දෙමළ සමාජය ගැන

August 2, 2009
Publication:
Three and a half hours with a delegation from the Tamil diaspora — all of them long-standing opponents of the LTTE — gives Ivan an account of the north he could not get otherwise: the local elections, the caste composition of Jaffna now that most Vellala families live abroad, and the widespread refusal to believe Prabhakaran is dead.

දෙමළ ඩයස්පෝරාවේ නියෝජිත පිරිසක් හමුවී පැය තුනහමාරක් තරම් කාලයක් ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමේ අවස්ථාව මට ලැබුණි. ඔවුන් හැමදාමත් දෙමළ ඊළාම් රාජ්‍ය සංකල්පය පිළිනොගත් මතවාදීමය වශයෙන් එල්ටීටීඊ විරෝධී පිරිසක් බව කිවයුතුය. මෙම නියෝජිත පිරිසට ලන්ඩනයේ පළ කෙරෙන “ටැමිල් ටයිම්ස්” පුවත්පතේ කර්තෘ පී. රාජනායගම්ද කලක් ලේක්හවුසිය පළ කළ “අමුදු” සඟරාවේ කර්තෘ මනෝරංජන් ද ඇතුළත් විය. රාජනායගම් වාම මතධාරී පසුබිමකින් පැවත එන්නෙකි. ඔවුන් උතුරේ මැතිවරණ පැවැත්වෙන නගර සභා ප්‍රදේශ දෙකේ, සංචාරය කර තිබූ අතර, ඊට අතිරේකව යාපනේද, මඩකළපුවේ හා කොළඹ දෙමළ ජනතාව හමුවී ඔවුන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබුණි. උතුරේ පැවැත්වෙන නගර සභා ඡන්ද දෙකේ තත්ත්වය පිළිබඳව මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි. මුල් සතියේ යම් යම් ප්‍රශ්න තිබුණා වුවත් දැන් එහි තිබෙන වටාපිටාව නිදහස් හා සාධාරණ තත්ත්වයක පවත්නා බව පොදුවේ ඔවුන් සියලුදෙනා දරන ලද මතය විය.

ආයුධ අත ඇතිව සිටින දේශපාලන කණ්ඩායම් මැතිවරණ කටයුතුවල යෙදෙන්නේ ආයුධ අත ඇතිව දැයි මා ප්‍රශ්න කළ විට ඔවුන් ඊට දෙන ලද පිළිතුර වූයේ නැත යන්නයි. කලක් විදේශගතව සිට දැනට ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ කාන්තාවක් ද මෙම සාකච්ඡාවට සහභාගි වූවාය. ඇය වෙනත් පිරිසක් සමග එකතු වී මැතිවරණ පැවැත්වෙන යාපනේ නගර සභා ප්‍රදේශයේ පවත්වන ලද සමීක්ෂණයක් පිළිබඳව අපට කරුණු කියා සිටියාය. පවත්වන ලද සමීක්ෂණයේ නියැදියේ ප්‍රමාණය පුද්ගලයන් දෙදහසකට තරමක් වැඩි බව ද ඇය කියා සිටියාය. සමීක්ෂණයේදී අසන ලද එක් ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් ඔවුන්ගේ දෙමාපියන් සහාය දුන් දේශපාලන ව්‍යාපාරවලට සහයෝගය දෙන්නේද යන්නය. 91%කගේම මතය වී ඇත්තේ නැත යන්නය. යාපනේ කරන ලද සමීක්ෂණයේදී තමන් කැමති දේශපාලන පක්ෂය කුමක්ද යන ප්‍රශ්නයට ද 51%ක් පිළිතුරු දී නැත. පිළිතුරු දී ඇත්තේ 49%ක් පමණය.

ඔවුන් අතුරින් ද දෙමළ සන්ධානයට පක්ෂ බව කියා ඇත්තේ 2%ක් පමණය. ඊපීඩීපීයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇති අයගේ ප්‍රතිශතය 47%කි. පක්ෂ පාතීත්වයට ඇති හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ සුළු ජාතියක් වශයෙන් තමන්ට ඇති ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය ආණ්ඩුව සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් නොව, සහයෝගයෙන් වැඩ කිරීමෙන් බවය. ප්‍රභාකරන් දේශපාලන දර්ශනයෙන් ඉවත් වූ දවසක ඩග්ලස් දේවානන්ද යාපනේ දෙමළ ජනතාවගේ පිළිගත් නායකයා වනු ඇති බවට මා තුළ ද විශ්වාසයක් තිබුණි. ඒ බව මාගේ ලිපිවල ඉඟි කෙරුණු අවස්ථා ද තිබුණි. ප්‍රභාකරන්ට හා එල්ටීටීඊයට එරෙහිව බලවත් ලෙසට ක්‍රියාත්මක වූ නායකයා ඔහුය. ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සඳහා ආයුධ අත ඇතිව සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ නිසා ඔහු බලයට පත්වන ආණ්ඩු සමගත්, ආරක්ෂක හමුදා සමගත් කිට්ටු සහයෝගයකින් ක්‍රියා කළේය.

එල්ටීටීඊයේ මරාගෙන මැරෙන ප්‍රහාර වැඩිම ගණනකට මුහුණ දී ජීවිතය ආරක්ෂා කරගත් පුද්ගලයාද වේ. ඔහු දැනට දෙමළ දේශපාලන නායකයන් අතර සිටින වැඩිම අත්දැකීම් ඇති අධිෂ්ඨානශීලී හා ප්‍රායෝගික ඉදිරි දැක්මක් ඇති පුද්ගලයා ලෙස ද සැලකිය හැකිය. ප්‍රභාකරන් දර්ශනයෙන් ඉවත්ව සිටින තත්ත්වය තුළ ආයුධවලට මුළුමනින් ආයුබෝවන් කියන්නට ඔහුට ආත්ම විශ්වාසයක් ඇත්තේ නම් යාපනයේ දෙමළ ජනතාවගේ බලවත්ම නායකයා වීමේ හැකියාව ඔහු සතුය. මෙම සාකච්ඡාවේදී මෙම කණ්ඩායමට අයත් එක් නියෝජිතයකු යාපනයේ ජනගහනයේ කුල සංයුතියේ ඇතිවී තිබෙන වැදගත් වෙනස්කමක් අපට පෙන්වා දුන්නේය. ඔහුගේ මතය අනුව මීට පෙර වෙල්ලාල කුලය යාපනේ බහුතර ජනයා නියෝජනය කළ කුලය විය. පෙඩරල් පක්ෂයේ සේම දෙමළ එක්සත් පෙරමුණේ ප්‍රධාන ආධාරකරුවෝ වූවෝ ඔවුහුය. එහෙත් යාපනේ ජනගහනයේ වර්තමාන කුල සංයුතිය ඊට සහමුලින් වෙනස්ය.

එහි ජීවත් වූ වෙල්ලාල කුලයේ වැඩි පිරිසක් අද ජීවත්වන්නේ කැනඩාවේ හෝ වෙනත් විදේශ රටවලය. අද වෙල්ලාල නොවන කුලවල ජනයා යාපනේ බහුතර ජනයා බවට පත්ව සිටින අතර වර්තමානයේ එහි වෙල්ලාල ජන අනුපාතිකය 20%කටත් වඩා අඩුවිය හැකිය. ප්‍රභාකරන් පිළිබඳව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනයා දරන අදහස් මොනවාදැ”යි මා ප්‍රශ්න කළ විට රාජනායගම් කීවේ දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රභාකරන් මැරුණු බව විශ්වාස නොකරන බවය. ඔවුන් ඊළඟ විරු සමරු දිනය තෙක් බලා සිටින බව කීවේය. දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මතභේදයට හේතුවන මෙවැනි ප්‍රශ්නවලදී ඇහුම්කන් දෙනවා විනා අදහස් පළ නොකරන බවත්, අදහස් පළකරන අය අතර ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කළේය කියන මතය දරන සැලකිය යුතු පිරිසක් ද සිටින බව කියා සිටියේය. තව අවුරුදු 100කටවත් දෙමළ සන්නද්ධ කැරැල්ලක් ඇති නොවනු ඇති බව රාජනායගම්ගේ මතය විය.

විසඳා ගැනීමට අරගලයක් කළයුතු තරමට ප්‍රශ්න ඇතොත්, ඔවුන් සන්නද්ධ අරගල මාවත වෙනුවට ගාන්ධිගේ අවිහිංසාවාදී මාවත තෝරාගනු ඇති බව කීවේය. දෙමළ ජනතාවට දිය යුතු දේශපාලන විසඳුම කුමක් වියයුතුද යන ප්‍රශ්නයද අපි සාකච්ඡා කළෙමු. ඒ ගැන ඔවුන්ට පොදු මතයක් නොතිබුණි. අන් සියල්ලට පෙර කඳවුරුවල සිටින ජනයා හැකි ඉක්මනින් නැවත පදිංචි කළ යුතු බව ඔවුන් සියලුදෙනා දරන පොදු මතය විය. පරීක්ෂණ අවසන් කර ඇති සියලුදෙනා කඳවුරුවලින් ඉවත් කළ හැකි බව ඔවුහු කියා සිටියෝය. පළාත් සභාවලට පොලිස් බලතල දෙනවාට පක්ෂ නැති පිරිසක් ද දෙමළ ජනතාව අතර සිටින බව එක් අයෙක් කියා සිටියේය. පොලිස් බලතල නැතුවත් ඔවුන් අපෙන් කප්පම් ගන්නවා. අපට දඬුවම් කරනවා. පොලිස් බලතල දුන්නොත් කොහොමට හිටීවිදැයි අසන පිරිසක් ද දෙමළ ජනතාව අතර සිටින බව ඔහු කියා සිටියේය. ආරක්ෂක කලාප ක්‍රමය පටු කොට ආරක්ෂක කලාප සඳහා යොදාගෙන තිබෙන පාරම්පරික ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට ලබාදෙන ප්‍රතිපත්තියක් සමග දෙමළ භාෂා අයිතිවාසිකම් හා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ප්‍රතිපත්තියක් ““දැනට”” දෙමළ ජනතාවගේ තෘප්තියට හේතුවනු ඇති බව ඔවුන් සමහරකුගේ මතය විය.

හිටපු සටන්කාමීන් යුද්ධ කරන්නට දන්නවා හැරුණු විට වෙනත් කිසිවක් කරන්නට දන්නේ නැති බව ආරක්ෂක ලේකම්වරයා තමන් සමග ප්‍රකාශ කළ බවත් නැගෙනහිරින් ලැබෙන අත්දැකීම් දෙස බලන විට එහි යම් සත්‍යයක් ඇති බවත් ඔවුහු කියා සිටියහ. බටහිර රටවල එල්ටීටීඊය වෙනුවෙන් මුදල් එකතු කරන නියෝජිතයන්ට එකතු කරන මුදලින් 25%ත් 30%ත් අතර පංගුවක් ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වූ බවත්, ඒ නිසා එල්ටීටීඊය වෙනුවෙන් මුදල් එකතු කිරීම ඔවුන්ට සුඛෝපභෝගී ජීවිත ගතකිරීමට අවශ්‍ය ආදායම් උපයාදෙන මාර්ගයක් ලෙස ක්‍රියාකළ බවත් මනෝරංජන් කියා සිටියේය. දෙමළ ඩයස්පෝරාව තුළ වෙන කවරදාවත් නොවූ තරම් බෙදීම් මතුවී තිබෙන බවත්, ඕස්ට්‍රේලියාවේ සිංහල තරුණයන් දෙදෙනෙකු පහරදීමට ලක්වූ අවස්ථාවේදී එහි සිටින බලවත් දෙමළ කණ්ඩායමක් එම සිංහල තරුණයන් දෙදෙනාගේ ආරක්ෂාව සඳහා පෙනී සිටි බවත් එය ඉතාමත් හොඳ වර්ධනයක් බවත් එහි සිටි තවත් පුද්ගලයෙක් කියා සිටියේය.

මෙම නියෝජිත පිරිස සාම්ප්‍රදායික දෙමළ පක්ෂවල නායකයන්, එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් හා ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ යන නායකයන් හමුවී සාකච්ඡා කොට තිබුණි. අතුරලියේ රතන හිමියන් ගැන එක් පුද්ගලයෙකු මහත් ප්‍රසාදයෙන් කතා කළේය. තමන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් වී නැවත ධර්මයට බර තබන ජීවිතයක් ගැන කල්පනා කරමින් සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය. තමා සෝමවංශ අමරසිංහට රෝහණ විජේවීර සමග තමන්ට තිබුණු සම්බන්ධය මතක් කර දුන් බවත්, වරක් තංගල්ලේ විජේවීරගේ නිවසේදී ඔහුගේ මවගේ අතින් පිසින ලද ආහාර වේලක් අනුභව කිරීමේ භාග්‍යය තමන්ට හිමිවූ බව සෝමවංශ අමරසිංහ සමග කියන ලද බවත් කියා සිටියේය. ජවිපෙ ජාතිවාදී පක්ෂයක් නොවන බවට සෝමවංශ අමරසිංහ තර්ක කළ බවත්, එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ශ්‍රී ලංකාවේ දෙමළ විරෝධී ජාතිවාදී පක්ෂ ගැන කතා කරන විට ජවි පෙරමුණේ නම ද ඒ ගොන්නට ඇතුළත්ව තිබීම ජවිපෙ ගෞරවයට හේතු නොවන කරුණක් බව සෝමවංශ අමරසිංහට පෙන්වා දුන් බවත් රාජනායගම් කියා සිටියේය.

මෙම නියෝජිත පිරිස විටින් විට අවස්ථා ගණනාවක් අවතැන්වූවන්ගේ කඳවුරුවලට ගොස් තිබුණේය. අඩුපාඩුකම් ඇතත්, නොකඩවා සිදුවන දියුණුවක් ද ඇති බව ඔවුන් පොදුවේ දරන මතය විය.