පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ගැන වැඩිදුරටත්

March 15, 2009
Publication:
Replying to a Peradeniya medical student who objected to his earlier column, Ivan asks why selling medical services is acceptable if selling medical education is not, and sets World Health Organization figures for doctors, nurses and pharmacists per ten thousand people against those of Bangladesh, India, Malaysia, Korea and Europe. Two per cent of Sri Lankan children who start school reach a degree, against forty in Korea; the state holds a monopoly on universities it cannot fund, and twenty-two billion rupees a year leaves the country with the students it turns away.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වැදගත්කම අළලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම හොඳද? නරකද? යන තේමාව යටතේ පළවූ මාගේ ලිපියට පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් (ඉරංග මධුෂාන්) ලියන ලද පිළිතුරු ලිපියක් ““වෛද්‍ය වෘත්තිය මුදලට ලඝු කිරීම උචිතද”” යන තේමාව යටතේ පළකොට තිබුණි. මාතෘකාව එසේ වුවත් ලිපිය ලියා තිබුණේ පොදුවේ වෛද්‍ය සේවාව මුදලට ලඝු කිරීම ගැන නොව වෛද්‍ය අධ්‍යාපනය මුදලට ලඝු කිරීම ගැනය. වෛද්‍ය සේවා මුදලට විකුණනවාට මෙම වෛද්‍ය ශිෂ්‍යයා විරුද්ධ බවක් ඔහුගේ පිළිතුරු ලිපියෙන් පෙනෙන්නේ නැත. ඔහු විරුද්ධ වන්නේ වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකුණනවාට පමණය. වෛද්‍ය සේවා මුදලට විකිණීම වරදක් නොවේ නම්, වෛද්‍ය අධ්‍යාපනය පමණක් මුදලට විකිණීම වරදක් වන්නේ කෙසේද? අනෙක් අතට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයක් මුළු ලෝකයටම උචිත වේ නම්, එය ශ්‍රී ලංකාවට පමණක් අනුචිත වන්නේ ඇයි? දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, බංගලිදේශය, නේපාලය වැනි රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයක් පවතී.

ලෝකයේ දියුණු රටවල ද එවැනි ක්‍රමයක් පවතී. අපේ රටට පමණක් එවැනි ක්‍රමයක් උචිත නොවන්නේ ඇයි? ඉරංග මධුෂාන් වෛද්‍ය ශිෂ්‍යයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයකට පමණක් නොව, ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල ක්‍රමය ප්‍රසාරණය කරනවාටද විරුද්ධය. ඔහු මෙසේ කියයි. ““සෞඛ්‍ය අධ්‍යාපනයට අනුව අද ලංකාවේ වෛද්‍යවරුන් අතිරික්තයක් පවතී. ඉක්මණින් ලංකාවේ වෛද්‍ය අවශ්‍යතා සංතෘප්ත වනු ඇත.”” ““එසේ නම් රජය කළයුත්තේ තවත් වෛද්‍ය විද්‍යාල ආරම්භ කර තරුණ සමාජය සිහින පාරාදීසයකට කැන්දාගෙන යාමද? එසේත් නැත්නම් නූතන තාක්ෂණ විද්‍යාව සමග යන විවිධ ක්ෂේත්‍රවල විවිධ රැකියා අවශ්‍යතා සඳහා පාඨමාලා ඇති කිරීමද?”” ඉන් පෙනෙන්නේ මෙම වෛද්‍ය ශිෂ්‍යයා තමාගේ යහපත මුල් කොටගෙන ලෝකය දකින්නට උත්සාහ කරන බව නොවේද? නූතන ලෝකයේ විශේෂ සේවාවන් සඳහා මිනිසුන් පුහුණු කරන්නේ දේශීය රැකියා වෙළෙඳපොළ පමණක් ඉලක්ක කොටගෙන නොවේ. ලෝක රැකියා වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙනය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් අතිරික්තයක් ඇතැ”යි කියන මතය පිළිගත නොහැකිය. දේශීය රැකියා වෙළෙඳපොළේ වෛද්‍යවරුන් සඳහා ඉල්ලුමක් නැතත්, ලෝක රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇත්නම් ලෝක රැකියා වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන අප වෛද්‍යවරුන් නිපදවිය යුතුය. අපේ සෞඛ්‍ය සේවාවන් නොදියුණු රටවල් සමග සසඳන විට දියුණු තත්ත්වයක තිබුණද දියුණු රටවල් සමග සසඳන විට පවත්නේ නොදියුණු තත්ත්වයකය. රටක් දියුණු වන විට වෛද්‍යවරයෙකු යටතට වැටෙන ජනගහනයේ ප්‍රමාණය ද කුඩා විය යුතුය. එයින් ඔප්පු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව නොකඩවා ඉහළයමින් තිබෙනවා මිස පහළ වැටෙමින් නොතිබෙන බවය. සාමාන්‍ය අදහසක් ඇති කරගැනීමට ප්‍රයෝජනවත් දත්ත සමහරක් මෙසේය. දත්ත ඉදිරිපත් කිරීමේදී වෛද්‍යවරුන්ට සීමා නොවී හෙදියන්/වින්නඹුවන් හා ඖෂධවේදීන් පිළිබඳ සංඛ්‍යා දක්වා ඇත්තේ වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පිළිබඳව පාඨකයන්ට තක්සේරුවක් ඇතිකර ගැනීම සඳහාය.

දත්ත ලබාගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙනි.

මෙම සටහන මඟින් විවිධ රටවල් දහයක් සඳහා ජනගහනයෙන් පුද්ගලයින් දසදහසකට සිටින වෛද්‍යවරුන්, හෙදියන්/වින්නඹුවන් සහ ඖෂධවේදීන් සංඛ්‍යාව දක්වයි. බංගලිදේශයේ පුද්ගලයින් දසදහසකට වෛද්‍යවරුන් 3ක්, හෙදියන්/වින්නඹුවන් 3ක් සහ ඖෂධවේදීන් 1කට වඩා අඩු සංඛ්‍යාවක් (< 1) සිටිති. ඉන්දියාවේ වෛද්‍යවරුන් 6ක්, හෙදියන්/වින්නඹුවන් 13ක් සහ ඖෂධවේදීන් 5ක් ද, මැලේසියාවේ වෛද්‍යවරුන් 7ක්, හෙදියන්/වින්නඹුවන් 18ක් සහ ඖෂධවේදීන් 1ක් ද වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, වෛද්‍යවරුන් 6ක්, හෙදියන්/වින්නඹුවන් 17ක් සහ ඖෂධවේදීන් 1කට වඩා අඩු සංඛ්‍යාවක් (< 1) වාර්තා වේ. කොරියාවේ එම සංඛ්‍යාවන් වෛද්‍යවරුන් 16ක්, හෙදියන්/වින්නඹුවන් 41ක් සහ ඖෂධවේදීන් 11ක් ලෙස ඉහළ යයි. ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් 25ක්, හෙදියන්/වින්නඹුවන් 97ක් සහ ඖෂධවේදීන් 7ක් සිටින අතර, කැනඩාවේ වෛද්‍යවරුන් 19ක්, හෙදියන්/වින්නඹුවන් 101ක් සහ ඖෂධවේදීන් 8ක් සිටිති. යුරෝපීය රටවල් දෙස බැලීමේදී, ඩෙන්මාර්කයේ වෛද්‍යවරුන් 36ක්, හෙදියන්/වින්නඹුවන් 101ක් සහ ඖෂධවේදීන් 7ක් ද, ජර්මනියේ වෛද්‍යවරුන් 34ක්, හෙදියන්/වින්නඹුවන් 80ක් සහ ඖෂධවේදීන් 6ක් ද සිටින බව දැක්වේ. අවසාන වශයෙන්, ඉහළම අගයන් වාර්තා කරමින් ස්විට්සර්ලන්තයේ පුද්ගලයින් දසදහසකට වෛද්‍යවරුන් 40ක්, හෙදියන්/වින්නඹුවන් 110ක් සහ ඖෂධවේදීන් 6ක් සේවය කරන බව මෙමගින් පැහැදිලි වේ.

මේ තොරතුරුවලට අනුව ජනගහනයෙන් 10,000කට වැටෙන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අනුව අපේ රටේ තත්ත්වය බංගලිදේශයට වඩා දෙගුණයක් තරම් ප්‍රමාණයකින් යහපත් වුවත් දක්වා ඇති අනෙක් රටවල්වලට සාපේක්ෂව අපේ තත්ත්වය යහපත් නැත. එහි අප සිටින්නේ ඉන්දියාවට සමාන තත්ත්වයකය. මැලේසියාවේ තත්ත්වය ඉන්දියාව හා ශ්‍රී ලංකාවට වඩා යහපත්ය. කොරියාව සිටින තැනට එන්නට නම් අපේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 266%කින් වැඩි කළ යුතුය. එම තත්ත්වය ප්‍රසාරණය කරගත හැකිවනු ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය හැකිළීමෙන් නොව, විශාල ප්‍රමාණයකට ප්‍රසාරණය කිරීමෙනි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන අර්බුදය මෙසේ කෙටියෙන් සම්පිණ්ඩනය කළ හැකිය.

  1. පාසල් අධ්‍යාපනයට එකතුවන්නන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් දක්වා අධ්‍යාපනය ලබන්නන්ගේ ජාතික අනුපාතිකය තිබෙන්නේ පහළම මට්ටමකය. ඉන්දියාවේ පළමුවෙනි ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනයට එකතුවන්නන්ගෙන් 8%ක් ද, කොරියාවේ 40%ක් ද, ජපානයේ 55%ක් ද උපාධි අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබන මුත් ශ්‍රී ලංකාවේ එම අනුපාතිකය 2%ක් තරම් පහළ මට්ටමක පවතී.
  2. ශ්‍රී ලංකාවේ උපාධි අධ්‍යාපනයක් දක්වා අධ්‍යාපනය ලබන්නන්ගේ අනුපාතිකය එතරම් පහළ මට්ටමක තිබියදීත් උපාධි අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලබන සියලුදෙනාට උපාධි අධ්‍යාපනයක් ලබාදෙන ආයතන ක්‍රමයක් රටේ නැත. විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමේ ඒකාධිකාරී අයිතිය තිබෙන්නේ රජයටය. එහෙත් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ඉඩ ඇත්තේ උපාධි අධ්‍යාපනයට පිවිසීමට සුදුසුකම් ලබන 14%කට පමණය. මෙම විශ්වවිද්‍යාල විසින් පවත්වාගෙන යන බොහොමයක් පාඨමාලා රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවන් සමග නොගැළපීමක් ද පවතී.
  1. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ඇති එහෙත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ඉඩක් නොලැබෙන අයට එක්කෝ උසස් අධ්‍යාපනය අතරමග අත්හැරීමට හෝ එතෙර රටකට ගොස් ගාස්තු ගෙවා උපාධි අධ්‍යාපනයක් ලබාගැනීමට හෝ ප්‍රමිතිය හෝ ගුණාත්මක භාවිතය පිළිබඳව නියාමන අධිකාරියක පරීක්ෂාවට යටත් නැතිව ආයෝජන මණඩලයේ අනුමැතිය ලබාගෙන විදේශීය විශ්වවිද්‍යාලවල සහයෝගීතාව යටතේ පුද්ගලික ආයතන පවත්වාගෙන යන උපාධි පාඨමාලා ගාස්තු ගෙවා හැදෑරීමට හෝ සිදුවී තිබේ.
  2. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලබන සියලුදෙනාට රජයේ වියදමින් උපාධි අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාවක් නැති නිසා ගාස්තු අය කොට උපාධි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාල ඇති කිරීමේ බලය පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් පිළිගන්නා පොදු මතය වී ඇතත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් එල්ල වී තිබෙන විරෝධය නිසා විශ්වවිද්‍යාල සඳහා රජයට තිබෙන ඒකාධිකාරී අයිතිය ලිහිල් කිරීමට දේශපාලන බලධාරීහු මැලිවෙති.

නියාමන අධිකාරියක අධීක්ෂණයකට යටත්ව පෞද්ගලික අංශයට විශ්වවිද්‍යාල ආරම්භ කොට පවත්වාගෙන යෑමේ අයිතිය ලබාදෙතහොත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ඉඩ නොලබන සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ට වඩා අඩු මිලකට උපාධි අධ්‍යාපනයක් ලබාගැනීමේ ඉඩ විවර වන්නේය. ඒ මගින් විදේශ උපාධි අධ්‍යාපනය සඳහා විදේශ රටවලට ධනය ඇදීයෑම අධෛර්යමත් කළ හැකිය. එවැනි වැඩපිළිවෙලක් විදේශ ශිෂ්‍යයන්ගේ ද ආකර්ෂණය දිනාගැනීමට, සමත් වෙතොත් එය රටට විදේශ විනිමය ආදායම් උපයා දෙන වැදගත් උල්පතක් බවට ද පත්කරගත හැකිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ඇති සියලු දෙනාට නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදීමේ ආර්ථික හැකියාව රටට නැත්නම් නොමිලේ අධ්‍යාපනයක් ලබාදිය යුත්තේ ඒ සඳහා යන වියදම දරන්නට බැරි අයට පමණය. වියදම දැරීමේ හැකියාව අනුව මිල අයකර ගන්නා හා මුළුමනින් නොමිලේ අධ්‍යාපනය ලබන හෝ වියදමෙන් කොටසක් පමණක් ගෙවන අයගෙන් රැකියාවක් ලැබීමෙන් පසු ඒ මිල අයකර ගන්නා ප්‍රතිපත්තියක් ඇති කරගත හැකිය.

අධ්‍යාපනය රටට අනවශ්‍ය බරක් නොවනු ඇත්තේ එවිටය. පාසල් ක්‍රමය හා විශ්වවිද්‍යාල ක්‍රමය පහසුකම් ඇතිව නවීන කළ හැකි වනු ඇත්තේ ද එවිටය. අධ්‍යාපන ඇමතිවරයා 2008 ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයකට අනුව එම වසරේදී උපාධි අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ඇදී ගොස් තිබෙන ශිෂ්‍ය සංඛ්‍යාව 3200කි. ඕස්ට්‍රේලියාවට 3000කි. 300-400ත් අතර ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබේ. විදේශ උපාධි අධ්‍යාපනය සඳහා වසරකට රටින් පිටවී යන ධනයේ ප්‍රමාණය රුපියල් බිලියන 22ක් බවට ඇස්තමේන්තු කර තිබේ. 2007 වසරේදී වෛද්‍ය උපාධි අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලැබූවන්ගෙන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට අවස්ථාවක් ලැබුණේ 33%කට හෙවත් 5114කට පමණය. වෛද්‍යවරුන් වීම ඒ සියලුදෙනාගේම ඉලක්කය විය. එහෙත් 33%ක් වෛද්‍ය විද්‍යාලවලට තේරෙන විට ඉතිරි 67%ට ඒ අරමුණ කරා ළඟාවීමට තිබෙන ඉඩ ඇහිරුණේ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් නොතිබුණු නිසා නොව, ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාලවල ඉඩ නොතිබුණු නිසාය.

එවැනි අයට දිය හැකි හොඳම විකල්පය නියාමන අධිකාරියක අධීක්ෂණයට යටත්ව ක්‍රියාකරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමයක් ඇති කිරීම නොවේද? පෞද්ගලික අධ්‍යාපනයේදී පමණක් නොව, රජයේ අධ්‍යාපනයේදීද ඒ සඳහා යන වියදමක් පවතී. උපාධිධාරී වෛද්‍යවරයෙකු සඳහා යන වියදම රුපියල් ලක්ෂ 21ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එහෙත් මේ ඇස්තමේන්තුව සකස් කර ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනයට කරන වාර්ෂික වියදම ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදීමෙනි. විශ්වවිද්‍යාල ඉදිකිරීම සඳහා කර තිබෙන වියදමේ කොටසක් ද ඊට ඇතුළත් කළහොත් ඒ වියදම එක උපාධිධාරියෙකු සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ විය හැකිය. යෝජිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අය කරන්නට යන මුළු පාඨමාලා ගාස්තුව ලක්ෂ 60කි. ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාලවලින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු සඳහා යන රුපියල් ලක්ෂ 25 හෝ 30 රටේ බදු ගෙවන්නන් ගෙවන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා බදු ගෙවන්නන්ට බරක් නොවී ඒ වියදම තමා විසින්ම දරනු ලබයි.

තමාගේ වියදමින් අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති අයට ඒ සඳහා ඉඩ නොදිය යුත්තේ ඇයි? මා කල්පනා කරන ආකාරයට රජයේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනයක් ලබාදෙන අයගෙන් පවා ගාස්තුවක් අය කරගත යුතුය. මුළු වියදම ගෙවීමේ හැකියාව ඇති අයගෙන් මුළු මුදල ද, මුළු වියදම ගෙවීමේ හැකියාව නැති අයගෙන් ගෙවිය හැකි ප්‍රමාණය පමණක් ද ලබාගෙන ඉතිරිය රැකියාවක් ලැබීමෙන් පසුද, කිසිවක් ගෙවීමේ හැකියාවක් නැති අයට නොමිලේ අධ්‍යාපනය ලබාදී රැකියාවක් ලැබීමෙන් පසු ඒ මුළු මුදල ආපසු අයකර ගැනීම ද කළ යුතුය. රටේ විශ්වවිද්‍යාල ක්‍රමය පහසුකම්වලින් ආඪ්‍ය නවීන විශ්වවිද්‍යාල ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත්තේ එවිටය. වර්තමානයේ විශ්වවිද්‍යාලවල ඉදිරි ගමන වළකන විලංගුවක් ලෙස ක්‍රියා කරන ශිෂ්‍ය සටන්වලට ලැබෙන වැදගත්කම බිඳ වැටෙනු ඇත්තේ ද එවිටය.

Editors Note

The reply is to a letter by Iranga Madushan, a medical student at Peradeniya, published
under the title ‘වෛද්‍ය වෘත්තිය මුදලට ලඝු කිරීම උචිතද’. It answers Ivan’s own column of 22
February 2009 on the licensing of the country’s first private medical college. The
comparative figures are from the World Health Organization’s website.