ජංගම දුරකථන තරමින්ම නොවූවත් ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ද ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතී. දැන් කිසිදු මුදලක් තැන්පත් කිරීමකින් තොරව ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත හැකිය. සැලකිල්ලට ගැනෙන්නේ රැකියාවක් තිබේද? ස්ථිර ආදායම් මාර්ගයක් තිබේද යන්න පමණය. ලැබෙන වැටුප රුපියල් විසිදහසක් නම් රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක පමණ පහසුකම් ලබාදේ. ක්‍රෙඩිට් කාඩ් හිමියෙකුට සිය පවුලේ අය සඳහා ද අතිරේක කාඩ්පතක් හෝ දෙකක් ලබාගත හැකිය. ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා බැංකු විසින් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. ක්‍රෙඩිට් කාඩ්පතෙන් භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයෙකු දින 55ක් තුළ ලබාගත් ණය පියවයි නම් ලබාගත් ණය සඳහා කිසිදු පොලියක් අය නොකෙරේ. මෙය මහජනයා තමන්ගේ ණය උගුලට අල්ලා ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාර පවත්වාගෙන යන ලොකුම ඇම ලෙස සැලකිය හැකිය.
ක්‍රෙඩිට් කාඩ් පතෙන් මිලදී ගත් භාණ්ඩ සඳහා දින පනස්පහේ සීමාව තුළ ලබාගත් ණය ආපසු පියවීමේ හැකියාව ලැබෙනු ඇත්තේ 5%කටත් අඩු සුළු පිරිසකට පමණය. තමන්ගේ ක්‍රය ශක්තිය කෘත්‍රිම වශයෙන් වැඩිවී තිබෙන තත්ත්වයක් තුළ මිලදී ගන්නන් වැඩි පිරිසක් පහසුවෙන් ගැලවිය නොහැකි ලෙස ණය උගුලට හසුවන්නේය. එවිට 40%ක් 45%ක් අතර වැනි අධික පොලියක් ගෙවීමට ණය ගැනුම්කරුවන්ට සිදුවන්නේය. එම පොලී අනුපාතිකය ගමේ පොලීකාරයා ලබාගන්නා පොලී අනුපාතිකයටත් වඩා ඉහළය. අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් බැංකු ක්‍රමය පවත්වාගෙන යන ණය ප්‍රතිපත්තිය ලෝකයට ඇති කර තිබෙන විනාශය සුළුපටු නැත. ලලිත් කොතලාවල තම තැන්පතුකරුවන් රවට්ටන ලද්දේ තැන්පතුකරුවන් සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාදීමෙනි. තමන් විශාල උගුලකට හසුවී තිබෙන බව ඔවුන්ට දැනගන්නට ලැබෙන විට විය යුතු සියල්ල සිදුවී හමාරය.
නිසි විනයකින් තොරව ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නෝ පහසුවෙන් ගැලවිය නොහැකි ණය උගුලකට හසුවන්නෝය. තමා ලබාගත් ණයක් වෙනුවෙන් 40%ත් 45%ත් අතර පොලියක් ගෙවන්නට සිදුවන පුද්ගලයකුගේ ජීවිතය කාලකණ්ණිභාවයට ඇද වැටීම නොවැළැක්විය හැකිය. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතරම් විශාල පොලියක් අය කරන්නේ ඇයිද යන්න තේරුම්ගත නොහැකිය. මෙය බැංකුවලට අවදානමක් ඇති දෙයක් ලෙස සැලකිය නොහැකිය. බැංකුකරුවාට තිබෙන අවදානම රක්ෂණය කරයි. එම රක්ෂණ වියදම ගෙවන්නේ ද පාරිභෝගිකයාය. රක්ෂණ වියදම 3%ක් ලෙස සැලකුවහොත් පරිපාලන වියදම් ද 3%කට වැඩිවිය නොහැකිය. බැංකු සිය ආයෝජනය සඳහා ලැබෙන ශුද්ධ ලාභය 9%ක මට්ටමක තබා ගත්තද, පාරිභෝගිකයාගෙන් අය කළ යුතු පොලී අනුපාතය 15%කි. එහෙත් අය කෙරෙන පොලී අනුපාතිකය 40%ත් 45%ත් අතර මට්ටමක පවතී. මෙය පාරිභෝගික ජනයා උපරිම මට්ටමකින් සූරාකන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
ජංගම දුරකථන ක්‍රමය වර්ධනය වන තරමට දුරකථනවල මිල සේම දුරකථනවල ගාස්තු ද පහළ ගියේය. එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය වර්ධනය වන තරමට එය පාරිභෝගිකයන්ගෙන් අය කරන පොලී අනුපාතිකය පහළ දමනවා වෙනුවට ඉහළ දමමින් තිබෙන බව පෙනේ. ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරය නියාමන ක්‍රමයකට යටත් කළ යුතුය. අය කළහැකි පොලියට උපරිම සීමාවක් පැනවිය යුතුය. එය මුදල් ඇමතිවරයාගේ ද මහ බැංකුවේද ඉක්මනින් අවධානයට යොමුවිය යුතු වැදගත් සමාජ ගැටලුවකි. බැංකුවලින් මහජනයා ණය ලබාගත යුතුය. එහෙත් එය අය කරන පොලී අනුපාතිකයන් පිළිගත හැකි සාධාරණ මට්ටමක තිබිය යුතුය. ලෝකයේ මූල්‍ය ආයතන මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහි ලාභ උපරිම කරගැනීම සඳහා එම ආයතන දක්වන අධික කෑදරකම හේතුවී තිබේ. බැංකු ක්‍රමය සකස් වී ඇත්තේ අතළොස්සක් වන ඉහළ නිලධාරීන්ට විශ්වාස කළ නොහැකි තරම් විශාල ආදායම් ලැබෙන ආකාරයටය.
ලලිත් කොතලාවලගේ ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරයේ ප්‍රධානියාට එම ව්‍යාපාරයෙන් ලැබුණු මාසික ආදායම රුපියල් ලක්ෂ 65කි. එය එක් දිනක් සඳහා රුපියල් ලක්ෂ 02කටත් වැඩිය. මෙම අශෝභන තත්ත්වය එම මූල්‍ය ආයතනයට පමණක් සීමාවී නැත. වෙනත් බොහෝ මූල්‍ය ආයතනවලද ඒ අශෝභන තත්ත්වය දැකිය හැකිය.
ජනාධිපතිවරණය හා ජනාධිපති ක්‍රමය
දැන් රට තිබෙන්නේ ජනාධිපතිවරණයක් මුව විටය. මේ මස අවසානයේ බොහෝ විට දකුණු පළාත් සභාව විසුරුවා හැරිය හැකිය. දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු ඊළඟට පැවැත්වෙනු ඇත්තේ ජනාධිපතිවරණයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධුර කාලයේ අවුරුදු 04ක් සම්පූර්ණවීමෙන් පසුව ඒ අතරතුර කාලයේ කැමති අවස්ථාවක ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකට යා හැකිය. කරු ජයසූරිය මහතා ලීඩර් පුවත්පතට ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවකට අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අගමැති ප්‍රමුඛ කරගත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයකට මාරුවීමේ අවශ්‍යතාව එජාප ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇත්තේය. ප්‍රමාද වී හෝ එය එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන ප්‍රශස්ත තීරණයක් ලෙස සැලකිය හැකිය. එජාප නායකය රනිල් වික්‍රමසිංහ මහතාද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව තරුණ වෘත්තීයවේදීන් පිරිසක් අමතා කරන ලද කථාවකදී ප්‍රකාශ කරන ලද බව 21 වැනිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.
මීට පෙර පැවති ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් හැම අවුරුදු 05කට වරක්ම ආණ්ඩුව මාරු විය. 1977දී එජාප තිබුණු ක්‍රමය වෙනස් කළේය. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු පළමු ආණ්ඩු මාරුව සඳහා අවුරුදු 17ක කාලයක් ගනු ලැබූ අතර, දෙවැනි පාලන පක්ෂය බලයට පත්වී අවුරුදු 15ක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩු මාරුවක් සිදුවී නැත. ඊළඟ ජනාධිපතිවරණය ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයගනු නොවැළැක්විය හැකිය. එවිට දෙවැනි ආණ්ඩු මාරුව සඳහා අවුරුදු 24ක කාලයක් ගතවිය හැකියැ”යි කිව හැකිය. මේ ක්‍රමය තවදුරටත් තිබෙන්නට ඉඩ දුනහොත් තුන්වැනි ආණ්ඩු මාරුව සඳහා අවුරුදු 30ක පමණ කාලයක් ගතවනු ඇතැ”යි උපකල්පනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළේ ඉතාමත් දීර්ඝ කාලයක් යන තෙක් ආණ්ඩු මාරුවක් සිදුවීමට ඉඩක් නොලැබෙන ආකාරයටය.
ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලය විශිෂ්ට තත්ත්වයකින් පැවතියායැ”යි කිව නොහැකිය. ඒ කාලය තුළ දකුණේ කෙළවරක් නැති තරමට ලේ වැගිරුණේය. උතුරේද ලේ වැගිරුණේය. වැඩ වර්ජන නිදහස අහිමි කරමින් 80 වැඩ වර්ජනයට සහභාගි වූ 40,000කගේ රැකියා අහිමි කළේය. 82 පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා පාලක පක්ෂයට හයෙන් පහක බලයක් පැවති පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයක් මගින් දීර්ඝ කර ගත්තේය. විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කරන ලද අතර, දෙමළ එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය ද අහිමි කළේය. පුවත්පත් නිදහස පාලනය කළේය. රටේ සිදුවූ මේ සියලු දහ ජරා දේවල් මැදත් හැම මැතිවරණයක්ම පාලක පක්ෂය ජයගැනීමෙන් පෙනීයන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ පැවැත්වෙන මැතිවරණ මහජනයාගේ අව්‍යාජ සිතුම් පැතුම් පිළිබිඹු කිරීමට සමත් නොවූ බව නොවේද? ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසු මෙම දේශපාලන ක්‍රමය ගැන සියුම් අවබෝධයක් නොතිබුණු ඩී.බී. විජේතුංග වැනි පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත්නොවන්නට 1994 පවා ආණ්ඩු මාරුවක් ඇති නොවන්නට ඉඩ තිබුණි. 1994 ඇතිවූ ආණ්ඩු මාරුවෙන් පසුව නැවත දේශපාලන බලය තමන් අතට ලබාගැනීම එජාපයට බලවත් ප්‍රශ්නයක් වී තිබේ. ජේ.ආර්. ජයවර්ධන මේ ක්‍රමය සකස් කර ඇත්තේ බලය ලබාගත් පක්ෂයකට දීර්ඝ කාලයක් එක දිගට බලයේ සිටිය හැකි ආකාරයට මිස අවුරුදු 6කට වරක් පාලන බලය වෙනස් වන ආකාරයට නොවේ. දැන් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද මෙම දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කළ එජාපයටමය. මේ ක්‍රමය අන්ත දූෂිත වනවා පමණක් නොව, ක්‍රමය පවත්වාගෙන යෑමට රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වියදමක් ද දරන්නට රටට සිදුවී තිබෙන්නේය. මේ ක්‍රමය තුළ බලය ලබාගැනීම සඳහා විශාල මිලක් ගෙවිය යුතුය. මේ ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලකයකුමත් බලයට පත්වන්නේ ආපසු ගෙවිය යුතු විශාල ණය බැඳුම්කරයක් ද අතැ”තිවය.
ඒ ණය ආපසු ගෙවිය යුත්තේ මහජන මුදල්වලින් හෝ මහජන සම්පත්වලිනි. පොදුවේ ආණ්ඩුවකට අතිරේකව පාර්ලිමේන්තුවට තේරී පත්වන පුද්ගලයන්ට ද ඒ සඳහා අතිවිශාල මිලක් ගෙවන්නට සිදුවන්නේය. ඔවුන් ද පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ගෙවිය යුතු ණය බැඳුම්කර අතැ”තිවය. ඔවුන්ට ද ලබා ගත් ණය ආපසු ගෙවන්නට සිදුවන්නේ මහජන මුදලින් හෝ මහජන සම්පත්වලිනි. ජේ.ආර්. ජයවර්ධන සමස්ත දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ ද බලයට පත්වන්නන් ණයගැතිව බලයට පත්වන ආකාරයට හා නැවත ඔවුන්ට ඒ ණය මහජන මුදලින් හෝ පොදු සම්පත්වලින් පියවිය හැකි ආකාරයටය. ඒ අර්ථයෙන් ජේ.ආර්. ජයවර්ධන දේශපාලන බලය සඳහා තරගය රටේ පොදු දේපළ කොල්ලකෑමේ අයිතිය සඳහා වන තරගයක් බවට පත් කළේය. ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සියලුදෙනාට නිලතල ලබාදීමේ සම්ප්‍රදායක් ඇති කිරීමෙන් නොනැවතී ඔවුන්ට නොවටිනා මිලකට රජයේ වතු ඉඩම් දී ඔවුන් වැවිලිකරුවන් පිරිසක් බවට ද පත් කළේය.
අද දක්වා වෙනස්කම් ඇතිව පවතින්නේ එම මජර ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන අදහස එජාප තුළ පමණක් නොව, පොදු පෙරමුණ තුළ ද පවතී. සර්ව පාක්ෂික සම්මේලනය විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළයුතු බවට යෝජනා කරයි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය තනි පක්ෂයකට වෙනස් කළ නොහැකිය. ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ සියලු දේශපාලන පක්ෂ ඒ අරමුණ වෙනුවෙන් එකට එකතු වී එකට වැඩ කරන තැනකට ඒමෙනි. නව දේශපාලන ක්‍රමයක් හිතුවක්කාරී ලෙස ඇති නොකළ යුතුය. අද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වසාගත් කාමරයක රහසේ සිදුවන ක්‍රියාවලියක් නොවිය යුතුය. ඒ ක්‍රියාවලියට මහජන සංවිධාන ද, මහජනයා ද සහභාගි කරගත යුතුය. දූෂණයෙන් අත්මිදීමට අපට අවශ්‍ය නම් ආණ්ඩු ක්‍රමය සකස් කළ යුත්තේ දූෂණයට ඉඩ නොලැබෙන ආකාරයටය. අපි නිදහසේ සිට මේ දක්වා ව්‍යවස්ථා තුනක් ඇති කරගෙන ඇත්තෙමු.
හැමදාමත් ව්‍යවස්ථා සම්පාදනයේදී දුර බලන තැනක අපි නොසිටියෙමු. ඒ නිසා හදන හැම ව්‍යවස්ථාවක්ම ඉක්මනින් රටට එපා විය. ඉන්දියාව සිය ව්‍යවස්ථා සම්පාදන කාරිය සඳහා අවුරුදු තුනහමාරක කාලයක් ගත කළේය. එහිදී කෙළවරක් නැති තරමට ඔවුහු දේවල් ගැන වාද කළෝය. අවසානයේ තමන්ගේ රටට හා ජනයාට ගැළපෙන දේශපාලන ක්‍රමයක් ඔවුහු ඇති කර ගත්හ. ඔවුන් අප මෙන් දඩිබිඩියේ ක්‍රියාකරන තැනකට ගියේ නැත. අප මෙන් අවුරුදු 10ක් 15ක් නොව අවුරුදු 100ක් 200ක් දුර දකින්නට උත්සාහ කළෝය. අපට අප හදාගන්නා හැම ව්‍යවස්ථාවක්ම පාහේ ඉක්මනින් එපා වෙන මුත් ඔවුන්ට ඔවුන් හදාගත් ව්‍යවස්ථාව අද දක්වා එපාවී නැත.
අවතැන්වූවන් පිළිබඳ අභියෝගය
එල්ටීටීඊය යුදමය වශයෙන් මුළුමනින් විනාශ කිරීමට හැකිවී ඇතත්, යුද්ධය අවසන් වූයේ අවතැන්වූවන් පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නයක් ඉතුරු කරමිනි. කඳවුරුවල රඳවාගෙන සිටින අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂයකට ආසන්නය. එය දැන් ජාත්‍යන්තර අවධානය දිනාගත් ලොකු ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මෙම කඳවුරුවල අවශ්‍ය තරම් ජලය නැතිකමේද, අවශ්‍ය තරමට වැසිකිළි නැතිකමේ හා වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් හා ඖෂධ නැතිකමේද ප්‍රශ්න ඇති බව කියනු ලැබේ. තවමත් මෙම කඳවුරුවලට යාමේ අයිතිය ලැබී ඇත්තේ තෝරාගත් විශේෂිත පුද්ගලයන්ට පමණය. ජනමාධ්‍යවලට විවෘත නැත. පුද්ගලයන් හඳුනා ගැනීම වැනි ආරක්ෂක කටයුතු තවමත් අවසන් වී නොතිබෙනවා විය හැකිය. වෙන කාට නැතත්, අඩුම වශයෙන් අවතැන්වූවන්ගේ කඳවුරුවලට යෑමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතුය. රාජ්‍යයේ ඕනෑම කාර්යක් පරීක්ෂාවට ලක් කිරීමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇත්තේය.
පාර්ලිමේන්තු නියෝජිතයන්ට අවතැන්වූවන්ගේ කඳවුරුවල දොරටු විවෘත කරන්නේ නම් එම කඳවුරු තවදුරටත් යහපත් වෙනස්කම් ඇති කිරීමට එම කරුණම වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඳවුරු පරීක්ෂා කිරීමට ඉඩ ලැබේ නම් එහි තිබෙන යථා තත්ත්වය හා ඇති කළයුතු වෙනස්කම් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වනු නොවැළැක්විය හැකිය. එවැනි සංවාදයක් අවතැන්වූවන්ගේ යහපතට පමණක් නොව, ආණ්ඩුවේ යහපතට ද, රටේ යහපතට ද හේතුවනු ඇත්තේය.
ජනප්‍රිය නඩු තීන්දු ගැන
පසුගිය රාවයේ කර්තෘට ලියුම් පිටුවේ පාඨක සටහන් මගින් “ලංකා මැරයින් වෝටර්ස් එජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනවල පෞද්ගලිකකරණයට අදාළව දෙන ලද නඩු තීන්දු සම්බන්ධයෙන් මා දරන මතය පැහැදිලි කරන ලෙස ඉල්ලා තිබුණි. මා 2009.07.12 වැනි දින අගවිනිසුරුගේ නීතියට පටහැනි හා හිතුවක්කාරී නඩු තීන්දුවලින් අසාධාරණයක් වුවත් සාධාරණය ඉටු කිරීමේ වැදගත්කම අළලා ලියන ලද කතුවැකිය හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ ප්‍රතිශෝධන අයදුම්පත පාදක කොටගෙන ලියන ලද්දක් විය හැකි බව ද එහි කියා තිබුණි. මා එම කතුවැකිය ලීවේ හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා ඉලක්ක කොටගෙන නොවේ. අසාධාරණයක් සිදුවී ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාට පමණක් නොවේ. ඔහුගේ හිතුවක්කාරී නඩු තීන්දුවලින් අසාධාරණයක් සිදුවූ විශාල පිරිසක් රටේ සිටිති. ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු හිරේ යවන ලද අවස්ථාවේදී මම කතුවැකියක් ලීවෙමි.
ඔහුට සිරදඬුවම් ලබා දුන් එම තීන්දුව විවේචනය කරමින් මා කීවේ හිරේ සිටිය යුත්තේ ටෝනි නොව, ටෝනිට දඬුවම් දුන් අගවිනිසුරුවරයා බවය. එස්බීට සිරදඬුවම් පමුණුවාලූ නඩු තීන්දුව ද මම විවේචනය කළෙමි. සිවිල් හා දේශපාලන ප්‍රඥප්තියේ අදාළභාවය අවලංගු කළ නඩු තීන්දුව ද මම දීර්ඝ වශයෙන් විවේචනය කළෙමි. අගවිනිසුරු අතින් අසාධාරණයට හා පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව දහසකටත් වැඩිවිය හැකිය. මානව හිමිකම් පෙත්සම් විභාගයකින් සිදුවන්නේ පරිපාලන වරදකින් පැමිණිලිකරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇත්ද නැද්ද යන්න සොයා බැලීම පමණය. එවැනි කරුණක් එවැනි සරල නඩු විභාගයකින් විභාග කළ හැකිය. එහිදී සිදුවන්නේ හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව තීරණය කෙරෙන අවස්ථාවලදී සරල වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කිරීමය. මානව හිමිකම් නඩු රාමුව තුළ ඊට වැඩි සංකීර්ණ ප්‍රශ්න විභාග කරන ප්‍රතිපත්තියක්, ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් උල්ලංඝනය කරන ආයතනයක් බවට පත්කිරීමේ අනතුරක් පවතී.
සාධාරණ නඩු විභාගයකින් තොරව පුද්ගලයෙකුට දඬුවම් පැමිණවිය නොහැකිය. සාධාරණ නඩු විභාගයකදී චූදිතයාට චෝදනා පත්‍රයක් දිය යුතුයි. තමන්ට එරෙහිව සාක්ෂි දෙන අයගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය ඔහුට තිබිය යුතුය. තමන් වෙනුවෙන් සාක්ෂි දීමේ අයිතිය සේ ම, සාක්ෂි නොදී නිශ්ශබ්දව ඉඳීමේ අයිතිය තිබිය යුතුය. සාක්ෂිකරුවන් කැඳවීමේ අයිතිය තිබිය යුතුය. නීතිඥයකු මගින් පෙනී සිටීමේ අයිතිය තිබිය යුතුය. චෝදනාවලට වරදකරු ලෙස තීන්දු කරන අවස්ථාවකදී එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය තිබිය යුතුය. සාධාරණ නඩු විභාගයකට මේ සියලු අයිතිවාසිකම් ඇතුළත්ය. එහෙත් මූලික අයිතිවාසිකම් නඩුකරයක් මූලික අයිතිවාසිකම් සීමාවෙන් ඔබ්බට යමින් වෙනත් සංකීර්ණ දේවල් විභාග කරන තැනකට යයි නම් චූදිතයෙකුට දඬුවම් කෙරෙන්නේ සාධාරණ නඩු විභාගයකින් තොරවය. එහිදී චෝදනා පත්‍රයකට හිමිකම් කීමේ අයිතිය චූදිතයාට අහිමිවන්නේය.
සාක්ෂි දීමේ හා සාක්ෂි කැඳවීමේ අයිතිය අහිමිවන්නේය. තමන්ට එරෙහිව දෙන තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය අහිමිවන්නේය. පෞද්ගලිකකරණ ක්‍රියාවලිය මේ රටේ සිදුවී තිබෙන්නේ ඉතාමත් දූෂිත ආකාරයකින් වන බවට සැකයක් තිබිය නොහැකිය. ඒ නිසා රටට සේ ම ජනතාවට ද විශාල අලාභයක් සිදුවී ඇති බවට ද සැකයක් තිබිය නොහැකිය. ඒ ගනුදෙනු පරීක්ෂාවට ලක් කළ යුතු නම් පරීක්ෂා කළයුත්තේ මූලික අයිතිවාසිකම් නඩු රාමුවක් තුළ නොව, වෙනත් නඩු රාමුවක් තුළය. එවැනි ගනුදෙනුවකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය පුරවැසියන්ට තිබිය යුතුය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී විභාග කළයුත්තේ ඒ මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවී තිබේද නැද්ද යන්න පමණය. දූෂණයක් සිදුවී ඇත්නම් ඒ ගැන පූර්ණ පරීක්ෂණයකට යෑමේ වගකීම ඒ සඳහා බලය ඇති ආයතනයකට පැවරිය යුතුය.
ඒ බලය ශ්‍රේෂ්ඨාධිකරණය තමන් වෙත පවරා ගනිමින් චූදිතයන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වන ආකාරයේ ඒකපාර්ශ්වීය විභාගයකට යමින් ඔවුන්ට දඬුවම් කිරීම සාධාරණ හෝ පිළිගත හැකි ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ලංකා මැරයින් නඩුව නිදර්ශනයක් ලෙස ගන්න. එහිදී පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවී ඇත්නම් ඒ බව ප්‍රකාශ කරමින් ගනුදෙනුව දූෂිත ආකාරයකින් සිදුවී තිබේද යන්න ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීමේ වගකීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතුව තිබුණි. පූර්ණ පරීක්ෂණයකින් පසුවත් වගඋත්තරකරුවන්ට දඬුවම් පැමිණවිය යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසුවය මෙම ජනප්‍රිය නඩු තීන්දුවලදී සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමේ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ට අහිමි කර ඇති බව කිව යුතුය.
අධිකරණය ද අතිවිශාල බලයක් දරන ආයතනයකි. අධිකරණය ද තමන්ට හිමි එම බලය නීතියට අනුකූලව මිස, නීතියට පටහැනිව පාවිච්චි නොකළ යුතුය. භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ රැකියාව අහිමි කරන්නට පෙර අගවිනිසුරුවරයා ප්‍රසිද්ධ උත්සවයකදී පී.බී. ජයසුන්දර විවේචනය කර තිබුණි. විනිශ්චයකාරවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයේදී ඔහු ක්‍රියාකර තිබෙන ආකාරය විවේචනය කරමින් අගවිනිසුරුවරයා කියා තිබුණේ පී.බී. ජයසුන්දරට තමන් හොඳ පාඩමක් උගන්වන බවය. අගවිනිසුරුගේ එම ප්‍රකාශය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ලංකා මැරයින් ගනුදෙනුවේදී වන්දි ගෙවීමකින් තොරව විකුණනු ලැබූ දේපළ නැවත රජයට පවරා දුන්නේය. එහෙත් රක්ෂණ ගනුදෙනුවේදී අනුගමනය කෙරුණු ප්‍රතිපත්තිය ඊට වෙනස්ය. හැරී ජයවර්ධන ගෙවන ලද මිල ආපසු ගෙවන ලෙස රජයට නියම කළේය. එම ගනුදෙනුව දූෂිත නම් දූෂිතයාට ආපසු මිල ගෙවන ක්‍රමයක් සාධාරණ වන්නේ කෙසේද? අඩුම වශයෙන් මිලදී ගන්නා එම දූෂිත මිලදී ගැනීමෙන් පසු උපයන ලද ලාභවත් සැලකිල්ලට නොගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයි? ලංකා මැරයින්, වෝටර්ස් එජ් යන සමාගම්වලට එරෙහිව දෙන ලද නඩු තීන්දු මහජන ආස්වාදයට හේතුවන ජනප්‍රිය තීන්දු වියහැකි වුවත්, ඒවා සාධාරණ නඩු තීන්දු ලෙස සැලකිය නොහැකිය.
විශ්‍රාම ගිය අගවිනිසුරුට විශ්‍රාම යන්නට පෙර තමන්ගේ බොඳවූ ප්‍රතිරූපය නැවත ගොඩනගා ගනිමින් අවශ්‍ය වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කළ හැකි ජනප්‍රිය ප්‍රතිරූපයක් ඇති කරගැනීමට අවශ්‍ය වූ අතර, ඔහු එම අරමුණ දිනාගැනීමට උත්සාහ කළේ එවැනි ජනප්‍රිය නඩු තීන්දු මගිනි. රටේ අගවිනිසුරුවරයා වශයෙන් තමන්ට ලැබී තිබුණු නිල බලය තමන් නොකැමති අය පීඩාවට පත් කිරීම සඳහා හා තමන් කැමති අයට සහන ලබාදීම සඳහා පාවිච්චි කර තිබෙන නීතියට පටහැනි ආකාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයකට ගියහොත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඔහුට සිරදඬුවම් දියහැකි බව මගේ විශ්වාසයයි.