ප්‍රඥාවන්ත ප්‍රවේශයක අවශ්‍යතාව

April 24, 2011
Publication:
The recommendations of the panel of experts appointed by the UN Secretary-General may work as a factor damaging Sri Lanka's progress, and the challenge arising from them may be as large as the one Prabhakaran posed and more complicated than that. It can still be settled to our advantage, or with the damage kept small, and doing that means changing the whole approach.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා පත්කළ විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන කෙරෙහි හානිදායී ලෙස බලපාන සාධකයක් වීමේ හැකියාව පවතී. සමහරවිට ඒ ආශ්‍රයෙන් මතුවිය හැකි අභියෝගය ප්‍රභාකරන්ගෙන් එල්ල වී තිබූ අභියෝගය තරම්ම විශාල විය හැකි අතර ඊටත් වඩා සංකීර්ණ ද විය හැකිය.

එහෙත් මෙම අභියෝගය මුලදී අප ජයගත යුතුව තිබුණේද දැන් ජයගත යුතුව තිබෙන්නේද, ඉවසීම හා ප්‍රඥාව පෙරදැරි කරගත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකි. එසේ නැතිව එය දේශීය වශයෙන් මහජනයා කරන උද්ඝෝෂණ, කෝපය හෝ ආවේගාත්මක හැඟීම් පළ කරන විරෝධතා ව්‍යාපාරවලින් ජයගත හැකි ප්‍රශ්නයක් නොවේ. සමහරවිට එවැනි හැඟීම්බර ව්‍යාපාරය මෙම ප්‍රශ්නය තව තව උග්‍ර කිරීමට ද හේතුවිය හැකිය.

ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමත්, ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආරක්ෂක හමුදා රටේ පොදු යහපතට සේ ම ලෝක යහපතටද හේතුවන හොඳ දෙයක් කළා මිස නරක දෙයක් කළේ නැත. එය යුදමය වශයෙන් ත්‍රස්තවාදයට එරෙහිව කැරුණු ව්‍යාපාරයක් වූවා මිස, දෙමළ ජනතාවට එරෙහිව කැරුණු ව්‍යාපාරයක් නොවීය. එවැනි ක්‍රියාමාර්ගයක් මීට පෙර වෙනත් ආණ්ඩුවක් යටතේ සිංහල දකුණේද සිදුවිය. මෙම නැගිටීම් දෙක මර්දනය කිරීමේදී ආරක්ෂක හමුදා සිංහල දකුණට එක ප්‍රතිපත්තියකුත්, දෙමළ උතුරට තවත් ප්‍රතිපත්තියකුත් අනුගමනය කළේ නැත. කැරලි මර්දනය කිරීමෙන් පසු පළිගැනීමේ ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක නොවීය.

බලවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇති කරන පැන නැගීම් පරාජය කිරීමට දරන උත්සාහයක් තුළ මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවීම නොවැළැක්විය හැකිය. මරණයට පත්වීම් හා තුවාල සිදුවීම් ද නොවැළැක්විය හැකිය.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු හෝ ඒ අතරතුර කාලයේ පළිගැනීමේ අරමුණින් කැරෙන මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතන සිදු නොවීය. එල්ටීටීඊය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා කළ යුතුව තිබුණු අත්‍යවශ්‍ය දෙයක් වූ අතර එවැනි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කිරීමේ අයිතිය හා බලය ශ්‍රී ලංකා රජයට තිබුණේය.

කවර සීමිතකම් තිබුණද එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ රාජ්‍යයන් එකට එකතු වී ඇති කරගත් ජගත් සංවිධානය එය වන අතර, ශ්‍රී ලංකාව ද එහි සාමාජික රටකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාත්මක වන සම්මුතීන් හා එකඟතාවන් අනුව සිය සාමාජික රටක මෙවැනි ආරාවුලක් පැන නැගුණු විට ඒ ගැන සොයා බැලීමේ අයිතියක් ඔවුන්ට ඇති බව අප පිළිගත යුතුය. සිදුවී තිබෙන වැරැද්ද වනුයේ ඔවුන්ගේ ප්‍රවේශය සාධාරණ නොවීමය.

ඔවුන්ට මෙම ප්‍රශ්නයේදී බලා තිබෙන්නේ සමස්ත චිත්‍රය දෙස නොව, සමස්ත චිත්‍රය තුළ ඇති කළු පැල්ලම් දෙස පමණය. එහෙත් සමස්ත චිත්‍රය කළු පැල්ලම්වලින්ම පිරුණු චිත්‍රයක් නොවේ. කළු පැල්ලම් ඇති කොටස ඉතා කුඩාය. සමස්ත චිත්‍රය ඔවුන්ට පෙන්වාදීමේ වගකීම ඇත්තේ අපටය. ශ්‍රී ලංකාව මෙතෙක් කළේ ඔවුන්ට තර්කානුකූලව කරුණු පහදා දෙන ප්‍රතිපත්තියකට නොගොස් කෝපයෙන් විරෝධය පාන හා බැණ වදින ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමය. ඒ නිසා ආරම්භයේදී නියපොත්තෙන් කපාගත හැකිව තිබුණු ප්‍රශ්නයක් ලොකු පොරවකින්වත් කපා ගැනීමට අමාරු ලොකු ප්‍රශ්නයක් දක්වා වර්ධනය විය.

තවමත් මෙම ප්‍රශ්නය අපේ වාසියට හේතුවන ලෙස හෝ ඇතිවිය හැකි හානිය අවම වන ආකාරයට විසඳා ගැනීමට හැකියාව පවතී. ඒ සඳහා සමස්ත ප්‍රවේශය වෙනස් කළ යුතුය. කෝපයෙන් විරෝධය පාන හෝ රටේ මහජනයාගේ හැඟීම් අවුස්සන පිළිවෙතක් වෙනුවට ලෝක ආකල්ප වෙනස් කිරීමට හේතුවන ඉවසීමෙන් හා ප්‍රඥාවෙන් කරුණු පහදා දෙන හා විග්‍රහ කරන ප්‍රවේශයකට යොමුවිය යුතුය. ප්‍රබාකරන් පරාජය කිරීමේ නියම ඵලය රටට ලැබෙනු ඇත්තේ එවිටය.