චෞර රැජිනගේ රසකථා

April 6, 2008
Publication:
Reading Upul Joseph Fernando's interview with Chandrika Kumaratunga in Lankadeepa, Ivan takes apart the picture of a poor and blameless former president whose children travel by bus. She names two mistakes she knew were mistakes when she made them, and Ivan supplies the reason she does not: the appetite for power inside a system she and Ranil Wickremesinghe built between them.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග කරන ලද අපූරු සම්මුඛ සාකච්ඡාවක් පසුගිය ඉරිදි ලංකාදීප පුවත්පතේ පළ කොට තිබුණි. එම සම්මුඛ සාකච්ඡාව කියවන්නන් තුළ ඇය පිළිබඳව අතිවිශාල කණගාටුවක් හා සෙනෙහසක් ඇතිවනු නොඅනුමානය. ඇත්තටම ඇය අහිංසකය. දුප්පත්ය. දරුවන් දෙදෙනා ජීවත්වන්නේ එංගලන්තයේ වුවත් ඔවුන්ට කියා තමන්ගේ පෞද්ගලික වාහනයක්වත් නැත. දුව පුතා ගමන් බිමන් යන්නේ බස් රථවලිනි. හිටපු ජනාධිපතිනියට එංගලන්තයේ තිබෙන්නේ තනි කාමර තට්ටු නිවාසයකි. ඇයට එහි සේවකයන් නැත. තට්ටු නිවාසයට තිබෙන්නේ පොඩි තරප්පු පේළියක් වන නිසා හා ඇයට එක ඇසක් නොපෙනෙන නිසා තරප්පු පේළියේ ගමන් කරන්නට සිදුවී ඇත්තේ බොහෝ පරිස්සමෙනි. සතියකට දිනක් සාප්පු යන්න වාහනයක් ඉල්ලා ඇතත්, ඒ ඉල්ලීම පවා ඉටු කරන්නට තරම්වත් තානාපති කාර්යාලය කෘතඥ වී නැත.

ඇය එහි ඇති තනි කාමර තට්ටු නිවාසයට කුලිය වශයෙන් ගෙවන පවුම් ගණන කොපමණ දැයි අසන්නටවත් උපුල් ජෝෂප්ට හිතෙන්නට නැත්තේ ඇය සිටින අසරණ තත්ත්වය නිසා ඇති කරගත් අනුකම්පාව නිසා විය හැකිය. ඇය 94 ට පෙර ද කලක් එංගලන්තයේ ජීවත් විය. එකල නම් ඇයට එවැනි නිවසක්වත් නොතිබුණේය. ඇයම කියා තිබෙන ආකාරයට ඇයට එකල ජීවත් වන්නට අනුන්ට පරවැඩ කරන්නට සිදුවී තිබුණේය. උපුල් ජෝෂප් ඇයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා ගැන ද එහෙන් මෙහෙන් ප්‍රශ්න කර තිබුණි. ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම පිළිබඳව ඇයට එල්ල වී තිබෙන චෝදනාව ගැන ප්‍රශ්න කළ විට ඇය පවසා ඇත්තේ එය අරලියගහ මන්දිරයේ පචමෝල නිෂ්පාදනය කොට බෙදාහරින ලද කතාවක් බවය. මෙම ගනුදෙනුවට අදාළ තොරතුරු නොදන්නා නිසා හෝ තොරතුරු දන්නේ වුවත් ඇය කෙරෙහි උපන් අනුකම්පාව නිසා උපුල් ජෝෂප් වැඩිදුර ප්‍රශ්න කිරීමක් කර නැති බව පෙනේ.

අප දන්නා තොරතුරු අනුව ජනාධිපතිවරණයට සති දෙකකට පෙර (2005 නොවැම්බර් 2 වැනිදා) ඇය තමාගේ ප්‍රධාන භාරකාරත්වය යටතේ, ජනාධිපති සංස්කෘතික හා ක්‍රීඩ මධ්‍යස්ථාන භාරය” නමින් වන භාරයක් ඇති කොට ගෙන එහි නෛතික ලියවිලිවලට ඇය එම භාරයේ නිර්මාතෘවරයා හා භාරකරුවකු ලෙස අත්සන් තැබීය. ඇය 2005 නොවැම්බර් 8 වැනිදා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 600ක මුදලක් තමා යටතේ මෙම භාරයට වෙන් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නාය. ජනාධිපතිවරණයට පෙර දින එනම් 2005 නොවැම්බර් 16 වැනිදා ජනාධිපති අරමුදලින් මෙම භාරයේ ගිණුමට (මෙම භාරයේ නමට මහජන බැංකුවෙ අලුතෙන් විවෘත කර තිබු අංක 046100151820752 දරන ගිණුමට) රුපියල් මිලියන 350ක් හා රුපියල් මිලියන 250ක් වටිනා චෙක්පත් දෙකක් (මුළු වටිනාකම රුපියල් මිලියන 600ක්) බැර කළාය. ඇය උපුල් ජෝෂප්ට කියා ඇති බයිලාවට අනුව ඇය තනතුර අත්හැර යන විට ජනාධිපති අරමුදලේ ඉතිරි කොට තිබූ මුදලේ ප්‍රමාණය රුපියල් මිලියන 2000කි.

ඇය සටකපට ලෙස ඉවත් කරගැනීමට උත්සාහ කර ඇත්තේ ඉන් රුපියල් මිලියන 600ක් පමණය. ඇය සැලකිය යුත්තේ අකාරුණික චෞර රැජිනක් ලෙස නොව කාරුණික චෞර රැජිනක් ලෙසය. ඇය අවසාන මොහොතේ කැබිනට් මණ්ඩලය ගොනාට අන්දවා මාදිවලින් අක්කර 1 1/2ක ඉඩමක් ද සිය නමට ලියවා ගත්තාය. ලියවා ගත් ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 350කි. ඇගේ දේශපාලන ජීවිතය අවංක නම් ඇගේ අත්වල ලේ හෝ කුණු තැවරී නැත්නම් ඒ බව ඔප්පු කිරීමෙන් පමණක් ඇයට නැවත දේශපාලන වීරවරියක් බවට පත්විය හැකිය. 94ට පෙර ඇය දුප්පත්ය. ඇයම කියා තිබෙන ආකාරයට ජීවත්වීම සඳහා අනුන්ට පරවැඩ කළාය. දරුවන්ට අනුන්ගේ ඇඳුම් ඇන්දෙව්වේය. 1994 දී බස්නාහිර පළාතේ මහ ඇමතිවරිය ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී ඇය ඇගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය. ඉන්පසු 1999 ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේදී ද ඇය තවත් වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.

මෙම ප්‍රකාශ දෙකේ එන තොරතුරු අතර තර්කානුකූල ගැලපීමක් නොපවතී. බලයට පත්වීමෙන් පසුව ඇගේ දරුවන් දෙදෙනා උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේය. ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතුය. ඇගේ ප්‍රකාශිත ආදායම් අනුව එවැනි වියදමක් දැරීමේ හැකියාවක් ඇයට තිබිය නොහැකිය. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දේපොළ හා ඉඩකඩම් විකිණීමක් සිදුකර ඇති බවක් එම වත්කම් ප්‍රකාශයේ එන තොරතුරු අනුව පෙනෙන්නේ නැත. වත්කම් ප්‍රකාශවලට තමන්ගේ හා දරුවන්ගේ නමට ඇති දේශීය බැංකු ගිණුම් පිළිබඳ විස්තර පමණක් නොව, තම නමට හා තම දරුවන් නමට ඇති විදේශ බැංකු ගිණුම් විස්තරද ඇතුළත් කළ යුතුය. එහෙත් ඇගේ වත්කම් ප්‍රකාශනවල එන තොරතුරු අනුව ඇය නමට හෝ දරුවන්ගේ නමට විදේශ බැංකු ගිණුම් තිබී නැත. කුමාර් පොන්නම්බලම් ඝාතනයට හා රෝහණ කුමාර ඝාතනයට ඇය ඍජු ලෙස හෝ අනියම් ලෙස වගකිවයුතු ප්‍රමාණය කුමක්ද? බැද්දගානේ සංජීවගේ දාමරික ක්‍රියාකාරකම්වලට ඇය කවර ප්‍රමාණයකට වගකිව යුතුද? පිටුවක් පුරා පළවී ඇති මුළු සම්මුඛ සාකච්ඡාවටම ඇතුළත් වැදගත්ම කාරණය වනුයේ තමන් විසින් කරන ලද දේශපාලන “අත්වැරදි” (ඇය එම වැරදි අත් වැරදි ලෙස හඳුන්වා ඇත්තේ ඇය තොත්ත බබා වියේ කරන ලද වැරදි නිසා විය හැකිය) තුනක් අලලා ඇය කරන අර්ථ කථනයයි.

එයින් පළමු වරද වනුයේ ජවිපෙ සමග ගිවිසුමක් ඇති කරගැනීමය. දෙවැනි වරද වනුයේ රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරීමය. තුන්වැනි වරද ගැන ඇය කියන්නේ එය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි එහෙත් අනාගතයේ කිසියම් දවසක කිවහැකි දෙයක් බවය. ප්‍රකාශ කළ වැරදි දෙක පක්ෂයෙන් එල්ල වූ බලපෑම් නිසා කරන ලද වැරදි බව ප්‍රකාශ කරන ඇය ඒවා දැන දැනම කරන ලද වැරදි බව ද පිළිගනී. ජවිපෙ සමග සන්ධානයක් ඇතිකර ගැනීම වැරදි බව දැන දැනම ඒ වරද කරන්නට සිදුවූයේ ඇයි? බලලෝභය නිසාය. එයින් සිදුවූයේ අතිවිශාල කෘතිම බලයක් ජවිපෙට හිමිවීමය. ආසන 20ක තත්ත්වයක සිටි ජවිපෙ ආසන 39ක තත්ත්වයකට විශාල වීමය. ශ්‍රී ලංකාව අන්තවාදී බලවේගයන්ගේ ග්‍රහණයට හසුවූ රටක් බවට පත්වන්නේ එතැන් සිටය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීම සඳහා ඇය සන්ධානයකට ගියා පමණක් නොව, සිය ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ චෝදනාවෙන් ද ජවිපෙ නිදහස් කළාය.

එජාපයට බහුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුව විසුරුවා හරින ලද්දේ ද ආත්මාර්ථකාමය හා බලලෝභය නිසාය. ඇය එසේ කරන ලද්දේ ද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බහුතර බලයක් තිබෙන තෙක් එය නොවිසුරුවන බවට පැහැදිලි පොරොන්දුවක් දී තිබියදීය. අවසානයේ තමන් විසින්ම විනාශ කරන ලද රනිල් වික්‍රමසිංහගේ පය ලෙවකන තත්ත්වයකට පත්වීමට දැන් ඇයට සිදුවී තිබේ. ඇය දැන් නොකියන, අනාගතයේ පමණක් කියන වරද අන් කිසිවක් නොව අගවිනිසුරු ධුරයට සරත් නන්ද සිල්වා පත් කිරීමය. ඇය සිය හිතමිතුරන්ට එය කියා තිබෙන අතර, තමාගේ නීති උපදේශකයන්ගෙන් පවා එල්ල වූ විරෝධය නොසලකා එම පුද්ගලයා එම තනතුරට පත්කිරීමෙන් තමා තමාගේ දේශපාලන මිනීවළ කපා ගත් බව ඇයගේ මතය වී තිබේ. ඇයට අනුව ඔහු තමාගේ දෙවැනි ධුර කාලයෙන් අවුරුද්දක් තමාට අහිමි කොට ජනාධිපති ධුරයෙන් තමා ඉවත් කළේය.

එසේ නොවන්නට මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට එන්නේ නැත. තවදුරටත් බලයේ සිටිනු ඇත්තේ තමාය. පක්ෂයේ බලය තිබෙනු ඇත්තේ ද තමා අතේය. චන්ද්‍රිකාට ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති වෛරය වනුයේ හැමදාකම පවුලේ බූදලයක් ලෙස පැවති පක්ෂයේ අයිතිය තමන්ට හා තම පවුලට අහිමි කිරීමය. ඇයට අවශ්‍ය වී ඇත්තේ හොඳින් හෝ නරකින් ඒ අයිතිය නැවත තමන් වෙත හිමිකර ගැනීමය. ඒ ඔස්සේ තම පුතා රජකමට ගැනීමය. තවදුරටත් ඇය කියන ආකාරයට රට හමුදා ආණ්ඩුවකට රැගෙන යන කුමන්ත්‍රණයක භයානක අනතුරක් පවතී. එසේ වුවහොත් පාකිස්තානයේ භූතෝ රඟපෑ භූමිකාව රඟපාන්නේදැයි උපුල් ජෝෂප් අසන ප්‍රශ්නයට ඇය දෙන පිළිතුර වනුයේ මගේ අම්මා, තාත්තා හා මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න හදලා රැකගෙන ආ පක්ෂයෙන් හමුදා ආණ්ඩුවක් හදන්න තමා ඉඩ නොදෙන බවය. විධායක ජනාධිපති ක්‍රමය හමුදා ආණ්ඩු ක්‍රමයක් ලෙස සැලකිය නොහැකි වුවත්, විධායක ජනාධිපති ක්‍රමය ද ඒකාධිපති ආණ්ඩු ක්‍රමයකි.

ක්‍රමය වෙනස් කරන බවට දිවුරා පොරොන්දු වී බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම ඒකාධිපති ක්‍රමයේ රස උපරිම ලෙස උරා බොන ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස, එම ඒකාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා ඵලදායී කිසිවක් නොකළාය. ඇයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතක් වී ඇත්තේ දැන්ය. බලලෝභයෙන් ඉදිමී තිබෙන හිස නිසා තමා වර්තමානයේ ඉන්නේ දේශපාලන කුණු බක්කියක බව ඇයට මතක නැත. ජේ.ආර්. ජයවර්ධන මෙම ක්‍රමය සකස් කළේ ප්‍රතිපක්ෂයකට බලය උදුරා ගැනීම පහසු නැති ආකාරයකටය. එහෙත් කවදා හෝ ප්‍රතිපක්ෂය අතට බලය ගියහොත් ඒ බලය නැවත ලබාගැනීම පහසු නැති බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. දැන් රනිල් වික්‍රමසිංහ සමග චන්ද්‍රිකා කුමාරතුංග හසුවී සිටින්නේ ද එම විෂම චක්‍රයටයි. ඇය බලයේ සිටියදී පරම බලයේ රස උපරිම ලෙස උරා බිව්වා විනා, බලය වෙනත් කෙනෙකු අතට පත්වුවහොත් තමාට විය හැක්කේ කුමක්ද යන්න කල්තියා තේරුම් ගැනීමට අසමත් විය.

රනිල් වික්‍රමසිංහට ක්‍රමය නොවෙනස්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය වූයේ චන්ද්‍රිකාගේ පාලන වාර දෙකෙන් පසු බලය තමන් අතට පත්වීම නොවැළැක්විය හැකි යැයි විශ්වාස කළ නිසාය. එහෙත් එම විශ්වාසයට පටහැනිව බලය ගියේ මහින්ද රාජපක්ෂ අතටය. දැන් මේ දෙදෙනාට සිදුවී තිබෙන්නේ ද ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ට වෙන දේය. දැන් ඒ දෙදෙනාටම බැට කන්නට සිදුවී තිබෙන්නේ ඔවුන් දෙදෙනා විසින්ම ස්ථාපිත කරන ලද දුෂ්ට ක්‍රමයෙනි.