සාකච්ඡා කිරීම හා සටන් කිරීම

March 22, 2009
Publication:
Accused at a public forum of helping the government's war, Ivan answers by setting out thirty years of his own dealings with power: the twenty-odd statements he has given the CID, the night J.R. Jayewardene ordered him to drop a column and the month he obeyed before resuming it, the raid on the Ravaya office five days after he declined President Premadasa's invitation, and the meetings with Chandrika Kumaratunga after attacks on journalists. Journalists, he argues, should be able to telephone anyone in the country; the fault lies only in misusing the connection.

පසුගිය බ්‍රහස්පතින්දා පදනම් ආයතනයේදී පැවති අපූරු සංවාදයකට සහභාගිවීමේ අවස්ථාව මට ලැබුණි. සාකච්ඡාව කැඳවා තිබුණේ යුද්ධය ආශ්‍රයෙන් මතුවී තිබෙන ගැටලු හා රටේ අනාගතය ගැන කතා කරන්නටය. සාකච්ඡාවට ප්‍රවේශයක් ලබාදීම සඳහා හැඳින්වීම කරන ලද්දේ සුමනසිරි ලියනගේය. ඉන්පසු සභාවට සහභාගිවූවන්ට නිදහසේ සිය අදහස් පළකිරීමට ඉඩ දෙන ලදි. දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ද සාකච්ඡාවට සහභාගි වූ අතර, දෙමළ කථිකයෝ ගණනාවක් ඉතාමත් වේගවත් හා උද්වේගකර ස්වරයකින් සිය අදහස් පළ කළෝය. ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධ මාධ්‍යවේදියෙකු ද ඉතා නිර්භීත හා වේගවත් කතාවක් කළේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කරන්නේ එල්ටීටීඊයට එරෙහිව නොව, දෙමළ ජනතාවට එරෙහිව බව තමාට සනාථ කළ හැකි බවත්, තමා ඒ බව සනාථ කරන බවත් කියා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනතාවට එරෙහිව කරන යුද්ධයට බුද්ධිමතුන්, කලාකරුවන් හා ජනමාධ්‍යවේදීන් ද උදව් කරන බවත්, රාවය කර්තෘ වික්ටර් අයිවන් පවා එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරී කොටස්කරුවකු බවත් කියා සිටිමින් තමන්ගේ ආයතනයේ මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලද අවස්ථාවේදී ඔහු වික්ටර් අයිවන්ට කතා කළ බවත්, ජනාධිපතිවරයාට කතා කරන ලෙසට වික්ටර් අයිවන් ඔහුට උපදෙස් දෙන ලද බව තමා දන්නා බවත් ඔහු කියා සිටියේය.

මෙම සභාව අමතා මම ද කතා කළෙමි. එහෙත් මෙම ජනමාධ්‍යවේදියා සිය කතාවේදී මා ගැන කරන ලද සඳහන ගැන මම පිළිතුරු නොදුන්නෙමි. ඊට හේතුව එහි සිටි දෙමළ නියෝජිතයන්ට යථා තත්ත්වය පැහැදිලි කිරීම වඩා වැදගත්වේයැ”යි මා සිතූ නිසාය. මා එහිදී කළේ ඔවුන්ට ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජය කෙරුණු ආකාරය පැහැදිලි කිරීමය. දෙමළ සන්නද්ධ අරගළය පරාජය කිරීම සඳහා මුදාහළ ප්‍රති ප්‍රචණ්ඩත්වයට වැඩි ප්‍රති ප්‍රචණ්ඩත්වයක් සිංහල කැරැල්ල පරාජය කිරීම සඳහා යොදා ගැනුණු බව ඔවුන්ට සිහිපත් කරදෙන්නට මම උත්සාහ කළෙමි. මා මෙම සටහන ලියන්නේද ඉහත කී අපවාදය මතු කළ තරුණ ජනමාධ්‍යවේදියාට දෙන පිළිතුරක් වශයෙන් නොවේ. එම ප්‍රශ්නය ආශ්‍රයෙන් ජනමාධ්‍යවේදීන්ට වැදගත් විය හැකි ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් පැහැදිලි කිරීමට අවස්ථාවක් කරගැනීම සඳහාය.

ප්‍රශ්න කිරීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්වූ ජනමාධ්‍යවේදියා මට කතා කළේයැ”යි කියන කතාව නිවැරදි නැත. මට කතා කළේ එම ආයතනයේම වැඩ කරන බෙනට් රූපසිංහය. ඔහු කලක් ඇත්ත පත්තරේ කර්තෘ වශයෙන්ද, ඊට පසුව තවත් කලක් දිනමිණ පුවත්පතේ කර්තෘ වශයෙන් ද සේවය කර තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ප්‍රශ්න කිරීමට හේතුවී තිබෙන සිද්ධිය ලෙස ඔහු විස්තර කළේ ඉතාලි ඔත්තු සේවාවක් හා ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි අංශය ඒකාබද්ධවී පවත්වාගෙන ගිය වැඩසටහනක් ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව හෝ ඒ හා සමාන සිද්ධියක් පිළිබඳව වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් පිළිබඳවය. මේ ගැන ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එය ලියන ලද ජනමාධ්‍යවේදියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන ලෙස දැනුම් දී තිබෙන බව ඔහු මට කීවේය. ජනමාධ්‍යවේදියෙකුගෙන්, පළවූ වාර්තාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම ඉතාමත් අසාමාන්‍ය දෙයක් ලෙස සලකන මානසිකත්වයක් මා තුළ නොතිබුණි.

කැඳවීමක් කර තිබේ නම් එහි ගොස් කටඋත්තරයක් දීමට සිදුවනු ඇති බවත්, කටඋත්තරයක් දීම ප්‍රශ්නයක් නම් ජනාධිපතිවරයාට කතා කරන ලෙසත් මම බෙනට්ට කීවෙමි. බෙනට් ජනාධිපති හොඳින් දැන සිටියේය. පළකෙරෙන ප්‍රවෘත්තියක් ප්‍රශ්න ගතවන අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ජනමාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීම අසාමාන්‍ය දෙයක් වන්නේ නැත. එය සාමාන්‍ය දෙයකි. මා ජනමාධ්‍ය වෘත්තියට එකතුවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් කටඋත්තර ලබාගෙන ඇති අවස්ථා ගණන විස්සක් විසිපහක් විය හැකිය. මීට සති දෙක තුනකට ඉහතදීද කටඋත්තරයක් ලබාදීම සඳහා පැය තුනහමාරක කාලයක් මිඩංගු කිරීමට මට සිදුවිය. පළවූ වාර්තාවට ඇතුළත් තොරතුරු සත්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් දීම දුෂ්කර කරුණක් වන්නේ නැත. ලියන ලද කතාවේ එන තොරතුරු සත්‍ය තොරතුරු බව ඔප්පු කිරීමට හැකියාවක් නැත්නම් කටඋත්තරයක් දීම දුෂ්කර දෙයක් බවට පත්වන්නේය.

කටඋත්තරයක් දීම ප්‍රශ්නයක් නම් ජනාධිපතිට කතා කරන ලෙස බෙනට්ට කියන විට සමහරවිට වගකීමෙන් තොරව ලියන ලද වාර්තාවක් නිසා මෙම පුද්ගලයා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටිනවා විය හැකියි කියන අදහස මගේ හිතේ බලපෑවා විය හැකිය. උණුසුම් පුවත් සඳහා විද්‍යුත් පුවත්පත් අතර මහා තරගයක් පවතී. ඒ නිසාම පළකෙරෙන කතා අතර ඕපදූප ගණයේ කතාද බෙහෙවින් පළවෙනු දැකිය හැකිය. එවැනි වාර්තාකරණයක් නිසා තමන්ට මුහුණ දෙන්නට සිදුවූ දුෂ්කර තත්ත්වයක් ගැන මීට පෙර බෙනට් මට කියා තිබුණි. ඒ අවස්ථාවේදී ඒ සිද්ධිය ද මගේ හිතේ බලපෑවා විය හැකිය. බෙනට් කියන ලද කතාව මෙසේය. රාජපක්ෂ සහෝදරයන්ගෙන් කෙනෙකු ““ධවල මන්දිරය”” නමින් හැඳින්වෙන මන්දිරයක් කොළඹෙන් මිලදී ගැනීමේ සිද්ධියක් පිළිබඳව ශ්‍රීපති සූරියආරච්චිගෙන් අසා දැනගන්නට ලැබුණු කතාවක් බෙනට් වාර්තා කළේය. මෙම මිලදී ගැනීම ඔප්පු කරන ලිඛිත සාක්ෂි තමා ළඟ ඇති බව ශ්‍රීපති බෙනට්ට සහතික කොට කියා තිබුණි.

මෙම වාර්තාව පළවීමෙන් පසු ඒ ගැන ජනාධිපති මන්දිරයේදී කතාබහට ලක්වී ඇති බව බෙනට්ට දැනගන්නට ලැබී දැන් කළහැකි එකම දේ පළකළ වාර්තාව තහවුරු කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමයැ”යි කල්පනා කළ බෙනට් වහා ශ්‍රීපති හමුවන්නට ගියේය. මෙම ගනුදෙනුව සනාථ කිරීමට අවශ්‍ය ලිඛිත සාක්ෂිවල පිටපත් තමාට ලබාදෙන ලෙස ඔහු ශ්‍රීපතිගෙන් ඉල්ලා සිටියේය. මෙම ගනුදෙනුව සනාථ කිරීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි තමා ළඟ ඇති බව ශ්‍රීපති සහතික කොට කියා ඇතත්, ඔහු ළඟ එවැනි කිසිම සාක්ෂියක් තිබී නැත. ඒ සමග තමා අමාරුවේ දැමීම ගැන බෙනට් ශ්‍රීපතිට දොස් කීවේය. මා එදා බෙනට්ට කීවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හා නග්න කන්‍යාවන් පිළිබඳව රටේ පැතිරුණු කතා වැනි ලස්සණ කතා සාමාන්‍යයෙන් ඕනෑම ජනනායකයෙකු පිළිබඳව පැතිරෙන බවත්, ඒවාහි ඇත්ත නැත්ත සොයා නොබලා අසන්නට ලැබෙන කටකතා වාර්තා කරන තැනකට ගියහොත් රට අතහැර පලා යනවා හැරෙන්නට ආරක්ෂාව සඳහා ගතහැකි අන් පියවරක් ද නැති බවය.

ජනමාධ්‍යවේදියෙකුගෙන් ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීම අසාමාන්‍ය දෙයක් ලෙස සලකන තත්ත්වයක් වර්තමානයේ ජනමාධ්‍යවේදීන් අතර පවතී. උද්වේගකර වාතාවරණයක් පවතින අවස්ථාවකදී පවා එය අසාමාන්‍ය දෙයක් වන්නේ නැත. පැහැර ගැනීමකට ලක්වීමට බිය විය යුතුය. එහෙත් පැහැර ගැනීමකට ඉඩක් ඇත්නම් කටඋත්තරයක් සඳහා කැඳවීමක් කිරීමට හේතුවක් නැත. වරදක් සිදුවී ඇති නම් කටඋත්තරයක් ලබාගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කිරීමට හෝ රඳවා තබා ගැනීමකට වැඩි දෙයක් සිදුවිය නොහැකිය.

දෙවැනි කැරැල්ල

ජවිපෙ දෙවැනි කැරැල්ල ආරම්භවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් අනුව මට හතරවැනි තට්ටුවට යන්නට සිදුවිය. උදේ 9.30 සිට සවස 6 පමණ වන තෙක් සහකාර පොලිස් අධිකාරිවරයෙක් මගෙන් ප්‍රශ්න කළේය. එය පුවත්පත වෙනුවට මාසික සඟරාව පළවූ යුගය විය. ජවිපෙට හෝ දෙවැනි කැරැල්ලට මගේ මොනයම් හෝ සම්බන්ධයක් තිබේද යන්න දැනගැනීම ප්‍රශ්න කිරීමේ අරමුණ විය. මට සඟවන්නට දෙයක් නොතිබුණි. ප්‍රශ්න කිරීම් අවසානයේදී ප්‍රශ්න කළ සහකාර පොලිස් අධිකාරිවරයා කොතරම් විශාල ප්‍රමාණයකට සෑහීමකට පත්ව සිටියේද කිවහොත් ඔහු මට කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. මා රටේ සමාජ, දේශපාලනය ගැන සාධාරණ විවේචනයක් ඇති පුද්ගලයෙකු බව කියමින් දීර්ඝ වේලාවක් ප්‍රශ්න කිරීමෙන් මා වෙහෙසට පත්කිරීම ගැන ඔහු කණගාටුව පළ කළේය. මා තෘප්තිමත් සිතින් එදා ආපසු කාර්යාලයට පැමිණියද ඉන් දින දෙකකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු කැඳවීමක් අනුව මා ප්‍රශ්න කිරීමට ලක් කළ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යෑමට මට සිදුවිය.

මට එහිදී ඔහුගෙන් අසන්නට ලැබුණේ පුදුමසහගත කතාවකි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරාට (ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා) මා නිර්දෝෂ කරමින් දෙන ලද වාර්තාව ඔහු නොපිළිගන්නා බවත්, ඒ නිසා මා ප්‍රශ්න කිරීමට තමාගේ ලොක්කාට අවශ්‍ය වී තිබෙන බවත්, මාගේ නිර්දෝෂීභාවය ඔහු ඉදිරියේ සනාථ කරන ලද ආකාරයටම තම ලොක්කා ඉදිරියේ ද සනාථ කරන ලෙසත් එසේ කිරීමට අසමත් වෙතොත්, එය මා කෙරෙහි පමණක් නොව, ඔහු කෙරෙහි ද නරක ලෙස බලපානු ඇති බවත් ඔහු කියා සිටියේය. ඉන්පසු ඔහු මා සිය ලොක්කා වෙත රැගෙන ගියේය. ඉන්පසු පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා විසින් මා සියුම් හා දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් කළේය. මට සැඟවීමට දෙයක් නොතිබුණු බැවින් ඔහු අසන ප්‍රශ්නවලට හොඳින් මුහුණදීමේ හැකියාව මට තිබුණි. අවසානයේ ඔහු මාගේ නිර්දෝෂීභාවය පිළිගෙන මට සුබ පතමින් යන්නට ඉඩ දුන්නේය.

ඒ යුගය පැහැර ගැනීම්, අතුරුදහන්කිරීම් හා මනුෂ්‍ය ඝාතන රජ කළ යුගයක් විය. මා අනවශ්‍ය තරමකට බියවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු කැඳවීම නොසලකා සැඟවෙන තැනකට හෝ රට අතහැර පලායන තැනකට ගියේ නම් ඊළඟට විය හැකිව තිබුණේ කුමක්ද? මාගෙන් ලබාගෙන ඇති කටඋත්තර සංඛ්‍යාව විශාල වුවත් මා ඒ කිසිම අවස්ථාවක මගෙන් කටඋත්තර ලබාගැනීම උද්වේගකර ප්‍රවෘත්තියක් බවට පත්කිරීමට උත්සාහ දරා නැත. ජනමාධ්‍යවේදීන් රාජ්‍ය නායකයා හා අන් දේශපාලන නායකයන් සමග සුහදව ගනුදෙනු කරන තත්ත්වයක සිටිය යුතු නැතැ”යි සිතන හා රාජ්‍ය නායකයා කැඳවන සාකච්ඡාවලට සහභාගි වියයුතු නැතැ”යි සිතන ජනමාධ්‍යවේදීන් සිටින බව පෙනේ. එහෙත් මා නම් සිතන්නේ සියලු වාද විවාද තිබියදීත් ඔවුන් සමග සුහදව කරුණු සාකච්ඡා කරන තැනක ජනමාධ්‍යවේදීන් සිටිය යුතු බවය. රාජ්‍ය නායකයා හෝ දේශපාලන නායකයන් නමින් කැඳවන සුහද හමුවලට ඔවුන් යායුතුය.

ඔවුන් පිළිබඳව, අපේ සමහර ප්‍රශ්න පිළිබඳව අපට ප්‍රශ්න ඇතොත් ඒවා පැහැදිලි කරගැනීමට ලැබෙන්නේ එවැනි සුහද හමුවලදීය. කොටින්ම සාර්ථක ජනමාධ්‍යවේදියෙකුට රටේ ඕනෑම ප්‍රමුඛ පුද්ගලයෙකුට දුරකතනයෙන් කතා කිරීමේ හැකියාව තිබිය යුතුය. වරදක් වන්නේ තමන්ට තිබෙන ඒ සම්බන්ධකම් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් පමණය. ජේ.ආර්. ජයවර්ධන පාලනයේ අවසාන කාලයේදී කාලිංග නමින් මා ලියන දේශපාලන විග්‍රහයට සිය අප්‍රසාදය පළකිරීම සඳහා මා ඔහු වෙත කැඳවීය. මම ඔහු කරන විවේචනයට ඉවසීමෙන් සවන් දුන්නෙමි. රාවය සඟරාව පළකිරීමට අවශ්‍ය නම් මින්පසු කාලිංගගේ විග්‍රහය නැතිව එය පළකළ යුතු බව ඔහු කියා සිටියේය. මම සන්සුන්ව මගේ අදහස් පළකරන්නට වූ විට ඔහු ඊට සවන් දුන්නේය. මාගේ අභිලාසය තුවක්කු කටවල්වලින් කෙරෙන වාදය ශිෂ්ට සම්පන්න තත්ත්වයකට ගැනීම බව මා ප්‍රකාශ කළ විට එතෙක් ඔහුගේ ප්‍රතාපවත් මුහුණේ තිබුණු දැඩි ස්වරූපය ලිහිල් වූ බව පැහැදිලිව මට පෙනුණේය.

ඔහුගේ නියෝගය මත කාලිංගගේ දේශපාලන විග්‍රහය මා පළ නොකරන ලද්දේ එක මාසයක් පමණය. ඊළඟ මාසයේ සිට මා නැවත කාලිංගගේ විග්‍රහය පළ කළත්, ඔහු කෝපයෙන් ප්‍රතික්‍රියා කරන තැනකට ගියේ නැත.

ජනාධිපති ජේ.ආර්. ජනාධිපති ජයවර්ධන ඔහු මා වෙත කැඳවා රාවය තවදුරටත් පළකිරීමට අවශ්‍ය නම් කාලිංගගේ විග්‍රහය නැතිව එය පළකළ යුතු බවට මට නියෝග කළ බව මා දේශීය හෝ විදේශීය පුවත්පතකට දැනුම් දුන්නේ නම් එය උණුසුම් පුවතක් බවට පත්වන්නට ඉඩ තිබුණත්, එම අර්බුදය මගේ වාසියට හේතුවන ලෙස කෙළවර වන්නට ඉඩ නොතිබුණේය. ඒ වෙනුවට මා කළේ එක මාසයක් ඔහුගේ නියෝගය පිළිපැඳ ඊළඟ මාසයේ සිට නැවත කාලිංගගේ දේශපාලන විග්‍රහය පළකිරීමය. එහෙත් මා අදහස් පළකරන අවස්ථාවේදී ඔහුගේ මුහුණෙන් පළවූ වෙනස නොවේ නම් මා අනුගමනය කෙරෙන පිළිවෙත ඊට වෙනස් වන්නට ද ඉඩ තිබුණි. ඒ කාලයේ විරුද්ධ පක්ෂ පළ කළ පුවත්පත් හැරුණු විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වැඩියෙන්ම විවේචනයට ලක් කළ පුද්ගලයා මා විය හැකිය. එහෙත් මාගේ විවේචන ඔහුගේ කෝපයට හේතුවූයේ නැත. හේතුව නිසි සංයමයකින් හා ගෞරවයකින් යුතුව මා ඒ විවේචන ඉදිරිපත් කිරීමය.

අනෙක් අතට මා ඔහුගේ මට පෙනෙන නරක කතා කරනවාට අතිරේකව මට පෙනෙන ඔහුගේ හොඳ ද කතා කළෙමි. නිදහසින් පසු බිහිවූ රාජ්‍ය පාලකයන් අතරින් මා වැඩියෙන්ම අකමැති සේම කැමැති ද රාජ්‍ය පාලකයා ඔහු විය. ජේ.ආර්. ගැන ලියා පළ කරන ලද (මරණයෙන් පසුව) හැම ලිපියකම පාහේ ඒ ලක්ෂණය අඩංගු වී තිබුණේයැ”යි කිව හැකිය. ජනාධිපති ප්‍රේමදාස යුගයේදී ජනාධිපති වරයාගෙන් අනියම් ලෙස ලැබුණු ආරාධනයක් නොපිළිගැනීම නිසා මට පීඩාකාරී අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. දීගොඩ පියදාස හා පෙරමුණේ තිලක ඒ යුගයේ මට ආධාර කළ, ඒ වනවිට විශ්‍රාම ගිය තත්ත්වයක සිටි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් දෙදෙනෙක් වූහ. මේ දෙදෙනාම රාවයට ඇලුම් කළෝය. නැගී සිටින්නට ආධාර කළෝය. කිසියම් දිනක පෙරමුණේ තිලක මට දුරකතනයෙන් කතා කොට ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීපතම හා විශ්වාසවන්තම පුද්ගලයෙකුට මා හමුවීමට අවශ්‍ය වී තිබෙන බවත්, තමාට දක්වන සැලකිල්ලක් වශයෙන් ඒ ඇරියුම බාරගන්නා ලෙසත්, ඒ හමුවේදී මගේ හිතට එකඟව ක්‍රියාකිරීමේ අයිතිය මට තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මම ඔහුගේ යෝජනාවට එකඟවීමි. මා හමුවීමට අවශ්‍ය වී සිටි පුද්ගලයා බොබ් ඇඩව්ස්ය. ජනාධිපතිවරයාගේ පවුලේ උත්සවවලට ආහාර සපයන්නා ලෙස ක්‍රියා කළේ ඔහුය. එකල කොටුවේ ජී.ඕ.එච්. හෝටලයේ විධායක අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුය. නියම කරගත් දිනයට මා රැගෙන යන්නට පෙරමුණේ තිලක පැමිණ තිබුණේ බොබ් ඇඩව්ස්ගේ කාරයෙනි. අපි තිදෙනා ජී.ඕ.එච්. හෝටලයේදී පොඩි අඩියක් ද ගසමින් සුහද කතාබහක යෙදුණෙමු. ඔහු රාවය ගැන කතා කළේ ප්‍රශංසාත්මක ස්වරයෙනි. රටේ සිදුවන වැරදි නොබියව පෙන්වා දෙන පුවත්පතක් රටට අවශ්‍ය වී තිබුණ බවත්, ඒ වගකීම රාවය කරට ගැනීම රටේ යහපතට හේතුවන බවත් කියා සිටියේය. ඒ සමග ඔහු තමා ගැනත්, ඔහුට ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබූ සමීප සම්බන්ධයත් හෙළි කළේය. ඉන්පසු ඔහු කීවේ මා හමුවීමට ජනාධිපතිවරයා උනන්දුවෙන් සිටින බවත්, පුවත්පත් කතුවරයෙකු රටේ පාලකයා හමුවී කතා කිරීම වරදක් නොවන නිසා ඒ ආරාධනාව භාරගන්නා ලෙසත්ය.

මා එම ආරාධනාව එක එල්ලේ ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් එම සුහද හමුව පුවත්පතට දෙන සම්මුඛ සාකච්ඡාවක් බවට හරවා දෙන ලෙස ඉල්ලා සිටියෙමි. පළමු දිනයේ සුහද හමුවකුත් පසුදිනක පුවත්පත සඳහා සම්මුඛ සාකච්ඡාවකුත් කළහැකි බව ඔහු කියන්නට වූ අතර, ඒ දෙකම පළමු දිනයේම සිදුවනවා දැකීම මගේ කැමැත්ත බව මම ප්‍රකාශ කළෙමි.

ජනාධිපති ප්‍රේමදාසගේ උගුල

අප තිදෙනා මෙසේ කතා කරන අතර බොබ් ඇඩව්ස් විටින් විට ඒ ස්ථානය මගහැර ගොස් ටික වේලාවකට පසු ආපසු ආවේය. ඒ අතර කාලයේ ඔහු ජනාධිපති සමග දුරකතනයෙන් කතා කරන්නට ඇති බව පෙරමුණේ තිලකගේ සේ ම මගේද විශ්වාසය විය. අවසානයේ බොබ් ඇඩව්ස් අප දෙදෙනාගෙන් සමුගත්තේ ඔහුගේ නාම කාඩ්පතේ පිටුපස ජනාධිපති ප්‍රේමදාසගේ පෞද්ගලික දුරකතන අංකය ලියා මා අතට දෙමින් කොයි මොහොතක හෝ ජනාධිපතිට කතා කරන්නට අවශ්‍ය වේ නම් එහි සඳහන් අංකයට කතා කරන ලෙසත්, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ අංකයේ නොමැති නම් ටික වේලාවකින් මට ජනාධිපතිවරයා කතා කරනු ඇති බවත් ප්‍රකාශ කරමිනි. ඉන් දින පහකට පසුව (1991 අගෝස්තු 7 වැනි දින) දහවල් 2.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.කේ. ප්‍රේමචන්ද්‍ර ප්‍රමුඛ පොලිස් පරීක්ෂක කණ්ඩායමක් ගල්කිස්සේ පිරිවෙන පාරේ පිහිටි රාවය කාර්යාලයට කඩා පැන්නෝය.

කාර්යාලයේ ඉදිරිපස හා පසුපස ගේට්ටු වසා පිටතින් කාර්යාලයට ඇතුළුවීම හා කාර්යාලයෙන් පිටවීමට තිබෙන පුළුවන්කම නැති කළේය. ඉන්පසු පැමිණි කණ්ඩායම දෙදෙනා බැගින් වන ලෙස කණ්ඩායම් කිහිපයකට බෙදී කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂාවට ලක් කළේය. ඒ.කේ. ප්‍රේමචන්ද්‍ර, සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග මා නැවතුම් ගෙන සිටින කාමරයේ පොත්පත් සෝදිසි කළේය. ඔවුහු පැය හතරක් තරම් දීර්ඝ කාලයක් කාර්යාලය සෝදිසි කළෝය. අවසානයේ ගිණුම් අංශයේ තිබුණු සියලු පොත්පත් රැගෙන පිටවී ගියේ පසුදින පෙ.ව. 8.30ට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි තට්ටුවට පැමිණිය යුතු බව ද දැනුම් දෙමිනි. කාර්යාලයේ කොටුවී සිටි සියලුදෙනා නිවෙස්වලට යෑමට පිටවීමෙන් පසුව සිසිල් කළ බීර බෝතල් දෙකක් සඳහා අවශ්‍ය මුදල් මුරකරුට දී නාන කාමරයට වැදී මනසේ ඇතිව තිබූ පීඩාකාරී බව පහවන තෙක් වතුර නෑවෙමි.

ඉන්පසු බීරබොමින් සිදුවූයේ කුමක්ද, හෙට වෙන්නට යන්නේ කුමක්දැ”යි කල්පනා කරන්නට වීමි. හදිස්සියේම බොබ් ඇඩව්ස් සමුගැනීමට ප්‍රථම ඔහු විසින් කරන ලද ඉල්ලීම ද මට මතක් විය. මම මාගේ පෞද්ගලික කාමරයට ගොස් බොබ් ඇඩව්ස් දෙන ලද නාම කාඩ්පත රැගෙන දුරකතනය වෙත ගියෙමි. එකල එහි තිබුණේ අංක කරකවන දුරකතනයකි. කාඩ්පතේ පිටුපස ලියා තිබුණු ජනාධිපතිගේ අංකය කරකවන්නට වීමි. ජනාධිපතිගේ අංකය කරකවන අතර, සමස්ත රංගනය ජනාධිපතිවරයා මා තමා වෙත ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාවට නගන ලද සටකපට වැඩපිළිවෙලක් විය නොහැකිද යන ප්‍රශ්නය මගේ සිතට නැගුණි. ඒ සමග අංකය කරකැවිල්ල අතරමග නවතා ඉතිරි බීර බෝතලය ද බී සැහැල්ලුවෙන් නින්දට ගියෙමි. පසුදින නියම කරන ලද වේලාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි තට්ටුවට ගියෙමි. කටඋත්තරයක් ලබාගැනීම සඳහා මගෙන් ප්‍රශ්න කරන ලද්දේ ඒ.කේ. ප්‍රේමචන්ද්‍ර මහතාය. ප්‍රශ්න කළේ විදේශ මුදල් ගැනය. රාවයට විදේශ මුදල් ලැබී නැති බවත්, විදේශ මුදල් ලබාගැනීම නීතියට පටහැනි නැති බවත්, ආණ්ඩුව සේ ම පෞද්ගලික අංශය ද විදේශ මුදල් ලබාගන්නා බවත් රාවය සඳහා ද විදේශ මුදල් ලබාගත හැකි නම් ලබාගන්නා බවත් මම කියා සිටියෙමි. කටඋත්තරයක් ලබාගැනීමෙන් පසු මට ආපසු එන්නට ඉඩ දුන්නේය. ගිණුම් අංශයෙන් රැගෙන ගිය පොත් ගොන්න නම් ආපසු ලැබුණේ දීර්ඝ කාලයකට පසුවය. සුනිල් මාධව ප්‍රේමතිලක පළ කළ ලක්මිණ පුවත්පතේ පළවූ ගාන්ධි පිළිබඳව මගේ සම්මුඛ සාකච්ඡාවක් කියවා ප්‍රේමදාස ජනාධිපතිවරයා මා ගැන මහත් ප්‍රශංසාවෙන් කතා කළ බව එක් අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා දයාන් ජයතිලක කියා සිටියේය. ඒ වනවිට ඔහු ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස ක්‍රියා කළේය. තමාට නම් ගාන්ධි එතරම්ම වැදගත් පුද්ගලයෙකු නොවන බවත්, එහෙත් ගාන්ධි පිළිබඳව මගේ විග්‍රහය ජනාධිපතිවරයාගේ සිත් ගෙන තිබෙන බවත් ඔහුට මා හමුවී කතාබහක යෙදීමට අවශ්‍ය වී තිබෙන බවත් කී දයාන් ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියේය.

මට මගහැරීමට අවශ්‍ය වූ අතර, ඒ වන විට විදේශ පුහුණු පාඨමාලාවකට යාමට සැලසුම් කර තිබුණි. විදේශ පුහුණු පාඨමාලාවෙන් පසු මම ජනාධිපතිවරයා හමුවන බව දයාන්ට කීවෙමි. මා ප්‍රේමදාස ජනාධිපතිවරයාට උදව් කර නැතත්, මේ රටේ අවවරප්‍රසාදිත දුප්පත් ජනයාගේ ජීවිත නගා සිටුවීමට (ඒ සඳහා යොදාගත් සැලසුම්වල ගැටලු තිබිය හැකි වුවත්) ඇප කැපවූ ජනාධිපතිවරයා ඔහු විය. සීමිතකම් තිබුණා විය හැකි වුවත්, ඔහු වැනි ජනාධිපතිවරයෙකුට මා උදව් කළ යුතුව තිබුණානේදැ”යි කියන හැඟීමක් ඔහුගේ මරණයෙන් පසුව මා තුළ ඇතිවූ බව ද කිවයුතුය. රාවය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය විවේචනය කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ ද, ප්‍රේමදාස ජනාධිපතිවරයාට රාවය කෙරෙහි වෛරසහගත ආකල්පයක් නොතිබුණි.

චන්ද්‍රිකා යුගය

චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේ ආරම්භයේදී බෙන්තරදී සුනන්ද දේශප්‍රියට එල්ල කෙරුණු පහරදීමේ සිද්ධියේදී ජනාධිපතිනිය හමුවී ඒ ගැන කතා කරන්නට සූදානම් නම් මම ද ඔහු සමග එම සාකච්ඡාවට එන බව සුනන්දට කීවෙමි. සුනන්ද ඒ ගැන කැමැත්තක් නොදැක්වීම නිසා මට ඒ ගැන ජනාධිපතිනිය සමග තනියෙන් කතාකරන්නට සිදුවිය. එය ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිදුවූ පහරදීමක් විය. මා ඒ ගැන දෝෂාරෝපණාත්මක ස්වරයකින් ජනාධිපතිනිය සමග කතා කළ විට මින්පසු එවැනි දේවල් සිදුවන්නට ඉඩ නොතබන බවට ඇය සහතික විය. චන්ද්‍රිකා ජනාධිපතිනිය සමග තිබුණු සම්බන්ධය තිත්ත අතට හැරී ඇය සමග දරුණු ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට පත්වීමෙන් පසුත් ප්‍රශ්න පැන නැගුණු අවස්ථාවලදී වීථි උද්ඝෝෂණවලට අතිරේකව ආණ්ඩුවේ තෝරාගත් නායකයකු සමග හෝ ඒ ප්‍රශ්න සාකච්ඡා කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියෙමු. සමහරවිට එම සාකච්ඡා නිසා ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට හේතුවන නව ප්‍රතිපත්ති ඇති කරගැනීමට ද අපි සමත්වීමු.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු පුවත්පත් මණ්ඩල නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කෙරුණු අවස්ථාවේදීද මගේ දැඩි මතය වූයේ වීථි උද්ඝෝෂණවලට යන්නට පෙර විෂය භාර ඇමතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කරන තැනකට යායුතු බවය. අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා සමග කෙරුණු සාකච්ඡාවේදී පුවත්පත් මණ්ඩල නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ඔහු එකඟවූවා පමණක් නොව, එය නැවත ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර කල්තියා ජනමාධ්‍ය සංවිධානවලට ඒ බව දැනුම් දෙන බවට ද සහතික විය. කීත් නොයාර්ට එල්ල වූ ප්‍රහාරයේදී හා ඉන්පසු නාමල් පෙරේරාට එල්ල වූ ප්‍රහාරයේදීත් එම උද්ඝෝෂණවලට අතිරේකව පැන නැගී තිබෙන ප්‍රශ්න පාලකයන් සමග සාකච්ඡා කිරීමේ වැදගත්කම මම අවධාරණය කළෙමි. ඒ එල්ල වූ ප්‍රහාර ඉතාමත් අමානුෂික හා කුරිරු වුවත් දරුණු වෛරයක් ඇති කිරීමට හේතුවන තරම් බරපතළ වරදක් ජනමාධ්‍යවේදීන්ගේ පැත්තෙන් ද සිදුවී තිබුණි.

එහෙත් එම තත්ත්වයට ගැළපෙන ප්‍රඥාවකින් ක්‍රියාකිරීමට ජනමාධ්‍ය ව්‍යාපාර අසමත් විය. පාලකයන් විවේචනය කිරීමේ අයිතියක් අපට තිබෙනවා සේ ම, මහජනයා බලයට පත් කළ පාලකයකුට රට පාලනය කිරීමේ අයිතියක් ද තිබෙන බව ජනමාධ්‍යවේදීන් අමතක නොකළ යුතුය. ජනමාධ්‍යවේදීන් වශයෙන් අපට තිබෙන අයිතියට පාලකයා ගරු කළයුතු අතර, පාලකයාට තිබෙන අයිතීන්ට ජනමාධ්‍යවේදීන් ද ගරු කළ යුතුය. මීට පෙර ජනමාධ්‍ය නිදහස හා වගකීම් අළලා මා විසින් ලියන ලද ලිපියක් කියවා මා දන්නා උගත් පාඨකයකු අප දෙපක්ෂය අතින් (පාලකයන් හා ජනමාධ්‍යවේදීන්) සිදු කෙරෙන තුවාල කිරීම් ගැන අපූරු අදහසක් මට කීවේය. ඔහු කීවේ පාලකයන් කරන තුවාල කිරීම්වලදී ඒ තුවාලවලින් ලේ ගලන නිසා ඒවා බාහිර වශයෙන් සමාජයට පෙනෙන මුත්, ජනමාධ්‍යවේදීන් තුවාල කරන විට එය කරන්නේ පෑනෙන් වන නිසා ඒ නිසා ඇතිවන තුවාලවලදී තුවාල බාහිර වශයෙන් ලේ ගැලීමක් සිදුනොවන නිසා බරපතළ හානියක් සිදුවී ඇති බව බාහිරට නොපෙනෙන මුත් ඒ නිසා ඇතිවන අභ්‍යන්තරික තුවාල සමහරවිට සදා පැසවන බවය.

ජනාධිපති ඔබාමාගේ ව්‍යාපාරික උපදේශකයා කියා තිබෙන්නේ සමාජයට උගන්වන ගුරුවරුන් ලෙස ක්‍රියාකරන්නේ ජනමාධ්‍යවේදීන් වන නිසා ඔවුන් නූගත් හෝ ප්‍රඥාවන්ත නොවන පිරිසක් වේ නම්, නූගත් හා ප්‍රඥාවන්ත නොවන දේශපාලනඥයන් අතින් සිදුවන හානියට වැඩි හානියක් එවැනි ජනමාධ්‍යවේදීන් අතින් සිදුවිය හැකි බවය. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කිරීම හොඳය. එහෙත් ශක්තිමත් ඉදිරි දැක්මක් නැතිව සටන් කරන්නන් වාලේ සටන් කරන්නට යෑමෙන් විය හැකි විනාශය ද විශාල විය හැකිය.

Editors Note

Kalinga was the pen name under which Ivan wrote political analysis in Ravaya during the
Jayewardene years. The raid he describes took place on 7 August 1991. Bob Adams was then
executive director of the GOH Hotel in Fort and catered for President Premadasa’s family
occasions. Dayan Jayatilleka was at that time an adviser to President Premadasa. The attack
on Sunanda Deshapriya at Bentota occurred early in Chandrika Kumaratunga’s first term.