ව්‍යවස්ථා සභාව, උයන්ගොඩ හා විග්නේෂ්වරම්

March 22, 2009
Publication:
The Jathika Hela Urumaya objects to Jayadeva Uyangoda's nomination to the Constitutional Council because he once served a twelve-year sentence, and the prime minister to C.V. Wigneswaran's. Ivan answers that the 1977 government repealed the law Uyangoda was sentenced under and gazetted that it should not follow him, that Gandhi, Mandela and D.S. Senanayake were all imprisoned men, and that being Tamil does not make a retired Supreme Court judge a separatist. The deeper fault, he argues, is a constitution written to place the president above itself.

පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ ව්‍යවස්ථා සභාව සඳහා මහාචාර්ය ජේ. උයන්ගොඩ සිය නියෝජිතයා ලෙස නම් කර තිබේ. අවුරුදු 12ක සිරදඬුවමක් නියම වූ පුද්ගලයෙකු ව්‍යවස්ථා සභාව වැනි උත්තරීතර ආයතනයට පත්කරනවාට විරුද්ධවෙමින් ජාතික හෙළ උරුමය ඒ ගැන ජනාධිපතිවරයා වෙත සිය විරෝධය පළකර තිබේ. මීට අතිරේකව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන ආකාරයට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරන්ගේ පත්කිරීමට අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ද විරෝධය පළකර තිබේ. වාර්ගික අර්බුදය පිළිබඳව පළ කරන අදහස්වල වෙනස්කම් තිබුණද, භික්ෂු ව්‍යාපාරයක් වශයෙන් ජාතික හෙළ උරුමයේ භික්ෂුන් වහන්සේලා අයත් වන්නේ ද මහාචාර්ය උයන්ගොඩ අයත් වන්නේ ද ග්‍රාමීය සමාජයේ එකම සමාජ පන්තියකටය. එනම් ග්‍රාමීය සමාජයේ නිර්ප්‍රභූ අවවරප්‍රසාදිත සමාජ පන්තියටය. උයන්ගොඩ පීඩිත සමාජ තත්ත්වයක සිට අධ්‍යාපනය ඔස්සේ ප්‍රමුඛ සමාජ තත්ත්වයක් හිමි කරගත් උගතෙකු ලෙස සැලකිය හැකිය.

ඔහු 1971 අප්‍රේල් කැරැල්ල හරහා බිහිවූ අතිවිශේෂ පුද්ගලයෙකු ලෙස ද සැලකිය හැකිය. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා විෂයෙහි ප්‍රමුඛ තත්ත්වයක් හිමි කරගත් සමාජ විද්‍යාඥයෙකු වුවද, ඔහුගේ නියම සහජ දක්ෂතා තිබුණේ සාහිත්‍ය නිර්මාණකරණයේය. ඔහු දේශපාලන සිරකරුවෙකුව සිරගෙදර සිටියදී පිරිසිදු අර්ථයෙන් කෙටිකතා හෝ නවකතා ලෙස සැලකිය නොහැකි ඒ දෙකේම අපූරු මිශ්‍රණයක් ලෙස සැලකිය හැකි කතා එකතුවක් ලීවේය. මොන යම් හේතුවක් නිසා හෝ එම එකතුව අද දක්වා පළකර නැතත්, එම එකතුව තුළින් ඔහු සාහිත්‍ය නිර්මාණකරණයේදී තමන්ට තිබෙන සුවිශේෂ හැකියාව ඉතා ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කළ අතර, සාහිත්‍ය නිර්මාණකරණයට ආයුබෝවන් නොකියන්නට ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළේ සාහිත්‍ය නිර්මාණකරුවකු වන්නට ඉඩ තිබුණේය. ඔහුට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව දොළොස් අවුරුදු සිරදඬුවමක් නියම කළ බව සත්‍යයකි.

එහෙත් 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය අහෝසි කරමින් එම නීතිය යටතේ දඬුවම් ලබමින් සිටි සියලුදෙනා නිදහස් කළා පමණක් නොව, ඔවුන් ලැබූ දඬුවම් මින් මතු ඔවුන්ගේ ජීවිත කෙරෙහි බලනොපෑ යුතු බව කියන විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය. උයන්ගොඩ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම වරදක් නොවේ නම්, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස සේවය කිරීම වරදක්වන්නේ කෙසේදැ”යි සිතා ගැනීම අමාරුය. සිරදඬුවම් ලබන හැම පුද්ගලයෙකුම ඔහුට සිරදඬුවම් පැමිණවීමට බලපෑ හේතු නොසලකා අපරාධකරුවකු ලෙස සැලකිය යුතු නම් මහත්මා ගාන්ධි හා නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් සලකන්නට වන්නේ ද කිසිම වැදගත් තනතුරක් ඉසිලීමට අයිතියක් නැති අපරාධකරුවන් ලෙසය. එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක වැනි නායකයන් ද සිරදඬුවම් නියමවූවන් බව අමතක නොකළ යුතුය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරම් ව්‍යවස්ථා සභාවට පත් කරනවාට විරුද්ධවන්නේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි නැත. ඔහු ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගිය පසු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කරන ලද ප්‍රසිද්ධ විවේචනය ඔහුගේ ඍජු බව හා අවංකභාවය පළවූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔහු දමිළයෙකු වූ පමණකින් දෙමළ බෙදුම්වාදී අදහස් දරන්නෙකු ලෙස සැලකීම අසාධාරණය. ව්‍යවස්ථා සභාවට නම් කළ පුද්ගලයන් දෙදෙනෙකුට විරෝධතා ඇතත්, ඉදිරිපත් කර තිබෙන නාමලැයිස්තුව පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයා එහිදී කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යන්නේද යන්න පැහැදිලි නැතත්, මෙම දේශපාලන ක්‍රමය යටතේ බිහිවන කිසිම ජනාධිපතිවරයෙකු සිය එකඟතාව ඇතුව මිස තමන්ගේ බලතල සීමා කරන ප්‍රතිපත්තියකට කැමති වනු ඇතැ“යි සිතිය නොහැකිය.

ව්‍යවස්ථා සභාව නොපිහිටුවහොත් ව්‍යවස්ථාව උල්ලංඝනය කළාය කියන චෝදනාව ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ හැකි වුවත්, එවැනි ව්‍යවස්ථා උල්ලංඝනයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම දේශපාලන ක්‍රමයට ඇතුළත් නැත. යහපාලනයක් ගැන සිහින දකින වැඩිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආවේණික මෙම මූලික දෝෂය නිවැරදි කිරීමේ අවශ්‍යතාව තවමත් තේරුම් ගෙන ඇති බවක් ද පෙනෙන්නට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කොට තිබෙන්නේ ජනාධිපති ව්‍යවස්ථාවට පහළින් සිටින ආකාරයට නොව, ඉහළින් සිටින ආකාරයටය. නැත්නම් අවශ්‍ය අවස්ථාවලදී ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන ආකාරයටය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහගත කර තිබෙන ආකාරය ගැඹුරින් සලකා බැලීමකට ලක්කිරීමකින් තොරව එවේලේ මතුවන හදිසි දේශපාලන අවශ්‍යතාවන් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූට්ටු කළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික දර්ශනයට නොගැළපෙන ලෙස එකතු කළ දඩිබිඩි සංශෝධන ලෙස සැලකිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඉහළින් සිටින ජනාධිපතිවරණයකදී හැර අන් කාටවත් වග නොකියන බලගතු ජනාධිපතිවරයෙකු ඇති කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික දර්ශනය ලෙස සැලකිය හැකිය. මෙම මූලික දර්ශනයේ පැහැදිලි වෙනසක් ඇති කිරීමෙන් තොරව විධායක ජනාධිපතිගේ තටු කපන ක්‍රමයක් ලස්සණ විය හැකි වුවත්, ප්‍රායෝගික නැත. පැහැදිලි වෙනසක් අවශ්‍ය නම් ව්‍යවස්ථාවට ඇතුළත් එම මූලික දර්ශනය වෙනස් විය යුතුය. එසේ කළහැකි වනු ඇත්තේ පාලකයා මුල් කරගත් දර්ශනයක් වෙනුවට රට හා රටේ ජනතාව මුල් කරගත් දර්ශනයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙනි. තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවැනි දර්ශනයකට ගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. මොනවත් නැතිවාට වඩා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැන්නක් හෝ තිබීම හොඳ විය හැකි වුවත් එම දඩිබිඩි ව්‍යවස්ථා සංශෝධනය බරපතළ දෝෂවලින් යුතු බව අමතක නොකළ යුතුය.

ස්වාධීන තත්ත්වයක තිබිය යුත්තේ මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම හා මානව හිමිකම් කොමිසම පමණක්ද? ජාතික අධ්‍යාපන කොමිසම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි කොමිෂන් සභා ස්වාධීන තත්ත්වයක තිබිය යුතු නැද්ද? අනෙක් අතට විශාල වැටුප් ගෙවන ව්‍යවස්ථා සභාවක් වැනි ආයතන ගොඩනගන විට එම වැටුප් ලබන අයට වැඩ කිරීමට ප්‍රමාණවත් තරම් වැඩ කොටසක් ද ලැබිය යුත්තේය. මෙම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පූර්ණකාලීන සේවයක යෙදෙන බව සලකා වැටුප් ගෙවනු ලැබුවත් ඔවුන්ට තිබෙන එකම කාරිය ස්වාධීන කොමිෂන් සභාවලට හා තවත් ආයතන කිහිපයකට සුදුසු පුද්ගලයන් නිර්දේශ කිරීම හෝ ජනාධිපති කරන නිර්දේශ සලකා බැලීම පමණය. තවත් ආයතනවලට පත්කරන පුද්ගලයන්ගේ විනය පාලනය ඔවුන්ට අයත් නැත. ඔවුන් නම් කරන පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි සොයා බැලීමට තැනක් නැත.

මීට අතිරේකව ඉන්දියාවේ මෙන් සමස්ත රාජ්‍ය ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ බලය ඔවුන්ට ලබාදිය හැකිය. ව්‍යවස්ථා සභාවේ තරාතිරමට හා ගෞරවයට ගැලපෙන අතිරේක වැඩ කොටසක් පවරාදීම මගින් ඔවුන්ට ගෙවන වැටුප් වෙනුවෙන් ඵලදායී සේවාවක් ලබාගත හැකිවිය. එහෙත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කර ඇත්තේ එවැනි පුළුල් දර්ශනයක් ඇතිව නොවේ.