රට තීරණාත්මක තැනක

January 20, 2008
Publication:
Ivan puts the decisions facing the country as a numbered list: whether to keep the All Party Representative Committee going and produce a settlement, whether to protect the European trade concession the garment industry depends on, and what the UNP is for if it will not take a far-sighted position on either.

රටේ පැවැත්ම හා අනාගතය කෙරෙහි බලපාන තීරණාත්මක ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දිය යුතු තීරණාත්මක තැනට රට පැමිණ සිටින්නේ ය. 1. සර්ව පාක්ෂික සමුළුව පවත්වාගෙන යා යුතු ද? ඒ මගින් ජනවාර්ගික ප්‍රශ්නයට සියලු පාර්ශ්වවලට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු ද? නැතිනම් ජේවීපීය ඉල්ලා සිටින ආකාරයට මේ මොහොතේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන තැනකට නොගොස් සර්වපාක්ෂික සමුළුව විසුරුවා හැරිය යුතු ද? 2. රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී තිබෙන ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය ලබාදී තිබෙන නිදහස් වෙළෙඳපොළ තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කළ යුතු ද? නැතිනම් ජවිපෙ ඉල්ලා සිටින ආකාරයට විදේශ බලපෑම්වලට යට නොවී යුරෝපා සංගමය ඇඟලුම් නිෂ්පාදන සඳහා ලබාදී තිබෙන නිදහස් වෙළෙඳපොළ කිහිපය අහිමි කරගැනීම සඳහා එම ගිවිසුමට ඇතුළත් කොන්දේසි නොපිළිගන්නා තත්ත්වයකට යා යුතු ද? ජවිපෙට දැන් ඇත්තේ මහජන බලයක් නොව, පාර්ලිමේන්තුවේ නොම්මර බලයකි.

එහෙත් පාර්ලිමේන්තුවේ නොම්මර ක්‍රීඩාව නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීමේ බලය ජවිපෙට ලැබී තිබෙන තත්ත්වයක් තුළ රට බුරුමයක් කිරීමට ජවිපෙට අවශ්‍ය වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මහජන බලය කෙරෙහි විශ්වාසය තබා නැවත මැතිවරණයකට ගොස් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාවක් ජවිපෙට නැත. ඒ නිසා රටක තිබෙන ජාත්‍යන්තර සම්බන්ධකම් කපා හැර ඒකාධිපති තත්ත්වයකට රට තල්ලු කොට, ඒ නිසා ඇතිවන අවුල්සහගත තත්ත්වය තුළ අන් ආකාරයකින් බලය ලබාගැනීම ජවිපෙ උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ. මෙවැනි විනාශකාරී තත්ත්වයක් ඇතිවීම වැළකීමේ ප්‍රධාන වගකීම ඇත්තේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එජාපයටය. ඔවුන් මුල සිටම කළ යුතුව තිබුණේ ඉක්මන් ආණ්ඩු පෙරළියක් සඳහා සිහින දැකීම නොව, රටේ මතුවී තිබෙන සුවිශේෂ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රට අන්තවාදී තැනකට තල්ලු කිරීමට ජේවීපීය දරන වියරු උත්සාහය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නිල කාලය පවත්වා ගෙනයාමට අවශ්‍ය අවංක සහාය ආණ්ඩුවට ලබාදීම ය.

එවැනි දූරදර්ශී ප්‍රතිපත්තියක් එජාපයට තිබුණේ නම්, එම පක්ෂය නායයෑම වළකා ගැනීමට ඉඩ තිබුණා සේ ම, අන්තවාදී මගකට තල්ලු නොවූ රාජ්‍ය පාලනයක් ඇතිවන්නට ද ඉඩ තිබුණි. එවැනි තත්ත්වයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නො ව, රනිල් වික්‍රමසිංහ මහතාගේ ද යහපතට හේතුවී රටේ පොදු යහපතට ද හේතුවන්නට ඉඩ තිබුණි. දැන්වත් එජාපය එවැනි ප්‍රතිපත්තියකට මාරු විය යුතු ය. පාර්ලිමේන්තුවේ නොම්මර ක්‍රීඩාව ආයුධයක් කරගනිමින් ආණ්ඩුව අන්තවාදී තැනකට තල්ලු කිරීමට ජවිපෙ දරන වියරු උත්සාහය පරාජය කිරීමට එජාප ආණ්ඩුවට සහාය විය යුතුය. සර්ව පාක්ෂික සමුළුව ආරක්ෂා කරගනිමින් ඵලදායී දේශපාලන විසඳුමක් ඉදිරියට ගැනීමේ ක්‍රියාවලියට සහාය දෙන තැනකට යා යුතුය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය ලබාදී තිබෙන නිදහස් වෙළෙඳපොළ තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව සමග අවබෝධයකින් ක්‍රියාකරන තැනකට යා යුතු ය.

රටේ ගමන් මග යහපත් තැනකට ගත හැකිවනු ඇත්තේ එවිට ය. ජපන් විශේෂ නියෝජිත අකාෂි එජාපයට දෙන පණිවුඩය වූයේ ද එය යි.