එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය

March 22, 2009
Publication:
Ivan argues that the UNP's decline is not Ranil Wickremesinghe's doing but the working of the system the party itself built: J.R. Jayewardene designed a machine that would not change hands, and since 1994 it has kept his party out for fifteen years. Party constitutions mirror the national one — the leader is above the document, as the president is — and the party is caught in a trap of its own making.

එක්සත් ජාතික පක්ෂය රටේ තිබුණු විශාලතම දේශපාලන පක්ෂය වූ අතර, එය ප්‍රධාන කොට රටේ ව්‍යාපාරික පන්තියේ වුවමනා එපාකම් නියෝජනය කළ පක්ෂය ලෙස ද සැලකුණි. එම පක්ෂය තුළ පක්ෂයේ අභ්‍යන්තරික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුල් කරගත් අර්බුදයක් මතුවී තිබුණු අතර, ඊට ගැළපෙන වෙනස්කම් ඇති කරගැනීමට අසමත්වීම හේතු කොටගෙන එම පක්ෂය අභ්‍යන්තර ආරාවුල්වලින් පිරුණු, පරිහානිය කරා යන පක්ෂයක තත්ත්වයට ඇද වැටුණි. එම පක්ෂය අර්බුදයට තල්ලු කිරීමට හේතුවූ ප්‍රධානම සාධකය ලෙස සැලකිය හැක්කේ 1994 රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව එක දිගට අවුරුදු 15ක කාලයක් රාජ්‍ය බලය හිමිකර ගැනීමට එම පක්ෂය අසමත්වීමය. මෙය රනිල්ගේ දුර්වල නායකත්වය නිසා ඇතිවූ ප්‍රශ්නයකට වඩා දේශපාලන ක්‍රමයට ආවේණික ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය එම පක්ෂයේම නිර්මාණයකි. 1977 ජේ.ආර්. ජයවර්ධන දේශපාලන ක්‍රමය නිර්මාණය කරන ලද්දේ නැවත දීර්ඝ කාලයක් බලහුවමාරුවක් ඇතිවීමට ඉඩක් නැති ආකාරයටය. ජනාධිපති ප්‍රේමදාස දක්වාම ඒ අරමුණට ගැලපෙන ලෙස දේශපාලන සුක්කානම හැසිරවීමට එම පක්ෂයෙන් බලයට පත් රාජ්‍ය නායකයන් සමත් වුවත් ජනාධිපති ප්‍රේමදාසගේ මරණයෙන් පසු බලයට පත්වන විජේතුංග ජනාධිපතිවරයා එය පූර්වගාමීන් සේ දක්ෂ ලෙස දේශපාලන ක්‍රමයේ සුක්කානම හසුරුවන්නට අසමත්වීම නිසා 1994දී එතෙක් එජාපයට තිබුණු රාජ්‍ය බලය අහිමි වී පොදු පෙරමුණ අතට බලය මාරුවිය. 1977 සිට අවුරුදු 17ක් තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය බලයෙන් පිටස්තරව සිටි ශ්‍රීලනිප ප්‍රමුඛ පොදු පෙරමුණේ පක්ෂ රාජ්‍ය බලය ලැබීමෙන් පසු දේශපාලන ක්‍රමයේ සුක්කානම ප්‍රති පක්ෂයට බලය ලබාගත නොහැකි ආකාරයට හැසිරවීමට සමත්වීම හේතු කොටගෙන එක දිගට දීර්ඝ කාලයක් රාජ්‍ය බලයෙන් පිටස්තරව ඉඳීමට එජාපයට සිදුවිය.

මෙම දේශපාලන ක්‍රමය තුළ ජනාධිපති තරගයෙන් පරාජය වූ පක්ෂයකට වහාම බලය ලබාගැනීමේ හැකියාවක් නැතත්, චන්ද්‍රිකාගේ ධුර කාල දෙක අවසන් වීමෙන් පසු පවත්වන ලද ජනාධිපතිවරණය ජයගැනීමේ හැකියාවක් එජාපයට තිබුණද, එම තරගයෙන් ද රනිල් වික්‍රමසිංහ පරාජය වීමෙන් පසු රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ අපට අනාගතයක් නැතැ”යි කියා බලවත් ලෙස සිතන තත්ත්වයක් එම පක්ෂය තුළ ගොඩ නැගුණි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කොට පක්ෂයේ ගමන් මගෙහි ජයග්‍රාහී වෙනසක් ඇති කිරීමට හේතුවන නව නායකයකු සොයාගැනීමට එජාපයට අවශ්‍ය වී ඇතත්, පක්ෂ නායකත්වය අත්හැරයෑමට රනිල් වික්‍රමසිංහ අකමැතිවීම හා පක්ෂ නායකයා අකමැති විට පක්ෂ නායකයා ඉවත් කරන ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් නොවීම නිසා එම පක්ෂය තුළ නායකත්වය පිළිබඳ අර්බුදයක් ඇති කිරීමට හේතුවී තිබේ. වෙනත් පක්ෂවල සේම එජාපයේ ද ව්‍යවස්ථාව ගොඩනැගී තිබෙන්නේ රටේ පවතින දේශපාලන ක්‍රමයට අනුරූපීවය.

පවතින දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා ජනාධිපති බලවත්ය. පක්ෂ ව්‍යවස්ථාවලට වඩා පක්ෂ නායකයා බලවත්ය. ජනාධිපති රටේ පරම බලය භුක්ති විඳින විට පක්ෂ නායකයන් පක්ෂවල පරම බලය භුක්ති විඳී. ජනාධිපති ධුරයේ සිටින තෙක් ජනාධිපති රටේද, පක්ෂ නායකයන් ජීවතුන් අතර සිටින තෙක් පක්ෂවල ද ඒකාධිපති නායකයෝ වෙති. දැන් රනිල් වික්‍රමසිංහ රඟපාමින් තිබෙන භූමිකාව 1977 සිට 1994 දක්වා සිරිමා බණ්ඩාරනායක එම පක්ෂය තුළ රඟපෑ භූමිකාවට සමානය. පක්ෂ නායකත්වයේ වෙනසක් ඇති කරගැනීමට ශ්‍රීලනිපයේ විවිධ පිරිස් දරන ලද උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඇය පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලනිප කැබලි වී පක්ෂය ජරාජීර්ණ විය. අවුරුදු 17කට පසුව එම පක්ෂය නැවත පණ ලැබුවේ රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසුවය. එහෙත් එම ජයග්‍රහණයේදී පවා සිරිමා බණ්ඩාරනායක මැතිනියට රාජ්‍ය නායිකාව වීමේ හැකියාව නොලැබුණි.

තමන් දැන් අසුවී සිටින්නේ තමන් විසින් ප්‍රතිපක්ෂයට අටවන ලද උගුලක බව එජාපයට තේරුම් යන්නේ කවදාද? ප්‍රතිපක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබානොදෙන මෙම දරදඬු හා දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කළේ ඔවුන්ය. වර්තමානයේ එම පක්ෂයේ පරාජිතභාවය කෙරෙහි වඩාත්ම බලපා තිබෙන්නේ රනිල්ගේ අසාර්ථක නායකත්වයටත් වඩා එම පක්ෂය විසින්ම රටට උරුම කරදී තිබෙන දේශපාලන ක්‍රමයයි. එම පක්ෂයට ඵලදායී නව ගමනක් ආරම්භ කළ හැකිවනු ඇත්තේ එම මූලික සත්‍යය තේරුම් ගත්තදාටය.