කර්තෘ සංසදයේ ආචාර ධර්ම හා පුවත්පත් පැමිණිලි කොමිසම

March 29, 2009
Publication:
People:
Reading Ian Beales's review in the Press Complaints Commission's 2007 annual report, Ivan sets out a verdict the industry has not answered: four years on, self-regulation stands still, complaints are few and weak, the newspapers themselves are divided over whether they want it, and the Editors' Guild has let its own code go unreviewed. If neither the public it protects nor the industry that made it believes in it, Beales asks, what future can it have?

ශ්‍රී ලංකාවේ පුවත්පත්පත් පැමිණිලි කොමිසමේ 2007 වාර්ෂික වාර්තාව ප්‍රකාශ වී තිබේ. එම වාර්තාවට ශ්‍රී ලංකාවේ පුවත්පත්හි ස්වයං නියාමනය පිළිබඳව ඉයන් බීල්ස් ලියන ලද සමාලෝචන වාර්තාවක් ද ඇතුළත්ය. ඉයන් බීල්ස් එක්සත් රාජධානියේ කර්තෘවරුන්ගේ ආචාර ධර්ම කමිටුවේ ලේකම්වරයාය. කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය හා පුවත්පත් පැමිණිලි කොමිසමේ භූමිකාව පිළිබඳව සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට කර්තෘ සංසදය හා ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතනය ඔහුට ආරාධනා කරන ලදුව ඔහු 2007 ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණ කරුණු සොයා බලා මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඉයන් බීල්ස්ගේ නිරීක්ෂණ ඉයන් බීල්ස් පුවත්පත් පැමිණිලි කොමිසම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ මෙසේය.

““අපේක්ෂා සහගතව ආරම්භ වුවද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පුවත්පත්වල හා ජනතාවගේ වීරයෙකු වශයෙන් තහවුරු වී නැති බව දක්නට ලැබේ. පැහැදිලි ඒකාබද්ධතාවක් එහි නැත්තේය. වසර හතරකට පසු ස්වයං නියාමන ක්‍රියාදාමය නිශ්චලව තිබේ. ලැබෙන පැමිණිලිවල දුබලතාවෙන් ඇඟවෙන්නේ ආයතනය පිළිබඳව ජනතා අවබෝධයත්, ඒ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසයත් පහළ මට්ටමක පවත්නා බවයි. ඒ අතරම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පුවත්පත් කර්මාන්තතය සමග පවත්වන සම්බන්ධතා නිශ්චිත නොවන බවත්, එහි කාර්යභාරය අපහැදිලි බවත් පෙනී යයි.

සාර්ථක ස්වයං නියාමන පාලක ආයතනයක් මගින් උපරිම ඵල නෙලාගත හැකි මෙම කර්මාන්තය තුළ අවිශ්වාසය හා උද්යෝගයක් නොමැතිකම පිළිබඳ බියකරු ලකුණු ද ඇත්තේය.

ස්වයං නියාමන ක්‍රියාවලියේ ආරක්ෂාව ලැබිය යුතු පොදු ජනතාව හෝ එම කාර්ය පද්ධතිය නිර්මාණය කළ පුවත්පත් කර්මාන්තය හෝ ඒ කෙරෙහි විශ්වාසය නොතබන්නේ නම් ඊට ඇත්තේ කෙබඳු අනාගතයක්ද? එය පැවතිය යුත්තේ කුමක් පිණිසද? ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සාර්ථකවීමට නම් ඒ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුවිය යුතුය. ඉක්මණින් ඊට පිළියම් යෙදිය යුතුය. ඒ සඳහා තවමත් ප්‍රමාද නැත. එතෙක් කාලය වේගයෙන් ගෙවී යයි.””

මේ ඔහු ඉදිරිපත් කර තිබෙන තවත් නිරීක්ෂණයකි.

““ස්වයං නියාමන අවශ්‍යතාව සම්බන්ධයෙන් පවා පුවත්පත් බෙදී සිටී. රජයේ ලේක්හවුස් පුවත්පත් පවා බෙදී සිටින බව පෙනීයන්නේ ඩේලි නිව්ස් පත්‍රය සංසදයට සම්බන්ධව සිටීමත්, ඔබ්ස්වර් පුවත්පත ඊට නොවැටී සිටීමත් නිසාය. අනෙක් අතට ලීඩර් පුවත්පත විරුද්ධව සිටින බව පෙනේ. මේ සියල්ල හේතු කොටගෙන ඒ කෙරෙහි පොදු ජනතා විශ්වාසය බිඳී යයි. ස්වයං නියාමන ක්‍රියාවලිය කුමක් සඳහා පවතින්නේද යන්න පුවත්පත් පවා සැබැවින්ම නොදන්නා බව මෙන්ම ඒ පුවත්පත් එහි ආරක්ෂාව අපේක්ෂා නොකරන බව ද එයින් පෙනීයයි.””

කර්තෘ සංසදය ගැන එහි එන නිරීක්ෂණ මෙසේය.

““කර්තෘ සංසදය එහි දායකත්වයෙන් ආරම්භ වුණු සංවිධානයට සාමාන්‍ය වශයෙන් සහයෝගය දක්වන අතර, ඒ සඳහා මුලදී තිබුණු උනන්දුව ඒ මට්ටමෙන්ම පවත්වාගෙන යන්නට කටයුතු කර නොමැත. එයින් දැක්වෙන්නේ තමන් සතු ආචාර ධර්ම මාලාව විධිමත්ව සමාලෝචනය කිරීමට කර්තෘ සංසදය අසමත්ව ඇති බවය. ආචාර ධර්ම පිළිබඳ සමාන්තර කමිටුව විසින් බාහිර වශයෙන් කරන ලද සමාලෝචනය අසාර්ථක වී ඇති අතර, එම සංසදයේ කාර්යභාරය ඉතා අවදානම්සහගත අන්දමින් බැහැර කිරීමකි.””

ජනමාධ්‍ය සංවිධාන කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව හා පැමිණිලි කොමිසම පිළිබඳ අදහස් ද ඉයන් බීල්ස් සිය වාර්තාවේ මෙසේ ගෙනහැර දක්වා තිබේ. ““තමන් මෙම කාර්ය පද්ධතියෙන් බැහැරලා ඇතැ”යි සාමාන්‍ය පුවත්පත් කලාවේදීන්ට හැඟෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර නැති බව මෙන්ම ඒ ගැන ඔවුන්ගේ අදහස් විමසා නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සංගම් ද ප්‍රකාශ කරන හෙයින් ගැටලුව වඩාත් ව්‍යාකූල වී තිබේ.

එපමණක් නොව ඇතැම් කර්තෘවරුන් ඔවුන්ගේම ආචාර ධර්ම මාලාව නොරිස්සුම්සහගතව නොසලකා හරින බවටත් එය නොසලකා හරින ලෙස ඔවුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පවා දිරිගන්වන බවටත්, යථෝක්ත සංවිධාන චෝදනා කරයි.””

දැන් අපට ඉයන් බීල්ස් කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය හා පැමිණිලි කොමිසම ගැන කරන මෙම විවේචන ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ස්වයං නියාමන ක්‍රමයකට මාරුවූ ආකාරය සොයා බැලිය හැකිය.

පුවත්පත් මණ්ඩලය මෙම ස්වයං නියාමන ක්‍රමය ක්‍රියාත්මක වන්නට පෙර ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය නියාමන ක්‍රමයක් තිබුණු අතර, එය හැඳින්වූයේ පුවත්පත් මණ්ඩල නීතිය වශයෙනි. ඒ යටතේ ද ජනමාධ්‍යවේදීන් අවශ්‍යයෙන්ම පිළිපැදීමට බැඳී සිටි ආචාර ධර්ම පද්ධතියක් ද තිබුණි. පුවත්පත් මණ්ඩල නීතිය (1973 අංක 5 දරන) පනවන ලද්දේ සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් වුවත් ජනමාධ්‍යවේදීන් සඳහා බලපාන ආචාර ධර්ම පද්ධතියක් මෙම නීතියට එකතු කළේ 1981දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසිනි. පුවත්පත් මණ්ඩල නීතිය නීතිගත කරන අවස්ථාවේදී එජාප එම නීති පැනවීමට එරෙහිව බලවත් ලෙස නැගී සිටියද එම පක්ෂය 1978 දී බලයට පත්වීමෙන් පසුව පුවත්පත් මණ්ඩල නීතිය පවත්වාගෙන ගියා මිස එය අහෝසි කළේ නැත. පුවත්පත් මණ්ඩල නීතිය අනුව ක්‍රියාකිරීමට සියලුම පුවත්පත් නීතියෙන් බැඳී සිටි අතර, ඊට ඇතුළත් ආචාර ධර්ම පිළිපැදීමට ද ජනමාධ්‍යවේදීහු නියෝගානුකූලව බැඳී සිටියෝය.

පුවත්පත් මණ්ඩල නීතිය අනුව පුවත්පත් මණ්ඩලය ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා ජනාධිපති විසින් පත් කරනු ලබන සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විතය. මේ හයදෙනාගෙන් එක් අයෙකු සේවයේ යෙදී සිටින පත්‍රකලාවේදීන්ගේ නියෝජිතයකු වන අතර, තවත් කෙනෙකු පුවත්පත් ව්‍යාපාරවල සේවකයන්ගේ වුවමනාවන් නියෝජනය කරන්නෙකි. මණ්ඩලයට පත් කෙරෙන ඉතිරි හතරදෙනා දේශපාලන පත්වීම් ලද්දන් ලෙස සැලකිය හැකිය. ඒ අනුව පුවත්පත් මණ්ඩල ක්‍රමය අවශ්‍ය අවස්ථාවකදී බලයේ සිටින ආණ්ඩුවේ සිතැඟියාවන්ට අනුව හැසිරවීමේ හැකියාවක් තිබුණි. එම නීතියට ඇතුළත්ව තිබූ බිහිසුණුම අංගයක් වනුයේ ““පුවත්පත් මණ්ඩලය විසින් විමර්ශනයක් පවත්වාගෙන යද්දී එය සමාප්ත කිරීමෙන් පසුව හෝ සෑහෙන හේතුවක් නැතිව පුවත්පත් මණ්ඩලයට හෝ එක් සාමාජිකයකු අපකීර්තියට පත් කරන යමක් කරන හෝ යම් ප්‍රකාශයක් පළ කරන ඕනෑම පුද්ගලයෙකු අපහාස කිරීමේ වරදක් කර ඇතැ”යි තීන්දු කිරීමේ බලය 12 (A) ඡේදයෙන් පුවත්පත් මණ්ඩලයට ලබාදී තිබීමය.

පුවත්පත් මණ්ඩලය එවැනි තීන්දුවක් ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය එය ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සලකා දඬුවම් කළ යුතුය. වරක් මෙම බිහිසුණු ප්‍රතිපාදනය පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් ජනමාධ්‍ය ඇමතිගේ වුවමනාව මත රාවය කර්තෘ වශයෙන් මට එරෙහිව පමණක් නොව, රාවය අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සාමාජිකයන්ට ද එරෙහිව ඉතාමත් නොහොබිනා ස්වරූපයකින් පාවිච්චි කිරීමට උත්සාහ කළේය.

පැමිණිලි කොමිසම බලයේ සිටින ආණ්ඩුවලට තමන් අකමැති ජනමාධ්‍යවේදීන්ගෙන් පළිගැනීමට ඉඩ ලැබෙන මෙවැනි ක්‍රමයකට වඩා ස්වයං නියාමන ක්‍රමයක් යහපත් වුවද තිබුණු ක්‍රමයට වඩා ඵලදායී හා කාර්යක්ෂම ස්වයං නියාමන ක්‍රමයක් ඇති කරගැනීමට කර්තෘ සංසදය සමත් වී නැති බව ඉයන් බිල්ස් ඉදිරිපත් කර තිබෙන සමාලෝචන වාර්තාවෙන් හොඳින් තහවුරු වේ. මෙම පුවත්පත් පැමිණිලි කොමිසම බිහිවූ ඉතිහාසයද සැලකිල්ලට ගැනීම වැදගත්ය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් සන්ඩේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංගට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ පවරන ලද නඩුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ ප්‍රභූන් සසල කිරීමට හේතුවී තිබුණු නඩු විභාගයක් විය. ඒ නඩුවට පෙර සාපරාධී අපහාස නීතිය තමන්ට මෙල්ල නොවන ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බහුලව යොදාගෙන තිබුණද, එසේ නඩු පවරන ලැබූ ජනමාධ්‍යවේදීන් ජනමාධ්‍ය සමාජයේ ප්‍රභූතන්ත්‍රය නියෝජනය කරන්නන් නොවීම හේතු කොටගෙන ඒ නඩු ජනමාධ්‍ය සමාජයේ ප්‍රභූ තන්ත්‍රය සසල කිරීමට හේතුවී නොතිබුණි.

මෙම නඩුවේදී සිංහ වරදකරු කිරීම සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම නඩුවට නරක ලෙස ඇඟිලි ගසන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. සිංහගේ නඩුව එජාප නායක රනිල් වික්‍රමසිංහගේද විශේෂ උනන්දුවට හේතුවූ නඩුවක් විය. එක් අතකින් සිංහ වැඩ කළේ රනිල්ගේ මාමාගේ පුවත්පත් ආයතනයේය. අනෙක් අතට සිංහ අධ්‍යාපනය ලබා තිබුණේ රනිල් අධ්‍යාපනය ලබා තිබූ රාජකීය විද්‍යාලයෙනි. 2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය ජයගැනීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ සාපරාධී අපහාස නීතිය අහෝසි කළේය. පුවත්පත් මණ්ඩල ක්‍රමය වෙනුවට ස්වයං නියාමන ක්‍රමයක් ඇතිකර ගන්නා ලෙස අගමැතිවරයා කර්තෘ සංසදයේ පුරෝගාමීන්ගෙන් ඉල්ලා සිටියේය. කර්තෘ සංසදය ගොඩනැගී තිබුණේ ද සිංහගේ නඩුව නිමිති කරගෙනය. ඒ සමග ස්වයං නියාමන ක්‍රමයක් සඳහා තමන්ගේම වන ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගැනීමට කර්තෘ සංසදයට සිදුවිය.

ඉන්පසු පුවත්පත් ආයතනය හා පැමිණිලි කොමිසම ඇති කරගැනීමට අවශ්‍ය මුදල් විදේශ ආධාර ආයතන කිහිපයකින් ලැබීම නිසා පුවත්පත් පැමිණිලි කොමිසමක් පමණක් නොව, ජනමාධ්‍ය විද්‍යාලයක් ද ඇතුළත්ව ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය ඇති කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමස්ත ක්‍රියාදාමය පුවත්පත් කර්මාන්තයේ ඉතා සුළු පිරිසකට සීමාවූ ක්‍රියාදාමයක් විය. දැන් අසන්නට ලැබෙන සීමිතකම්වල නිධානය ඇත්තේ ද එහිය.

කර්මාන්තයේ පරිණාමය ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය ආරම්භ වන්නේ 1802නි. ගුවන්විදුලි ඉතිහාසය 1925න්ද, රූපවාහිනී ඉතිහාසය 1982 න් ද ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ ස්වයං නියාමන ආයතන ක්‍රමයක් ඇතිවන අවස්ථාව වන විට දිනපතා සිංහල භාෂාවෙන් පළවන පුවත්පත් හතරක් ද, දෙමළ භාෂාවෙන් පළවන පුවත්පත් හතරක් හා ඉංග්‍රීසි භාෂාවෙන් පළවන පුවත්පත් තුනක් ද තිබුණු අතර, මෙම භාෂා තුනෙන් පළවන සතිඅන්ත පුවත්පත් 19ක් තිබුණි. රටේ තිබුණු ගුවන්විදුලි ආයතන සංඛ්‍යාව 10කි. රූපවාහිනී ආයතන සංඛ්‍යාව 09කි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය ලෝකයේ මුද්‍රිත හා විද්‍යුත් තාක්ෂණික අංශවල සිදුවන වර්ධනයන්ගෙන් පෝෂණය වී තිබුණද, මෙම විෂයට අදාළව සංකල්පීය අර්ථයෙන් ලෝකයේ සිදුවූ වෙනස්කම්වලින් පෝෂණය වූ ව්‍යාපාරයක් නොවීය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය තාක්ෂණික අර්ථයෙන් දියුණු තත්ත්වයක තිබුණද සංකල්පීය අර්ථයෙන් තිබුණේ නොදියුණු තත්ත්වයකය.

ලෝකයේ ජනමාධ්‍ය විෂයෙහි ඇතිවූ වාද විවාද හා ගැටුම් ආශ්‍රයෙන් ගොඩනැගුණු මතවාද හා සම්ප්‍රදායන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කෙරෙහි බලනොපෑවේය. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකු වුවද සංකල්පීය දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක් නොවීය. 2000 වසර දක්වා කර්තෘවරුන්ගේ සංවිධානයක් බිහිනොවන්නේ ඒ නිසාය. ඒ දක්වා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයක් බිහිනොවන්නේද ඒ නිසාය. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය පවා බිහිවන්නේ 1976දීය. ජනමාධ්‍යවේදීන්ට එකට එකතුවිය හැකි පොදු ආයතනයක් අද දක්වාම ඇතිවී නැත. තාමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ජනමාධ්‍යවේදීන්ට විවෘත නැත. එය ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය සංවිධානවලට ප්‍රශ්නයක් වීද නැත. තාමත් පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ ගැලරිය පාලනය කරන්නේ ජනමාධ්‍යවේදීන් නොව කථානායකවරයාය.

පුවත්පත් මණ්ඩල පනත යටතේ හෝ ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇතිවන්නේ ද 1981දීය.

ස්වාධීන නියාමන ක්‍රමයට ආවේණික සීමා කර්තෘ සංසදය බිහිව ඇත්තේ ද සියලු පුවත්පත් කතුවරුන් ඇතුළත් කරගන්නා ආකාරයට නොවේ. පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය තුළ ද සියලු පුවත්පත් ප්‍රකාශනයන් නියෝජනය වන්නේ නැත. වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය පවා නවීන අර්ථයෙන් ක්‍රියාකාරී ජනමාධ්‍ය සංවිධානයක් ලෙස සැලකිය නොහැකිය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන සුළු පිරිසකට සීමාවූ ව්‍යාපාරයකි. ජනමාධ්‍යවේදීන් සඳහා වන වෘත්තීය සමිති ව්‍යාපාරයක් තවමත් බිහිවී නැත. ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇතිකර ගැනීමේ ක්‍රියාවලිය ලෝක මට්ටමෙන් මතුවූයේ ශ්‍රී ලංකාවේ මෙන් සරල ප්‍රශ්නයකට විසඳුම් ලබාගැනීමේ අරමුණින් නොව, සංකීර්ණ ප්‍රශ්නාවලියකට විසඳුම් ලබාගැනීමේ අරමුණිනි. දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග පුවත්පත්වලට එරෙහිව මහජනතාව ක්‍රියාකාරී ලෙස සිය විරෝධය පළ කරන තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයේ සේ ම යුරෝපයේද ගොඩනැගී තිබුණි.

පුවත්පත් හිමිකරුවන් හා ජනමාධ්‍යවේදීන් තමන්ට ලැබී තිබෙන අතිවිශාල බලය අයථා ලෙස පාවිච්චි කරන්නේය කියන මතයක් මහජනතාව අතර ගොඩනැගී තිබුණි. මහජනතාව තමන් තුළ පැවති එම විරෝධය එළිපිට ප්‍රකාශ කරන තත්ත්වයක් යොමුවී තිබුණි. මේ තත්ත්වය සොයා බැලීම පිණිස ටයිම් සඟරාව සිය අනුග්‍රහයෙන් චිකාගෝ විශ්වවිද්‍යාලයේ චාන්සලර් රොබට් හචින්ස්ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කොමිසමක් පත් කළේය. මෙම කොමිසම ඉදිරියේ පුවත්පත්වලට එරෙහිව මහජනයා හා ජනමාධ්‍යවේදීන් දෙන සාක්ෂි ජනමාධ්‍යවල පළවීම නිසා පුවත්පත්වලට එරෙහිව මහජන විරෝධය උත්සන්න තත්ත්වයකට පත්වූ අතර, මේ තත්ත්වය ඉදිරියේ තමන්ගේ පැවැත්ම සඳහා කුමක් කළයුතුද යන ප්‍රශ්නය බැ?රුම් ලෙස සලකා බලන තැනකට යොමුවීමට පුවත්පත් ආයතනවල හිමිකරුවන්ට සේ ම කර්තෘවරුන්ට ද සිදුවිය. ඒ වන විට සර්ව ඇමරිකානු පුවත් සමුළුවට 1926 දී ඇති කරගත් ආචාර ධර්ම පද්ධතියක් තිබුණද එම ආචාර ධර්ම පද්ධතිය හචින්ස් කොමිසමේ දැඩි විවේචනයට ලක්වීම නිසා එම විවේචනය ද සැලකිල්ලට ගෙන නව ආචාර ධර්ම පද්ධතියක් 1950දී ප්‍රකාශයට පත්කිරීමට එම සමුළුවට සිදුවිය.

ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර රටවල පැවති මෙම ආචාර ධර්ම විවාදය සුළු පිරිසකට සීමාවූ විවාදයක් නොවීය. ජනමාධ්‍යවේදීන් පමණක් නොව, ජනමාධ්‍ය ගැන උනන්දුවක් දක්වන මහජනතාව ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත් මහා විවාදයක් විය. මේ විවාදයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සම්ප්‍රදායන් බලපෑවේ ජනමාධ්‍යවේදීන්ට පමණක් නොවේ. ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට බලපාන සම්ප්‍රදායන් ද ඇතිවිය. කර්තෘ මණ්ඩලීය නිදහස පිළිබඳ න්‍යාය හා ජනමාධ්‍යවේදීන් කෙරෙහි බලපාන සමාජ වගකීම් පිළිබඳ න්‍යාය (ීදජස්ක ඍැිචදබිසඉසකසඑහ ඔයැදරහ) ගොඩනැගුණේද එම වාද නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ කර්තෘ සංසදයට ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගැනීමට අවශ්‍ය වූයේ එවැනි පළල් අරමුණක් සඳහා නොවේ. පටු සීමිත අරමුණක් සඳහාය. ආචාර ධර්ම පද්ධතිය සාකච්ඡාවට ලක්වූයේද ඉතාමත් සුළු පිරිසක් අතර පමණය. කර්තෘ සංසදයට ආවේණික සීමා සේ ම කර්තෘ සංසදය ඇති කරගෙන තිබූ සීමා ද මෙම ක්‍රියාවලිය තවදුරටත් පටු කිරීමට බලපෑවේය.

නව නියාමන වැඩපිළිවෙල බලපෑවේ කර්තෘ සංසදය තුළ සිටිය යුතු පුවත්පත් කතුවරුන් ලෙස කර්තෘ සංසදය තෝරාගත් තමන් ජාතික මට්ටමේයැ”යි සලකන පුවත්පත්වල කර්තෘවරුන් පමණය. පැරණි පුවත් මණ්ඩල ක්‍රමය පළකෙරෙන සියලු පුවත්පත් කෙරෙහි බලපෑවේය. එහෙත් මෙම නියාමන ක්‍රමය බලපෑවේ කර්තෘ සංසදය නියෝජනය කරන අතළොස්සක් පුවත්පත් කෙරෙහි පමණය. නිදර්ශනයක් වශයෙන් විජය පුවත්පත් සමාගම පළකරන ලංකාදීපය, ඉරිදා ලංකාදීපය, සන්ඩේ ටයිම්ස්, ඩේලි මිරර් යන පුවත්පත්වලට නියාමන ක්‍රමය බලපෑව ද එම සමාගම සිනමාව, තරුණයන්, තරුණියන් හා වෙනත් විෂයයන් සඳහා පළ කරන පුවත්පත් හා ප්‍රකාශන කෙරෙහි මෙම නියාමන ක්‍රමය බලනොපෑවේය. එවැනි ප්‍රකාශනවලින් සිදුවන වරදක් නිවැරදි කරගැනීමට අද තැනක් නැත. ඒ මගින් නව ක්‍රමය පුවත්පත් හා වාර ප්‍රකාශන විශාල ප්‍රමාණයක් අරාජික තත්ත්වයක සිටින්නට ඉඩහැර තිබේ.

ඇත්තටම සිදුවිය යුතුව තිබුණේ පුවත්පත් හා සඟරා ගණයට වැටෙන සියලුදෙනා එකට ඒකරාශී කරන වැඩපිළිවෙලක් තුළ ඒ සියලුදෙනාටම බලපාන ආකාරයේ ස්වයං නියාමන ක්‍රමයක් ඇති කිරීමය. මෙම වැඩපිළිවෙල සමස්ත පුවත්පත් කර්මාන්තයට බලපාන ආකාරයට සකස් කර තිබෙන වැඩපිළිවෙලක් වුවත්, එහි අයිතිය ලැබී ඇත්තේ තෝරාගත් ඉතාමත් සුළු පිරිසකටය.

අවශ්‍ය කරන වෙනස්කම් ප්‍රකාශකයන්ගේ සංගමය, කර්තෘ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන සංවිධාන තුන මෙම මුළු මහත් ව්‍යාපෘතියේම අයිතිකරුවන් වී සිටිති. ප්‍රකාශකයන්ගේ සංගමයට සියලු පුවත්පත් ප්‍රකාශන ඇතුළත් නැත. කර්තෘ සංසදයට ද සියලු පුවත්පත් කතුවරුන් ඇතුළත් නැත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඉතා සුළු පිරිසකට සීමාවූ ව්‍යාපාරයකි. වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කරගත යුතුව ඇතත්, මොන හේතුවක් නිසා හෝ එම අයිතිය තාමත් ඔවුන්ට ලබාදී නැත. මෙම ව්‍යාපාරයේ ඵලදායී විප්ලවකාරී වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම්, (1) මුද්‍රිත ජනමාධ්‍ය කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත්කර යුතුය. (අ) භේදයකින් තොරව සියලු පුවත්පත්වල හා වාර සඟරාවල කතුවරුන් කර්තෘ සංසදයට බඳවා ගත යුතුය. (ආ) සියලු පුවත්පත්වල හා වාර සඟරාවල ප්‍රකාශකයන් පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයට බඳවා ගත යුතුය.

(ඇ) වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය ව්‍යාපාරයේ අයිතිකරුවකු බවට පත්කර ගනිමින් ඔවුන් නවීන අර්ථයෙන් විධිමත් හා ක්‍රියාකාරී සංවිධානයක් බවට පත්වීමට අවශ්‍ය කරන ආධාර හා අනුබල දිය යුතුය. (2) ජනමාධ්‍යවේදීන් දූෂිත ලෙස ක්‍රියාකරන ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එම තත්ත්වයෙහි යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන විධිවිධාන ඇතුළත් වන ලෙස ආචාර ධර්ම පද්ධතිය නැවත සකස් කළ යුතුය. (3) පුවත්පත් කර්මාන්තයේ හිමිකරුවන්ට සාධාරණ ලාභයක් උපයා ගැනීමේ අයිතිය සහතික කරන අතර, කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය තහවුරු කරන ප්‍රතිපත්තියක් සඳහා හිමිකරුවන් සමඟ එකඟතාවක් ඇති කරගත යුතුය. එවිට මුද්‍රිත ජනමාධ්‍ය කර්මාන්තයේ සුපිරි සුළු පිරිසකට සීමාවී තිබෙන මෙම ව්‍යාපාරය එම කර්මාන්තයට සම්බන්ධ සියලුදෙනාගේ පොදු ව්‍යාපාරයක් බවට පත්වනු ඇත්තේය.

Editors Note

Ian Beales is secretary of the Code Committee of the United Kingdom’s editors; he visited
Sri Lanka in October 2007 at the invitation of the Editors’ Guild and the Sri Lanka Press
Institute, and his review was published with the Press Complaints Commission of Sri Lanka’s
2007 annual report. The clause ’12 (A)’ discussed here is a provision of the Press Council
law giving the council power to find a defamation.