සන්ඩේ ටයිම්ස් පුවත්පත හැටවෙනි නිදහස් සමරුව වෙනුවෙන් රටේ සමාජ ආර්ථික හා දේශපාලනය අළලා කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල පසුගිය සතියේ පළකොට තිබුණි. මෙම සමීක්ෂණය කර තිබුණේ ප්‍රධාන වයස් කාණ්ඩ තුනකට අයත් පුද්ගලයින් 519 ක් පදනම් කොටගෙන ය. සමීක්ෂණයේ දී සොයා බලන ලද කරුණු අතර එක් වැදගත් කරුණක් වනුයේ නිදහසින් පසු බිහි වූ නායකයින් අතරින් රට සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමේ වැඩිම හැකියාවක් තිබුණු නායකයා කව්ද යන ප්රශ්නයයි. ලැබී තිබුණු ප්‍රතිඵල මෙසේ ය. බහුතරයේ විශ්වාසය හා ගෞරවය දිනාගත් කිසිම නායකයකු බිහි වී නැති බව ප්‍රතිඵල අනුව පෙනී යයි. පළමුවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකය. පළමු තැන හිමිකරගත් ඔහු පවා ලබාගෙන ඇති කැමැත්තේ අනුපාතිකය 31%කි. ඩී.එස්. සේනානායක වැනි නායකයකු මෙවැනි තත්වයක් දිනාගැනීම කෙරෙහි නිදහස දිනාගත් නායකයා වශයෙන් ඔහුට ලැබී තිබෙන පිළිගැනීම හා සමහර විට රටට අඩුම නපුරක් කළ නායකයා ලෙස සලකා කැමැත්ත ප්‍රකාශ කිරීම වැනි සාධක බලපෑවා විය හැකි ය.
22% ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය රණසිංහ ප්‍රේමදාස මහතාත් 21% ලබාගනිමින් තෙවැනි ස්ථානය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හිමි කරගෙන සිටී. මෙම නායකයින් දෙදෙනාම සම්ප්‍රදායික ප්‍රභූ පංතියෙන් පිටස්තරව බලයට පැමිණි නායකයන් දෙදෙනා ලෙස සැලකිය හැකි ය. අනෙක් අතට මෙම පක්ෂ දෙකේ පැවති පවුල් ආධිපත්‍යයට පටහැනිව පිටතින් පැමිණි නායකයින් දෙදෙනා ලෙස ද සැලකිය හැකි ය. අහම්බයක් මත ටික කලකට බලයට පැමිණි ඩී.බී. විජේතුංග හැර එ.ජාපය හිමිකරගෙන සිටින පවුල් කණ්ඩායමෙන් බැහැර එම පක්ෂයෙන් බලයට පැමිණි එකම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා ය. ඔහු ගොවිගම කුලයෙන් පිටස්තරව බලයට පැමිණි එකම නායකයා ලෙසද සැලකිය හැකි ය. සමහර අවස්ථාවලදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රණසිංහ ප්‍රේමදාස මහතාට සමාන කළ හැකි ය. බණ්ඩාරනායක රත්වත්ත පවුලෙන් බැහැරව ශ්‍රීලනිපයෙන් බලයට පැමිණි එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා ය.
අනෙක් අතට අගනුවරින් බැහැරව ඈත පිටිසර ගමකින් බලයට පැමිණි එකම නායකයා ලෙස ද සැලකිය හැකි ය. මෙම නායකයින් දෙපලගේ ආකර්ශනය කෙරෙහි අන් නායකයින්ට නැති එම විශේෂ සාධකය බලපෑවා විය හැකි ය. නිදහසින් පසුව බිහි වූ සියලු නායකයින් අතුරින් දැවැන්තම දේශපාලන චරිතය ලෙස සැලකිය හැකි ජේ.ආර්. ජයවර්ධන ට හිමිව ඇත්තේ හතරවැනි තැන ය. ලැබී ඇති කැමැත්තේ අනුපාතිකය 7% කි. රට නවීනත්වයට හා පහසුවෙන් ගැලවිය නොහැකි ඒකාධිපති දේශපාලන ක්රමයක සිරකරනු ලැබූ නායකයා ඔහු ය. ඔහුගේ හොඳ නරක විචාරාත්මකව බැලිය හැකි තැනකට සමාජය පැමිණ තිබෙන බව ඔහු හිමිකරගෙන තිබෙන ප්‍රතිඵලය අනුව පෙනී යයි. බණ්ඩාරනායක පවුලේ දේශපාලන නායකයින්ට තිබුණු ආකර්ශනය ද වාෂ්ප වෙමින් තිබෙන බව පෙනී යයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 5% කි. ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායකට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 4% කි.
දෙදෙනාගේ දුව වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලැබී තිබෙන කැමැත්තේ අනුපාතිකය 1% කි. පහසුවෙන් විසඳාගත නොහැකි ජාතිවාදි අවුලකට රට තල්ලු කරන ලැබූ පුද්ගලයා බණ්ඩාරනායක ය. ඉන් නොනැවතී ඔහුගේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සිංහල තරුණ පරපුරට ඉංග්‍රීසි භාෂාවට මාරුවීමට තිබුණු හැකියාව සීමා කළේ ය. ඒ වෙනුවෙන් සිංහල තරුණ පරපුරට අද ගෙවන්නට සිදු වී තිබෙන වන්දිය අති විශාලය. සමහර අංශවලින් යකඩ කාන්තාවක් ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංග හිමිකරගෙන සිටින ආන්තික තත්ත්වය ද පුදුම උපදවන සුළු ය. ඇය හා මහින්ද අතර තිබෙන පරතරය 21ට 1 කි. ජීවතුන් අතර සිටිය දී හා මෙතරම් ඉක්මනින් ඉතිහාසයේ කුණු බක්කියට එකතු වූ තවත් නායකයකු ගැන සිතිය හැකි ද? විපක්ෂ නායකයා ලෙස සැලකිය හැකි එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ හිමිකරගෙන සිටින්නේද පහත්ම තත්ත්වයකි. හිමිකරගෙන සිටින කැමැත්තේ අනුපාතිකය 1% කි.
සමීක්ෂණය කර තිබෙන්නේ මාමාගේ පුවත්පත වන නිසා සමීක්ෂණය තමාට එරෙහිව අටවන ලද කුමන්ත්‍රණයක් ලෙස ද විග්රහ කළ නොහැකි ය. ඔහු සිටින්නේද චන්ද්‍රිකාගේ බෝට්ටුවේ ය. ඔහුගේ අසාර්ථක භාවය සමාජයේ පොදු පිළිගැනීමට හේතු වූ කරුණක් බව ලබාගෙන තිබෙන ප්‍රතිඵලයට අනුව හොඳින් පෙනී යයි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරටද තිබුණ පිළිගැන්ම ද වාෂ්ප වී තිබෙන බව පෙනේ. ඔහු හිමි කරගෙන තිබෙන කැමැත්තේ ප්‍රමාණය 1%කි. එය ජවිපෙට තිබෙන පිළිගැනීමේ පරාවර්තනයක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රතිඵල අනුව පෙනීයන එක් වැදගත් කරුණක් වනුයේ සමාජයේ එක්තරා වේගයකින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවත්නා යථාර්ථය තේරුම් ගනිමින් සිටින බවය. අපේ රටේ දේශපාලන නායකයින්ට ආවේණික බරපතළ සීමා තේරුම් ගනිමින් සිටින බවය. එයින් පෙනෙන්නේ මතුපිටින් පෙනෙන්නට තිබෙන දේවල් ලස්සන නැතත්, අප ජීවත්වන්නේ පරිවර්තනය වීමට ආසන්න දේශපාලන සමාජයක බවය.
සේකර