ගංවතුර, නායයෑම් හා ප්‍රාදේශීය පාලනය

January 16, 2011
Publication:
The damage done by the heavy rain and the floods is enormous, worst in the North Central, Eastern, Northern and Central provinces. Close to nine hundred thousand people are affected and more than two hundred thousand are in camps; across five districts 116 tanks are wholly damaged and another 238 partly.

අධික වැස්ස හා ඒ නිසා ඇතිවී තිබෙන ගංවතුර උවදුර විසින් ඇති කර තිබෙන හානියේ ප්‍රමාණය දැවැන්තය. එම තත්ත්වය වඩාත්ම විනාශකාරී ලෙස බලපා තිබෙනුයේ උතුරුමැද, නැගෙනහිර, උතුර හා මධ්‍යම යන පළාත් කෙරෙහිය. පීඩාවට පත්ව සිටින අයගේ සංඛ්‍යාව නව ලක්ෂයකට ආසන්න වන අතර උන්හිටි තැන් අහිමි වී කඳවුරුවල සිටින සංඛ්‍යාව දෙලක්ෂයකටත් වැඩිය. අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක පහේ වැව් 116කට පූර්ණ වශයෙන්ද, තවත් වැව් 238කට අර්ධ වශයෙන්ද හානි පැමිණ තිබේ. මෙම දිස්ත්‍රික්කවල ගංවතුරට අසුවී තිබෙන කුඹුරු ප්‍රමාණය අක්කර හාර ලක්ෂයකටත් වඩා වැඩි බව ඇස්තමේන්තු කර තිබේ.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැඩියෙන්ම හානි ඇතිවී තිබෙන්නේ නායයෑම්වලිනි. මෙම ප්‍රදේශවල නායයෑම් හා පස් කඳු වැටි කඩා වැටීම් 100කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වේ.

පළමුව විපතට පත් ජනයාට වහාම ආධාර කළ යුතුය. ඔවුන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් මූලික අවශ්‍යතා සපයා දිය යුතුය. මෙය රජයට පමණක් අයිති කාර්යක් ලෙස නොසලකා ඊට මහජනයාද ආධාර කළ යුතුය. ඊළඟට කළයුතුව තිබෙන වැදගත්ම දේ ආර්ථික වශයෙන් සිදුවී තිබෙන හානිය අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමය.

මේ තත්ත්වය අනාගතයේ රටේ සහල් හිඟයක් ඇති කිරීමට හේතුවිය හැකිය. වී වගාව හා අතුරු භෝග වගාවන් කෙරෙහි ඇතිවී තිබෙන හානියත්, ගොවීන්ට සිදුවී තිබෙන හානිිය හා ඒ මගින් ජාතික ආර්ථිකයට සිදුවී තිබෙන හානිය අවම කරගත හැකිවනු ඇත්තේ හානි ඇතිවී තිබෙන ප්‍රදේශවල ඉක්මනින් නැවත සුදුසු භෝග වගා කරන තැනකට ගොවීන් යොමු කිරීමෙනි. එහෙත් සියලු ගොවීන්ට ඒ දේ ඔවුන්ගේ ස්වශක්තියෙන් කළ නොහැකිවනවා විය හැකිය. ඔවුන්ට නැවත නැගී සිටීමට ආණ්ඩුව ආධාර කළ යුතුය. ඒ සඳහා ආණ්ඩුවට විශාල වියදමක් දරන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

මධ්‍යම කඳුකරයෙන් නිතර අසන්නට ලැබෙන නායයෑම් කෙරෙහි අක්‍රමවත් ඉදිකිරීම්, කඳු බෑවුම්වල පැවැත්මට හානි ඇති කරන ආකාරයට සිදු කරන ක්‍රියාකාරකම් හා වෙන්දේසි කිරීම් සඳහා අක්‍රමවත් ලෙස සිදු කැරෙන ඉඩම් කට්ටි කිරීම්ද බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම අවාසනාවන්ත තත්ත්වයට පළාත් පාලන ආයතන ක්‍රමය වගකිව යුතුය.

පළාත් පාලන ආයතනවල දේශපාලන බලවතුන් පළාත් පාලන ක්‍රමය ඒවාහි මූලික අරමුණුවලට පටහැනිව දූෂණයෙන් පිරුණු ආයතන ක්‍රමයක් බවට පත් කොටගෙන ඇත්තේය. මෙම තත්ත්වය නායයෑම්වලින් බැටකන මධ්‍යම පළාතට පමණක් ආවේණික ලක්ෂණයක් නොව, පොදුවේ මුළු රටේම පළාත් පාලන ආයතන ක්‍රමය තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙය අද ඊයේ ඇති වූවක් නොව, 77න් පසු ආරම්භ වී මේ වන විට බිහිසුණු පිළිකාවක් බවට වර්ධනය වී ඇති තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

අලුත් ඉදිකිරීම්වලදී, ඉඩම් කැබලි කොට වෙන්දේසි කිරීම්වලදී, සම්ප්‍රේෂණ කුලුනු ඉදිකිරීම්වලදී හා වෙනත් ආකාරවල අලුත් ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවලදී ඒ සඳහා සම්පූර්ණ කළයුතු කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් තොරව අල්ලසට අනුමැතිය ලබාදෙන ක්‍රමයක් මුළු රටේම ක්‍රියාත්මක වේ. මේ ක්‍රමයට ව්‍යාපාරිකයන්ද කැමතිය. මක්නිසාද යත් කොන්දේසි සම්පූර්ණ කිරීමට යන වියදමට වඩා අල්ලස් දීමෙන් අනුමැතිය ලබාගැනීමට යන වියදම අඩු නිසාය. එය පළාත් පාලන ආයතනවල දේශපාලන බලවතුන් අයථා ලෙස ආදායම් උපයන ප්‍රධාන මාර්ගය ලෙසද සැලකිය හැකිය. එම තත්ත්වය ජල පවාහන ප්‍රශ්නය හා කුණු කසළ ප්‍රශ්නය ප්‍රාදේශීය මට්ටමෙන් කළමනාකරණය කිරීම දුෂ්කර හා සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. එය මධ්‍යම කඳුකරයේ නායයෑමේ ප්‍රශ්නය උග්‍ර කිරීමට පමණක් නොව, එය උතුරුමැද පළාතට හා නැගෙනහිර පළාතට අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර ප්‍රශ්නයෙන් සිදුවන හානිය උග්‍ර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙසද සැලකිය හැකිය.

අතීතයේදී රජරට සැලකුණේ වැව් බැඳි රාජ්‍යයක් ලෙසය. ඒ වැව්වලින් වැඩි හරියක් ගොඩකර විවිධ ඉදිකිරීම් සිදුකර තිබෙනවා පමණක් නොව, සාම්ප්‍රදායිකව ජලය බැස යෑමට තිබුණු මාර්ග අවහිර කොට ඒවා මතද නව ඉදිකිරීම් ඇති කර තිබේ. අධික වැස්ස නිසා ගංවතුර නොවැළැක්විය හැකි දෙයක් ලෙස සැලකිය හැකි වුවත් මෙම ප්‍රදේශවල පළාත් පාලන ආයතන සිය යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු කළේ වී නම්, එම ප්‍රදේශවලට ගංවතුරෙන් ඇතිවන හානිය මේ සා විශාල නොවන්නට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය.