එල්ටීටීඊය අත්පත් කරගෙන සිටි භූමි ප්‍රමාණයෙන් 99.5%ක් තරම් ප්‍රමාණයක් ද ඔවුන් සතුව තිබූ බර ආයුධවලින් විශාල ප්‍රමාණයක් ද අත්පත් කරගනිමින් ඉතිරි වී සිටින එල්ටීටීඊ නායකයන් හා ක්‍රියාධරයන්ගේ පැවැත්ම වර්ග කිලෝමීටර් 50-60ක් තරම් සුළු භූමි ප්‍රමාණයකට සීමා කරමින් ඔවුන් හැම පැත්තකින්ම වට කරනු ලැබූ තත්ත්වයකට පත්කිරීමට ආරක්ෂක හමුදා සමත් වී තිබේ. එහෙත් තම පාලන ප්‍රදේශවල ජීවත් වූ එල්ටීටීඊ දේශපාලන ආධිපත්‍යය පිළිගන්නා කිසියම් විශාල ජන කොටසක් බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් තමන් සමග රැඳී සිටින තත්ත්වයක් පවත්වාගෙන යෑමට සමත් වී තිබීම නිසා ඉතිරි වී සිටින එල්ටීටීඊ නායකයන්ට හා ක්රියාධරයන්ට පහර දී විනාශ කිරීම හෝ අත්අඩංගුවට ගැනීම හා ඉතිරි වී තිබෙන පුංචි භූමි ප්‍රදේශය නිදහස් කරගැනීම දුෂ්කර හා සංකීර්ණ දෙයක් බවට පත්වී තිබේ.? ජාත්‍යන්තර ප්‍රජාවට කෙබඳු මතවාද හෝ විවේචන තිබුණද එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය වී තිබෙන බව හා ඔවුන් යටත්විය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවගේ පිළිගත් පොදු මතය වී තිබේ.
යුද්ධය පරාජය වී ඇතත්, එල්ටීටීඊය අවි බිම තබා යටත් වන්නට සූදානම් නැත. ඒ වෙනුවට බලහත්කාරයෙන් හෝ කැමැත්තෙන් අවනත කරගෙන සිටින විශාල ජනතාවක් ආරක්ෂක පළිහක් ලෙස යොදාගනිමින් මියයමින් තිබෙන පණ රැකගැනීමට උත්සාහ කරමින් සිටී. එල්ටීටීඊය සමග එහි සිටින ජනයා වචනයේ නියම අර්ථයෙන් සිවිල් ජනයා ලෙස සැලකිය නොහැකි වුවත් එම ජනයාගේ ආරක්ෂාව නොසලකා පහරදෙන තැනකට යෑමේ හැකියාවක් ද ආරක්ෂක හමුදාවලට නැත. මෙම ප්රශ්නය රටේ අනාගතය කෙරෙහි බලපාන වැදගත් හා තීරණාත්මක ප්‍රශ්නයක් ලෙස සලකා මේ මොහොතේ භේදයකින් තොරව ආණ්ඩුවට ආධාර කිරීම සියලු දේශපාලන පක්ෂවලට සේම පුරවැසියන්ගේ ද වගකීමකි. අනාගත ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී කරදරවලින් හා තර්ජනයන්ගෙන් තොර රටක් බවට පත්කර ගැනීම ඒ සියලුදෙනාගේ ඉලක්කය විය යුතුය. ආණ්ඩුවට මේ අවස්ථාවේදී කළහැකි හොඳම දේ මෙම ආරාවුලට යොමුවී සිටින සිවිල් ජනයාගේ ආරක්ෂාව ගැන කතා කරන ලෝක සංවිධාන හා බලවතුන් අමතා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හෝ ආත්ම ගෞරවයට කිසිදු හානියක් ඇති නොවන ආකාරයට එල්ටීටීඊ ත්රස්තවාදයේ පැවැත්මට ඉඩ නොලැබෙන ආකාරයට, ආණ්ඩුවේ හා ආරක්ෂක හමුදාවල විශ්වාසයට හේතුවන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීම මගින් මෙම ප්රශ්නය විසඳා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමය.
ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන ඕනෑම වැඩසටහනක් ආණ්ඩුවේ හා ආරක්ෂක හමුදාවල දැඩි පරීක්ෂාවට යටත්ව සිදුවිය යුතුය. වැඩසටහනේ එකම අරමුණ විය යුත්තේ සිවිල් ජනයා මුදා ගැනීම පමණය. මුදාගන්නා සිවිල් ජනයා ආණ්ඩුවට භාර කළ යුතුය. එල්ටීටීඊය යටත් වන්නේ නම් හෝ යටත් කරගන්නේ නම් ඔවුන් ආරක්ෂක හමුදාවලට භාරදිය යුතු අතර, ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා ආණ්ඩුවට හිමිවිය යුතුය. ත්‍රස්තවාදය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් නොව, මුළු ලෝකයටම විනාශකාරී ලෙස බලපා තිබෙන බව ජාත්‍යන්තර ප්‍රජාව අමතක නොකළ යුතුය. එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව කරන යුද්ධයක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මුළු ලෝකය කෙරෙහිම යහපත් ලෙස බලපාන බව තේරුම් ගනිමින් මෙම තීරණාත්මක මොහොතේ ත්රස්තවාදයට කිසිදු ශක්තියක් නොලැබෙන ආකාරයට මේ ගැටුම අවසන් කිරීම හා ශ්‍රී ලංකාවට ආධාර කිරීම ඔවුන්ගේ යුතුකම හා වගකීම වන බව ද ඔවුන් තේරුම් ගත යුතුය.
අනාථ කඳවුරුවල සිටින රැඳවියන් සම්බන්ධයෙන් මේ මොහොතේ පවත්වාගෙන යන දැඩි ප්‍රතිපත්තිය ද රටේ ආරක්ෂාව සඳහා අවශ්‍යම කොන්දේසියක් වන බව ද ඔවුන් තේරුම් ගත යුතුය. මෙම ආරාවුලේ තිබෙන දුෂ්කරම දේ වනුයේ සාමාන්‍ය ජනයා කව්ද, ක්‍රියාකාරී ත්රස්තවාදියා කව්ද යන්න හඳුනා ගැනීමය. එවැනි වර්ග කිරීමකින් තොරව කඳවුරුවල සිටින සියලු දෙනාට නිදහසේ ගමන් බිමන් කිරීමේ අයිතිය ලබාදිය හැක්කේ කෙසේද? යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පමණක් මෙම අර්බුදය ජයගත නොහැකි බව හා ඒ සමග මෙම අර්බුදය කෙරෙහි බලපා ඇති හේතු හඳුනා ගනිමින් ඒවාට සාධාරණ විසඳුම් ලබාදෙන තැනකට යෑම අත්‍යවශ්‍ය බව ද ආණ්ඩුව තේරුම් ගත යුතුය.