යුද්ධයේ කෙළවර කුමක් ද?
යුද්ධයේ ඝන කළු වලාවලින් මුළු අහස් කුසම වැසී යමින් පවතී. යුද්ධයේ පිළිගත් ආචාර ධර්ම නොසලකා ජයග්‍රහණය සඳහා උපරිම ලෙස මැරීම දැන් යුද්ධයේ සාධනීය ලක්ෂණය බවට හැරී පවතී. ඒ පැත්තේ සිදුවන දේවල් අපට පෙනෙන්නේ නැත. පෙනෙන්නේ මේ පැත්තේ සිදුවන දේවල් පමණය. මරණයට පත්වෙමින් සිටිනුයේ යුදබිමේ සටන් කරන සොල්දාදුවන් වෙනුවට සාමාන්‍ය ජනයාය. ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා බස් රථ, දුම්රිය වැනි මගී ප්‍රවාහන සේවාවන්ය. අපට නොපෙනුණ ද ඒ පැත්තේ සිදුවන දේවල් ද ලස්සන විය නොහැකිය. මේ යුද්ධයේ කෙළවර කුමක්ද? ප්රභාකරන් දණ ගැස්වීමට මහින්ද සමත්වේද? නැතිනම් මහින්ද දණ ගැස්වීමට ප්රභාකරන් සමත්වේද? ඇතිවී තිබෙන මෙම බිහිසුණු තත්ත්වයට ප්‍රධාන කොට වගකිවයුත්තේ කව්ද? මහින්දද? ප්රභාකරන් ද? නැතිනම් වෙනත් තුන්වැනි පිරිසක් ද? යුද්ධයකට අවතීර්ණ වීමෙන් තොරව මෙම ප්රශ්නය සාමකාමී ලෙස විසඳා ගැනීමට මහින්දට හෝ ප්රභාකරන්ට හැකියාව තිබුණේද? මෙම ලේ වැගිරෙන අරගලයේ ආරම්භයේදී පීඩක පක්ෂය බවට පත්ව සිටියේ සිංහලයෝය.
පීඩිත පක්ෂය බවට පත්ව සිටියේ දමිළයෝය. ආරාවුලේ ආරම්භය ඇත්තේ භාෂා ප්‍රශ්නයේය. නිදහසින් පසු ඉංග්‍රීසි භාෂාවට තිබුණු ප්‍රධාන තැන ඉවත් කිරීමට අවශ්‍යව තිබුණ ද දෙමළ භාෂාව කතා කරන දෙමළ ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට සිංහල භාෂා අයිතිවාසිකම් නීතිගත කිරීමට සිංහල නායකයන් අසමත් විය. ඒ නිසා තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව දෙමළ ජනතාව නගන ලද හඬට සවන් දී සිදුවී තිබුණු වරද නිවැරදි කිරීමට ද සිංහල නායකයන් අසමත් විය. මෙම භාෂා ආරාවුල මතුවන්නට පෙර ද මෙම වාර්ගික කණ්ඩායම් දෙක එකිනෙකා පිළිබඳව සිතන මතන ආකාරය තුළ ගැටුමක් තිබුණි. සිංහලයන් දමිළයන් දැක්කේ සිය ශිෂ්ටාචාරය විනාශ මුඛයට ගොදුර කළ ආක්රමණික වර්ගයක් ලෙසය. අනෙක් අතට ලංකාවේ දමිළයන් සමග දකුණු ඉන්දියාවේ දමිළයන් ද එකම පිරිසක් ලෙස ගෙන තමන් විශාල දෙමළ සමූහයකට මැදිවී ජීවත් වන පුංචි ජනවර්ගයක් ලෙස සිංහලයෝ කල්පනා කළේය.
දමිළයන්ගේ ජන සංඛ්‍යාව සිංහල ජනගහනයේ ප්‍රමාණය මෙන් හතෙන් එකක් තරම් කුඩා වුවත්, ඔවුන් සමාන අයිතිවාසිකම් දිනාගැනීමට උනන්දුවක් දක්වනවාට වඩා උනන්දුවක් දැක්වූයේ දේශපාලන ක්‍රමය තුළ සමාන නියෝජනයක් දිනාගැනීමටය. එක් අතකින් සිංහල මහ ජාතිය සුළු ජාතියක් ලෙස කල්පනා කරන විට දෙමළ සුළු ජාතිය මහ ජාතියක් ලෙස කල්පනා කළේය. භාෂා ප්‍රශ්නයෙන් ආරම්භ වන මෙම ආරාවුල 83 කළු ජූලිය විසින් ලේ වැගිරෙන ආරාවුලක් බවට පත් කළේය. දෙමළ සංහාරයක් ලෙස සැලකිය හැකි 83 කළු ජූලිය පිරිසිදු අර්ථයෙන් සිංහල ජනයාගේ නිර්මාණයක් ලෙස සැලකිය නොහැකිය. එය දේශපාලන අරමුණක් වෙනුවෙන් පාලක පක්ෂය විසින් ඇති කරන ලද ක්‍රියාවක් විය. කලබල ආරම්භවීමෙන් පසු සිංහල ජනතාව අතර, සිටින දෙමළ විරෝධී පිරිස් ඊට එකතු වී ක්‍රියාකළා වුවත්, එහිදී සිදුවූ සාහසික ක්‍රියා අනුමත නොකරන සිංහලයින් ද කිසියම් විශාල පිරිසක් සිංහලයන් අතර සිටියේය.
ඔවුන්ගෙන් සමහරෙක් සිය ජීවිත පරදුවට තබා විපතට පත් දමිළයන් ආරක්ෂා කළේය. එහෙත් එවැනි මහා විනාශයක් ඇතිවීම වැළැක්වීමට කැපී පෙනෙන තරමේ මැදිහත්වීමක් කිරීමට ඔවුන් සමත් නොවීය. දෙමළ සටන්කාමී කණ්ඩායම් දෙමළ අරගලයේ සුක්කානම මෙහෙයවන සේනාධි නායකයන් බවට පත්වන්නේ 83 කළු ජූලියෙන් පසුවය. ඊළඟට එළඹෙන යුගයේ ආරම්භයේදී 83 කළු ජූලියේ ඇතිවූ විනාශය වෙනුවෙන් දෙමළ සටන්කාමීන් පළිගත්තේ සාමාන්‍ය සිංහල වැසියන්ගෙනි. සිංහල ගැමියන් ද ආරක්ෂාව සඳහා ග්‍රාම ආරක්ෂක භටයන් ලෙස ආයුධ අතට ගෙන ආරක්ෂක හමුදාවන්ට එකතුවෙමින් තමන්ට ලැබෙන හැම අවස්ථාවකදීම සාමාන්‍ය දෙමළ මිනිසුන්ගෙන් පළිගැනීම නිසා දෙපාර්ශ්වයේම සාමාන්‍ය මිනිසුන් දහස් ගණනක් එකිනෙකා අතින් ඝාතනයට ලක්වන තත්ත්වයක් ඇතිවිය. සිංහලයන් දමිළයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි නොවනවා සේ ම දමිළයන් සිංහලයන්ට ප්‍රතිචාර දක්වන ලද ආකාරය ද වැරදිය.
මේ අරගලය සන්නද්ධ ගැටුමක් බවට පත්වීමෙන් පසු දෙමළ ජනයා සිය අයිතිවාසිකම් වෙනුවෙන් කරන ඉල්ලීම්වල ද මහා වෙනසක් ඇතිවිය. සිංහල ජනයා දෙමළ ජනයාට හිමි සාධාරණ අයිතිවාසිකම් ලබාදීම ප්‍රතික්ෂේප කරන විට දෙමළ ජනයා සටන් කරන්නට වූයේ අහිමි වී තිබූ අයිතිවාසිකම් වෙනුවෙන් නොව, සිංහල ජනයාට එකඟ විය නොහැකි හා දෙමළ ජනයාට දිනාගත නොහැකි වෙනම රාජ්‍යයක් වෙනුවෙනි. කොටින්ම සටන්කාමී දෙමළ නායකයන් ඉල්ලා සිටියේ සිංහලයන් අතින් සිදුවූ හානියට සරිලන තරමේ සාධාරණ වන්දියක් නොව, සිංහල ජනයාට එකඟ විය නොහැකි අතිවිශාල අසාධාරණ වන්දියකි. ආරාවුලේ හරය තිබුණේ භේදයෙන් තොරව සියලු දෙනා සමානයන් ලෙස නොසලකන ප්‍රතිපත්තියේය. එහෙත් දෙමළ සටන්කාමී නායකයන් ඉල්ලා සිටියේ සමාන අයිතිවාසිකම් නොව වෙනම රාජ්‍යයක් නොවේ නම් තමන්ගේ සන්නද්ධ හමුදා පවත්වාගෙන යෑමේ අයිතිය ඇති රාජ්‍යයකි.
ආරාවුලේ කේන්ද්‍රීය හේතු හඳුනාගෙන තමන් අතින් සිදුවූ වරදට දමිළයන්ගෙන් සමාව ලබාගනිමින් සියලු දෙනාට සමාන අයිතිවාසිකම් සහතික කරන ප්රතිපත්තියකට යනවා වෙනුවට සිංහල නායකයන් ද කළේ වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන් පාඨයේ එල්ලීගෙන නිකම්ම බලාගෙන සිටීමය. සිංහලයන් අතින් සිදුවී තිබෙන වරදට කරන ලද වරදේ ප්‍රමාණයට නොගැලපෙන තරම් විශාල වන්දියක් ඉල්ලා සිටීම අසාධාරණ බව තේරුම් ගනිමින් වෙනම රාජ්‍යයක් සඳහා කරන ඉල්ලීම් අත්හරිමින් තමන්ට ලැබිය යුතුව තිබෙන ඇත්ත අයිතිවාසිකම් ඉල්ලා සිටින තැනකට ඒමට දෙමළ සටන්කාමී නායකයන් ද අසමත් විය. මෙසේ පසුගිය ජනාධිපතිවරණය වන විට මෙම ආරාවුල ගමන් කර තිබුණේ දෙකින් එකක් යුද්ධයෙන්ම බේරාගත යුතු තැනකටය. රනිල් වික්‍රමසිංහ පාලන යුගයේ පැවති සාම සාකච්ඡා කිසියම් වසර ගණනක් යුද්ධය වැළකීමට හේතුවී තිබුණ ද, මෙම ආරාවුල සාකච්ඡා මගින් විසඳා ගත හැකි තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබුණේ නැත.
සටන් විරාම ගිවිසුමක් තිබියදීත් ප්රභාකරන් ප්‍රති ඔත්තු සේවාවන් හී සාමාජිකයන් ඝාතනය කළේය. ප්රභාකරන්ට සාමකාමී විසඳුමක් පිළිබඳ අවංක විශ්වාසයක් තිබුණේ නම්, සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමෙන් පසුත්, ප්‍රති පක්ෂයේ ඔත්තු සේවාවල නායකයන් හා සාමාජිකයන් ඝාතනය කරන තැනකට යනු ඇතැයි සිතිය නොහැකිය. සාමය තාවකාලික එකක් බව ඔහු දැන සිටියේය. ජනාධිපතිවරණය එන විට එම සාම සාකච්ඡා ද බිඳ වැටී තිබුණි. අවසානයේදී තමන්ට සාම සාකච්ඡා ලබා දුන් රනිල් වික්රමසිංහව ද ප්රභාකරන් පරාජය කළේය. එහිදී ප්රභාකරන් කල්පනා කළ ආකාරය 1988 ජනාධිපතිවරණයේ දී විජේවීර කල්පනා කළ ආකාරයට බොහෝ දුරට සමානය. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුවක් වෙනුවට රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවක් බලයට පත්කිරීමෙන් තමන්ට වඩා පහසුවෙන් තමන් ආරම්භ කොට තිබුණු කැරැල්ල ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයා හැකි වනු ඇතැයි විජේවීර විශ්වාස කළේය.
එහෙත් සිදුවූයේ අන් දෙයකි. රණසිංහ ප්‍රේමදාස සිරිමා බණ්ඩාරනායක මැතිනියට වඩා අධිෂ්ඨානශීලී ජවසම්පන්න නායකයකු විය. ඔහු විජේවීර සමග විජේවීරගේ කැරැල්ල ද සමතලා කළේය. ප්රභාකරන්ට සිදුවී තිබෙන්නේ ද එදා විජේවීර අතින් සිදුවූ වරදමය. අවසානයේ ඉතිහාසය විසින් ප්රභාකරන්ට ඔහුට ගැලපෙන හා ඔහුට තේරෙන භාෂාවකින් කතා කිරීමට සූදානම් නායකයකු බලයට ගෙනාවේය. ප්රභාකරන් ඉපදුණේ උතුරේ යාපනේ වඩමරාච්චියේය. මහින්ද ඉපදුණේ දකුණේ හම්බන්තොට මැද මුලනේය. දෙදෙනාම නිර්ප්‍රභූ පන්තියට අයත්ය. ප්රභාකරන් මහින්දට බිය නැතිවා සේ ම, මහින්ද ද ප්රභාකරන්ට බිය නැත. ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු ප්රභාකරන් සමග යුද්ධයට ගිය හැම නායකයකුම එසේ කළේ ප්රභාකරන් පිළිබඳව හිතේ ඇති කරගත් චකිතයකිනි. පළමු වතාවට එවැනි චකිතයකින් තොරව ප්රභාකරන්ට මුහුණ දිය හැකි ප්රතිනායකයකු බිහිවී තිබේ.
තුවක්කුවේ බලයෙන් ප්‍රශ්න විසඳා ගැනීම ප්රභාකරන්ගේ අභිලාෂය වන විට මහින්දගේ අභිලාෂය වන්නේ ද එයමය. ප්රභාකරන් මහින්දගේ ඔලුව ඉල්ලා සිටින විට මහින්ද ඉල්ලා සිටින්නේ ද ප්රභාකරන්ගේ ඔලුවය. එකිනෙකාට ගැලපෙන නායකයන් දෙදෙනෙකු හමුවන තත්ත්වයක් තුළ දැන් ආරම්භ වී ඇති යුද්ධය වෙන කවරදාවත් නොවන තරම් බිහිසුණු යුද්ධයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. මේ යුද්ධයේදී සාමාන්‍ය මහජනයාට පහරදීමේ වැඩි හැකියාවක් ප්රභාකරන්ට ඇතත්, ඓතිහාසික අර්ථයෙන් ප්රභාකරන් සිටින්නේ තවදුරටත් ඉහළ නගින තැනක නොව පහළ වැටෙන තැනකය. ඔහු එක් අවස්ථාවකදී කිසිම ගරිල්ලා ව්‍යාපාරයකට අත්කර ගැනීමට බැරි තරම් ජයග්‍රහණ රැසක් සිය ව්‍යාපාරයට අත්පත් කරදීමට සමත් විය. ඔහු එක පිට එක උතුරේ හමුදා කඳවුරු ගණනාවක් අත්පත් කරගැනීමෙන් නොනැවතී සෙබළුන් 10,000කට වැඩි පිරිසක් සහිත උතුරේ දොරටුව ලෙස සැලකුණ අලිමංකඩ හමුදා සංකීර්ණය ද අල්ලා ගැනීමට සමත් විය.
අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරට හා ගුවන් තොටුපළට විශ්මයජනක ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය. ඒ මගින් ඔහු ගරිල්ලා ව්‍යාපාරයකට යා හැකි ඉහළම දුර ගියේය. එහෙත් පුදුමයකට මෙන් එවැනි දැවැන්ත ජයග්‍රහණ රැසකට පසුත්, දෙමළ ජනතාව සඳහා සැලකිය යුතු කිසිවක් දිනාගැනීමට ඔහු අසමත් විය. ඔහු යුද්ධයේ අති දක්ෂයකු වුවත්, යුද්ධයක් නතර කළ යුතු තැන හා ගරිල්ලා ව්‍යාපාරයක් යුද්ධයේ රාමුවක සිට දේශපාලන රාමුවකට මාරුවිය යුතු ආකාරය හා අවස්ථා පිළිබඳව ඔහු වැනි නායකයන් තුළ තිබිය යුතු දැනුම ඔහුට නොතිබුණේය. යා හැකි උච්චතම තැනකට ආපසු තවදුරටත් ඒ මාවතේ ඉදිරියට යා නොහැකි බව තේරුම් ගැනීමට අවශ්‍ය දේශපාලන පරිණතභාවය ඔහුට නොතිබුණේය. ඒ නිසා දැන් ප්රභාකරන් සිටින්නේ එදා සිටි ඉහළම තැන නොව, ඊට වඩා හුඟක් පහළ තැනකය. ඔහු දැන් ඉලක්ක කොට ගනිමින් සිටින්නේ ද ආර්ථික හෝ යුදමය වශයෙන් වැදගත් මර්මස්ථාන නොව, සාමාන්‍ය ජනයා ගමන් ගන්නා බස් රථ, දුම්රිය වැනි මගී වාහනය.
ප්රභාකරන් වෙනස්වන්නට කැමති නැත. සිය මනෝරාජික ඉල්ලීම් අත්හරින්නට ද සූදානම් නැත. ඔහු ඉල්ලන ඉල්ලීම් ලබාදීමේ හැකියාවක් කිසිම ආණ්ඩුවකට නැතිවා සේ ම, ඒ ඉල්ලීම් දිනාගැනීමේ හැකියාවක් ඔහුට ද නැත. ඒ අර්ථයෙන් ඔහු රටේ ඉදිරි ගමනට පමණක් නොව, දෙමළ ජනයාගේ ඉදිරි ගමනට ද බාධාවකි. ඔහු පරාජය කළ යුතුය. ඔහු පරාජය විය යුතුය. අවසාන විග්රහයේදී ප්රභාකරන් ඉතිහාසයට එකතු වනු ඇත්තේ දයා විරහිත හා කුරිරුභාවයෙන් අනූන ගරිල්ලා යුද්ධයේ කෙළ පැමිණි විශේෂඥයකු ලෙස වුවත්, මනෝරාජික විශ්වාසයන් වෙනස් කරගැනීමට අවශ්‍ය දේශපාලන පරිණතභාවය නැතිකම නිසා විනාශයට පත් අසාර්ථක නායකයකු ලෙසය. ඓතිහාසික අර්ථයෙන් ගත්විට ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින්නේ වැඩි වාසිදායක තත්ත්වයක වුවද, ඔහු සටන් කළ යුතුව තිබෙන්නේ ප්රභාකරන් මෙන් සාහසිකව නොව, දෙමළ ජනයා කෙරෙහි ඇති කරගන්නා සානුකම්පිත හැඟීමකින් යුතුවය.
ඔවුන්ට සිංහල ජනයාගෙන් අයුක්තියක් සිදුවී ඇති බව පිළිගනිමින් එම වැරැද්ද නිවැරදි කිරීම මගින් වර්ග, ආගම් හා කුල අනුව බෙදී සිටින ජනයා සමාන අයිතිවාසිකම් ඇති එක ලාංකික ජාතියක් ලෙස එකට ඒකරාශි කිරීමේ උදාර අරමුණින් යුතුවය. ගෞරවනීය නායකයකු ලෙස ඔහුගේ නම ඉතිහාසයට එකතු වනු ඇත්තේ එසේ කිරීමට සමත් වේ නම් පමණය. එසේ නොවේ නම්, ඔහු ද අන් සියලු නායකයන් මෙන් බලය අහිමිවීමෙන් පසු වැටෙනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියටය.