මංගල සමරවීර මහතා සිය ආරක්ෂාව පිළිබඳව බරපතළ චෝදනාවලියක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබේ. ඔහු කියන ආකාරයට හිටපු විදේශ ඇමති වශයෙන් ඔහු එල්ටීටීඊ ඉලක්කයකි. ඔහුට ප්‍රමාණවත් තරම් ආරක්ෂක භට පිරිසක් ලබා දී නැත. ලබා දී සිටින ආරක්ෂක භටයින්ද තමන් තෝරා ගත් පිරිසක් නොව, ආරක්ෂක ලේකම් තෝරා එවන ලද පිරිසකි. තමන්ට ජීවිත හානියක් සිදු වුවහොත් ඊට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගකිවයුතු බව ඔහු ප්‍රකාශ කරයි. අපට මංගලගේ දේශපාලන කැරැල්ල ගැන ආස්වාදයක් නැතත්, හිටපු විදේශ ඇමති වශයෙන් ඔහුට ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් ලබාදිය යුතුයි යන්න අපේ මතය යි. දිය යුතු ආරක්ෂාවේ ප්‍රමාණය කුමක් ද යන්න ආරක්ෂක අංශවලට මිස අපට නිශ්චය කළ නො හැකි ය. මංගල දක්ෂතා ඇති දේශපාලකයකු බවට විවාදයක් නැත. එහෙත් ස්වයං විවේචනයකින් තොර ඔහුගේ අතීත දේශපාලන භූමිකාව වහා අමතක කොට ඔහුගේ වර්තමාන ක්‍රියාවන්ට ඔල්වරසන් දීමේ හැකියාවක් අපට නැත.
ඔහුගේ අතීත දේශපාලන භූමිකාව අපගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන්නේ නැත. ඔහු අද ජනමාධ්‍ය නිදහස ගැන කඳුළු සලයි. ආණ්ඩුව විවේචනය කරන පුවත්පත්වලට ආණ්ඩුවෙන් එල්ලවී තිබෙන පීඩනය ගැන මහ හඬින් කතා කරයි. මහා පරිමාණයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතාකරයි. යූඑන්පී විරෝධතා ව්‍යාපාරයක් වාර්තා කරන්නට ගිය ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට පීඑස්ඩිය යොදවා එළවා එළවා පහරදෙමින් ඔවුන්ගේ ජංගම දුරකතන හා වටිනා කැමරා ආම්පන්න උදුරා ගැනීමේ මහා දඩයම එදා අරලියගහ මන්දිරයේ සිට මෙහෙය වූයේ මංගල ය. ආණ්ඩුව විවේචනය කරන පුවත්පත් ආයතනවලට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැන්නවී ය. ඔහු තමන් පවත්වාගෙන ගිය පුවත්පත් ආයතනයේ සේවය කළ ජනමාධ්‍යවේදීන්ගේ වැටුපෙන් සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවිය යුතු පංගුව කපා ගත්ත ද ස්වාමි පක්ෂය වශයෙන් තමන් ගෙවිය යුතු පංගුව ඊට එකතු කොට සේවක අර්ථ සාධක අරමුදලට යැව්වේ නැත.
එසේ තිබියදී රාවය සිය සේවකයින්ගේ EPF නොගෙවන බවට චෝදනා කළේ ය. එම ප්‍රසිද්ධ චෝදනාවෙන් පසු කම්කරු නිලධාරීන් රාවයට කඩා පැන්නේ ය. ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් පසු රාවය නො කඩවා සිය සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් ගෙවා ඇති බව තේරුම්ගත් පසු පැමිණි නිලධාරි කණ්ඩායමේ ප්‍රධානියා සිය කණගාටුව පළකරමින් ප්‍රකාශ කළේ එම කඩාපැනීම සිය වුවමනාව මත සිදුවූවක් නො ව, දේශපාලන බලපෑම මත සිදුවූවක් බවයි. මංගල සිය පැරණි පුවත්පත් ව්‍යාපාරය සඳහා රාජ්‍ය බලය යොදා රාජ්‍ය ආයතනවලින් අරමුදල් ලබා ගත්තේ ය. මහජන බැංකුවෙන් ලබාගත් අරමුදල් අද දක්වා එකම සතයක්වත් ගෙවා නැත. ඒ අඳුරු යුගයේ සිදු වු බිහිසුණු සිද්ධීන් ගැන ඍජු ලෙස හා අනියම් ලෙස මංගලට ඒවාට තිබූ සම්බන්ධය පහසුවෙන් අමතක කළ හැකි ද? ලසන්ත වික්‍රමතුංග හා ඔහුගේ බිරිඳට පාතාල ලෝකයේ මැරයින් යොදා පහරදීම, “සටන” පුවත්පත පවත්වාගෙන ගිය රෝහණ කුමාර ඝාතනය, වයඹ ඡන්ද මංකොල්ලය, රූකාන්ත – චන්ද්‍රලේඛා ගායක යුවළ හිංසාවට ලක් කිරීම, අනෝජා වීරසිංහගේ නිවස ගිනි තැබීම වගේ ඒ අඳුරු යුගයේ සිදුවූ බිහිසුනු සිද්ධීන් ගැන මංගලට කියන්න තියෙන්නේ මොනවා ද? චන්ද්‍රිකා යුගයේ සිදු වූ මහා පරිමාණයේ දූෂණ හා වංචාවලදී ඒ වැරදිවලට සුදු හුණු ගෑමේ ප්‍රධාන පුද්ගලයා මංගලයි.
දේශපාලනඥයකු වශයෙන් තමාගේ අත පිරිසිදු යැයි කියන්න මංගලට හැකියාවක් තිබේ ද? බරපතළ වැරදි කළ මිනිසුන්ට නිවැරදි විය හැකි ය. එහෙත් එවැනි ගමනක් ආරම්භ කරන්නට පෙර අවශ්‍ය ස්වයං විවේචනයක යෙදිය යුතු ය. රාජපක්ෂ ආණ්ඩුව ගැන අපට ද විවේචනයක් තිබේ. එහෙත් එහිදී මංගලගේ පෙරහැරට එකතුවීමේ හැකියාවක් අපට නැත.