍රහණය රටේ වේගවත් ඉදිරි ගමනකට හේතු නොවී ඔවුන් පරාජය කිරීමේ ක්‍රියාවලිය ආශ්රයෙන් ඇතිවී තිබෙන රටේ ඉදිරි ගමන වළකන බාධයක් ලෙස ක්‍රියා කරයි නම් එම අභියෝගය ජයගැනීමේ අරමුණ වෙත සමස්ත ජාතියේම අවධානය යොමුවිය යුතු ලෙස සැලකිය හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ
රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ දේශපාලන නායකයා වශයෙන් ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබුණු මහා අභියෝගය පරාජය කිරීමේ ඓතිහාසික සංසිද්ධිය මා අතින් එදා විවරණය වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිදහසින් පසු ශ්‍රී ලංකාව බිහිකළ ශ්‍රේෂ්ඨතම ජන නායකයා බවට පත් කැරුණු අවස්ථාව ලෙසය. ඒ සමග මම ඊට තවත් ඌන පූර්ණයක්ද එකතු කළෙමි. ඒ මගින් හිමි කරගත් ශ්‍රේෂ්ඨත්වය පරිපූර්ණ වීමට නම් පවත්නා දූෂිත දේශපාලන ක්රමයද ඔහු අතින් වෙනස්විය යුතු බවය. ඒ ඇති කරන වෙනස්කම් තුළ දෙමළ ජනතාවට ද ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් විය හැකි වටාපිටාවක් සහතික කැරෙන ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බවය. සාම්ප්‍රදායික දෙමළ දේශපාලන නායකයන් සමග එකට එකතු වී විපතට පත්වූවන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ක්‍රියාවට නගන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන්නට තිබෙන හැකියාව නැති කරනු ඇති බවය. යුද්ධ කාලයේදී පවත්වාගෙන ගිය පැත්තකට බර විදේශ ප්‍රතිපත්තියෙන් ඉවත් වී, යුද්ධයේදී අපට ආධාර කළ බලවේගයන්ගේද මිත්‍රත්වය ආරක්ෂා කරගනිමින් මැදිහත් විදේශ පිළිවෙතකට මාරුවිය යුතු බවය. අප අපනයනය සඳහා නිපදවන භාණ්ඩ විකිණිය යුතුව තිබෙන්නේ බටහිර රටවලට නිසා බටහිර රටවල් සමග රණ්ඩු කරන පිළිවෙතක් රටේ යහපතට හේතු නොවන බවද කියා සිටියෙමි.
එහෙත් යුද ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා තෝරාගත් මාර්ගය ඊට වෙනස්ය. ලැබූ යුද ජයග්‍රහණයේ ශක්තියෙන් පමණක් ලොකු ඉදිරි ගමනක් යාහැකියැ”යි ජනාධිපතිවරයා විශ්වාස කළ බව පෙනේ. දේශපාලන ක්රමයේ වෙනසක් නැතිවම සංවර්ධනයට බර තබන ප්‍රතිපත්තියක් මගින් ලොකු සංවර්ධන ඉලක්කයක් ජයගත හැකිවනු ඇතැ”යි ඔහු විශ්වාස කළේය. එසේ ඇතිවන මහා ආර්ථික සංවර්ධනය ජනවාර්ගික ගැටලුව ඇතුළු එවැනි වෙනත් ප්‍රශ්නද ඉබේ විසඳාලීමට හේතුවනු ඇතැ”යි විශ්වාස කළේය. මා හිතන අන්දමට දැන් ඇතිවී තිබෙන අවුල් එම ප්රවේශයේ ප්රතිඵලයකි.
ජනාධිපතිවරයා ගැන ලියූ අවස්ථාවකදී මම ඔහු නොකැපූ අගනා මැණිකකට ද සමාන කර ඇත්තෙමි. මා එසේ සඳහන් කළේ ඔහු සතුටු කිරීම සඳහා නොවේ. එසේ කීවේ මට පෙනෙන්නට තිබුණු, රටේ මීට පෙර සිටි නායකයන්ට නොතිබුණු සමහර හැකියාවන් සලකාය. එහෙත් ජනාධිපතිවරයා නොකැපූ අගනා මැණිකක් ලෙස සඳහන් කරන විට එම ප්‍රකාශය තුළ අසම්පූර්ණභාවයක්ද අන්තර්ගතවේ. එය කැපිය යුතු, ඔප දැමිය යුතු මැණිකක් බව අදහස් වේ. එහෙත් කපන්නන් හා ඔපදමන්නන් දක්ෂයන් නොවේ නම් ඔවුන් අතින් මැණිකේ වටිනාකමද නැතිවිය හැකිය. සිදුවෙමින් තිබෙන්නේද එයමය.
ප්රභාකරන් පරාජය කිරීම
ඔහුට ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබූ දැවැන්ත අභියෝගය ජයගත හැකිවූයේ ඒ සඳහා වන ශක්තිමත් දර්ශනයක්ද, ක්‍රියාකාරී වැඩසටහනක්ද තිබුණු නිසාය. ජනාධිපතිට යුද කටයුතු සම්බන්ධීකරණයට ගෝඨාභය කෙනෙක් සිටියේය. ඔහු ඒ අරමුණ ජයගැනීම සඳහා තමන්ගේ සම්පූර්ණ කාලය කැප කළේය. යුද්ධයේ හැම වැදගත් අංශයක් සඳහාම ඔවුන් වෙත පැවරී තිබෙන වගකීම ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඇති නායකයෝ සිටියෝය. සියලු ප්‍රශ්න ජනාධිපති වෙත නාවේය. ජනාධිපති වෙත ආවේ ආරක්ෂක ලේකම්වරයාට තීරණය කළ නොහැකි දේවල් පමණය. ආරක්ෂක ලේකම්වරයා වෙත ආවේද අංශ භාරව ක්‍රියාකරන ප්‍රධානියාට විසඳිය නොහැකි ප්‍රශ්න පමණය. හැම වැදගත් අංශයකම ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය පරීක්ෂාවට ලක් කැරෙන වැඩපිළිවෙළක් තිබුණි. අන්තර්ජාලය ඔස්සේ කැරෙන කටයුතු විශිෂ්ට තත්ත්වයක පැවතුණි. අසල්වැසි ඉන්දියාව සමග කැරෙන ගනුදෙනු ප්රශස්ත තත්ත්වයක තිබුණි. මොනම දෙයක්වත් ඉන්දියාවට සැඟවූයේ නැත. ඉන්දියාවේ උපරිම විශ්වාසය පවත්වාගෙන යෑමට එම වැඩපිළිවෙළ සමත් විය. සොල්දාදුවන් ධෛර්යමත් කිරීම සඳහා හා ඔවුන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබාදීම සඳහා ඉතාමත් දියුණු ප්රචාරක වැඩපිළිවෙළක් තිබුණි. අවධානය යුද බිමට සීමා නොකොට පිටස්තර ප්‍රදේශවල පහරදීම්වලට ඉඩක් නැති මනා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. යුද්ධය අවසාන වශයෙන් ජයග්‍රහණය කැරෙන තෙක්ම යුද්ධය තුළ මහා වෘත්තීයවේදයක් ක්‍රියාත්මක විය.
යුද්ධය ජයගැනීමෙන් පසු
යුද්ධය අවසන් කිරීමෙන් පසුද ඒ ආශ්රයෙන් ජාත්‍යන්තරයෙන් අපවාද එල්ලවිය හැකි බව හා ඊට සාර්ථක ලෙස මුහුණ දෙන්නට නොහැකි වුවහොත් ඇතිවිය හැකි බරපතළ අවුල්සහගත තත්ත්වය කල්තියා තේරුම් ගනිමින් යුද්ධය ජයගැනීම සඳහා යොදාගත් වැඩපිළිවෙළට සමාන ක්‍රියාකාරී හා ඵලදායී වැඩපිළිවෙළක් ඉදිරියට ගතයුතුව තිබුණේය.
විදේශ කටයුතු විෂය සඳහා ද ඉලක්ක ජයගැනීම සඳහා ඇප කැපවී ක්‍රියා කරන ගෝඨාභය වැනි ශක්තිමත්, කාර්යක්ෂම හා බහුශ්‍රුත පුද්ගලයකුට ඒ විෂය භාර දිය යුතුව තිබුණි. විදේශ තානාපති සේවයේ වැදගත්ම මර්මස්ථාන සඳහා පළපුරුදු හා දක්ෂ වෘත්තීය ගණයේ නිලධාරීන් යොදාගත යුතුව තිබුණේය.
එහෙත් ආණ්ඩුව රටේ ආර්ථික සංවර්ධනයට මුළු බර යොදන පිළිවෙතක් අනුගමනය කළා විනා මෙම සංකීර්ණ විෂය ක්ෂේත්රයට අවශ්‍ය තරමේ බරපතළ අවධානයක් යොමු කළේ නැත. විෂය භාර දෙනු ලැබූ ඇමතිවරයාට ශක්තිමත් උපාය මාර්ගික වැඩපිළිවෙළක් නොතිබුණා සේ ම තානාපති සේවයේ මර්මස්ථානවලට පත්කළ පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක්ද පක්ෂපාත පිරිසක් වූවා මිස පළපුරුදු දක්ෂ වෘත්තීයවේදීහු නොවූහ.
මෙවැනි සංකීර්ණ අවුලක් තිබෙන අවස්ථාවකදී විදේශ ජනමාධ්‍යවලට කතා කිරීමට යොදාගත යුත්තේ ඉතා හොඳින් භාෂාව කතා කිරීමේ හා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති තෝරාගත් පුද්ගලයකු හෝ දෙදෙනකු පමණය. වෙනත් අය ඒ විෂය කතා කිරීමටත් වැළකිය යුතුව තිබුණි. එහෙත් බොහෝ විට විදේශ ජනමාධ්‍යවලට කතා කළෝ නුසුදුස්සෝය. ඔවුන් කරන දුර්වල කතා ලෝකයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතු නොවීය.
ඒ සියල්ලෙහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඉතාමත් ලොකු තරගයකින් ජයගත් රටක් ඊට පසුව පැවැත්වෙන ඉතාමත් පුංචි තරගයකින් පරාජය වීම මගින් දිනාගත් සියලු ජයග්රහණයන් අහිමි කරගන්නා තත්ත්වයකට පත්වීමය. තවමත් ශ්‍රී ලංකාව එම තරගයෙන් මුළුමනින් පරාජය වී නැතත් දැන් තරගය තිබෙන්නේ ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයකය. ශ්‍රී ලංකාව සිටින අවාසිදායක තත්ත්වය වාසිදායක තත්ත්වයකට හරවාගත හැකිවනු ඇත්තේ ප්‍රමාද නොවී තරගයට මුහුණදෙන ශෛලියේ මූලික වෙනසක් ඇති කරගනිමින් ශක්තිමත් හා ප්‍රායෝගික උපාය මාර්ගික සැලැස්මක් ඇතිව ඒ වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදා ක්‍රියාකරන තැනකට ඒමට ශ්‍රී ලංකාව සමත් වේ නම් පමණය.
ප්රවේශයකට ආවේණික සීමා
ශ්‍රී ලංකාව මෙම ආරාවුල දකිමින් තිබෙන ආකාරයේද බරපතළ වැරදි හා අඩුපාඩුකම් පවතී.
මේ ආකාරයේ අර්බුදයකදී ජාත්‍යන්තර ප්‍රශ්න කිරීම්වලට ලක්වීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක් නොව, වෙනත් ඕනෑම රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්රතිපත්තියකි. මෙවැනි ප්‍රශ්න කිරීම්වලට ඇමරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව වැනි රටවලටද මුහුණ දෙන්නට සිදුවිය.
මෙතරම්ම බලවත් ආකාරයකින් නොවූවත් ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුද එවැනි ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවිය. පසුව ඇතිවූ කැරලි දෙක සමග සසඳන විට 71 කැරැල්ල පුංචි කැරැල්ලක් වුවද එය පරාජය කිරීමෙන් පසුද ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කිරීම් හා අදහස් පළකිරීම් සිදුවිය. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඇතිවූ පීඩාවට වැඩි පීඩාවක් එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට එල්ල වූයේ ඒ අතරතුර කාලයේදී ලෝකය බොහෝ වෙනස් වී ඇති නිසාත්, ජේවීපීය වෙනුවෙන් හඬ නගන්නට ලොකු සිංහල ඩයස්පෝරාවක් නොතිබුණද එල්ටීටීඊය වෙනුවෙන් හඬ නගන්නට ලොකු ක්‍රියාකාරී ඩයස්පෝරාවක් ලෝකයේ තිබුණු නිසාත්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය අපක්ෂපාතී හා සාධාරණ නොවූවද ඔහු සිටින්නේ ද විවිධ ලෝක බලවතුන්ගේ පීඩනයට මැදිවූ තත්ත්වයකය. මෙවැනි ආරාවුලකදී ඔහුටද මුළුමනින් අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැකිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හැමවිටම සාධාරණව හා අපක්ෂාපතව ක්‍රියාකරන ජගත් සංවිධානයක් ලෙස සැලකිය නොහැකි වුවත් එය ලෝකයේ රටවල් එකට එකතු වී ඇති කරගත් ප්‍රධාන ජගත් සංවිධානය වන අතර ශ්‍රී ලංකාව ද එහි සාමාජික රටකි. එය සම්මත කරගෙන තිබෙන නීතිරීති හා ප්‍රතිපත්ති එහි සාමාජික රටක් වශයෙන් අපට ද අදාළය. එහිදී අපට ඇතිවන අසාධාරණයේදී අප ඊට එරෙහිව සටන් කළයුත්තේ එහි ක්‍රියාත්මක වන නීතිරීති හා ආචාර ධර්මවලට අනුකූලවෙමින් එහි සාමාජික රටවල් බහුතරයක සහාය ලබාගන්නා ක්‍රියාමාර්ගයක් මගිනි.
මහ බලවතුන්
සෝවියට් දේශයේ ආධිපත්‍යය බිඳ වැටීමෙන් පසු ලෝක ආධිපත්‍යය සඳහා තරගයක් නැති කාලයක් තිබී නැවත ලෝක ආධිපත්‍යය සඳහා සීතල තරගයක් ඇති තත්ත්වයක් ගොඩනැගී තිබේ. මෙම තරගය නිසා ලෝකය නැවත කඳවුරු දෙකකට බෙදෙමින් සිටියත්, පරණ ලෝකයේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති අදට වලංගු නැත. පරණ ලෝකයේ ලෝක බලවතුන්ට ස්ථිර මිතුරෝ සිටියෝය. එහෙත් අද ලෝකයේ ලෝක බලවතුන්ට ස්ථිර මිතුරෝ නැත. ප්රතිපක්ෂය සමග ලොකු රණ්ඩුවකට නොගොස් තවදුරටත් ආරක්ෂා කිරීමට බැරි තරමට ප්‍රශ්න ඇතිවූ විට මිතුරන් අත්හැරීම ලොකු බලවතුන්ගේ නව ලෝක රටාව තුළ ක්‍රියාත්මක ප්‍රතිපත්තිය වී තිබේ. ප්රතිපක්ෂය ඉරානය හා ඉරාකය අත්හැරියේය. පසුව ලිබියාවද අත්හැරියේය. ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව ද එවැනි තත්ත්වයකට පත්විය හැකිය.
අප අපනයනය සඳහා නිපදවන භාණ්ඩවලින් විශාලතම පංගුවක් මිලදී ගත්තේ බටහිර රටවල්ය. අපට එම භාණ්ඩ අපේ මිතුරු රටවල්වලට විකිණිය නොහැකිය. එය රටේ ආර්ථිකය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයකි. එවැනි තත්ත්වයක ඉඳිමින් බටහිර බලවතුන් සමග රණ්ඩු කරන්නට යෑම අපේ රටේ යහපතට හේතුවන්නේ නැත.
ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ ප්‍රධානතම මුහුදු මාර්ගයකට මුහුණලා හා අවශ්‍ය නම් එම මුහුදු මාර්ගය පාලනය කළ හැකි උපාය මාර්ගික වැදගත්කමක් ඇති මර්මස්ථානයකය. එය මහ බලවතුන්ට සංවේදී ප්රශ්නයකි. ලෝක ආධිපත්‍යය සඳහා කැරෙන තරගයේදී ශ්‍රී ලංකාව එක් පාර්ශ්වයක් තෝරාගෙන එම බලවතාගේ ආධාරකරුවකු ලෙස ක්‍රියා කරන තත්ත්වයක් ප්රතිබලවතාගේ කෝපයට හේතුවේ. විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාව තමන් පිහිටි ස්ථානයට ලැබී තිබෙන වැදගත්කමද සැලකිල්ලට ගත යුතුය.
ලංකාව ඉන්දියාවේ කටේ පිහිටි රටකි. ඇය දැන් කලාපීය බලවතාගේ තත්ත්වයට වඩා ලොකු බලවතෙකි. ශ්‍රී ලංකාව ඉන්දියාවටද ඉතාමත් සංවේදී රටකි. ඉන්දියාව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් මිස ඉන්දියානු විරෝධී හෝ ඉන්දියාවේ වුවමනාවන්ට හානි ඇති කරන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සේ ම අපට මතභේද ඇති රටවල් සමග අපට තිබෙන ප්‍රශ්න විසඳාගත යුත්තේ රටේ ගෞරවයට හේතුවන ප්රතිපත්තියක පිහිටාය. කොතරම් ප්‍රශ්න තිබුණද වාද විවාද අදහස් පළකිරීම් හා විරෝධතා ව්‍යාපාර පැවැත්විය යුත්තේ පිටත සිට බලන්නන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ශිෂ්ටසම්පන්න රාමුවක පිහිටාය. රටවලට, රාජ්‍ය නායකයන්ට, රාජ්‍ය දූතයන්ට කෝපයෙන් නින්දා අපහාස කරන ප්රතිපත්තියකට නොයා යුතුය. ජේ.ආර්. ජයවර්ධන මූලාසනයේ තබාගෙන ආර්. ප්‍රේමදාස විසින් ඉන්දිරා ගාන්ධි එළදෙනකු ලෙස හැඳින්වෙන ආකාරයට කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉන්දිරා ගාන්ධි නැවත බලයට පත්වීමෙන් පසු ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. ප්‍රේමදාස මහතා ජේආර් ජයවර්ධනගේ ද අනුමැතිය ඇතිව ගැලරිය සතුටු කිරීම සඳහා කරන ලද එම කතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල මිලක් ගෙවන්නට සිදුවිය. මොනතරම් මතභේද තිබුණද රාජ්‍ය නායකයන්ට අපහාස කරන එවැනි ගැලරි කතාවලට ඉඩ නොතැබිය යුතුය.
අභියෝගය ජයගැනීම
ප්රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම මගින් ජාත්‍යන්තර තලයේ ඇතිවී තිබෙන ප්‍රශ්න විචක්ෂණ ලෙස ජයගැනීමට අසමත් වෙතොත් ඒ නිසා ඇතිවන ප්‍රශ්න ප්රභාකරන්ගේ ව්‍යාපාරයේ පැවැත්ම විසින් රටට ඇති කරන ලද ප්‍රශ්නවලටත් වඩා විශාල විය හැකිය. ඒ නිසා ප්‍රමාද නොවී ඒ තත්ත්වය ජයගත හැකි වැඩසටහනක් ඇති කරගත යුතුය. එය ප්රභාකරන් පරාජය කිරීම සඳහා යොදාගත් යුද වැඩපිළිවෙළ තරම්ම විචක්ෂණ ප්‍රායෝගික එකක් විය යුතුය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ගෞරවයට හා කීර්තියට හේතුවන ලෝක මතයක් ඇති කිරීම එය අරමුණු කරගත යුතුය.
ඒ සමග ශ්‍රී ලංකාවේ හොඳ නම කැත කරන සිද්ධීන් යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය.
යුද කාලය තුළ සීමාන්තික ක්‍රියා සිදුවී ඇතිවී නම් ජාත්‍යන්තරයේද විශ්වාසයට හේතුවන ලෙස ඒවා සොයා බලන තැනකට යායුතුය.
දෙමළ ප්රශ්නය විසඳා ගැනීම සඳහා දෙමළ නායකයන් සමග එකට වැඩ කරන තැනකට යායුතුය.
භාගෙට වසාගෙන සිටින ප්රජාතන්ත්රවාදයේ සියලු දොර කවුළු විවර කරමින් යහපාලනය ශක්තිමත් කිරීමට හේතුවන ලෙස දේශපාලන ක්රමයේ ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යායුතුය.
එල්ල වී තිබෙන අභියෝගය රටේ ගෞරවයට හා යහපතට හේතුවන ලෙස ජයගත හැකිවනු ඇත්තේ එවිටය.