දූෂණ මර්දනයේදී හොංකොං රට හිමි කරගෙන සිටින්නේ ලෝකයේ පළමු පෙළේ තත්ත්වයකි. 1974ට පෙර හොංකොං රට සැලකුණේ ශ්‍රී ලංකාව මෙන් දූෂණයෙන් කුණුවූ රටක් ලෙසය. එකල ඒ රටේ ඕනෑම දෙයක් කරගැනීමට පගාවක් දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එහෙත් අද එහි තත්ත්වය මුළුමණින්ම වෙනස්ය. සංචාරක හෝටලයකදී දෙන සංතෝසමක් වුව ද එම රටේ හෝටල් සේවකයන් භාරගන්නේ නැත. අද හොංකොං රට සැලකෙන්නේ ඉතාමත් සාර්ථක ලෙස දූෂණය මර්දනය කළ ඒ නිසාම අතිවිශාල දියුණුවක් ලැබූ රටක් ලෙසය. අන්ත දූෂිත තත්ත්වයක පැවති හොංකොං පොලිසිය අද සැලකෙන්නේ ලෝකයේ තිබෙන පිරිසිදු පොලිස් සේවාවන්ගෙන් එකක් ලෙසය. දූෂණ මර්දන වැඩපිළිවෙළ නිසා කලක් දුප්පත් හා නොදියුණු රටක් ව පැවති හොංකොං රට අද ඉතා පොහොසත් හා දියුණු රටක් බවට පත්වී තිබේ. ඒ රටේ ජනතාව එහි ගෞරවය හිමිකර දෙන්නේ හොංකොං ආණ්ඩුවට නොව, ඒ රටේ දූෂණය මර්දනය කිරීම සඳහා පවත්වාගෙන යන ස්වාධීන කොමිෂන් සභාවටය.
මතභේදයකින් තොරව රටේ සියලු දෙනාට මහත් ගෞරවයකින් හා වීරත්වයකින් සලකන ආයතනය බවට පත්ව ඇත්තේ දූෂණ මර්දන ස්වාධීන කොමිසමය. අප දොළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් හොංකොං රටට ගියේ එහි තිබෙන දූෂණයට එරෙහිව ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහාය. සංචාරය සංවිධානය කර තිබුණේ හොංකොං රටේ මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසම හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලංකා ශාඛාව විසිනි. අප දොළොස්දෙනාගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අමීර් ඉස්මයිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ විජේදාස රාජපක්ෂ හා දයාසිරි ජයසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්ෂ ජේ.සී. වැලිඅමුණ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, හෙට්ටිගේ ද, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ ෆයිසල් සමත් ඇතුළු පිරිසක් සහභාගි විය.
හොංකොං අත්දැකීමට යන්නට පෙර දූෂණය විෂයෙහිලා ශ්‍රී ලංකාව සිටින තැන තේරුම් ගැනීම වැදගත්ය.
දූෂණයේ ප්‍රතිවිපාක
දූෂණය ලෙස පොදුවේ සැලකිය හැක්කේ නීති විරෝධී ලෙස ප්‍රතිලාභ ලැබීමේ ගණයට හා නීත්‍යානුකූලව ප්‍රතිලාභ ලැබිය යුතු අයට එම ප්‍රතිලාභ අහිමි කිරීමේ ගණයට වැටෙන වැරදිය. දෙවැනි ගණයට වැටෙන්නේ රජයේ සේවකයන් වෙත පැවරෙන රාජකාරි පැහැර හැරීම් ගණයට වැටෙන වැරදිය. කිසියම් පුරවැසියකු නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු සේවාවන් ලබාගැනීමට රජයේ ආයතනයකට එන අවස්ථාවකදී ඒ අවස්ථාවේදී ලබාදිය හැකි සේවාවන් සඳහා දින ගණනාවක් එම ආයතනයට එන්නට සිදුවේ නම්, ඒ සඳහා ඔහුට අතිරේක ගමන් වියදමක් දරන්නට සිදුවනවාට අතිරේකව ඒ සඳහා යන දින ගණනේ දී ඵලදායී ආර්ථික කාර්යයක නිරතවීමේ හැකියාව ද අහිමි වේ. එය ඔහුගේ ජීවන තත්ත්වය කෙරෙහි හානිදායි ලෙස බලපානවා සේ ම, එවැනි ක්‍රියා විශාල වශයෙන් රටේ සිදුවේ නම් එය සමස්ත ආර්ථිකය කෙරෙහි ද හානිකර ලෙස බලපායි. පළමු ගණයේ වැරදි රජයට ලැබිය යුතු ආදායම් හීන කරයි.
මහජන සේවාවක් පවත්වාගෙන යාමට හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය වියදම් දැරීමට රජයට තිබෙන හැකියාව සීමා කරයි. රජයේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම උපයන්නට නොහැකිවීම නිසා ඒ සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීම සඳහා දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගන්නා හා පුරවැසියන් මත අතිරේක බදු පටවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයක් ආණ්ඩුවේ ණය බර උග්‍ර කොට රටේ ජීවන මිල ද ඉහළ දැමීමට හේතුවේ. එම තත්ත්වය දුප්පත්කම වර්ධනය කිරීමට හා රටේ සංවර්ධන වේගය දුර්වල කිරීමට හේතුවිය හැකිය. දේශපාලන අනුග්‍රහය මත සිදුවන දූෂණ හා දේශපාලන අනුග්‍රහය නැතිව සිදුවන දූෂණ වශයෙන් ද දූෂණයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් පවතී. දේශපාලන අනුග්‍රහය නැතිව සිදුවන දූෂණ සංඛ්‍යාව දේශපාලන අනුග්‍රහය ඇතිව සිදුවන දූෂණ සංඛ්‍යාවට වඩා කුඩා විය හැකි වුවත්, පරිමාව විශාලය. දේශපාලන අනුග්‍රහය නැතිව සිදුවන දූෂණවල පරිමාව කුඩා විය හැකි වුවත්, එවැනි දූෂණවල සංඛ්‍යාව විශාලය.
අවසානයේදී දේශපාලන අනුග්‍රහය ඇතිව සිදුවන දූෂණවල අගය හා දේශපාලන අනුග්‍රහය නැතිව සිදුවන දූෂණවල අගය බොහෝ දුරට එක සමාන විය හැකිය.
දේශපාලන ක්‍රමයේ දූෂිත බව
දේශපාලන අනුග්‍රහය ඇතිව සිදුවන දූෂණ, පවතින දූෂිත දේශපාලන ක්‍රමයේ ම තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. නැපෝලියන් රටක් අල්ලා ගත් විට, ඒ රටේ වස්තුව සිත්සේ කොල්ලකන්නට සිය සේනාවන්ට ඉඩ දුන්නේය. පවතින දේශපාලන ක්‍රමය සකස් කොට ඇත්තේ ද එම මූලික න්‍යාය ධර්මයට අනුකූලවය. පවතින දේශපාලන ක්‍රමය සකස් කොට තිබෙන්නේ බලයට පත්වන පාලකයාට රට පාලනය කරනවාට අතිරේකව සිය අනුගාමිකයන් සමග රටේ පොදු වස්තුව කොල්ලකෑමට ඉඩ ලැබෙන ආකාරයටය. මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධන බලය කෙරෙහි මිස වස්තුව කෙරෙහි අධික තන්හාවක් තිබුණු පුද්ගලයෙකු නොවූවද ඔහු පවා එක්තරා ප්‍රමාණයකට හෝ පොදු වස්තුව කොල්ල කෑවේය. තමන්ගේ කෑදර අනුගාමිකයන්ට උපරිම ලෙස පොදු වස්තුව කොල්ලකන්නට ඉඩ දුන්නේය. ඔහු භුක්ති විඳි මිරිස්සේ ඉඩම හා නිවස පිහිටි දූපත නීත්‍යානුකූලව ඔහුට අයත් දේපළක් නොවීය.
බලය යොදා අත්පත් කරගත් අනුන්ගේ දේපළක් විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ලැබිය යුතු ඉඩම් වෙනුවෙන් රටේ තිබුණු සාරවත්ම පොල්වතු කිහිපයෙන් එකක් තමන් සතු කරගත්තේය. අතීතයේ පවුලේ ආර්ථික අමාරුකම් නිසා චීන තානාපති කාර්යාලයට විකුණන ලද ටරට් (ඍ්ර්එ) පාරේ පිහිටි නිවස (වර්තමානයේ ජයවර්ධන කේන්ද්‍රය පවත්වාගෙන යන) ආපසු මිලදී ගැනීමට යොදාගත්තේ තමන්ගේ පෞද්ගලික මුදල් නොව, රජයේ මුදල්ය. එහි ඇති කළ ජයවර්ධන කේන්ද්‍රය හා එහි අනාගත පැවැත්ම සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීම සඳහා ස්ථිර තැන්පත් සඳහා යොදා ගත්තේ ද රජයේ මුදල්ය. සිය චරිතාපදානය (J.R. Jayewardene දෙ ීරස ඛ්බන්) ලියවා පළකිරීම සඳහා යොදා ගත්තේ ද රජයේ මුදල්ය. කෞතුකාගාරයක් වශයෙන් ජයවර්ධන කේන්ද්‍රයට ලැබෙන වැදගත්කම හෝ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියවී ඇති හොඳම පොත ලෙස සැලකිය හැකි එම චරිතාපදානයට ලැබෙන වැදගත්කම මේ නිසා අඩුවන්නේ නැතත්, ඒ සඳහා යොදා ගැනුණු ක්‍රමය නිවැරදි නැත.
මීට අතිරේකව ජනාධිපති ජයවර්ධන තමන්ගේ දේශපාලන කණ්ඩායමට හා දේශපාලන හිතවතුන්ට ඔවුන්ට ලැබෙන නිල වැදගත්කමේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණයකට පොදු වස්තුව කොල්ලකන්නට ඉඩ දුන්නේය. සිය ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ වගා කළ සාරවත් ඉඩම් නාමික මිලකට මිලදී ගන්නට ඉඩදෙමින් ඔවුන් වැවිලිකාර ඉඩම් හිමි පන්තියක් බවට පත් කළේය. විෂය භාර ඇමතිවරුන්ට ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රය තුළ උපරිම ලෙස වස්තුව උපයා ගැනීමට ඉඩ දුන්නේය. එහිදී පළමුව සංවර්ධනය වූයේ රට නොව, සිය දේශපාලන හෙංචයියලාය.
ජේ.ආර්.ගෙන් පසු
එතැන් සිට අද දක්වා පාලක පක්ෂ ක්‍රියාත්මක වන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් ස්ථාපිත කරන ලද එම කොල්ලකාරී දර්ශනයට අනුකූලවය. බලයට පත්වන පාලකයාගේ සිට පාලක පක්ෂයේ පහළට අනුගාමිකයා දක්වා වන සියලුදෙනා එම පාලන කාලය තුළ උපරිම ලෙස රටේ පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. රටේ නිලධරතන්ත්‍රයට පමණක් නොව, යුක්තිය පසිඳලීමේ ආයතන ක්‍රමය පවා ක්‍රියාකරන්නේ එම මූලධර්මයට අනුකූලවය. රටේ දේශපාලකයන් අතර ගෞරවයට හේතුවූ නායිකාවක් වන සිරිමා බණ්ඩාරනායක මැතිනිය පවා තමන්ට ලැබෙන පක්ෂ අරමුදල්වලින් කොටසක් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත්තාය. ඇය එම අරමුදල් තමන්ට සමීප පොලීකාරයකු ලවා පොලී කෙරෙව්වාය. රටේ දිළිඳු ජනයාගේ හිතවත් නායකයා ලෙස සැලකිය හැකි රණසිංහ ප්‍රේමදාස මහතා ද පාලන බලයට පත්වන අවස්ථාව වන විට ඉඩම් හිමි වැවිලිකරුවකු බවට පත්ව සිටියේය.
බලයට පත් අහිංසකම පාලකයා ලෙස සැලකිය හැකි ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා පවා පාලන බලයේ සිටි කෙටි කාලය තුළ උපරිම ලෙස වස්තුව උපයා ගත්තේය. ඔහු 1964 දී පොදු පෙරමුණ ලැබූ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ගාමිණී දිසානායකගෙන් එල්ල වූ බලපෑම් ද නොසලකා අගමැති ධුරයට බණ්ඩාරනායක මැතිනිය වෙනුවට දුව චන්ද්‍රිකා කැඳවූයේ ද ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ ගනුදෙනු ගැන සොයා බලන තැනකට නොයන බවට ඇය විසින් දෙන ලද පොරොන්දුව නිසාය. ඇය එම පොරොන්දුව අකුරටම ඉටු කරන ලද බව ද කිව යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූයේ ආර්ථික අඟහිඟකම්වලින් පිරිහී සිටි අවස්ථාවකදීය. ඇය සිය පාලන කාලය තුළ උපරිම ලෙස ධනය උපයා ගත්තා පමණක් නොව, සිය දේශපාලන සහචරයින්ට ද උපරිම ලෙස ධනය උපයා ගැනීමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළාය.
දූෂණය හා දේශපාලන අනුග්‍රහය
මෙම දේශපාලන ක්‍රමය යටතේ පිරිසිදු ලෙස ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් උපයාගත හැකි ආදායමට වැඩි ආදායමක් දේශපාලකයන් සඳහා ආයෝජනය කිරීමෙන් උපයාගත හැකි බව රටේ ව්‍යාපාරික ප්‍රජාව ද තේරුම් ගෙන සිටිති. ඒ නිසා හොඳ අශ්වයෙක් තෝරාගෙන ඌ වෙනුවෙන් ඔට්ටු අල්ලන්නට ව්‍යාපාරිකයන් කැමතිය. ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වන දේශපාලකයන් බලාගන්නට ඒ හැම දේශපාලකයකුටම එක් ව්‍යාපාරිකයකු හෝ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටින්නේය. රාජ්‍ය බලයට එන්නට නියමිත දේශපාලන නායකයා බලාගන්නට ලැබෙන ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරිකයන් අතර සිටින වඩාත්ම වාසනාවන්ත පුද්ගලයා ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහුට එහිදී සාපේක්ෂ වශයෙන් ඉහළ වියදමක් දරන්නට සිදුවන්නේය. දේශීය ගමන්බිමන්වලදී හෝටල් ගාස්තු ද, විදේශ ගමන්බිමන්වලදී ඊට අතිරේක ගුවන් ගමන් ගාස්තු ද නායකයාගේ උත්සව කටයුතු සඳහා යන සියලු වියදම් ද සමහරවිට නායකයාව තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය අන් සියලු වියදම් ද දරන්නට ඔහුට සිදුවන්නේය.
එහෙත් බලාගන්නා නායකයා පාලකයා වුවහොත් කරන ලද වියදම් වෙනුවෙන් ලැබෙන ආපසු ලැබීමත් ඉහළම අගයක් ගනී. එය සමහරවිට 1ට 1000ටත් වැඩිවිය හැකිය. ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවට අයත් දේශපාලකයන් බලාගත් ව්‍යාපාරිකයන් වෙතින් එල්ල වන පීඩනය අතිවිශාලය. රාජ්‍ය මට්ටමෙන් සිදුවන ගනුදෙනු කෙරෙහි ඔවුන් බලපායි. තමන්ට ගෙවන ලද මිල වෙනුවෙන් දැන් තමන් ඔවුන්ට වන්දි ගෙවිය යුතු බව දේශපාලකයන් ද දන්නේය. මෙතෙක් තමන් බලාගත් ව්‍යාපාරිකයා වැඩි වැඩියෙන් පොහොසත් කරන පිළිවෙතක් තුළ ඔහු තමා වඩා හොඳින් බලාගනු ඇත්තේ ද යන පදනම මත පිහිටා දේශපාලකයන් ඔවුන්ට ප්‍රතිඋපකාර කරන අතර, තමන්ගේ අනාගතය වෙනුවෙන් ද විශාල ලෙස උපයා ගැනීම් කිරීමට එවැනි අවස්ථා දේශපාලකයන් ද ප්‍රයෝජනයට ගන්නේය. මේ ක්‍රමය තුළ ගජ මිතුරා හා දේශපාලකයා යන දෙදෙනාම එකවර පොහොසත් වන්නේය.
බලය සඳහා යන මිල
බලය සඳහා කරන දේශපාලනය, වියදම් අධික ක්‍රීඩාවක් බවට පත් කර තිබෙන තත්ත්වයක් තුළ බලයට පත්වීම සඳහා හා බලයේ සිටින ආණ්ඩුවක් පෙරළා දැමීම සඳහා යන වියදම අතිවිශාල වීම නිසාම දේශපාලකයන්ට ද වැඩි වැඩියෙන් ව්‍යාපාරික ගජ මිතුරන් මත යැපෙන්නට සිදුවී ඇත්තේය. මැතිවරණයක් සඳහා යන වියදම දැන් කෝටි 05ත් 10ත් අතර තත්ත්වයක පවතී. බලයේ සිටින ආණ්ඩුවක් පෙරළීම සඳහා යන වියදම ඊටත් වැඩිය. 2005 ආණ්ඩු පෙරළියේදී විරුද්ධ පක්ෂයට එකතු වූ එක් දේශපාලන පක්ෂයක් සඳහා පමණක් ගෙවන ලද මිල රුපියල් මිලියන 50කි. රුපියල් මිලියන 30ක් ලබාදී ඇත්තේ ආයුධ වෙළෙඳාමෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකි. අනෙක් මිලියන 20 පක්ෂයට සම්බන්ධ ඇඟලුම් ව්‍යාපාරිකයකු විසින් ලබාදී තිබේ. විරුද්ධ පක්ෂයට එකතු කරගත් අනෙක් පක්ෂවලට හා පුද්ගලයන්ට ද තනතුරු සහතික වනවාට අතිරේකව සුදුසු මිලක් ගෙවනු ලැබීය.
ආණ්ඩු පෙරළිය සඳහා ගිය වියදම රුපියල් මිලියන 200ක් පමණ විය හැකිය. එම ආණ්ඩු පෙරළියට පෙර සකස් කරන ලද නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එජාපයෙන් පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමේ උත්සාහයක් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දියත් කර තිබුණි. එහිදී ඇය අපේක්ෂා කළේ ද සුදුසු මිලක් ගෙවා එජාපයෙන් අඩු මන්ත්‍රීන් සංඛ්‍යාව මිලදී ගැනීමටය. එස්.බී. දිසානායක මහතා විසින් ද පසුව ප්‍රකාශ කර ඇති පරිදි මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් ජනාධිපතිනිය විසින් ඔහු වෙත එවා තිබුණු මුදල් ප්‍රමාණය මිලියන 80කි. දේශපාලකයන් සිරිතක් වශයෙන් නැති බැරිකම් ගැන හා තමන්ට දරන්නට සිදුවී තිබෙන වියදම් ගැන ආඩපාලි කියනමුත් 1977න් පසුව දේශපාලනය නිසා දුප්පත් වූ නිල බලය දැරූ දේශපාලකයන් ගැන (ගාමිණී ජයසූරිය හැර) මා අසා නැත. නිල බලය දැරූ හැම පුද්ගලයෙකුම වටිනා දේපළවලට හිමිකම් කියන ධනවතුන් බවට පත්ව සිටිති.
ජාතික මට්ටමේ ලොකු දේශපාලකයන්ට පමණක් නොව, ප්‍රාදේශීය සභාවක සභාපති මට්ටමේ දේශපාලකයන්ට පවා දේශාපලනය සරු ආදායම් මාර්ගයක් බවට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාපතිවරයෙකුට ලැබෙන්නේ සොච්චම් වැටුපක් වුවත්, දුප්පත් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු පවා ප්‍රාදේශීය සභාවේ ගනුදෙනුවලින් උපයන මාසික ආදායම රුපියල් 50,000කට වැඩිය. හොංකොං අත්දැකීම්වලට යන්නට පෙර මට මෙවැනි පසුබිම් විස්තරයක් කරන්නට අවශ්‍ය වූයේ රටේ පවතින නොදියුණුව හා දේශපාලන අනුග්‍රහයෙන් සිදුවන දූෂණ අතර තිබෙන අන්තර් සම්බන්ධය පෙන්වා දීමට අවශ්‍ය වූ නිසාය. හැමදාමත් රජයේ ආදායම හා වියදම අතර මහා පරතරයක් පවතී. අලුතෙන් විශ්වවිද්‍යාල ඇති කිරීමට, පාසල් අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය, මගී ප්‍රවාහන සේවා හෝ මහා මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය අතිරේක වියදම් නැති බව සිරිතක් ලෙස බලයට පත්වන හැම ආණ්ඩුවක්ම රටට කියයි.
මේ හැම මහජන සේවාවකටම වෙන් කෙරෙන්නේ එම සේවාවන් යාන්තම් පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් පමණය. දේශපාලන තලයේ දේශපාලන අනුග්‍රහය මත සිදුවන දූෂණ නැති කිරීමෙන් පමණක් රජයේ ආදායම දෙගුණ කළ හැකි බව මගේ විශ්වාසයයි. ඒ මගින් පුරවැසියන් මත පටවා තිබෙන බදු බර සැහැල්ලු කළ හැකිය. ජීවන වියදම අඩු කළ හැකිය. රජයේ ආදායම හා වියදම අතර විශාල පරතරයක් නැති තත්ත්වයක් ඇති කළ හැකිය. ආණ්ඩුවේ ණයගැතියාව තුනී කළ හැකිය. දූෂණය රටේ දුප්පත්කම හා නූගත්කම කෙරෙහි ද ඉහළ යන ජීවන මිල හා ඉහළ යන බදු බර කෙරෙහි ද බලපායි. දූෂණය රටේ ආර්ථික සංවර්ධන වේගය අඩාල කිරීමට හේතුවී තිබේ. දේශපාලන අනුග්‍රහය මත සිදුවන දූෂණ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවී තිබෙන මිල කොතරම් ද යන්න පිළිබඳව තවමත් නිසි ගණන් බැලීමක් කර නැත. ඒ පිළිබඳ දළ චිත්‍රයක් ඇති කරගැනීම සඳහා මට ඉදිරිපත් කළ හැකි නිදර්ශන කිහිපයක් මෙසේය.
දේශපාලන දූෂණය වෙනුවෙන් ගෙවන මිල
දේශපාලන අනුග්‍රහය මත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් නාමික මිලකට ලබාදී තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් ලෙස සලකා පර්චසයක් රුපියල් දස දහසක් වැනි මිලකට විවෘත වෙළඳපොළේ විකුණුවේ නම් රජයට ඒ මගින් ලැබෙන ආදායම රුපියල් දශ ලක්ෂ 160,000කි. රුපියල් කෝටිවලින් නම් ඒ ගණන රුපියල් කෝටි 16,000කි. එය කඩිනම් මහවැලිය වෙනුවෙන් කරන ලද වියදමෙන් දෙගුණයකටත් වැඩිය. එය අධ්‍යාපනය සඳහා වසර 05කට කරන වියදමට සමානය. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ දේශපාලන අනුග්‍රහය මත නාමික මිලකට පවරා දී තිබෙන නාගරික ඉඩම්වලින් රජයට සිදුවී තිබෙන ඇත්ත අලාභය ගණන් බැලුවහොත් ඒ ගණන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ කරන ලද පැවරීම්වලින් සිදුවී තිබෙන අලාභය මෙන් දෙතුන් ගුණයක් විය හැකිය. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සිදුවී තිබෙන අවලස්සන ඉඩම් ගනුදෙනු සිය ගණනක් අතුරින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය ප්‍රධාන ගජ මිතුරා වන රොනී පීරිස්ට එකවර රුපියල් කෝටි ගණනක් උපයා ගැනීමට ඉඩ ලැබෙන ආකාරයට ක්‍රියාවට නගන ලද ගොල්ෆ් ව්‍යාපෘතියට අදාළ ඉඩම් ගනුදෙනුව අවලස්සනම ඉඩම් ගනුදෙනුව ලෙස සැලකිය හැකිය.
මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 225කි. මෙම ඉඩම් පිරිසිදු අර්ථයෙන් රජයේ ඉඩම් නොවන අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ විවිධ අවශ්‍යතා සලකා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලද මහජන ඉඩම් වේ. එම ඉඩම් සඳහා එකල පැවති වෙළඳපොළ මිල පර්චසයක් රුපියල් 150,000ත් 250,000ත් අතර විය. දැන් පර්චසයක් විකිණෙන්නේ රුපියල් ලක්ෂ 10ක් වැනි මිලකටය. මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් පර්චසයක් ලබාදී ඇත්තේ රුපියල් 4500කටය. ඒ මිල ද එකවර නොව, කොටස් වශයෙන් දීර්ඝකාලීන පදනමක් මත ගෙවිය හැකි ආකාරයටය. පර්චසයක් රු. 150,000ක් ලෙස සලකා ගණන් බැලුවහොත් ඉඩමේ මිල රුපියල් කෝටි 590කි. පෞද්ගලිකකරණය තුළ සිදුවී ඇති හැම විකිණීමක් සිදුවී ඇත්තේ මීට සමාන ආකාරයකයට. සමහර විකිණීම් කොටස් වෙළඳපොළේ සිදුවී ඇතත්, බැලූ බැල්මට පිරිසිදු බව පෙනෙන එවැනි ගනුදෙනුවලදී පවා අතයට විශාල ගනුදෙනු සිදුවී තිබේ.
වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඇත්ත වටිනාකම රුපියල් මිලියන 6000කි. එහෙත් එය විකුණන ලද්දේ රුපියල් මිලියන 600කටය. ප්‍රධාන කාර්යාලය පිහිටි වොක්ෂෝල්වීදියේ පර්චස් 530ක ඉඩමේ වටිනාකම තක්සේරු කොට ගත්තේ පර්චසයක් රුපියල් 7270 බැගිනි. සංස්ථාවට අයත් වෙනත්, නාගරික ඉඩම්වල මිල නියම කර ඇත්තේ ද ඊට සමාන ආකාරයකටය. වොක්ෂෝල්වීදියේ ඉඩම් පර්චසයක අවම මිල රුපියල් මිලියන 2ත් 3ත් අතර විය හැකිය. රක්ෂණ සංස්ථාව අලාභ ලබන ආයතනයක් නොවීය. 2001 වසරේ එය උපයා තිබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1162ක් විය. පෞද්ගලිකකරණය තුළ ක්‍රියාත්මක වන මූලධර්මය වනුයේ ඇත්ත වටිනාකම 1000ක් නම් අතයට 250ක් දෙන්නට කැමති නම්, විකිණෙන මිල 100කි. එවිට 1000ක් වටිනා ව්‍යාපාරයක් 350කට මිලදී ගැනීමේ හැකියාව මිලදී ගන්නාට ලැබෙන්නේය. රජයට සිදුවන පාඩුව 900කි.
මිලදී ගන්නාට ලැබෙන ලාභය 650කි. දේශපාලකයාට ලැබෙන ආදායම 250කි. පෞද්ගලිකකරණය තුළ සිදුවූ හැම විකිණීමක්ම සිදුවී ඇත්තේ මේ හා සමාන ක්‍රමයකටය. ව්‍යාපාරික වටිනාකමක් ඇති බලපත්‍ර විවෘත වෙළඳපොළේ විකිණීමෙන් රජයට විශාල ආදායමක් ලබාගත හැකිය. එහෙත් එවැනි බලපත්‍ර ලබාදීම නාමික මිලකට අතයට ලබාදෙන දෙයක් බවට පත්කරගෙන තිබේ. අතයට ලබාගත් මාර්ග බලපත්‍රයක් විකිණෙන්නේ (ඒ මාර්ගයෙන් උපයා ගතහැකි ආදායම් අනුව) රුපියල් මිලියන 1ත් 3ත් අතර මිලකටය. මාර්ග බලපත්‍රවලට එවැනි වෙළඳපොළ වටිනාකමක් ඇති නම් ඒවා විවෘත වෙළෙඳපොළේ නොවිකුණන්නේ ඇයි? මත්පැන් බලපත්‍ර, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර පවරා දෙන්නේ ද ඒ සමාන ක්‍රමයකටය. මේ සියල්ල මහා භාණ්ඩාගාරයට විශාල වශයෙන් ආදායම් උපයා ගත හැකි ජනප්‍රිය මාර්ග වේ. විශාල ලෙස ආදායම් ඉපයිය හැකි ආදායම් මාර්ග අත යට කෙරෙන ගනුදෙනු සඳහා තබා ගනිමින් මහජනයා මත කෙළවරක් නැති තරම් බදු බර පටවන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාවේ පවත්නා මෙම තත්ත්වය හිතේ ඇතිව දැන් අපට හොංකොම් අත්දැකීම් සලකා බැලිය හැකිය.
(ඉතිරි කොටස ලබන සතියේ)