17 වැනි සංශෝධනය හා මැතිවරණ කොමිසම

April 19, 2009
Publication:
Provincial elections are being held without the Elections Commission the 17th Amendment requires, because Chandrika Kumaratunga refused to appoint one and the refusal has outlived her. Ivan sets the Indian Election Commission against it — its own budget, its own quasi-judicial powers, 668 million voters and 800,000 polling stations — and argues that an amendment bolted on to a constitution built around an unaccountable president was never going to hold.

පළාත් සභා මැතිවරණ පැවැත්වෙමින් තිබෙන්නේ 17 වැනි සංශෝධනය යටතේ තිබිය යුතු මැතිවරණ කොමිසමකින් තොරවය. අනෙක් අතට මැතිවරණ කොමිසමක් නැතිවත් මැතිවරණ කොමිසමට හිමි සියලු බලතල මැතිවරණ කොමසාරිස්ට හිමිය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරගැනීමෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අනෙකුත් කොමිෂන් සභා පිහිටුවූවත් මැතිවරණ කොමිසම පිහිටුවූයේ නැත. ව්‍යවස්ථාව නිර්දේශ කළ නාමලේඛනයට ඇතුළත් එක් පුද්ගලයෙකුට විරෝධය පළකිරීම නිසා ජනාධිපතිනිය එම පුද්ගලයාට එරෙහිව කළ චෝදනාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කිරීමට ව්‍යවස්ථා සභාවට සිදුවිය. ඒ ගැන කරන ලද පරීක්ෂණයේදී ජනාධිපතිනිය නගන ලද චෝදනාවේ ඇත්තක් නැති බව තහවුරු වූ විට ව්‍යවස්ථා සභාව නැවත එම නාමලේඛනය ජනාධිපතිනිය වෙත යවනු ලැබුවත් ජනාධිපතිනිය ඊට අනුමැතිය දුන්නේ නැත. ජනාධිපතිනියට ඒ අවස්ථාවේදී 17 වැනි සංශෝධනය නොසලකා ක්‍රියාකිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින්නට උත්සාහ කළ මංගල සමරවීරය.

ශ්‍රීලනිප ද පක්ෂයක් වශයෙන් ඒ අවස්ථාවේදී ජනාධිපතිනිය අනුගමනය කළ එම ප්‍රතිපත්තියට සහාය දුන්නේය. ජේවීපීයද වර්තමානයේ ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ ද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වින්නඹු අම්මා ලෙස සැලකිය හැකි ජේවීපීයද ඒ අවස්ථාවේදී ජනාධිපතිනිය අනුගමනය කළ ප්‍රතිපත්තියට සහාය දෙන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. එජාපයද ඉඳහිට කෙඳිරි ගාන පිළිවෙතක් අනුගමනය කළා මිස, 17 වැනි සංශෝධනය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. අඩුම වශයෙන් එම පක්ෂයට පාර්ලිමේන්තු බලය ලැබීමෙන් පසුව හෝ එම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ නොකළේය. අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා ඒ වෙනුවෙන් කිසිදු වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නට උත්සාහ නොකළේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එදා අධිකරණය අනුගමනය කළ ප්‍රතිපත්තිය ද දේශපාලන පක්ෂ අනුගමනය කළ ප්‍රතිපත්තියට වෙනස් නොවීය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගිය හැම කෙනෙකුටම ආපසු ඒමට සිදුවූයේ අධිකරණයෙන් අසන්නට ලැබෙන ඇනුම් බැනුම් මැදය. ඒ වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවා අධිකරණය ඉදිරියට ගියද ආපසු ආවේ හිස් අතිනි. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කෙරෙන නිල උත්සවයේදී මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අතර සිය දුක්ගැනවිල්ල ජනාධිපතිවරයා වෙතද ඉදිරිපත් කළේය. නව ජනාධිපතිවරයා තේරී පත්වී දැන් වසර තුනකුත් මාස හතරකි. තාමත් මැතිවරණ කොමිසම පත්කර නැත. එය මැතිවරණ කොමසාරිස්වරයාට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවක් ද පෙනෙන්නට නැත. මෙම තත්ත්වය පුදුමයට හේතුවිය යුතු තත්ත්වයක් ලෙස ද සැලකිය නොහැකිය. මේ ප්‍රශ්නයේදී කිසිවෙක් අවංක නැත. 17 වැනි සංශෝධනය චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් යටතේ පමණක් නොව, ඊළඟට බලයට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු යටතේ උල්ලංඝනය වනු ඇති බව මගේ හැඟීමය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හොඳට පොතපත කියවූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් ඇති නායකයෙකි. එහෙත් මෙම විසම දේශපාලන ක්‍රමය තුළ ඔහුට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම හැඟීමක් නැති අන් ඕනෑම නායකයකු ක්‍රියාකරන ආකාරයටය. රනිල් වික්‍රමසිංහ මෙම විෂයේදී උරගා බැලීමකට ලක්වූ වැදගත් අවස්ථා දෙකක් ඇතැ”යි සිතමි. 78 ව්‍යවස්ථාව අනුව රටේ මුදල් පාලන බලය හැර අන් හැම කාර්යයකදීම පරම බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. මුදල් පාලන විෂයේදී බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඇමතීමේ බලය ඇත. එහෙත් පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සහභාගිවීමේ බලය නැත. ජනාධිපති පාර්ලිමේන්තුව අමතන අවස්ථාවලදී අසුන් ගතයුත්තේ කතානායකවරයාගේ ආසනයේය. මන්ත්‍රීවරුන්ගේ ආසනවල අසුන් ගන්නා සම්ප්‍රදායක් නැත. මුදල් විෂයේදී හැර අන් හැම විෂයකදීම ඔහුට පරම බලයක් තිබුණු අතර, ඒ නිසා ජනාධිපතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීම මගින් ජනාධිපතිගේ පැවැත්ම අක්‍රිය කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට ඇති බව කොල්වින්ගේ සේම ඇන්.ඇම්.ගේද මතය විය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයට එන්නට පෙර බලයට පැමිණි කිසිම ජනාධිපතිවරයෙකු මුදල් විෂය ඍජු ලෙස සිය අතට ගත්තේ නැත. ඊට පෙර කිසිම ජනාධිපතිවරයෙකු මුදල් ඇමති ලෙස ක්‍රියාකර නැත. මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ගොස් අයවැය යෝජනා ඉදිරිපත් කර නැත. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඍජු ලෙස මුදල් විෂය සියතට ගත්තා පමණක් නොව, පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පනවා තිබෙන අසුනක අසුන්ගෙන (කතානායක වඩා උස් පුටුවක වාඩිවී සිටියදී) සිය අයවැය යෝජනා ඉදිරිපත් කළාය. එසේ මුදල් ඇමති වශයෙන් ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇගේ ක්‍රියාවට විරෝධය පළ කරනවා වෙනුවට ප්‍රශංසා කරමින් එය අනුමත කළේය. ඇත්තටම මෙම ව්‍යවස්ථාවේ එන මූලධර්ම අනුව ජනාධිපතිට මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුව ඇමතිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ නොදැන සිටියේ නැත.

එහෙත් ඊළඟට ජනාධිපතිවන්නේ තමන්යැ”යි කල්පනා කරමින් සිටි රනිල් ඒ නිසා ඒ අයිතිය තමන්ට ද ලැබෙන බව සලකා එම වැරදි සම්ප්‍රදාය තහවුරු වන්නට ඉඩ දුන්නේය. මා ඒ කාලේ ඒ ගැන රනිල් වික්‍රමසිංහගෙන් කරුණු විමසීමක් කළ අවස්ථාවේදී ඔහුට ඊට දිය හැකි සාධාරණ පිළිතුරක් නොතිබුණි. රනිල් වික්‍රමසිංහ උරගා බැලූ ඊළඟ කාරණය වනුයේ 17 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළවය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සාමාජිකයන් පත් කරනු ලැබුවේ එජාපයට පාර්ලිමේන්තු බලය ලැබුණු කාලයේදීය. ව්‍යවස්ථා සභාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති වශයෙන් තෝරාගන්නා ලද්දේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.එම්.බී. කුලතුංග මහතාය. ව්‍යවස්ථා සභාව මූලික පරීක්ෂණයකින් පසුව කුලතුංග මහතා එම තනතුරට තෝරාගෙන ඒ බව ඒ මහතාට වාචිකව දැනුම්දීමක් ද කර තිබුණි. අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකි.

ද්වන්ද්ව පාලනයක් පැවතියත් එජාපයට ආණ්ඩු බලය ලැබී තිබෙන තත්ත්වයක් තුළ අගමැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සභාව තුළ සිටි බලවත්ම පුද්ගලයා වූවේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධුරයට කුලතුංග මහතා තෝරාගෙන ඇති බව දැනගන්නට ලැබුණු විට අගමැති රනිල් වික්‍රමසිංහ ඒ නමට විරෝධය පළකරමින් ඒ වෙනුවට වෙනත් සුදුසු පුද්ගලයෙකු පත්කර ගන්නා ලෙස ව්‍යවස්ථා සභාවට දැනුම් දුන්නේය. අවසානයේ ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ මහතාට කුලතුංග මහතා වෙත සිය කනගාටුව ප්‍රකාශ කරන්නට සිදුවිය. කුලතුංග මහතා අරබයා එහිදී ඇතිවූ අවලස්සණ තත්ත්වයෙන් රටට උගත හැකි වැදගත් පාඩම් දෙකක් ඇත්තේය. එකල ව්‍යවස්ථා සභාවේ සිටියේ ගරු කටයුතු නාමධාරී පිරිසකි. ව්‍යවස්ථා සභාව සිය පිළිගත් මිමි අනුව යමින් මූලික සම්මුඛ පරීක්ෂණයකින් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ධුරයට කුලතුංග මහතා තෝරාගත්තා පමණක් නොව එම තනතුරට ඔහු තෝරාගත් බව ඒ මහතාට වාචිකව දැනුම්දීමක් ද කර තිබුණේය.

අගමැති විරුද්ධ වූ පමණින් ඒ නම කපා හැරීමට ව්‍යවස්ථා සභාව එකඟවීමෙන් පෙනී යන්නේ ව්‍යවස්ථා සභාවට මොනතරම් බලවත් පුද්ගලයන් පත් කළ ද අවසාන විග්‍රහයේදී නිල බලයෙන් තේරී පත්වන දේශපාලකයන් ව්‍යවස්ථා සභාව පාලනය කරන බව නොවේද? ඊළඟට වැදගත්ම දේ කේ.එම්.එම්.බී. කුලතුංග මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වූයේ ඇයිද යන ප්‍රශ්නයයි. ඊට වහාම දිය හැකි පිළිතුර නම් කුලතුංග මහතා දුරකතන පණිවුඩ මගින් දේශපාලනඥයන්ට නැටවිය හැකි වර්ගයේ පුද්ගලයෙකු නොවන බවය. මෙම ක්‍රියාව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මැතිවරණ කොමිසම සඳහා නිර්දේශ කළ සාමාජික ලැයිස්තුවට අනුමැතිය නොදීම හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට නිර්දේශ කළ සාමාජික ලැයිස්තුවට අනුමැතිය නොදීම යන කාරණා අතර බරපතළ වෙනසක් ඇතැ”යි මම නොසිතමි. දැන් අපට 17 වැනි සංශෝධනයට ඇතුළත් මැතිවරණ කොමිසම පිළිබඳව කරුණු සලකා බැලිය හැකිය.

මැතිවරණ කොමසාරිස්වරයා කියන ආකාරයට 17 වැනි සංශෝධනය නිර්මාණය කළ කිසිවකු ඒ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කර නැත. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළ නිර්මාණකරුවන්ට ආවේණික සීමාසහිතකමේ තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් හොඳ අදහසකින් යුතුව හා අවංක හැඟීමකින් යුතුව වැඩේ කළා විය හැකිය. එහෙත් වැඩේ කර ඇත්තේ දඩිබිඩියේය. ගැඹුරු අධ්‍යයනයකින් තොරවය. අඩුම වශයෙන් මැතිවරණ කොමසාරිස්ගේ අදහස්වත් ලබාගෙන නැත. එපමණක්ද නොවේ. අඩුම වශයෙන් අසල්වැසි ඉන්දියාවේ මැතිවරණ කොමිසමේ අත්දැකීම්වත් සැලකිල්ලට ගෙන නැත. මේ මෑතකදී සිදුවූ වරුන් ගාන්ධි සිද්ධිය ඉන්දියානු මැතිවරණ කොමිසමේ සුවිශේෂ ස්වභාවය පෙන්නුම් කරයි. වරුන් ගාන්ධි, ගුවන් අනතුරකින් මියගිය ඉන්දිරා ගාන්ධිගේ පුතෙකු වන සංජේ ගාන්ධිගේ පුතාය. ඔහු උත්තර ප්‍රදේශයේ පාර්ලිමේන්තු අසුනක් සඳහා භාරතීය ජනතා පක්ෂයෙන් තරග කිරීමට නියමිතය.

ඔහු මාර්තු 06 වැනිදා පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් ජනයා කෙරෙහි වෛරසහගත හැඟීම් උපදවන ආකාරයේ කතාවක් පැවැත්වීය. ඉන්දියානු මැතිවරණ කොමිසම එම කරුණ මත ඔහුට නාමයෝජනා ලබාදීමෙන් වළකින ලෙස භාරතීය ජනතා පක්ෂයට නිල වශයෙන් දැනුම් දුන්නේය. එම තීරණය භාරගැනීම බීජේපී පක්ෂය ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු මැතිවරණ කොමිසම කළේ ජාතික ආරක්ෂක පනත යටතේ වරුන් ගාන්ධි අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරන ලෙස බලධාරීන්ට නියම කිරීමය. ඒ අනුව ජාතික ආරක්ෂක පනත යටතේ ඔහුට එරෙහිව රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කෙරුණු අතර, අවසානයේ වරුන් ගාන්ධිට සිය ආධාරකරුවන් කරන ප්‍රචණ්ඩ ක්‍රියාමැද බාරවීමට සිදුවිය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ ඉන්දියානු මැතිවරණ කොමිසම මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ ප්‍රසිද්ධ කතා පවා නිරීක්ෂණය කොට, නීතියට පටහැනිව ප්‍රකෝපකාරී ලෙස හෝ ජාතිභේද ආගම්භේද හා කුලභේද අවුස්සන ආකාරයට ප්‍රසිද්ධියේ කතා කරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාකිරීමේ බලය භුක්ති විඳින බවය.

ඉන්දීය මැතිවරණ කොමිසම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩනගා ගැනීමේ මහා සංවාද ක්‍රියාවලිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 324 වගන්තිය යටතේ ගොඩනගන ලද ස්වාධීන ආයතනයකි. ආරම්භයේදී (1950-1993) එය එක් මැතිවරණ කොමසාරිස්වරයෙකුගෙන් සමන්විත වූ අතර, පසුව ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයෙකු හා මැතිවරණ කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ආයතනයක් බවට පත්කරන ලදි. කොමසාරිස්වරුන් තිදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුට සමාන වැටුප් හා වරප්‍රසාද භුක්ති විඳී. මතභේදයට හේතුවන කරුණක් තීරණය කළයුත්තේ වැඩි ඡන්දයෙනි. කොමසාරිස්වරයෙකුගේ ධුර කාලය හය වසරකි. ධුර කාලය තුළ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝගයකින් පමණය. අනෙක් කොමසාරිස්වරුන් ඉවත් කළ හැක්කේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශය ඇතොත් පමණය.

කොමිසමට තමන්ගේම අයවැය ලේඛනයක් තිබෙන අතර, එය මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට සකස් කෙරේ. පාර්ලිමේන්තු මැතිවරණ, ප්‍රාන්ත රාජ්‍ය මැතිවරණ, ජනාධිපති හා උප ජනාධිපති තෝරාගන්නා මැතිවරණ ක්‍රියාවලියේ අධිකාරීත්වය, මෙහෙයුම හා පාලනය පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමටය. ඉන්දියාවේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ලෙස සැලකිය හැකිය. ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 668කි. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 800,000කි. කොමිසම උපදේශකත්ව අධිකරණ බලයට අතිරේකව අර්ධ අධිකරණ බලය ද උසුලයි. සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි විය යුතුයි. දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට ගොඩනගා ගෙන තිබෙන මැතිවරණ සඳහා වන ආචාර ධර්ම පද්ධතිය පිළිපැදීමට සියලු දේශපාලන පක්ෂ නීතියෙන් බැඳී සිටී.

දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහතික කිරීමද කොමිසමේ වගකීමකි. නිසි කලට දේශපාලන පක්ෂ පක්ෂ සම්මේලන පවත්වන්නේ ද යන්න කොමිසම සොයා බලයි. පක්ෂ අභ්‍යන්තර ආරාවුල් විසඳා ගැනීමට ද කොමිසම සහාය වේ. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් ද කොමිසම විමර්ශනය කරයි. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සඳහා පනවා තිබෙන වියදම් සීමා අකුරටම ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ ද මැතිවරණ කොමිසමටය. අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ, අපරාධ නඩු ඇති අයගේ දිවුරුම් ප්‍රකාශ, අපේක්ෂකයන්ගේ හා දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් ලේඛන ලබාගැනීමේ බලය ඇත්තේ ද මැතිවරණ කොමිසමටය. පූර්ව මැතිවරණ අවස්ථාවලදී වැරදි කරන හෝ නුසුදුසු අපේක්ෂකයන් තරග බිමෙන් ඉවත් කිරීමේ හා මැතිවරණ වියදම් ලේඛන නිසි වෙලාවට භාර නොදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රාන්ත රාජ්‍ය මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි කිරීමේ බලය කොමිසම සතුය.

එවැනි අවස්ථාවලදී කොමිසම ගනු ලබන තීන්දු මහාධිකරණය ඉදිරියේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ අයිතිය අයිතිවාසිකම් අහිමි කෙරෙන අයට හිමිය. එහෙත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට එල්ල වෙන දූෂණ චෝදනා පරීක්ෂා කිරීමේ බලය කොමිසමට නැත. එය අධිකරණය විසින් කළ යුතුය. එහෙත් අධිකරණය එවැනි නඩුවලදී ගනු ලබන තීන්දුවලදී වැරදිකරුවන්ට දියයුතු දඬුවමේ ස්වභාවය විමසන්නේ කොමිසමෙනි. මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍යයෙන් කොමිසමේ කටයුතුවලට අධිකරණය ඇඟිලි ගසන්නේ නැත. ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමට අවශ්‍ය විධිවිධාන ඇති කරගැනීමේ ක්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට උපරිම ආකාරයට සහාය දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කොමිසමට අදාළ නඩු තීන්දු පරීක්ෂා කරන විට පෙනීයයි.

ඉන්දියාවේ දේශපාලනයේදී විවිධ දේශපාලන ආයතනවලට තිබෙන මහජන විශ්වාසයේ තරම පරීක්ෂා කර බැලීම සඳහා මීට වසර කිහිපයකට පෙර පවත්වන ලද ජනමත සමීක්ෂණයකදී මැතිවරණ කොමිසම පළමුතැන හිමි කරගත් අතර, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වූයේ දෙවැනි තැනය. ඒක පුද්ගල ආදායමේදී ශ්‍රී ලංකාවට වඩා පහළ තැනක සිටින හා අකුරු උගත්කමින් ද ශ්‍රී ලංකාවට වඩා පහළ තැනක සිටින ඉන්දියාව සමග සසඳන විට මෙම විෂයේදී ශ්‍රී ලංකාව ඉන්නේ ඝන අන්ධකාර ලෝකයකය. ඉන්දියානු මැතිවරණ කොමිසම සමග සසඳනවිට 17 වැනි සංශෝධනය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන මැතිවරණ කොමිසම ඉතාමත් පසුගාමී මැතිවරණ කොමිසමකි. එයට තමන්ගේ ස්වාධීන අයවැය ලේඛනයක් නැත. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහතික කිරීමේ බලයක් නැත. පක්ෂ අරමුදල් හෝ මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලයක් නැත. වැරදි කරන අපේක්ෂකයන් හෝ මන්ත්‍රීවරුන් බලරහිත කරන බලයක් ද ඊට නැත.

අපේ රටේ ගොඩනගා තිබෙන දේශපාලන ආයතන මනා ඉදිරි දැක්මකින් තොර දුර්වල ආයතන වනවා පමණක් නොව, බොහෝවිට ඒවාට පත් කෙරෙන ආයතන ප්‍රධානීන් ද ශක්තිමත් ඉදිරි දැක්මක් නැති තමන්ට තිබෙන බලතල පවා සාධාරණ ලෙස පාවිච්චි කිරීමට සූදානම් නැති දුර්වල පුද්ගලයන් ලෙස සැලකිය හැකිය. වත්කම් බැරකම් නීතිය අනුව ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. නීතියක් තිබුණද දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවන තත්ත්වයක එය පැවතුණි. මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව මම මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කළෙමි. සාර්ථක ප්‍රතිඵලයක් නොලද විට 1999 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමට දින නියම කළ පසුව මීට පෙර ජනාධිපතිවරණවලට තරග කොට ඇති වත්කම් බැරකම් ප්‍රකාශ කර නැති අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර නොගත යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වා යැවීමි.

එම ලිපියට ජනමාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. මේ නිසා පළමුවරට නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම (පොදු පෙරමුණේ අපේක්ෂක චන්ද්‍රිකා කුමාරතුංග හා එජාපයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ) ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දුන්නෝය. ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම සඳහා ක්‍රියා කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව අධිකරණය ඉදිරියට යන බවත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දුන්නෙමි. ඉන්පසු නාමයෝජනාවලට පෙර මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටින බව කියන වෙළෙඳ දැන්වීමක් මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පත්වල පළ කළේය. එහෙත් පුදුමයකට මෙන් මැතිවරණය අවසානයේ පුවත්පත් සාකච්ඡාවකට සහභාගිවෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කීවේ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදෙන ලද්දේ අපේක්ෂකයන් සුළු පිරිසක් පමණක් බවත්, වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදෙන අය සම්බන්ධයෙන් තමා අනුගමනය කළයුතු ප්‍රතිපත්තියට අදාළ නීතියේ පැහැදිලිව සඳහන් නොවන බැවින් ඔවුන් සම්බන්ධයෙන් තමන්ට කළහැකි දෙයක් නැති බවත්ය.

ඉන්දියාවේ නම් හැම අපේක්ෂකයකුම සිය නාමයෝජනා පත්‍රය සමග වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුය. එපමණක් නොව, තමන්ගේ පසුබිම් විස්තර අපරාධ නඩු ඇතොත් හෝ දඬුවම් ලබා ඇතොත් ඒ පිළිබඳ විස්තර ද ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ද ලබාදිය යුතුය. අපේක්ෂකයන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමට මේ තිබෙන නීතිය ප්‍රමාණවත්ය. එහෙත් එය අකුරටම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සූදානම් නැත. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන අය සම්බන්ධයෙන් තමන් කුමක් කළයුතුද යන ප්‍රශ්නය නීතියෙන් විස්තර කර නැතිනම් කළයුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හැරීම නොව, නීතිපතිගෙන් උපදෙස් ලබාගැනීම හෝ ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමය. ඉන්දියානු මැතිවරණ කොමිසමට තමන්ගේම පුස්තකාලයක් තිබෙන අතර, අධ්‍යාපන කටයුතු සඳහා එය පරිහරණය කිරීමේ අයිතිය මහජනයා සතුය.

ඡායා පිටපත් සඳහා යන වියදම ලබාගෙන දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවල පිටපත් මා වෙත ලබාදෙන ලෙස එක් අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මම ඉල්ලා සිටියෙමි. මට ලැබුණු පිළිතුරෙන් මම විස්මයට පත්වීමි. ඔහු ඒ ලිපියෙන් මට දැනුම් දී තිබුණේ ඒ පක්ෂවල ව්‍යවස්ථාවල පිටපත් මා ඒ පක්ෂවලින්ම ලබාගත යුතු බවය. පක්ෂ ව්‍යවස්ථා ආරක්ෂා කරගත යුතු රහස්‍ය ලේඛන විශේෂයක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සලකන බව ඉන් පෙනීයයි. පක්ෂ ව්‍යවස්ථා පිළිබඳව මහජනයාට අවබෝධයක් ලබාදීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. පක්ෂ ක්‍රමය හා ඒවා ක්‍රියාත්මක වන අභ්‍යන්තර නීති මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි බලපාන වැදගත් සාධකයකි. රටේ පවතින්නේ ඒකාධිපති පක්ෂ ක්‍රමයක් නම්, මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් හා සාධාරණ එකක් වන්නේ කෙසේද? 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ගේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් කරුණක් වනුයේ රටේ පවතින දේශපාලන ක්‍රමය හරියාකාරව තේරුම් නොගැනීමය.

ඇමරිකාවේ සිටින ජනාධිපති ලෝකයේ සිටින බලවත්ම ජනාධිපති වුවත්, ජනාධිපති ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ ජනාධිපතිගේ බලය සංවරණය හා තුලනය කෙරෙන ක්‍රමද ඇතුළත් වන ආකාරයටය. ඇමරිකන් ජනාධිපති කොතරම් බලවත් වුවත්, ජනාධිපතිට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලවත්ය. ජනාධිපතිට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නොහැකිය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ ජනාධිපතිගේ බලය සංවරණය හා තුලනය කෙරෙන ක්‍රම නැතිවය. අනෙක් අතට ජනාධිපති ඉන්නේ ව්‍යවස්ථාවට පහළින් නොව ඉහළිනි. ව්‍යවස්ථාව නිර්මාණය කර තිබෙන්නේද ජනාධිපතිට ලබාදී තිබෙන මෙම බලය තුනෙන් දෙකක ඡන්දයකට අතිරේකව ජනමත විචාරණයක අනුමැතිය නොමැතිව සංශෝධනය කළ නොහැකි ආකාරයටය. 17 වැනි සංශෝධනය නිර්මාණය කර තිබෙන්නේ ජනාධිපති ක්‍රමය ව්‍යුහගත කර තිබෙන ආකාරය හොඳින් සැලකිල්ලට ගැනීමෙන් තොරවය.

සතකු බැඳ තැබීම සඳහා උගේ ශක්තියට ඔරොත්තු නොදෙන රැහැනක් පාවිච්චි කළ විට ඌ බැඳ තැබීමේ උත්සාහය නිරර්ථක උත්සාහයක් බවට පත්වන්නේය. 17 වැනි සංශෝධනයට අධිකරණයේ අනුමැතිය ලැබුණේ එය ව්‍යවස්ථාවට අනුකූලවීම නිසා නොව, ඒ මොහොතේ ආණ්ඩු පක්ෂය මුහුණදී තිබුණු අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුව තෝරාගත් මාර්ගයක් වශයෙන් ඊට අනුමැතිය දීම අවශ්‍යවේයැ”යි අධිකරණය කල්පනා කළ නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව හා ඒ නිසා එය නොසලකා සිටීමේ හැකියාවක් ඇති බව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ මොහොතේ දැන සිටියා සේ ම අනාගතයේ ජනාධිපතිවරුන් බවට පත්වීමට සිහින දකිමින් සිටි අයද එය දැන සිටියෝය. අවසාන විග්‍රහයේදී රැවටුණේ පාලකයන් නොව ජනතාවය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ ව්‍යවස්ථා සංශෝධන මගින් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පහසු නැති ආකාරයටය. යහපාලනයක් ගැන සිහින දකින්නන් පවා එය අද දක්වා හරියාකාරව තේරුම් ගෙන නැත.

Editors Note

K.M.M.B. Kulatunga, the retired Supreme Court judge named here, was the Constitutional
Council’s choice to chair the Bribery Commission. Mangala Samaraweera, who later campaigned
for the independent commissions, is described as having advised the president to disregard
the amendment while he was still in her government.