දෙමළ කැරැල්ලක් ආවේ ඇයි? සිංහලයින් ද ආපසු හැරී බැලිය යුතුය

April 12, 2009
Publication:
Having asked where the Tamil struggle went wrong, Ivan turns the question on his own community. He puts the direct cost of the war to 1998 alone at 423 billion rupees and traces the language question from the cross-party agreement of the early fifties — broken when Sir John Kotelawala promised parity in Jaffna and the backlash swept both major parties into Sinhala Only — through Bandaranaike's twenty-four-hour pledge, the fast of F.R. Jayasuriya, the unimplemented Tamil Language Act and standardisation.

එල්ටීටීඊය ලබා ඇති පරාජය ඉදිරියේ දෙමළ ජනතාව පමණක් නොව, සිංහල ජනතාව ද ආපසු හැරී බැලීමකට යා යුතුය. මේ මොහොතේ එල්ටීටීඊය පරාජය කිරීමට නොහැකි වී නම්, ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දියේ ප්‍රමාණය කොතරම් විශාල වන්නට ඉඩ තිබුණේද යන්න ආරක්ෂක හමුදාව අතට පත්ව තිබෙන අවි ආයුධවල ප්‍රමාණය හා ඒවාහි ස්වභාවය අනුව ද, යුද්ධ යටිතල පහසුකම්වල ස්වභාවය අනුවද සිතාගත හැකිය. එල්ටීටීඊය පරාජය කරන්නට අවුරුදු විසිපහක් යුද්ධ කරන්නට සිදුවිය. ඒ වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද මිල කොතරම් විශාලද? කොතරම් ජීවිත සංඛ්‍යාවක් විනාශ වන්නට ඇත්ද? කොතරම් දේපළ සංඛ්‍යාවක් විනාශ වන්නට ඇත්ද? ඒ නිසා නිෂ්පාදනයේ ඇතිවූ විනාශයේ වටිනාකම කොපමණ වන්නට ඇත්ද? සමස්ත යුද්ධය වෙනුවෙන් දරන්නට සිදුවී ඇති වියදම කොතරම් විශාල වන්නට ඇතිද?

යුද්ධයේ මිල

මෙම විෂය පිළිබඳව මාර්ග ආයතනය කර තිබෙන අධ්‍යයනයකට අනුව, යුද්ධය සඳහා කර තිබෙන ඍජු වියදම, දේපළවලට සිදුවී තිබෙන හානියේ වටිනාකම හා අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ගිය වියදම යන වියදම්වල එකතුව 1998 දක්වා පමණක් රුපියල් බිලියන 423ක් හෙවත් රුපියල් කෝටි 42,300කි. ඒ යුද්ධයේ 13 වසරක් සඳහා පමණය. ඊළඟ 11 වසර සඳහා ඒ හා සමාන වියදමක් වැය කළේයැ”යි උපකල්පනය කළහොත් එය රුපියල් බිලියන 846කි. රුපියල් කෝටි 84,600කි. මීට අහිමි වූ මිනිස් ජීවිතවල වටිනාකම, ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි ඇති කරන ලද හානිකර බලපෑම නිසා අහිමි වූ ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම ඇතුළත් කොට නැත. මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රමාණය සමග සසඳන විට අතිවිශාල මිලක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ වියදම ආණ්ඩුව විසින් මහජනයාට ලබාදෙන සේවාවන් හා රටේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස යොදා ගැනීමට හැකිවී නම් නිසැක වශයෙන්ම ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දියුණුම රටක් බවට පත්කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

මෙම අර්බුදයේදී රටක් වශයෙන් අපට මේ සා විශාල වන්දියක් ගෙවන්නට සිදුවූයේ ඇයි? මීට වඩා අඩු වියදමකින් මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ හැකියාවක් නොතිබුණේද? ඊට වගකිවයුත්තේ කවුද? මෙම ප්‍රශ්නය ඇති කිරීම කෙරෙහි දෙමළ නායකයන් අතර පැවති බෙදුම්වාදී හැඟීම් බලපෑවා විය හැකිය. එහෙත් එම තත්ත්වය උග්‍ර කිරීමට සිංහල නායකයන්ගේ අවස්ථාවාදී ක්‍රියාමාර්ග බලනොපෑවේද? ඔවුන්ගේ එම අවස්ථාවාදී ක්‍රියාමාර්ග කෙරෙහි සිංහල ජනමතය වැදගත් සාධකයක් ලෙස බලනොපෑවේද?

වැරදුණේ කොතැනද?

සිංහලයන්ගේ පැත්තෙන් දෙමළ ජනතාවට කරන ලද පළමු හා ලොකුම අයුක්තිය ලෙස සැලකිය හැක්කේ සිංහල රාජ්‍ය භාෂා පනත යටතේ ඔවුන්ට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබුණු අයිතිය අහිමි කිරීමය. නිදහස ලබන්නට පෙර හා නිදහස ලැබීමෙන් පසු 1956 දක්වා යොදාගත යුතු භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව සියලු දේශීය නායකයන් ඇති කරගත් පොදු එකඟතාවක් තිබුණි. එනම් රටේ රාජ්‍ය භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාවට ලැබී තිබුණු තැන ඉවත් කොට ඒ තැන දේශීය භාෂාවන් ලෙස සැලකුණු සිංහල හා දෙමළ භාෂාවන්ට ලබාදීමය. රාජ්‍ය සේවා විභාගය වෙනස් කළයුතු ආකාරය පිළිබඳව ඒ වනවිට ද ප්‍රකාශ වූ ප්‍රතිපත්තියක් රටට තිබුණි. ඒ අනුව මධ්‍යම ලිපිකාර සේවා විභාගය 1954දී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වීමටත්, 1962 පටන් සිංහල හා දෙමළ යන භාෂා දෙකින් පමණක් පැවැත්වීමටත් නියම කරගෙන තිබුණි.

එම නියමයන් ඇති කරගෙන තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ සියලුදෙනාගේ පොදු එකඟතාවකින් යුතුවය. මෙම පොදු ප්‍රතිපත්තියෙන් දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක (එජාප හා ශ්‍රීලනිප) ඉවත් කිරීමට හේතුවන සිංහල භාෂා රලවේගයක් ඇතිවන්නේ අගමැති සර් ජෝන් කොතලාවල 1954 සැප්තැම්බර් 30 වැනිදා යාපනේ කළ සංචාරයකදී කරන ලද ප්‍රකාශයක් නිසාය. ඔහු එහිදී සිංහල හා දෙමළ භාෂා යන දෙකටම සමාන තත්ත්වයක් ලබාදීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කරන බව ප්‍රකාශ කළේය. සර් ජෝන් කොතලාවලගේ මෙම ප්‍රකාශයට එරෙහිව සිංහල ජනතාව අතරින් මතුවූ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයේ බලපෑමට හසුවී ශ්‍රීලනිප පමණක් නොව, එජාපය ද තමන් එතෙක් ප්‍රකාශ කර තිබූ භාෂා ප්‍රතිපත්තියෙන් ඉවත් වී සිංහල පමණක් ප්‍රතිපත්තිය පිළිගන්නා පක්ෂ බවට පත්විය. වාමාංශික පක්ෂ දෙක (සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය) පමණක් සම තත්ත්ව යන ප්‍රතිපත්තියේ රැඳී සිටියේය.

සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරුවීම

සිංහල පමණක් ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි උද්ඝෝෂකයන්ට සිය ස්ථාවරය යුක්තිසහගත කිරීම සඳහා වන බලවත් තර්කයක් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට ද ලබාදී තිබුණි. විශ්‍රාමලත් අග්‍රවිනිශ්චයකාරවරයෙකු වූ සර් ආතර් විජේවර්ධනගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිෂන් සභාව රාජ්‍ය භාෂා දෙකක් වෙනුවට එකක්, එනම් සිංහල භාෂාව පිළිගැනීම උචිත බව ප්‍රකාශ කර තිබුණි. ප්‍රධාන පක්ෂ දෙකම සිංහල භාෂා සෙන්කෝලය තමන්ගේ අතට ගත් කල, සිංහල භාෂා ප්‍රේමීන්ගේ නායකයා බවට පත්වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය. තමා මැතිවරණයෙන් ජයගතහොත් පැය 24කින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට බණ්ඩාරනායක ජනතාවට පොරොන්දු වූයේය. බණ්ඩාරනායක මැතිවරණයේ ජයග්‍රාහකයා වීමෙන් පසුව පැය 24 පොරොන්දුව වචනාර්ථයෙන් ගෙන එම පරිවර්තනය වහා සිදු කරන ලෙස මහජන එක්සත් පෙරමුණේ ආධාරකරුවෝ ඔහුට බලකරන්නට වූහ.

අගමැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් සිංහල පමණක් පනත කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කළේය. අගමැති බණ්ඩාරනායක එම කමිටුවේ සභාපති ලෙස ක්‍රියා කළේය. කමිටුව විසින් සකස් කරන ලද කෙටුම්පත වගන්ති හයකින් යුක්ත විය. ඉන් පළමු වගන්තියෙන් දිවයිනේ එකම රාජ්‍ය භාෂාව වශයෙන් සිංහල භාෂාවට හිමි තත්ත්වය විස්තර කොට තිබුණි. සෙසු වගන්තිවලින් සමහරක් දෙමළ හා ඉංග්‍රීසි භාෂාවේ භාවිතයට අදාළ ඒවා විය. පස්වැනි වගන්තියෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට පළාත් පාලන බලමණ්ඩලවලට අවසර ලබාදෙන විධිවිධාන ද 6 වැනි වගන්තියෙන් 1960 ජනවාරි 1 වැනිදා තෙක් රටේ සාමාන්‍ය පරිපාලනයේදී සිංහල භාෂාවට අතිරේකව දෙමළ හා ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට අනුමැතිය ලබාදෙන විධිවිධාන ද ඇතුළත් විය.

අන්තවාදය

සිංහල භාෂාවෙන් වැඩ කිරීමට අවශ්‍ය භාෂා දැනුම නැති අයට සිංහල භාෂාවට මාරුවීමට සාධාරණ කාලයක් ලබාදීම අවශ්‍යවූවා සේම එය යුක්තිසහගත ද විය. එහෙත් සිංහල භාෂාප්‍රේමීන් එය දැක්කේ පිළිගත් සිංහල පමණක් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමක් හෝ පාවාදීමක් ලෙසය. සිංහල පමණක් ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි මතධාරීන් මෙම තත්ත්වයට එරෙහිව විරෝධය පළකරන්නට වූ අතර, ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ එෆ්.ආර්. ජයසූරිය කෙටුම්පත් පනතට විරෝධය පළකරමින් 1956 මැයි 24 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රමය තුළම මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. එම උපවාසයට සිංහල භාෂා ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයකු වන එල්.එච්. මෙත්තානන්ද හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ කේ.එම්.පී. රාජරත්නද ආධාර කළේය. උපවාසය අත්හැරීමට අගමැතිවරයා එෆ්.ආර්. ජයසූරිය කැමති කරගත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අමතා කතා කිරීමට ජයසූරියට ඉක්මන් අවස්ථාවක් ලබාදීමට පොරොන්දු වෙමිනි.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ජයසූරිය කරන ලද කතාවෙන් පසුව රාජ්‍ය භාෂා කෙටුම්පතට ඇතුළත්ව තිබූ සුළු ජාතීන්ට සහන ලබාදෙන සියලුම වගන්ති කපාහැරීමට ආණ්ඩු පක්ෂය එකඟ විය. අගමැතිවරයා ඒ නිසා ඇතිවිය හැකි අවාසනාවන්ත තත්ත්වය ගැන සිය මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කරන තැනකට ගියේ නැත. සිංහල භාෂාවෙන් වැඩ කිරීමට නොදන්නා අයට සිංහල භාෂාව ඉගෙන ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොදී වහාම සිංහල භාෂාවෙන් වැඩ කරන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නයවත් එහිදී සලකා නොබැලිණි. එහිදී අනුගමනය කෙරුණු අන්තවාදී ප්‍රතිපත්තිය දෙමළ ජනතාව කුපිත කිරීමට හේතුවිය.

බණ්ඩාරනායක භූමිකාව

අවසානයේ සිංහල පමණක් පනත විවාදයට ගැනුණේ ඊට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල පෙඩරල් පක්ෂය සංවිධානය කළ හර්තාල් ව්‍යාපාරයක් මැද්දේය. ගාලුමුවදොර පිටියේ ද දෙමළ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර, ඊට එරෙහිව එල්.එච්. මෙත්තානන්ද කැඳවන ලද සිංහල ප්‍රතිවිරෝධතා ව්‍යාපාරයක් නිසා අවසානයේ දෙමළ සත්‍යග්‍රහකරුවන්ට සිංහල ප්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ අනුගාමිකයන් අතින් පහර කන්නට ද සිදුවිය. වාසනාවකට එහිදී ඇතිවූ පහරදීම් නිසා සමහර දෙමළ සත්‍යග්‍රහකරුවන්ට තුවාල සිදුවූවා මිස කිසිවකු මැරුම් කෑවේ නැත. තමා බලයට පත් කළ සිංහල බලවේගයන්ගේ සතුටට හේතුවන ලෙස සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත්තද එය දෙමළ බලවේගයන්ගේ දැඩි විරෝධයට හේතුවිය. නිදහසේ දහවැනි සංවත්සරය පැවති 1957 පෙබරවාරි 04 වැනි දින උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ බහුතරයක් සිටින නගරවල සංවිධානය කළ විරෝධතා ව්‍යාපාර නිසා ඒ දිනයේ එම ප්‍රදේශවල සිවිල් පාලනය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවිය.

අප්‍රේල් 17, 18 සහ 19 යන දිනවල පෙඩරල් පක්ෂය සිය හතරවැනි සම්මේලනය පවත්වන ලද්දේ ත්‍රිකුණාමලයේදීය. යාපනේ මඩකළපුව හා මන්නාරම යන නගරවලින් පාක්ෂිකයන් සම්මේලනයට ආවේ පයින් පෙරහැරවල ස්වරූපයකිනි. එහිදී සම්මත කරගන්නා ලද යෝජනාවකින් පෙඩරල් පක්ෂය කියා සිටියේ රටේ නිල භාෂාව වශයෙන් දෙමළ භාෂාවට ද නිසි තැනක් ලබාදිය යුතු බවත්, දෙමළ භාෂා ඒකකයක් සහිත පෙඩරල් ආණ්ඩුවක් සඳහා නව ව්‍යවස්ථාවක් ඇති කළයුතු බවත්, පුරවැසි අයිතිවාසිකම් අහිමි කර ඇති සියලුදෙනාට පුරවැසිකම් ලබාදිය යුතු බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනපද පිහිටුවීම අත්හිටවියයුතු බවත්ය. මෙම ඉල්ලීම් 1957 අගෝස්තු 30 වැනිදාට පෙර ලබා නොදෙන්නේ නම්, ඒවා ලබාගැනීම සඳහා සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් දියත් කරන බවත්ය. අගමැති බණ්ඩාරනායක නැගී එන දෙමළ ආවේගයන් පාලනය කිරීමේ අරමුණින් 1957 මැයි 17 වැනිදා රට සභා පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ පළ කළේය.

රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී පළාත් පාලන ඇමතිවරයාව සිටියදී (1936-47) බණ්ඩාරනායක රට සභා ක්‍රමයක් ගැන කතාකර තිබුණි. එය බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත සභා ආදර්ශයට ගෙන නිර්මාණය කරන ලද්දකි. රටේ පැවති පළාත් පාලන ක්‍රමය විධිමත් ලෙස විමධ්‍යගතකරණයකට හා ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක්කිරීම මගින් ඒවාට විධිමත් ආයතනික ස්වරූපයක් ලබාදීම එහි අරමුණ විය. අගමැතිවරයා 1957 මැයි 30 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරන ලද්දේ රට සභා ගැන කතා කිරීමට වුවත්, දෙමළ නායකයන් තුළ අලුත් බලාපොරොත්තු ඇති කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.

මහජනතාව මුලා කිරීම

අපගේ පක්ෂය බැඳී සිටින ප්‍රතිපත්තියක් වූ දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය ද ඇතුළුව සමස්ත කරුණු මේ පනතට ඇතුළත් කිරීමට දුෂ්කරවීම නිසා එසේ නොකළ බවත්, එහෙත් භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ තමා වෙත නිසා අගතියක් ඇතිවීම පිළිබඳ බියක් ඇති කර නොගත යුතු බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය. තමන් අතින් දෙමළ ජනතාවට බරපතළ වරදක් සිදුවී තිබෙන බව අගමැති බණ්ඩාරනායක දැන සිටියේය. අනෙක් අතට රාජ්‍ය භාෂා පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයක් නොතිබුණු බවත් එය හුදෙක් සිංහල ජනතාව සතුටු කිරීම සඳහා කරන ලද බොරුවක් බවත් ඔහු දැන සිටියේය. සිංහල භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාවක් නොතිබූ අයට වහාම ක්‍රියාත්මක වන පරිදි සිංහල භාෂාවට මාරුවීමේ ඇත්ත හැකියාව නොතිබුණි. මුළුමනින් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්ට වහාම ඒ විභාග සිංහල භාෂාවෙන් කිරීමේ හැකියාවක් ද නොතිබුණි.

අනෙක් අතට මුළුමනින් ඉංග්‍රීසි භාෂාවෙත් ක්‍රියාත්මක වූ නීතියේදී වැදගත් කිසිවක් සිංහල භාෂාවට නගා නොතිබුණු තත්ත්වයක් තුළ අර්ථනිරූපණ හෝ නීති තර්ක සිංහල භාෂාවෙන් සලකා බැලීමේ හැකියාවක් අධිකරණයට නොතිබුණි. සිංහල භාෂාප්‍රේමීන් සතුටු කිරීම සඳහා පරිවර්තනයන් සඳහා අවශ්‍ය විධිවිධානවලින් තොරව භාෂා පනත සම්මත කරගැනීමට ඉඩ හැරියද ඒ නිසා ඇතිවන්නට නියමිතව තිබුණු අවුල්සහගත තත්ත්වයේ බරපතළකම බණ්ඩාරනායක දැන සිටියේය. ඒ තත්ත්වය ජයගැනීම සඳහා ඔහු කළේ පෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් සමග ගිවිසුමකට ඒමය. එය සිංහල භාෂාප්‍රේමීන්ගේ කෝපයට හේතුවූ අතර, ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියාකළ එජාපය ද ගිවිසුමෙන් දෙමළුන්ට රට පාවාදී ඇතැ”යි කියමින් රට ගිනි තැබුවේය. අවසානයේ බණ්ඩාරනායක බලයට ගෙන ඒම සඳහා ප්‍රධාන යාන්ත්‍රණය ලෙස ක්‍රියාකළ එක්සත් භික්ෂු බලමණ්ඩලයෙන් එල්ල වූ විරෝධය හමුවේ චෙල්වනායගම් සමග ඇති කරගත් ගිවිසුම අගමැතිවරයා ඒකපාක්ෂිකව අහෝසි කළේය.

එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ජාතිවාදී කෝලාහලයකින් රට වෙලා ගැනීමය. අගමැතිවරයා පෙඩරල් නායකයන් පමණක් නොව, කේ.එම්.පී. රාජරත්න ද නිවාස අඩස්සියට ගෙන හදිසි නීතිය තිබියදීම දෙමළ විශේෂ විධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය සම්මත කරගත්තේය. පුදුමයකට මෙන් මෙම පනතට ඇතුළත්ව තිබුණේ එෆ්.ආර්. ජයසූරියගේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා කරන ලද කතාවෙන් පසුව රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතෙන් ඉවත් කරගන්නා ලද සුළු ජාතියට සහන සලසන විධිවිධානය. එදා ජයසූරිය කතාවෙන් පසුව පාර්ලිමේන්තු කණ්ඩායම අමතා මේ තත්ත්වය පහදාදීමට අවශ්‍ය ධෛර්යය අගමැතිවරයාට තිබුණේ නම් මෙම සමස්ත ක්‍රියාදාමය ප්‍රහසනයක් නොවන්නට ඉඩ තිබුණි.

බණ්ඩාරනායක ඝාතනය

අවසානයේ අගමැති බණ්ඩාරනායක ද එක්සත් භික්ෂු බලමණ්ඩලයේ ප්‍රමුඛ නායක භික්ෂුවක විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් ඝාතනයට ලක්විය. අගමැතිවරයාට වෙඩි තබන ලද්දේද භික්ෂුවක විසිනි. අගමැතිවරයා තමන් බලයට පත් කළ සමාජ බලවේගය හඳුන්වන ලද්දේ පංච මහා බලවේගය වශයෙනි. එය සමන්විත වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සමාජ සංරචක පහෙනි. බණ්ඩාරනායකට වෙඩි තැබූ භික්ෂුව එකවිට ඉන් සංරචක හතරක් (සඟ, වෙද, ගුරු හා ගොවි) නියෝජනය කළ පුද්ගලයෙක් විය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව හෝ එම අභාවවාචක අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන ගැනීමට සිංහල නායකයෝ අසමත් වූහ. එළඹෙන ඊළඟ යුගයේ දක්නට ලැබෙන අවලස්සණම දේ ලෙස සැලකිය හැක්කේ බලයට පත්වන පාලක පක්ෂවලට බලය පවත්වාගෙන යාමට අවශ්‍ය තරමේ බලයක් නැතිවිට සහන ලබාදීමේ පොරොන්දුව මත දෙමළ නායකයන්ගේ සහාය ලබාගැනීම හා තනිව ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය තරම් බලය ඇති විට දෙමළ විරෝධී ස්ථාවරයක පිහිටා ක්‍රියාකිරීමය.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව පැවති 1960 මාර්තු මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් බලයක් ලබාගත නොහැකි විය. එසේ තිබියදීත්, ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඩඩ්ලි සේනානායකට ආරාධනා කළේය. ඩඩ්ලිට පෙඩරල් පක්ෂයේ සහාය ලබාගැනීමට හැකිවනු ඇතැ”යි ආණ්ඩුකාරවරයා විශ්වාස කළ බව පෙනේ. පෙඩරල් පක්ෂයේ සහාය ලබාගැනීමට ඩඩ්ලි දරන ලද උත්සාහය අසාර්ථක වූ අතර, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට අනුකූලව ක්‍රියාකරන්නට ශ්‍රීලනිප නායකයන් එකඟවීම නිසා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට ආධාර කිරිමට චෙල්වනායගම් එකඟ විය. චෙල්වනායගම් ආණ්ඩුකාරවරයා හමුවන්නට ගොස් ඒ බව දැනුම් දුන්නද ශ්‍රීලනිපයට පෙඩරල් පක්ෂය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ නොදී මැතිවරණයක් සඳහා ආණ්ඩුකාරවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.

දෙමළ හඬට කන් නොදීම

ශ්‍රීලනිප 1960 ජූලි මැතිවරණය සඳහා ප්‍රකාශ කළ මැතිවරණ ප්‍රකාශයෙන් සිංහල රාජ්‍ය භාෂා නීතිය ක්‍රියාත්මක කරන අතර, දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට අවශ්‍ය විධිවිධාන ඇති කරන බවට සහතික විය. එහෙත් 1960 ජූලි මැතිවරණයෙන් තනිවම ආණ්ඩුවක් ගෙනයෑමට අවශ්‍ය තරම් ආසන සංඛ්‍යාවක් ශ්‍රීලනිපයට හිමිවිය. ඒ නිසා පෙඩරල් පක්ෂයේ සහයෝගය ලබාගැනීමක් අවශ්‍ය නොවීය. එසේ වුවත් මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත්ව තිබූ එම සහනශීලී ප්‍රතිපත්තිය හා ආණ්ඩුවේ රාජාසන කතාව භාෂා තුනෙන්ම ප්‍රකාශ කිරීම නිසා සුළු ජාතිකයන් එම ආණ්ඩුව කෙරෙහි බලාපොරොත්තු ඇති කරගත් තත්ත්වයක සිටියේය. එහෙත් ශ්‍රීලනිප ආණ්ඩුව දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඇති අයිතිය නොසලකා, 1961 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල භාෂාව රටේ පරිපාලන භාෂාව ලෙස ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීම නිසා පෙඩරල් පක්ෂය ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තියට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සත්‍යග්‍රහ කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය අතර, මාසයක කාලයක් ගතවීමෙන් පසු එම සත්‍යග්‍රහ ව්‍යාපාරය සිවිල් නීති කඩන ව්‍යාපාරයක් බවටත් පත් කරන ලදි.

ආණ්ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපාන ලෙස ඇඳිරි නීතිය පනවා උතුරු නැගෙනහිර දෙමළ දිස්ත්‍රික්ක පහකට හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් පත් කොට පෙඩරල් පක්ෂය තහනම් කොට පෙඩරල් නායකයන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් දින 170ක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තබා ගන්නා ලදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සමග සිංහල රාජ්‍ය භාෂා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන තැනකට ගියේය. ඒ අනුව 1963 සැප්තැම්බර් මාසයට පසුව සේවයේ රැඳී සිටීමට කැමති රජයේ සේවකයන් තමන්ගේ උසස්වීම් හා වැටුප් වර්ධක සඳහා සිංහල භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමත්වීම අනිවාර්ය විය. සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කිරීමෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රාජ්‍ය සේවකයෝ ද වසර තුනක් තුළදී සිංහල ප්‍රවීණතා පරීක්ෂණයෙන් සමත්විය යුතු වූහ. පරීක්ෂණයෙන් සමත් නොවන රාජ්‍ය සේවකයෝ 1964 සිට විශ්‍රාම යායුතු වූහ.

සිංහල ප්‍රවීණතා විභාගයෙන් සමත්වීමට අසමත් වූ දෙමළ ලිපිකරුවකු වූ චෙල්ලයියා කොඩේශ්වරන් තමන්ගේ වැටුප් වර්ධක නතර කිරීමට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තියට සිංහල රාජ්‍ය භාෂා පනත පටහැනි බවට ඔහුගේ නීතිඥයෝ තර්ක කළෝය. නඩුව විභාග කළ දිසා විනිසුරු ක්‍රෙස්ටර්, කෝඩේශ්වරන්ට හිමි වැටුප් වර්ධක ගෙවන ලෙස ආණ්ඩුවට නියම කළේය. නීතිපති එම තීන්දුව අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේය. අභියාචනාධිකරණය තීන්දුව අහෝසි කරනු ලැබුවත් අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව පෙඩරල් පක්ෂය ප්‍රීවි කවුන්සිලයට ගියේය. මේ අතර 1964 ජූලිවලදී සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා ආණ්ඩුවට එක්වීම නිසා සභාග ආණ්ඩුවක් ඇතිවූ අතර, එම ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවක් මගින් පෙරළා දැමීමේ ක්‍රියාවලියට පෙඩරල් පක්ෂය උනන්දුවෙන් දායක විය. ඉන්පසු 1965 මාර්තුවලදී පැවති මැතිවරණයෙන් ශ්‍රීලනිපයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට එජාප සමත්වුවත් ලබාගත් ආසන 66 ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවීය.

ඒ නිසා එම පක්ෂය ආසන 14ක් දිනාගෙන සිටි පෙඩරල් පක්ෂයේ සහාය ලබාගැනීම සඳහා සාකච්ඡා කළේය. ශ්‍රීලනිපයද ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පෙඩරල් පක්ෂයේ සහාය ලබාගැනීමට උත්සාහ කළේය. ඩඩ්ලි සේනානායක, චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇති කරගනිමින් පෙඩරල් පක්ෂය ඇතුළත් වන ලෙස සභාග ආණ්ඩුවක් ඇති කර ගත්තේය. 1950න් පසු දෙමළ නියෝජිතයකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගනු ලැබූ පළමු අවස්ථාව ද එයවිය.

දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත

බණ්ඩාරනායකගේ දෙමළ භාෂා (විශේෂ විධාන) පනත හෙවත් 1958 අංක 28 දරන පනත නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග සකස් කළ යුතුව තිබුණි. එය බණ්ඩාරනායක ඝාතනය නිසා සම්පූර්ණ නොවූ අතර, ඉන්පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක් අතින්ම අතපසුවූ ක්‍රියාවක් වූ අතර, පෙඩරල් පක්ෂයේ ඉල්ලීම මත එම නියෝග ඇතුළත් පනත් කෙටුම්පතක් (1966 ද්‍රවිඩ භාෂා විශේෂ විධිවිධාන රෙගුලාසි) ඉදිරියට ගෙනා අවස්ථාවේදී ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් විරුද්ධ පක්ෂ අවුල එම රෙගුලාසිවලට එරෙහිව ජාතිවාදී ස්වරයකින් නැගී සිටියේය. එම රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේදී (1966 ජනවාරි 8) ඊට එරෙහිව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවි උද්‍යානයේ විහාරමහාදේවි පිළිමය අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලද අතර, උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු භූමිය වෙත පෙළපාලියෙන් ඒමට දරන ලද උත්සාහයන් වැළකීමට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මරණයට පත්විය.

ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම යටතේ ඇතිකර ගන්නට නියමිතව තිබූ දිස්ත්‍රික් සභා පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් පසු එම කෙටුම්පත ධවල පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීද (1968 ජූනි) එය දෙමළුන්ට රට පාවාදීමට දරන උත්සාහයක් ලෙස හඳුන්වා විරුද්ධ පක්ෂ හවුල බලවත් ලෙස ඊට එරෙහිව නැගී සිටීම නිසා ඒ වැඩපිළිවෙල ද අත්හැර දමන්නට එම ආණ්ඩුවට සිදුවිය. සිංහල භාෂා ප්‍රවීණතා කඩඉමේදී දෙමළ රාජ්‍ය සේවකයන්ට මුහුණ දෙන්නට සිදුවී තිබුණු දුෂ්කරතා සලකා ඩඩ්ලි සේනානායක ආණ්ඩුව භාෂා ප්‍රවීණතා පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර මට්ටමේ සිට කනිෂ්ඨ පාඨශාලා මට්ටම දක්වා පහත හෙළන ලදි.

සමගි පෙරමුණු ආණ්ඩුව

ඉන්පසු බලයට එන ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ ක්‍රියාවලිය තුළ තමන්ගේ දුක්ගැනවිලිවලට ව්‍යවස්ථාමය විසඳුම් ලබාගැනීමට දෙමළ දේශපාලන පක්ෂ උත්සාහ කළේය. ඔවුන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත කරුණු 6ක සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබුවත්, එම කරුණ සලකා බැලීම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ ක්‍රියාදාමයෙන් ඔවුන් ඉවත් විය. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරගැනීමෙන් පසුව සියලු දෙමළ දේශපාලන පක්ෂ 1972 මැයි 14 වැනිදා ත්‍රිකුණාමලයේදී රැස්වී ද්‍රවිඩ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තේය. නව ජනරජ ව්‍යවස්ථාවට විරෝධය පළකිරීම සඳහා 1972 ඔක්තෝබර් 2 වන දින දෙමළ එක්සත් පෙරමුණ උතුරු නැගෙනහිර පළාත්වල එක් දින හර්තාලයක් පවත්වන ලදි.

එදිනම චෙල්වනායගම් සිය පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස්වී නව ව්‍යවස්ථාවට දෙමළ ජනතාව අතර තිබෙන පිළිගැනීමේ තරම දැනගැනීම සඳහා අතුරු මැතිවරණය සඳහා තමාට එරෙහිව අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස රජයට අභියෝග කළේය. එහෙත් හිස්වූ එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් පවත්වන ලද්දේ 1975 ජනවාරි මාසයේය. එම අතුරු මැතිවරණයෙන් චෙල්වනායගම් වැඩි ඡන්ද 16,000කින් ජයගත් අතර, එය දෙමළ රාජ්‍යයක් සඳහා ලැබුණු ජනවරමක් ලෙස ඔහු හඳුන්වන ලදි. 1976 මැයි 14 වැනි දින වඩුක්කොඩෙහි පවත්වන ලද ද්‍රවිඩ එක්සත් පෙරමුණේ පළමු ජාතික සම්මේලනයේදී එම පෙරමුණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වශයෙන් නම් කරගනිමින් පළමුවරට වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගතයුතු බවට යෝජනා සම්මත කරගත්තේය. සිංහල ප්‍රදේශවලදී සිංහල ජනතාවට ප්‍රධාන කොට සිංහල භාෂාවෙන් ද, දෙමළ ප්‍රදේශවලදී දෙමළ ජනතාවට ප්‍රධාන කොට දෙමළ භාෂාවෙන් ද, මිශ්‍ර ජනගහනයක් ඇති ප්‍රදේශවලදී එම භාෂා දෙකෙන්ද ගනුදෙනු කළහැකි භාෂා ප්‍රතිපත්තියක් ඇති කරගත්තේ නම් මෙම ගැටුම මෙවැනි අප්‍රසන්න තත්ත්වයකට වර්ධනය නොවන්නට ඉඩ තිබුණි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන ප්‍රතිපත්තියක් ඇති කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වී නම් ඒ යටතේ පවා දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩ දෙන ප්‍රතිපත්තියක් ඇති කළේ නම් එහිදීද මෙම ගැටුම මෙතරම් දුරදිග නොයන්නට ඉඩ තිබුණි.

රැකියා කෙරෙහි ඇති කරන ලද බලපෑම

එහෙත් සිංහල රාජ්‍ය භාෂාව කරන ලද්දේ දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියකට ඉඩ නොලැබෙන ආකාරයටය. එහිදී අඩුම වශයෙන් රාජ්‍ය භාෂාවට මාරුවීමට සාධාරණ කාලවකවානුවක්වත් ලබා නුදුන්නේය. ගැටුම් ඇතිවීමෙන් පසු දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චියට ඉඩදෙන විධිවිධාන ඇති කළ ද දශකයක් යන තෙක් එම තත්ත්වය ප්‍රායෝගික කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි පැනවීමක් සිදු නොවීය. අවශ්‍ය රෙගුලාසි පැනවීමෙන් පසුව පවා දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් තරම් පහසුකම් ඇති කිරීමට අසමත් විය. සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය සේවයේ නියුතු දෙමළ ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් රාජ්‍ය සේවයෙන් පලවා හැරීමට හේතුවූ අතර, නැවත එම ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට රාජ්‍ය සේවයට අලුතෙන් එකතුවීමට තිබෙන ඉඩ ද සීමා කළේය. බ්‍රිතාන්‍ය යුගයෙන් ආරම්භ වන යටත්විජිතවාදී ධනපති ක්‍රමය යටතේ පහතරට සිංහල ජනතාවට දියුණුවීමට නව ආර්ථික ඉඩ ප්‍රස්ථා ලබාදෙන විට ධනපති ක්‍රමයේ දියුණුව අඩුවෙන්ම බලපෑ උතුරේ දෙමළ ජනතාව දියුණුවීමට තෝරාගත් ප්‍රධාන මාර්ගය අධ්‍යාපනය විය.

එය දියුණුවීමට ඔවුන්ට විවර වී තිබූ එකම මාර්ගය ලෙසද සැලකිය හැකිය. ඒ යුගයේ පහතරට සිංහල ජනයා වෙළෙඳාම, ප්‍රවාහනය, රේන්ද කර්මාන්තය, මිනිරන් කර්මාන්තය, වතු වගාව වැනි මාර්ග ප්‍රයෝජනයට ගනිමින් දියුණුව කරා යන විට යාපනේ දෙමළ ජනයා තමන්ට දියුණුවීමට තිබුණු එකම මාර්ගය වන අධ්‍යාපනය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් දියුණුව කරා ගමන් ගත්තේය. ඉංග්‍රීසි අධ්‍යාපනයේදී යාපනයේ දෙමළ ජනයා දකුණේ සිංහල ජනයාට වඩා ඉදිරියෙන් සිටියේය. අධ්‍යාපනය කෙරෙහි දක්වන උනන්දුවේදීද ඔවුන් දකුණේ අයට වඩා ඉදිරියෙන් සිටියේය. තම පුතා රජයේ සේවකයෙකු කිරීම එකල යාපනේ දෙමාපියන්ගේ ලොකුම පැතුම විය. එකල මලයාවේ හා ලංකාවේ රාජ්‍ය සේවය සඳහා පුද්ගලයන් නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය වී තිබුණේ යාපනයයි. නිදහස ලැබෙන අවස්ථාව වන විට රාජ්‍ය සේවයේ දෙමළ සහභාගිත්වය ඔහුගේ ජන අනුපාතික මට්ටමට වඩා ඉතාමත් ඉහළ මට්ටමක තිබුණි.

සිවිල් සේවය තුළ සිටි දමිළයන් සිංහලයන් මෙන් භාගයක් පමණක් වූ අතර, වෛද්‍ය සේවය තුළ ඒ ප්‍රමාණය ඊටත් වැඩිවිය. අධිකරණ සේවය තුළ සිංහල සහභාගිත්වය 49%ක් වන විට දෙමළ සහභාගිත්වය 25%ක් විය. 1956 ඇති කළ භාෂා ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය සේවයේ දෙමළ සහභාගිත්වයේ ශීඝ්‍ර පහත වැටීමක් සිදුවිය. 1956 සිට 1970 දක්වා කාලය තුළ පරිපාලන සේවයේ දෙමළ සහභාගිත්වය 30% සිට 5% දක්වාත් රජයේ ලිපිකරු සේවයේ දෙමළ සහභාගිත්වය 50% සිට 5% දක්වාත් පහත වැටුණි.

ප්‍රමිතිකරණය

සිංහල භාෂා ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට රාජ්‍ය සේවයට එකතුවීමට තිබෙන ඉඩ අහුරන විට ඒ නිසා ඇතිවූ දැඩි කලකිරීම විඳ දරා ගනිමින් දෙමළ දෙමාපියන් කළේ සිය දරුවන්ගේ උසස් අධ්‍යාපනයේදී වැඩි වැඩියෙන් වෘත්තීය හා විද්‍යා පාඨමාලාවට යොමු කිරීමය. උසස් අධ්‍යාපනයේ යෙදෙන දෙමළ තරුණ පරපුර රජයේ පරිපාලන සේවයකු වීමේ සිහිනය අත්හරිමින් වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු, විද්‍යාඥයන් වැනි උසස් වෘත්තිකයන්වීමට සිහින දකින තැනකට මාරුවී සිටියේය. මේ නිසා විශ්වවිද්‍යාලවල විද්‍යා පාඨමාලා සඳහා වන දෙමළ සහභාගිත්වය ඉහළ මට්ටමක පැවතුණි. නිදර්ශනයක් වශයෙන් 1964දී විශ්වවිද්‍යාලවල විද්‍යා හා ඉංජිනේරු පාඨමාලා සඳහා වන දෙමළ සහභාගිත්වය 37.2%ක් වූ අතර, වෛද්‍ය හා දන්ත වෛද්‍ය පාඨමාලා සඳහා එය 40.5%ක් ද කෘෂිකර්මය හා පශු වෛද්‍ය පාඨමාලා සඳහා 41.9%ක් ද විය. 1970දී බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ පටිපාටියේ ඇති කළ වෙනස්කම් විශ්වවිද්‍යාලවල වෘත්තීය හා විද්‍යා පාඨමාලා හදාරණ ශිෂ්‍යයන් කෙරෙහි විනාශකාරී ලෙස බලපෑවේය.

1973දී මාධ්‍ය අනුව ප්‍රමිතිකරණයක් (ඵැාස් -අසිැ ීඒබා්රාස“්එසදබ) හඳුන්වා දෙනු ලැබීය. විද්‍යා විෂයයන් හි වැඩි හැකියාවක් පෙන්වනු ලැබූ සිසුන් කලා විෂයයන් කළ සිසුන් සමග මධ්‍යස්ථ තත්ත්වයකට ගෙනඒමක් ඉන් සිදුවිය. ඒනිසා විශ්වවිද්‍යාලවල විද්‍යා විෂයන් සඳහා වන දෙමළ සහභාගිත්වයේ ශීඝ්‍ර පහළ වැටීමක් සිදුවිය. 1971-72 වර්ෂයේදී විශ්වවිද්‍යාලවල විද්‍යා පාඨමාලාවට ඇතුළත් කරගනු ලැබූ දෙමළ ශිෂ්‍ය සංඛ්‍යාව 33.6%ක් වුවත් මෙම ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය නිසා 1973දී එය 29.5% දක්වා පහත වැටුණි. 1974 වසරේදී විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමට ප්‍රමිතිකරණ පිළිවෙතට අතිරේකව දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් ද යොදාගන්නා ලදි. ඒ නිසා මෙම පාඨමාලා සඳහා වන දෙමළ සහභාගිත්වය තවදුරටත් පහත වැටුණේය. 1974දී විද්‍යා පාඨමාලා සඳහා ඇතුළත් කරගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 20.9%ක් විය.

1973දී එය 29.5%ක් ද, 1979 දී 30.3%ක් ද වූයේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යොදා ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය දෙමළ උගත් තරුණ පරපුර ප්‍රකෝප කළේය. සන්නද්ධ අරගලයකින් දිනාගන්නා වෙනම රාජ්‍යයකින් මෙපිට අපට අනාගතයක් නැතැ”යි සිතන තත්ත්වයක් පළමුවෙන්ම ඔවුන්ගේ හදවත්වල ජනිත වූයේ ඒ කාලයේය. ජේ.ආර්. ජයවර්ධන ද මෙම ආරාවුල උග්‍ර කිරීමට දායක වූ නායකයෙකි. එහෙත් අඩුම වශයෙන් මෙම ආරාවුලට සාධාරණ විසඳුමක් දීමේ අවශ්‍යතාව 1977 වන විට ඔහු තේරුම් ගෙන සිටියේය. 77දී ඔහු බලයට පැමිණි වහාම අන් සියල්ලටම ප්‍රථම ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය අහෝසි කළේය. ඒ සමග ඔහු ගොඩනගන දේශපාලන ක්‍රමය ඉතාමත් විනාශකාරී වුවත්, ඔහු එතෙක් පවත්වාගෙන ආ වැරදි භාෂා ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා ක්‍රියා කළේය. එහෙත් ඒ වන විට දෙමළ නායකයන් සිටියේ ජේ.ආර්. ජයවර්ධන ඇති කරන ලද වෙනස්කම් තේරුම්ගත හැකි සන්සුන් මානසිකත්වයක නොවේ.

වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ සිහින ලෝකයකය. එය බංගලිදේශයේ මෙන් ඉන්දියාවේ සහාය ඇතිව දිනාගත හැකි පහසු ඉලක්කයක්වේයැ”යි ඔවුහු විශ්වාස කළෝය. අපගේම රාජ්‍යයක් පහසුවෙන්ම දිනාගැනීමට පුළුවන්කම තිබියදී ඔවුන්ගේ රාජ්‍යයන් තුළ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඉදිරියට තබන ලද අඩිය ආපස්සට ගතයුත්තේ ඇයිදැ”යි ඔවුන් කල්පනා කළා විය හැකිය. ඔවුන් ඇති කරගෙන තිබූ මෙම දැඩි ආකල්පය කෙරෙහි ඔවුන් වෙත පැවති බෙදුම්වාදී ආකල්පය බලපෑවා විය හැකි වුවත්, ඔවුන් එවැනි අන්තවාදී තැනකට තල්ලු කිරීමට සිංහල නායකයන්ගේ ජාතිවාදී හා අවස්ථාවාදී ක්‍රියාකලාපය බලපෑවේය. සරල ලෙස හා පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක් විසඳා ගැනීමට අමාරු සංකීර්ණ ප්‍රශ්නයක් බවට වර්ධනය කළෝ ඔවුහුය. අවසානයේ අවුරුදු 25ක් දිග්ගැස්සුණු යුද්ධයකින් පසුව දෙමළ ඊළාම් අරගළය යුදමය වශයෙන් පරාජය කිරීමට හැකිවී තිබෙන බව සත්‍යයකි.

එහෙත් ඉන් විසඳෙන්නේ ප්‍රශ්නයේ එක් අර්ධයක් පමණය. දෙමළ හදවත්වල ඇතිවී තිබෙන තුවාලවලට ද විසඳුමක් ඉදිරිපත් කළ යුතුය. යුද්ධයක් ජයගැනීමට රණකාමී වීම අවශ්‍ය වුවත්, දෙමළ හදවත්වලට ඇතිවී තිබෙන තුවාලවලට රණකාමය විසඳුමක් වන්නේ නැත. දැන් රණකාමය අත්හැර ආදරයෙන් දයාවෙන් හා කරුණාවෙන් ඔවුන් දෙස බලන ප්‍රතිපත්තියකට මාරුවිය යුතුය. දෙමළ ජනතාවට බරපතළ වැරැද්දක් සිදුවී තිබෙන බව පළමු කොට පිළිගත යුතු අතර, අඩුම වශයෙන් ඒ ගැන අවංකව කනගාටු විය යුතුය. ඊළඟ වැදගත්ම දේ දෙමළ ජනතාව ද දියුණු භාෂාවකට සංස්කෘතියකට හා ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජනතාවක් බව පිළිගැනීමය. ඊළඟ වැදගත්ම දේ ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස සමාන අයිතිවාසිකම් ඇති ජනතාවක් ලෙස එක්සත් ජාතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන් ද උද්යෝගිමත් ලෙස හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමය. ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

Editors Note

The cost estimate is from a study by the Marga Institute. Sir John Kotelawala’s promise of
parity was made in Jaffna on 30 September 1954. F.R. Jayasuriya, a lecturer at the
University of Ceylon, began his fast within the parliamentary precincts on 24 May 1956. Sir
Arthur Wijewardena, a retired chief justice, chaired the Official Language Commission that
recommended a single official language.