වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා ක්‍රියාත්මකවූ ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පරාජය කරමින් තිස් අවුරුද්දක් තිස්සේ පැවති අභ්‍යන්තර යුද්ධයක් අවසන් කිරීමට හැකිවීම රටක් වශයෙන් හිමි කරගත් විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එම ජයග්‍රහණය මහජනයාගේ ඇඟට දැනෙන තැනකට ගෙනා යුතුය. තවදුරටත් ආරක්ෂාව පිළිබඳ අවධානය පවත්වාගෙන යායුතු වුවත් යුද්ධය පවතින කාලයේ පැවති දැඩි හා ගොරෝසු බව ලිහිල් විය යුතුය. යුද්ධය අවසන්වීමත් සමග මහජනයා භුක්ති විඳින නිදහසේ ප්‍රමාණය සැලකිය යුතු තරමකින් වර්ධනය වී ඇති බව මහජනයාට පෙනෙන්නට තිබිය යුතුය. අවි ආයුධවලට හා උණ්ඩවලට වියදම් කිරීම අවසන්වීම නිසා එම මුදල් ජාතික සංවර්ධනයට බැරවී සංවර්ධනයේ වේගවත් වර්ධනයක් ආරම්භ වී තිබෙන බව මහජනතාවට පෙනෙන්නට තිබිය යුතුය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි පැනවී තිබුණු සීමා ද ඉවත් කළ යුතුය.
රටේ ඇතිවන වෙනස්කම්වල දර්ශකය ලෙස සැලකිය හැක්කේ අවතැන්වූවන් හා යුද්ධය පැවති ප්‍රදේශයන්ය. අවතැන් කඳවුරු පිළිබඳව දේශීය හා විදේශීය ජනමාධ්‍යවලින් අසන්නට ලැබෙන්නේ සර්ව අසුබවාදී කතාබහය. එහෙත් පවතින ඇත්තම තත්ත්වය ඊට වෙනස්ය. එහි තිබෙන තත්ත්වය සර්ව සම්පූර්ණ නැතත් නොකඩවා සිදුවන යහපත් වර්ධනයක් පවතී. ආරක්ෂක හමුදා යටතේ පැවති කඳවුරු පාලනය උතුරේ සංවර්ධනය සඳහා ඇති කර තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකාය අතට මාරුවී තිබේ. එයින් පෙනෙන්නේ කඳවුරුවල පාලනය ක්‍රමානුකූලව සිවිල් පාලනයක් යටතට මාරුවෙමින් තිබෙන බවය. අවශ්‍ය තරම් ජලය නැතිකමේ ප්‍රශ්නයක් කඳවුරුවල තිබුණි. ලීටර් 5000ක් ජලය ගබඩා කළහැකි ටැංකි ලබාදීම නිසා ප්‍රමාණවත් තරම් ජලය නැතිකමේ ප්‍රශ්නය බොහෝ දුරට විසඳී තිබේ. ප්‍රමාණවත් තරමින් වැසිකිළි නැතිකමේ ප්‍රශ්නය ද යහපත් වර්ධනයක් පවතී.
මීට පෙර 100 දෙනෙකුට එකක් පමණ වන පැවති එය දැන් 50 දෙනෙකුට එකක් දක්වා යහපත් අතට වෙනස් වී තිබේ. මන්දපෝෂිත තත්ත්වයක සිටින දරුවන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ. A9 මාර්ගය සාමාන්‍ය මහජනයාට විවෘත කිරීම උතුරෙන් අසන්නට ලැබෙන යහපත්ම වර්ධනයක් ලෙස සැලකිය හැකිය. උතුරේ පළාත් පාලන ආයතන දෙකක පැවැත්වෙන මැතිවරණ දෙක නිදහස් සාධාරණ තත්ත්වයකින් අවසන් කිරීමට ලැබෙතොත් එය දෙමළ ජනතාව අතර විශ්වාසය දනවන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ආරක්ෂක හමුදාවන්ට බර තබන පාලනයක් පිළිබඳව දේශපාලන අංශවල බියක් ගොඩනැගී තිබුණි. එය ද සහේතුක බියක් බව දැන් සනාථ වී තිබේ. රටේ ඇති කළයුතු වෙනස්කම් තීරණය කරන ආයතන ක්‍රමය ලෙස සැලකිය හැක්කේ විධායකය හා ව්‍යවස්ථාදායකයයි. ඇතිවී තිබෙන අලුත් තත්ත්වයන් උපරිම ලෙස ප්‍රයෝජනය ලබාගැනීම සඳහා මෙම ආයතන දෙක මනා සහයෝගයෙන් ක්‍රියාකිරීම අවශ්‍ය වන අතර, ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ද මනා සහයෝගයකින් ක්‍රියාකිරීම අවශ්‍ය වන්නේය.
විරුද්ධ පක්ෂය ආණ්ඩුවට අසාධාරණ ලෙස පහර දෙන ප්‍රතිපත්තියක් සුදුසු නොවනවා සේම ආණ්ඩුව ද විරුද්ධ පක්ෂයට පීඩා කරන තැනකට නොයා යුතුය. වේගවත් දියුණුවක් රටට අවශ්‍ය නම් සමස්ත ආයතන ක්‍රමයම ප්‍රතිසංස්කරණයට ලක් කිරීම අවශ්‍ය බව දේශපාලන නායකයන් තේරුම් ගත යුතුය. ඇති කළයුතු වෙනස්කම් පිළිබඳ වාද විවාද මැද පොදු දර්ශකයක් ඇති කරගත යුතුය. රටක් වශයෙන් අප අසමත් වී තිබෙන්නේ අතිවිශාල ප්‍රතිසංස්කරණයකට ලකිකිරීමකින් තොරව මහජන විශ්වාසය හා ගෞරවය ලබාගත නොහැකි තැනකය. පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා වන සමස්ත අධ්‍යාපනය තිබෙන්නේ අවුල් ජාලාවකය. නොදියුණු වෙනත් රටවල් සමග සසඳන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තවමත් යහපත් තත්ත්වයක තිබෙනවා විය හැකි වුවත් එහි ඉදිරි ගමනේ පරිහානියක් තිබෙන බව දැකිය හැකිය. රාජ්‍ය නිලධරතන්ත්‍රය සේ ම දේශපාලනතන්ත්‍රය තිබෙන්නේ ද අවශ්‍යයෙන්ම ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු තත්ත්වයකය.
සමස්ත රාජ්‍ය ක්‍රමයම ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමට සූදානම්ද යන්න ඊළඟට රට ජයගත යුතුව තිබෙන ප්‍රධාන අභියෝගය ලෙස සැලකිය හැකිය.