එල්ල වී තිබෙන අභියෝගයට එක්සත්ව මුහුණ දිය යුතුය

February 10, 2008
Publication:
The war has entered a new phase and the LTTE has answered by attacking civilians in the south. Ivan distinguishes civilian deaths from air strikes, which may happen, from attacks aimed at civilians, which are chosen — then says the danger now is a second Black July, and that neither suppressing the opposition nor destabilising the government can be justified against it.

ආරක්ෂක හමුදා හා එල්ටීටීඊය අතර කෙරෙන යුද්ධය නව අදියරකට අවතීර්ණ වී තිබෙන බව පෙනේ. මෙම වසර අවසානයට පෙර එල්ටීටීඊ ආධිපත්‍යය යටතේ තිබෙන ප්‍රදේශ මුදාගන්නා බව ආණ්ඩුව කියයි. නැගෙනහිර පළාතේ ඔවුන්ට තිබූ ආධිපත්‍යය නැති කොට ඔවුන්ගේ පැවැත්ම ප්‍රධාන කොට කිලිනොච්චියට හා මුලතිව්වලට සීමා කොට තිබෙන බව ද පෙනේ. ආරක්ෂක හමුදා දියත් කොට තිබෙන වැඩපිළිවෙළට එරෙහිව එල්ටීටීඊය දකුණේ සිවිල් වැසියන් ඉලක්ක කොටගෙන පහර දෙන පිළිවෙතක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හමුදා ගුවනින් කරන පහරදීම්වල දී ඔවුන්ගේ කලාපයේ සිවිල් වැසියන්ට හානි පැමිනුණු අවස්ථා තිබිය හැකි වුවත්, ඒවා සිවිල් වැසියන් ඉලක්ක කොටගෙන සිතා මතා කරන ලද පහරදීම් ලෙස සැලකිය නො හැකි ය. එහෙත් දැන් එල්ටීටීඊය පහර දෙන්නේ සිවිල් වැසියන්ට ය. දකුණේ සාමාන්‍ය වැසියන් බිය ගන්වා ආරක්ෂාව සඳහා ගම් බිම් අතහැර යන තත්ත්වයක් නිර්මාණය කිරීම හා දකුණේ සිංහල ජනයා ප්‍රකෝප කොට 83 කළු ජූලිය වැනි තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ.

එල්ටීටීඊය වැනි ව්‍යාපාරයකට ආයුධ සන්නද්ධව කුඩා කණ්ඩායම් යොදවා ගම්බද සාමාන්‍ය මිනිසුන්ට පහරදීම අමාරු දෙයක් වන්නේ නැත. ඉතාමත් දුෂ්කර දේ වනු ඇත්තේ එවැනි තත්ත්වයක් ඇතිවීම පාලනය කිරීම ය. එක් අතකට සාමාන්‍ය මිනිසුන් මැස්සන් මදුරුවන් මෙන් මරා දමන්නට ඉඩ නො දිය යුතු අතර, ඒ සමග 83 කළු ජූලිය වැනි තත්ත්වයක් ඇතිවන්නට ද ඉඩ නොදිය යුතු ය. බාහිර මැදිහත්වීමක් මේ ආරාවුලට විසඳුමක් වන්නේ නැත. කොතරම් දුෂ්කර වුවත්, එය අභ්‍යන්තරික වශයෙන් විසඳා ගත යුතු ය. ඒ සමග මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට බාහිර වශයෙන් ලබාගත හැකි සහාය නො කඩවා ලබාගත යුතු ය. ප්‍රභාකරන්ගේ ගණන්කාර ප්‍රතිපත්තියට ඉඩ නොදිය යුතු වුවත්, ගණන්කාරයා මෙල්ල කළ යුතුව තිබෙන්නේ ද දෙමළ ජනයාට හානියක් නොවන ආකාරයට හා ගණන්කාරයට කළ හැකි හානිය අවම කරන ප්‍රතිපත්තියක් ඔස්සේ ය. ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටිනුයේ තීරණාත්මක හා දැවැන්ත ජාතික අභියෝගයකට ය.

රටේ පවතින මෙම අවුල්සහගත තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව විරුද්ධ පක්ෂය මර්දනය කිරීමට හෝ විරුද්ධ පක්ෂ ආණ්ඩුව අස්ථාවර කරන ප්‍රතිපත්තියක් කවර මට්ටමකින්වත් අනුමත කළ නො හැකි ය. ඒ වෙනුවට සිදුවිය යුතුව තිබෙන්නේ රට මුහුණ දී තිබෙන මෙම දැවැන්ත අභියෝගයට පක්ෂ භේදයෙන් තොරව එක්සත්ව හා එක්සිත්ව මුහුණදීම ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බොහෝ මතභේද අතහැර විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මතභේද අතහැර සහයෝගයෙන් වැඩ කරන තැනකට යා යුතු අතර, රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට ආ යුතු ය. එල්ල වී තිබෙන අභියෝගය ජයගත හැකිවනු ඇත්තේ එක්සත්ව හා එක්සිත්ව ක්‍රියාකිරීමෙන් පමණ ය.