තරුණ වෛරය සහ අසහනය

January 16, 2011
Publication:
There have been three violent insurrections in Sri Lanka since independence, all of them youth insurrections, two Sinhala and one Tamil. The JVP's 1971 rising was the first attempt by a political organisation to seize power by armed revolt, and a simple one that the forces put down easily in under a month. What follows is Ivan's reckoning of where Wijeweera and Prabhakaran belong, and of what there is in all this to be shaken by.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇතිවී තිබෙන ප්‍රචණ්ඩ කැරලි ගණන තුනකි. මෙම කැරලි තුනම තරුණ කැරලි වශයෙන් සැලකිය හැකි අතර ඉන් දෙකක් සිංහලද, එකක් දෙමළ ද වේ. ජවිපෙ 71 කැරැල්ල ආයුධ සන්නද්ධ කැරැල්ලක් මගින් දේශපාලන සංවිධානයක් බලය අල්ලා ගැනීමට දරන ලද පළමු උත්සාහය ලෙස සැලකිය හැකිය. එය සරල කැරැල්ලක් ලෙස සැලකිය හැකි අතර මසකට අඩු කාලයක් තුළ එය පහසුවෙන් පරාජය කිරීමට ආරක්ෂක හමුදා සමත් විය.

ජේවීපීය හා එල්ටීටීඊය

එහෙත් එම කැරැල්ල මෙහෙයවූ ජවිපෙ නැවත ඉන් දශක එකහමාරකට පසුව නැවත වඩා බලවත් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළේය. ඔවුන්ගේ දෙවැනි උත්සාහය ක්‍රියාත්මක වන අවස්ථාව වන විට උතුරේ සටන්කාමී දෙමළ තරුණ පරපුරද වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කොට එය පවත්වාගෙන යමින් සිටියේය. වෙන් වෙන්ව උතුරේත් දකුණේත් ක්‍රියාත්මක වූ මෙම කැරලි දෙක අතර අන්තර් සම්බන්ධයක් නොතිබුණද එම කැරලි දෙක එකිනෙක කැරලි පෝෂණය කළේයැ”යි කිව හැකිය. ජවිපෙට එල්ටීටීඊයට මෙන් නවීන අවි ආයුධ නොතිබුණද ඉන්දු-ලංකා ගිවිසුම ආශ්‍රයෙන් රටේ ගොඩනැගී තිබුණු උද්වේගකර වාතාවරණය කළ අවුරුදු දෙකකට තරමක් වැඩි කාලයක් තුළ රාජ්‍යයේ පැවැත්ම තීරණාත්මක අභියෝගයට ලක් කෙරෙන බලවත් තත්ත්වයකින් එය පවත්වාගෙන යෑමට ඔවුහු සමත් වූහ. ඇත්ත වශයෙන්ම ඔවුන් පරාජය කැරුණේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඔන්න මෙන්න කියන තත්ත්වයකට ඔවුන් පැමිණ තිබූ අවස්ථාවකදීය.

එල්ටීටීඊය ජනවාර්ගික අර්ථයෙන් සුළු ජනවර්ගයක් නියෝජනය කිරීම හේතු කොටගෙන ප්‍රධාන ජනවර්ගය නියෝජනය කළ ජේවීපීය මෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම ඔවුන්ගේ ඉලක්කය නොවීය. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කොටගත්තේ දෙමළ ජනයා සඳහා වන දෙමළ රාජ්‍යයකි. ඔවුහු සිය කැරැල්ල දශක දෙකකට වැඩි කාලයක් අල්ලාගෙන සිටීමට සමත් වූහ. ගරිල්ලා ව්‍යාපාරයක තත්ත්වයකින් ආරම්භ වී ඉතාමත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ ත්‍රිවිධ හමුදාවක් සහිත ව්‍යාපාරයක තත්ත්වයට පත්වීමට එය සමත් වූවා පමණක් නොව දශකයකට තරමක් වැඩි කාලයක් වර්ග කිලෝමීටර් 15,000ක තරම් භූමි ප්‍රමාණයක තත්ත්වාකාර රාජ්‍යයක් පවත්වාගෙන යෑමට සමත් විය. ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන ගිය හමුදා කඳවුරු විශාල ගණනකට පහර දී ඒවා අල්ලා ගැනීමට සමත්ව තිබූ අතර යාපනේ අර්ධද්වීපයට ඇතුළු වන මුවදොරේ පිහිටි විශාල හමුදා කඳවුරු සංකීර්ණයක්ව තිබූ අලිමංකඩ හමුදා කඳවුරට පහර දී එය අල්ලා ගැනීමෙන් හා කටුනායක ගුවන් හමුදා කඳවුරට හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහරදීම මගින් හා කොළඹ නගරයේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන ගණනාවකට පහරදීම සමත්වීම මගින් තමන් යුදමය වශයෙන් පරාජය කළ නොහැකි අපරාජිත යුද්ධමය ව්‍යාපාරයක් වේය කියන හැඟීම දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද ඇති කිරීමට සමත්ව තිබුණි.

එහෙත් අවසානයේදී එල්ටීටීඊයෙන් එල්ල වූ දැවැන්ත කැරැල්ලද පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමත් විය. ආසියාවේ ආශ්චර්යක් ලෙස සැලකීම වඩා යෝග්‍යවන්නේ ශ්‍රී ලංකාව අනාගතයේ අත්පත් කරගන්නේයැ”යි කියන දියුණුවට වඩා ලෝකයේ බලවත්ම බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය බවට පත්ව තිබූ එල්ටීටීඊය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීමය.

කැරලි දෙකේ පරාජයේ ඉදිරිගාමී බව

ඒ අර්ථයෙන් බරපතළ සීමාසහිතකම් තිබියදීත් ශ්‍රී ලංකාව ඉතාමත් වාසනාවන්ත රටක් ලෙස සැලකිය හැකිය. ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ට බරපතළ සීමාසහිතකම් තිබුණේය. එහෙත් ඔවුන් ඉදිරියේ විජේවීර තෝරා ගැනීම රටට තිබූ වඩා හොඳ දේශපාලන විකල්පය නොවීය. එම කැරැල්ල ජයගැනීමට ඔහු සමත් වී නම් ඔහු අතින් වෙන්නට තිබූ විනාශය එම සාම්ප්‍රදායික නායකයන් දෙදෙනා අතින් සිදුවී තිබෙන හානියට වඩා විශාල වන්නට ඉඩ තිබුණි. එම ප්‍රවේශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිටද අදාළය. තමන්ට එරෙහිව කෙරෙන යුද්ධය ජයගැනීමට ප්‍රභාකරන් සමත් වී නම් එය ශ්‍රී ලංකාවේ රාජ්‍යය කෙරෙහි පමණක් නොව, රටේ වෙසෙන අන්‍ය වාර්ගිකයන් කෙරෙහි පමණක් නොව, ප්‍රභාකරන් නියෝජනය කළ ජනවර්ගය කෙරෙහිද ඉතාමත් විනාශකාරී ලෙස බලපාන්නට ඉඩ තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කවර සීමාසහිතකම් තිබුණද එම යුද්ධයෙන් ප්‍රභාකරන් පරාජය වී මහින්ද ජයගැනීම රටේ පොදු යහපතට හේතුවූ යහපත් දෙයක් ලෙස සැලකිය හැකිය.

හැම නැගිටීමක්ම හෝ හැම කැරැල්ලක්ම පරාජය කිරීම යහපත් දෙයක්වේයැ”යි ඉන් අදහස්වන්නේ නැත. සමහර නැගිටීම් හා කැරලි ඓතිහාසික අර්ථයෙන් ඉදිරිගාමී බව නියෝජනය කරයි. ප්‍රංශ විප්ලවයේ ප්‍රචණ්ඩ ස්වරූපය කුමක් වුවත් දෘෂ්ටිමය අර්ථයෙන් එය ලෝක ප්‍රගතිය කෙරෙහි බලපෑ ඓතිහාසික වැදගත්කමක් ඇති දේශපාලන සංසිද්ධියක් විය. ඇමරිකන් විප්ලවය හා එංගලන්ත විප්ලවයද ඒ සමාන ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කළේය. රුසියන් විප්ලවය හෝ චීන විප්ලවය දෘෂ්ටිමය අර්ථයෙන් ඉදිරිගාමී නොවූවද ඒ රටවල් දෙක එදා තිබූ තත්ත්වය අනුව ඒ සිදුවූ විප්ලව දෙක ඉදිරිගාමී ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ ගාන්ධිගේ අහිංසා විප්ලවය ලෝක මහජන විප්ලව ඉතිහාසය තුළ සිදුවී ඇති දැවැන්ත හා ශ්‍රේෂ්ඨතම විප්ලවය ලෙස සැලකිය හැකිය. දකුණු අප්‍රිකාවේ කල්ලන්ගේ නැගිටීමද ඓතිහාසික අර්ථයෙන් ඉතාමත් ඉදිරිගාමී නැගිටීමක් ලෙස සැලකිය හැකිය. එහෙත් ජර්මනියේ හිට්ලර්ගේ හෝ කාම්බෝජයේ පොල්පොට්ගේ ව්‍යාපාරය සේ ම ශ්‍රී ලංකාවේ විජේවීරගේ හෝ ප්‍රභාකරන්ගේ ව්‍යාපාර සැලකිය යුතුව තිබෙන්නේ පරාජය වීම හෝ පරාජය කිරීම අත්‍යවශ්‍ය පසුගාමී ව්‍යාපාර ලෙසය.

සමහර ව්‍යාපාරවල නියම ප්‍රගතිගාමී හා ෆැසිස්ට්වාදී මුහුණුවර දක්නට ලැබෙන්නේ ජය ලැබීමට පෙර නොව ඒවා ජයග්‍රාහීවීමෙන් පසුවය. ජයග්‍රහණය තෙක් ඒවා පෙනෙන්නේ විමුක්තිවාදී ව්‍යාපාර ලෙසය. හිට්ලර්ගේ ව්‍යාපාරය හෝ පොල්පොට්ගේ ව්‍යාපාරය ජයග්‍රාහී තත්ත්වයකට එන්නට පෙර ප්‍රතිපක්ෂ අතින් විනාශ වී නම් සමහරවිට ඒවාද පරාජය වූ විමුක්ති ව්‍යාපාර ලෙස සැලකෙන්නට ඉඩ තිබුණි. ඉතිහාසයේ ප්‍රතිගාමී අර්ථයෙන් සිදුවන නැගිටීමක් පරාජය වීම හෝ පරාජය කරනු ලැබීම ගැන සමාජය සතුටුවිය යුතුවා මිස මනස්තාප විය යුතු නැත. හිට්ලර්ගේ හෝ පොල්පොට්ගේ පරාජයන් තුළ හිට්ලර්ගේ හා පොල්පොට්ගේ අනුගාමිකයන් විශාල පිරිසකගේ ජීවිතද අහිමි විය. ඒ අහිමි වූ ජීවිත ගැන ඔවුන්ගේ ඥාතිමිත්‍රාදීන් කනගාටුවන්නට ඇතත්, පොදු සමාජය ඒ ගැන බලවත් ලෙස කනගාටු වූයේ නැත. හිට්ලර් හා පොල්පොට්ගේ සමාජ පසුබිමද විජේවීරගේ හෝ ප්‍රභාකරන්ගේ සමාජ පසුබිම තරම්ම පීඩිත විය. සටන්කාමී නායකයකුගේ සමාජ පසුබිම පීඩිත වූ පමණකින් ඔහු කරන අරගලය අවශ්‍යයෙන්ම ඉදිරිගාමී හෝ ප්‍රගතිශීලී වන්නේ නැත. මොනම ප්‍රචණ්ඩ කැරැල්ලක්වත් ජීවිත විනාශයකින් තොරව පරාජය කෙරී නැත. එවැනි අවස්ථාවකදී ඇතිවන ජීවිත විනාශයක් ගැන සතුටු විය යුතු නැතත්, ඒ ගැන කනගාටුවක් ඇතිකර ගත යුත්තේ ඔවුන් ජීවතුන් අතර සිටියේ නම් හා ඔවුන් ජයග්‍රාහී වී නම් වඩා විශාල ජීවිත විනාශයක් ඔවුන් අතින් සිදුවන්නට ඉඩ තිබුණේය කියන කාරණයද අමතක නොකරමිනි.

හිට්ලර්ගේ පරාජයෙන් පසුව ජර්මනිය මනස්තාප විය යුතුව තිබුණේ හිට්ලර් පරාජය කිරීමේදී සිදුවූ ජීවිත විනාශය ගැන නොව, තම වර්ගයා අතුරෙන් එවැනි කුරිරු ව්‍යාපාරයක් ඇතිවූයේ කෙසේද යන ප්‍රශ්නය ගැනය. ඔවුන් දුක් විය යුතුව තිබුණේ එවැනි දැවැන්ත විනාශයකින් පසුත් නැවත එවැනි ඛේදජනක තත්ත්වයක් ඇති නොවීමට වග බලා නොගත්තේ නම් පමණය. එහෙත් ජර්මනිය නැවත එවැනි ව්‍යාපාරයක් ඇතිවීමට ඉඩ නොතැබීම සඳහා ඉතා ප්‍රඥාවන්ත ලෙස අවශ්‍ය හැම පියවරක්ම ගැනීමට සමත්වීයැ”යි කිව හැකිය. එහෙත් ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රතිගාමී පන්නයේ ලොකු කැරලි දෙකක් ආශ්චර්යමත් ලෙස පරාජය කිරීමට සමත්වී ඇතත්, නැවත එවැනි විනාශකාරී හා අවාසනාවන්ත නැගිටීම් හෝ සිද්ධීන් ඇති නොවීමට අවශ්‍ය පියවරයන් ගැනීමට සමත් වී නැත. අප මනස්තාපයක් ඇතිකර ගන්නවා නම් ඇති කරගත යුත්තේ ඒ ගැන මිස විජේවීර හෝ ප්‍රභාකරන්ගේ මරණය ගැන නොවේ. එහෙත් ඇත්තටම අප කරමින් තිබෙන්නේ මනස්තාපයක් ඇති කරගත යුතු දේටම මනස්තාප නොවී මනස්තාපයක් ඇති නොකරගත යුතු දේට මනස්තාපවීමය.

සොක්‍රටීස් හා ක්‍රිස්තුස් වහන්සේ

මීට සති කිහිපයකට ඉහතදී රාවයේ පළවන “සමබිම” අතිරේකයේ පළවූ සම්මුඛ සාකච්ඡාවකදී විජේවීරගේ මරණය හා ප්‍රභාකරන්ගේ මරණය සොක්‍රටීස්ගේ හෝ ජේසුගේ මරණය මෙන් ජීවිතවල සත්‍යවාදී බව මනින මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියාකරන බව දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කර තිබුණි. සොක්‍රටීස් හෝ ක්‍රිස්තුස් වහන්සේ විජේවීරට හෝ ප්‍රභාකරන්ට සම කළ නොහැකිවා සේ ම සොක්‍රටීස් හෝ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයන් විජේවීරගේ හෝ ප්‍රභාකරන්ගේ මරණයන්ට සමාන කළ නොහැකිය. සොක්‍රටීස් දාර්ශනික තලයේ ප්‍රමුඛ පුද්ගලයකු වන විට ක්‍රිස්තුස් වහන්සේ ආගමික තලයේ ප්‍රමුඛ ශාස්තෘවරයෙකි. විජේවීර හා ප්‍රභාකරන්ද පටු දේශපාලන අර්ථයෙන් ගැලවුම්කාර භූමිකාවක් රඟපෑ දේශපාලන නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකි වුවද ඒ සමග ඔවුන් අපේක්ෂා කළ විමුක්තිය ජයගැනීම සඳහා ඔවුන් මිනිසුන් මරවන සිත්පිත් නැති යන්ත්‍ර දෙකක් ලෙස ක්‍රියාකළ නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය. සොක්‍රටීස් හා ක්‍රිස්තුස් වහන්සේ දාර්ශනික හා ආගමික අර්ථයෙන් ගැලවුම්කාර භූමිකාවක් රඟපෑ ශ්‍රේෂ්ඨ නායකයන් දෙදෙනකු ලෙස සැලකිය හැකි වුවද ඔවුන් සිය අරමුණ ජයගැනීම සඳහා මිනිසුන් ඝාතනය කරන සාහසික තැනකට ගිය නායකයන් දෙදෙනකු ලෙස සැලකිය නොහැකිය. ඔවුන්ගේ මරණයට ලැබෙන වැදගත්කම කෙරෙහි පුද්ගලයන් වශයෙන් ඔවුන්ට ලැබෙන වැදගත්කම පමණක් නොව, ඔවුන් මරණයට පත් කැරුණු ආකාරය හා ඔවුන් මරණයට මුහුණ දුන් ආකාරයද බලපෑවේය.

සොක්‍රටීස් මරණයම තෝරා ගන්නේ තමන්ට මරණ දණ්ඩනය නියම වන බව දැනදැනම අවශ්‍ය නම් එයින් පලායෑමේ හැකියාවක් තිබියදීය. මරණ දඬුවම නියම කිරීමෙන් පසුත් වස බඳුන පානය කරන තෙක් ඔහුගේ ජීවිතයට ආවේණික තැන්පත් බව හා සන්සුන් බව පවත්වාගෙන යමින් සිය සුපුරුදු දාර්ශනික සංවාදයේ යෙදුණේය. ඒ සමග තමන් ණය ලබාගෙන තිබූ අයකුගේ ණය ආපසු ගෙවන්නට අවශ්‍ය විධිවිධාන යොදන්නටද අමතක නොකළේය.

ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ ද එතුමා කුරුසියේ ඇණගසා මරා දැමීමේ සිද්ධිය එතුමාගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇද බැද ගන්නා අවස්ථාව ලෙස සැලකිය හැකිය. එතුමාද තමන්ට හිමි මරණය කල්තියා දැන සිටියේය. අවශ්‍ය නම් ඉන් පලායෑමේ හැකියාවක්ද තිබුණි. එහෙත් පලායනවා වෙනුවට ඉතාමත් වේදනාකාරී ආකාරයකින් සිදුකැරුණු එම මරණයට මුහුණ දුන්නේය. අග්‍රගණයේ දාර්ශනිකයකු ලෙස සැලකිය හැකි සොක්‍රටීස්ගේ මරණයේ ස්වභාවය සේ ම ආගමික ශාස්තෘවරයකු වූ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ ස්වභාවය ඒ දෙදෙනාගේ ශ්‍රේෂ්ඨත්වය පරිපූර්ණ කළේයැ”යි කිව හැකිය.

ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවට ලක්ව නැතත් බුදුන් වහන්සේගේ මරණ අවස්ථාව (පිරිනිවන් පෑම) තුළද සොක්‍රටීස්ගේ මරණ අවස්ථාව තුළ දක්නට ලැබෙන ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ දැකිය හැකිය. බුදුන් වහන්සේට අවසාන දානය ලැබුණේ වැදි නායකයකුගෙනි. ඒ වනවිට බුදුන් වහන්සේ සිටියේ රෝගී තත්ත්වයකය. වැදි නායකයා බුදුන් වහන්සේට පිළිගන්වන ලද්දේ උන්වහන්සේ සිටි රෝගී තත්ත්වයට නොගැළපෙන ආහාරයකි. එහෙත් වැදි නායකයා විසින් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව පිළිගන්වන ලද දානය ප්‍රතික්ෂේප කිරීමෙන් හා නොවැළඳ සිටීමෙන් වැදි නායකයා තුළ කනගාටුවක් හෝ සන්තාපයක් ඇතිවනවා දකින්ට බුදුන් වහන්සේ කැමති නොවීය. ඒ නිසා උන්වහන්සේ වැදි නායකයා පිළිගැන්වූ දානය තමන්ගේ මරණය ඉක්මන් කළහැකි බව දැන දැනම වැළඳුවේය. ඒ සමග එම දානය වැළඳීම නිසා තමන් මරණයට පත්වුවහොත් ඒ මගින් ඇති කළ හැකි ප්‍රතිවිපාක සලකා බලන්නටද බුදුන් වහන්සේ අමතක නොකළේය. තමන් මරණයට පත්වී තමන් වහන්සේගේ මරණය වැදි නායකයා විසින් දෙන ලද දානය නිසා සිදුවූවක් බව වැදි නායකයා දැනගතහොත් ඒ නිසා ඔහු තුළ ඇතිවිය හැකි මානසික පීඩනයද උන්වහන්සේ සැලකිල්ලට ගත්තේය. එසේම තමන්ගේ මරණය සිදුවූයේ වැදි නායකයා විසින් දෙන ලද දානය නිසා බව සිය ශ්‍රාවකයන් දැනගත් විට ඔවුන්ගේ කෝපය වැදි නායකයා කෙරෙහි යොමුවීමට තිබෙන හැකියාවද බුදුන් වහන්සේ සැලකිල්ලට ගත්තේය. බුදුන් වහන්සේ මරණයට පත්වූයේ එම කාරණා දෙකේදීම වැදි නායකයාට හානියක් ඇතිවීම වැළකීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමෙන් අනතුරුවය.

ශ්‍රේෂ්ඨ හා අද්විතීය ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයන් මරණයට මුහුණදෙන්නේද අද්විතීය ගතිලක්ෂණ පෙන්නුම් කරමිනි.

විජේවීරට හා ප්‍රභාකරන්ට හිමිතැන

විජේවීර වතු හිමියකු ලෙස උලපනේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා යුද හමුදාවේ ගාමිණී හෙට්ටිආරච්චි විසිනි. ගාමිණී හෙට්ටිආරච්චි දුරවිහිදුම් බලකායේ නිර්මාතෘවරයාය. විජේවීර අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහුගේ සහෝදරයා විජේවීරගේ අනුගාමිකයන් අතින් ඝාතනයට ලක්වී තිබුණි. විජේවීර සිය අනන්‍යතාව පිළිගැනීමෙන් පසු තමන් අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරීන් දෙදෙනාගෙන් ඉල්ලා තිබෙන ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ සිය බිරිඳ හා දරුවන්ට ජීවිත ආරක්ෂාව ලබාදෙන ලෙසය. එහෙත් විජේවීර විසින් නායකත්වය දෙන ලද මෙම කැරැල්ලේදී ඔහුගේ අනුගාමිකයන් සිය විරුද්ධවාදීන් පමණක් නොව, සමහර අවස්ථාවලදී ඔවුන්ගේ දූ දරුවන් පවා ඝාතනය කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පියා අල්ලා ගැනීමට බැරිවූ අවස්ථාවලදී බිරිඳ හෝ දරුවන් මැරූ අවස්ථා එමට තිබුණි. එහෙත් අනුන්ගේ දරුවන් මරනවා බලා සිටි විජේවීර තමන්ගේ දරුවන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටියේය. විජේවීරගේ බිරිඳ හා දරුවන්ට ජීවත්වීමට අවස්ථාව ලැබුණේ ගාමිණී හෙට්ටිආරච්චිගේ මැදිහත්වීම නිසාය. දරුවන් රැගෙන වහාම එම ස්ථානයෙන් පලායන ලෙස විජේවීරගේ බිරිඳට උපදෙස් දෙන ලද්දේ ඔහු විසිනි. තමාගේ සහෝදරයා වීජේවීරගේ අනුගාමිකයන් විසින් ඝාතනය කොට තිබියදීත්, විජේවීරගේ බිරිඳ හා දරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත ලෙස ක්‍රියාකිරීමේ සංයමයක් ඔහුට තිබුණේය.

විජේවීර කොළඹට ගෙනඒමෙන් පසු ජනාධිපති ප්‍රේමදාස මහතාට කතා කරන්නට අවස්ථාවක් ඉල්ලා සිටි බව කියනු ලැබේ. ජනාධිපතිවරයාගේ අවබෝධයෙන් තොරව ඔහුගේ ජීවිතය තොර කරන ලද බව කියන මතයක් තිබෙනවා සේ ම ජනාධිපතිගේ අනුදැනුම ඇතිව එසේ සිදුවූ බව කියන මතයක්ද පවතී. බොරැල්ල කනත්තේ ගෑස් ආදාහනාගාරයට විජේවීරගේ සිරුර දමා ඇත්තේ වෙඩි තබා මරණයට පත්වීමට පෙරය. අත් දෙකට දැමූ මාංචු කුට්ටම එසේ තිබියදීය. එම මාංචු කුට්ටම තමන් වැදගත් මතක සටහනක් ලෙස තබාගෙන සිටින බව සුසාන භූමිය භාරකරුගෙන් එකල මට අසන්නට ලැබුණි.

ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ ආකාරය ප්‍රකට නැත. එහෙත් ප්‍රතිපක්ෂය අතින් මරණයට පත් නොවී එවැනි අවස්ථාවකදී සියදිවි නසා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් සඳහා ඔහු ශපථ වී සිටියේය. මළ සිරුර ප්‍රතිපක්ෂය අතට පත්වීම වැළකීමට මරණයට පත් සිරුර විනාශ කිරීම සඳහා ද සංවිධාන වැඩපිළිවෙළක් පවත්වාගෙන ගිය බවද කියනු ලැබේ.

එහෙත් ඒ කිසිවක් ඒ ආකාරයට සිදුනොවීය. පරාජය පෙනි පෙනීත් ඔහු සියදිවි නසා ගත්තේ නැත. හිට්ලර් අඩුම වශයෙන් පරාජය පෙනී ගිය විට තමන්ගේ අනුගාමිකයන්ට යටත්වීමට ඉඩ ලැබෙන ලෙස සියදිවි නසා ගත්තේය. සිරුර ප්‍රතිපක්ෂය අතට පත්වීම වැළකීම සඳහා මරණයෙන් පසු සිරුර විනාශ කිරීම සඳහා කටයුතු සංවිධානය කර තිබුණි. ප්‍රභාකරන් පරාජය නොවැළැක්විය හැකි බව පෙනෙන විට අඩුම වශයෙන් සියදිවි නසාගන්නා තැනකට ගියේ නම් සාමාන්‍ය ජනතාවට සේ ම ඔහුගේ අනුගාමිකයන්ට සිදුවන හානියද අවම වන්නට ඉඩ තිබුණි. මේ නායකයන් දෙදෙනාම අනුන් මරවන්නට බිය නොවූවද තමන්ගේ මරණය ගැන බියවූ නායකයන් ලෙස සැලකිය හැකිය.

සොක්‍රටීස් හෝ ක්‍රිස්තුස් වහන්සේ දඬුවම් ලැබිය යුතු වැරදි කරන ලද අය නොවූහ. එහෙත් අනුන් මරන මිනිසුන්ට දෙන මරණ දඬුවම සමාජය අනුමත කරයි. නීතිය අනුවද එවැනි අයට හිමි මරණ දඬුවමය. විජේවීර හා ප්‍රභාකරන් සැලකිය යුත්තේ මිනිසුන් මරවන යන්ත්‍ර ලෙස ක්‍රියා කළ නායකයන් දෙදෙනකු වශයෙනි. ඒ නිසා විජේවීරගේ හෝ ප්‍රභාකරන්ගේ මරණය සමාජ හෘදය සාක්ෂිය මනස්තාපයට හෝ කම්පාවට පත් කරන හේතුවක් ලෙස සැලකිය නොහැකිය. එය ඒ සඳහා හේතුවක් කරගත යුතුද නැත.

කම්පාවට පත්විය යුතු ඇත්ත කාරණා මොනවාද?

අප කම්පාවට පත්විය යුත්තේ විජේවීරගේ හෝ ප්‍රභාකරන්ගේ මරණය ගැන නොව එවැනි දැවැන්ත කැරලි දෙකක් පරාජය කිරීමෙන් පසුත් එවැනි බිහිසුණු නායකයන් හා විනාශකාරී ව්‍යාපාර ඇතිවීම කෙරෙහි බලපා තිබෙන හේතු සාධක සොයා බලන තැනකට යොමු නොවීම ගැනය. නැවත එවැනි දේ ඇතිවීම වැළකීමට අවශ්‍ය පියවර නොගැනීම ගැනය. ඒ ගැන සමාජයක් වශයෙන් අප දක්වන නොසැලකිල්ල ගැනය.

ජේවීපීයේ දෙවැනි කැරැල්ලෙන් පසු ග්‍රාමීය තරුණ පරපුර විනාශකාරී මාවතක් තෝරාගැනීම කෙරෙහි බලපෑ හේතු සොයා බැලීම සඳහා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කළේය. එය එකල හැඳින්වූයේ තරුණ අසහන කොමිසම වශයෙනි. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක එම කොමිසමේ සභාපති වූ අතර මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, අලිඋතුම්ලෙබ්බේ ෂින් මොහොමඩ් අලි, රැල්ෆ් ඉග්නේෂස් අලස්, මොනිකා රුවන්පතිරණ හා ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.

මෙම කොමිසම තමන් වෙත පවරන ලද කාර්යභාරය ඉතාමත් ප්‍රශස්ත ආකාරයකින් ඉටු කරන ලද බව කිවයුතුය. තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතු ඔවුන් අපක්ෂපාතීව සොයා බලන ලද අතර ඒවා සිය වාර්තාවෙන් ප්‍රශස්ත හා නිර්භීත ආකාරයකින් විශ්ලේෂණය කරන්නට උත්සාහ කර තිබෙන බවද කිවයුතුය.

තරුණ අසහනය හා වෛරය

1. දේශපාලන ක්‍රමය-දේශපාලනකරණය හා දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කිරීම තරුණ අසහනයට තුඩුදී තිබෙන ප්‍රධාන හේතුවක් ලෙස කොමිසම හඳුනා ගත්තේය. මෙම ක්‍රමය තුළ ජයග්‍රාහකයාට සියල්ල ලැබෙන්නේය යන සංකල්පය ගොඩනැගී තිබෙන බවත් ඒ මගින් පාලක පක්ෂය හා ඔවුන්ගේ ආධාරකරුවන්ට සමාජ ප්‍රදානයන්ට හා ප්‍රතිලාභයන්ට තනි අයිතිය ඇතැ”යි කියන විශ්වාසය ඇති කිරීමට හේතුවී තිබෙන බවත්, මේ නිසා පරාජිත දේශපාලන පක්ෂවල ආධාරකරුවන්ගේ දරුවන් රාජ්‍ය නිලධාරීන් අතින්ද, රාජ්‍ය ආයතනවලින්ද නොසැලකිලිකම්වලට හා පළිගැනීම්වලට ලක්වන බවත් මෙම තත්ත්වය තරුණ පරපුර අතර අප්‍රසාදයක් හා අසහනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවත් කොමිසමේ මතය විය.

2. පාර්ලිමේන්තුව හා අධිකරණය ඇතුළුව දේශපාලන හා සමාජ ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම හා තරුණ පිරිස් එම සමාජ දේශපාලන සංස්ථාවලින් බැහැරවීමද තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් බව කොමිසමේ මතය වී තිබේ.

සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පද්ධතිය ආරක්ෂා කරගත යුතු වැදගත්ම ස්ථානය වශයෙන් සැලකිය යුතු පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන පරිහානිය ගැන අදහස් රාශියක් ඉදිරිපත්වූ බව කොමිසම කියයි.

ලැබුණු සාක්ෂි අනුව තරුණ පරපුර නීතිමය ක්‍රියාවලිය පිළිබඳව බලවත් අප්‍රසාදයක් ඇති කරගෙන තිබෙන බව කොමිසමේ මතය වී තිබේ. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම හෝ කිසිදාක යුක්තිය කරා ළඟාවිය නොහැකිය යන හැඟීම ඇති කරන තරමට නීතිය ප්‍රමාද වීම, නීතිඥ වෘත්තියේ ස්වභාවය හා ව්‍යුහය, නඩු මගට පිවිසීමට දැරිය යුතු වියදම් යන ආදිය හේතුවී තිබෙන බව කියන කොමිසම දකුණේ තරුණයන් ත්‍රස්තවාදයට එකතු වූයේ අධිකරණයක් මගින් හෝ වෙනත් යුක්තිසහගත ක්‍රමයක් මගින් විසඳාගත යුතුව තිබුණු අතිශයින්ම පෞද්ගලික හා අදාළ පළාතට සීමාවූ දුක්ගැනවිලි නොවිසඳුණු නිසා බවද කියයි.

3. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහි තරුණ පරපුර අතර පවතින විරෝධය හා අප්‍රසාදයද තරුණ පරපුර ත්‍රස්තවාදී මාවත තෝරාගැනීම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයක් බව කොමිසමේ මතය විය.

4. තරුණ පරපුර අතර පවතින ආයතන ක්‍රමය කෙරෙහි පවත්නා කලකිරීම හා වෛරය කෙරෙහි දේශපාලකයන් අතර පමණක් නොව යුක්තිය පසිඳලීමේ කටයුතුවල නියුක්තව සිටින අය, ආරක්ෂක හමුදා හා රාජ්‍ය සේවය තුළ රජ කරන අල්ලස හා දූෂණය හේතුවී තිබෙන බවද කොමිසමේ මතය වී තිබේ.

5. කොමිසම තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත්ම හේතුවක් ලෙස සලකා ඇත්තේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය හා රැකියා නියුක්තිය අතර තිබෙන නොගැළපීම හා ද්විතීයික මට්ටමෙන් පාසල් හැර යන්නන් කෙරෙහි අවධානයක් නැතිකම් ප්‍රශ්නය ඒ අතර ප්‍රධානය.

6. බැලූ බැල්මට දෘශ්‍යමාන නොවන තත්ත්වයකින් ක්‍රියාත්මක වන කුලභේදයද තරුණ අසහනය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් වන බව කොමිසමේ මතය වී තිබේ. තමන් ඉදිරියේ තබන ලද සාක්ෂිවලින් සමකාලීන තරුණ අසහනයට ආධාරක වූ වැදගත් කොටසක් කුලය විසින් රඟපා ඇති බවට කොමිසම සෑහීමට පත්ව සිටින බව වාර්තාවේ සඳහන්ය. ඇතැම් කුල තවමත් සාමාජික හා දේශපාලනික ජීවිතයේ පීඩාවට පත්වෙමින් අහුමුළුවලට කොටුවී හෝ සිරවී සිටින බවත් මෙම තත්ත්වයට ගොදුරු වූ තරුණයන් කැරලි මාර්ගය තෝරාගෙන ඇති බවත් කොමිසමේ මතය වී තිබේ.

මෙම කොමිසම සිංහල තරුණ පරපුරේ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතු මිස දෙමළ තරුණ පරපුරේ අසහනය කෙරෙහි බලපා තිබෙන හේතු විස්තරාත්මකව සලකා බලා නැත. එහෙත් ජනවර්ග ප්‍රශ්නයේදී හැර සිංහල තරුණයන්ගේ අසහනය කෙරෙහි බලපා තිබෙන හැම වැදගත් හේතුවක්ම අඩු වැඩි වශයෙන් දෙමළ තරුණ පරපුරේ අසහනය කෙරෙහිද බලපා ඇතැ”යි කිව හැකිය. කොමිසම දක්වා තිබෙන හේතු අද දක්වාම එදා පැවති තත්ත්වයටත් වඩා ප්‍රබල ආකාරයකින් පවතින්නේයැ”යි කිව හැකිය.

ජනවාර්ගිකත්වයේදී පමණක් මෙම තරුණ දෙපිරිස අතර වෙනසක් නැතත්, අන් හැම කාරණයකදීම මෙම දෙපිරිස අතර පොදු සමානතාවක් පවතී.

ජේවීපීයේ හා එල්ටීටීඊයේ සමාජ පසුබිම බොහෝ දුරට එක සමානය. විජේවීර හා ප්‍රභාකරන් එකම කුල කණ්ඩායමකට අයත් වන අතර මෙම දේශපාලන ව්‍යාපාර දෙක තුළම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල දක්නට නොලැබෙන පීඩිත ගණයෙහිලා සැලකිය හැකි කුලවල වැඩි සහභාගිත්වයක් දැකිය හැකිය. විජේවීරගේ සමාජවාදී අරගලය තුළ ගොවිගම විරෝධී අන්තර්ගතයක් තිබුණා සේ ම ප්‍රභාකරන්ගේ වෙනම රාජ්‍යයක් සඳහා වන අරගලය තුළ වෙල්ලාල විරෝධී අන්තර්ගතයක් තිබුණි. දෙමළ වීම නිසා එල්ටීටීඊ තරුණ පරපුරට තිබුණු වාර්ගික දුක්ගැනවිලි හැරුණු විට දකුණේ හා උතුරේ සටන්කාමී තරුණයන්ට තිබුණු දුක්ගැනවිලි එක සමානය.

මෙම දෙපිරිස අතර තිබුණු සමානකම් නිසා මෙම ව්‍යාපාර දෙක අන්‍යොන්‍ය අවබෝධයෙන් කැරලි ගසන තැනකට ගියේ නම් මේ දෙපිරිස පරාජය කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් වන්නට ඉඩ තිබුණු බවද අප අමතක නොකළ යුතුය. එහෙත් සිදුවී තිබෙන හා තවදුරටත් සිදුවෙමින් තිබෙන බිහිසුණුම දේ ලෙස සැලකිය හැක්කේ දැවැන්ත තරුණ කැරලි දෙකක් පරාජය කරනු ලැබීමෙන් පසුත් ඒ කෙරෙහි බලපෑ හේතු සොයා බලා නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා තත්ත්වයකට රට තවමත් පත්ව නොතිබීමය. ජේවීපීය සේ ම එල්ටීටීඊයද පවතින රාජ්‍ය ක්‍රමය සේ ම දේශපාලන ක්‍රමයද ප්‍රතික්ෂේප කළේය. එය රාජ්‍ය හා දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කරගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බලවත් සංඥාවකි. එය භාර නොගන්නේ නම්, ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජය ප්‍රඥාවන්ත සමාජයක් ලෙස සැලකිය නොහැකිය.