රනිල් වික්‍රමසිංහටත් ජනාධිපති ක්‍රමය එපාවේ!

April 12, 2009
Publication:
Ivan notes that if Ranil Wickremesinghe's complaint is Mahinda Rajapaksa rather than the system, then removing the man and preserving the machine is the wrong remedy — and that his promise to abolish the executive presidency under a UNP government reads as a concession to his party rather than a conviction. Some presidents built things within the corrupt system, he grants; but what has hollowed out the rule of law is the system, not the individual.

න්‍යායික අවබෝධයකින් යුතුව ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ වූ විධායක ජනාධිපති ක්‍රමයට ගැඹුරු විවේචන ඉදිරිපත් කළ පළමුවැන්නන් වීමේ ගෞරවය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාට හා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට හිමිවිය යුතුය. ගැඹුරු න්‍යායික අවබෝධයකින් තොරව වුවත් ශ්‍රීලනිප ද ආරම්භයේ සිටම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි විය. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකගේ නායකත්වයෙන් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව එජාප අභ්‍යන්තරයෙන් මතුවූ බලවත්ම ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටි ධුර කාල දෙක තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළේ නැතත්, බලයට ආවේ තමන් බලයට පැමිණි පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. තාමත් ආණ්ඩු ක්‍රමයේ වෙනසක් ඇති කර නැතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අරබයා දේශපාලන තලයේ මතුවී තිබූ විවාදයේදී පවතින විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා ලෙස සැලකිය හැකිය. දැන් ඒ මහතාද සිය ස්වභාවයේ මූලික වෙනසක් ඇතිකර ගනිමින් එජාප බලයට පත්වූ විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියයි. එය දේශපාලන තලයේ ඇතිවී තිබෙන වැදගත් හා ඉදිරිගාමී වෙනසක් ලෙස සැලකිය හැකි වුවත් පැරණි ස්ථාවරය අත්හැරීමට බලපා තිබෙන හේතු අළලා රනිල් කරන විග්‍රහය නම් ඉතා දුප්පත් බව කිව යුතුය. ඔහු කියන්නේ ජේ.ආර්.ගේ සිට විජේතුංග දක්වා වන ජනාධිපතිවරුන් රට දියුණු කිරීමට ජනාධිපති ක්‍රමය ප්‍රයෝජනයට ගත්තත්, මහින්ද රාජපක්ෂ රට විනාශ කිරීමට එම ක්‍රමය යොදා ගනිමින් තිබෙන බවය. වරද ඇත්තේ ක්‍රමයේ නොවේ නම් පුද්ගලයාගේ නම් විය යුත්තේ පුද්ගලයා ඉවත් කිරීම මිස, ක්‍රමය අහෝසි කිරීම නොවේ.

රනිල් කියන ආකාරයට නරක මහින්ද නම් ක්‍රමය හොඳ නම්, විය යුත්තේ මහින්ද බලයෙන් පහකිරීම මිස, ක්‍රමය ආරක්ෂා කිරීම නොවේ එයින් පෙනෙන්නේ රනිල් අවසානයේදී එජාප ආණ්ඩුවක් යටතේ ජනපති ක්‍රමය අහෝසි කරන බව කියන්නේත් හිතට එකඟව නොව පක්ෂයෙන් එල්ල වී තිබෙන බලපෑම් නිසා බව නොවේද? මෙම දූෂිත ක්‍රමය තුළත් සමහර ජනාධිපතිවරු රටට වැඩ කළේය. ජේ.ආර්. යුගයේදීද කඩිනම් මහවැලිය වැනි විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක විය. ප්‍රේමදාස යුගයේදී දුප්පත්කමට බර තබා ක්‍රියාකරන දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක විය. විජේතුංග යුගයේදී ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපාන විශේෂ දෙයක් කළේයැ”යි කිව නොහැකි වුවත් එක්තරා ප්‍රමාණයකට වැසී තිබූ නිදහසේ දොරටු විවෘත වූයේ ඔහුගේ යුගයේය. චන්ද්‍රිකා යුගය අනාගතයට ඉතිරි වන කිසිවක් නොකෙරුණ එකම යුගය ලෙස සැලකිය හැකිය.

මහින්ද යුගයේදීද විසිපස් අවුරුද්දක් තිස්සේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගත්තේය. විදුලි බලය හා බලශක්ති සංවර්ධනය සඳහා එතෙක් ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක තිබුණු යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කළේය. මහා මාර්ග හා අතුරු මාර්ගවල ද කැපී පෙනෙන දියුණුවක් ඇති කළායැ”යි කිව හැකිය. එහෙත් ප්‍රශ්නයේ හරය තිබෙන්නේ කොපමණ ප්‍රමාණයක් රටට වැඩ කර තිබේද යන ප්‍රශ්නයේ නොව වඩා හොඳ රර දේශපාලන ක්‍රමයක් තිබුණේ නම් ඉන් රටට ලැබෙන්නට තිබුණු ප්‍රතිලාභවල ප්‍රමාණය කොතරම් විශාල විය හැකිද යන ප්‍රශ්නයේය. රටට වැඩ කිරීමේ උනන්දුවක් හා හැඟීමක් ඇති නායකයන්ට පවා මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ තමන්ට හෝ තම පක්ෂයට මුදලින් ආධාර කරන්නන්ට හා වෙනත් ආකාරවලින් ආධාර කරන විශේෂ ආධාරකරුවන්ට රටේ පොදු දේපළවලින් කප්පම් ගෙවන්නට සිදුවී තිබේ. මෙම දූෂිත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට රටට ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වියදමක් දරන්නට සිදුවී තිබේ.

ඒ නිසා ඔවුන් මෙම කරන වැඩවල වටිනාකම හීන කිරීමට හේතුවී තිබේ. නීතියේ පාලනයක් නැතිකම, දේශපාලන ආයතන ක්‍රමයේ ගරා ගැනීම, ඉහවහා ගිය දූෂණය වැනි කාරණා කෙරෙන් ප්‍රමුඛ සාධකය ලෙස බලපා ඇත්තේ මෙම දේශපාලන ක්‍රමය මිස, පුද්ගලයා නොවේ. යුද්ධයේ අවසානයත් සමග රට ගමන් කරමින් තිබෙන්නේ මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමට තිබෙන ඉඩ පුළුල් වන දිසාවකටය. පවතින දුෂිත දේශපාලන ක්‍රමය වෙනුවට යහපත් දේශපාලන ක්‍රමයක් දිනාගැනීමට රජයට හැකිවනු ඇත්තේ බේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ එවැනි වෙනසක් ගැන සිහින දකින හා එම වෙනස දිනාගැනීම වෙනුවෙන් බලවත් ලෙස ක්‍රියාකරන තැනකට එන්නේ නම් පමණය.

Editors Note

The Accelerated Mahaweli Programme cited as Jayewardene’s achievement ran from 1979.