පෑරුණු හදවත් සුව කිරීම

March 1, 2009
Publication:
Written as the military defeat of the LTTE became inevitable, this article shifts focus to the monumental task of post-war reconciliation. The author argues that true victory requires healing the psychological wounds of the Tamil people, acknowledging past mistakes by the Sinhalese, and addressing legitimate minority grievances. Drawing a powerful historical parallel to the successful rehabilitation of JVP youth after the 1971 insurrection, the piece advocates for a compassionate, rehabilitative approach for surrendered LTTE cadres and a unified, cross-ethnic national effort to rebuild the North.

ප්‍රභාකරන්ගේ ඊළාම් යුද්ධය අවසාන වශයෙන් පරාජය කිරීමට හැකිවනු ඇතත්, ඒ සමග දෙමළ ජනතාවගේ පෑරී තිබෙන හදවත් සුවකිරීමේ දුෂ්කර අභියෝගය ද රට ජයගත යුතුව තිබේ. කැරැල්ලක් පරාජය කිරීම ප්‍රසන්න ක්‍රියාවක් නොවේ. රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටි පිරිසක් බලය යොදා පරාජය කිරීමකදී එය ජයග්‍රාහකයා තුළ උද්දාමයක් ඇති කිරීමට හේතුවනු ඇතත්, පරාජිතයා තුළ ඇති කරන්නේ, අනුකම්පා විරහිත මර්දනයක් පිළිබඳ අප්‍රසන්න හැඟීමකි. යුද්ධය කෙරුණේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහිව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවූවත්, එල්ටීටීඊයට කැමති නොකැමති සියලු දෙමළ ජනතාවට එය වහාම පෙනෙනු ඇත්තේ දෙමළ ජනතාව අභිබවා සිංහල ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසය. ඒ සමග මිනිස් ජීවිත අහිමිවීම්, තුවාල සිදුවීම් හා දේපළ විනාශය යුද්ධයක නිරත දෙපාර්ශ්වය කෙරෙහි බලපාන මුත් එහි පීඩාව වඩාත්ම බලපාන්නේ ජයග්‍රාහකයා කෙරෙහි නොව, පරාජිතයා කෙරෙහිය.

ජයග්‍රාහකයාට ලැබෙන ජයග්‍රහණයේ උද්දාමය නිසා තමන්ට සිදුවූ හානි අමතක කළ හැකිය. එහෙත් පරාජිතයාට පරාජයේ වේදනාව තුළ දකින්නට ලැබෙන්නේ තමන්ට සිදුවූ විනාශයේ හා පීඩාවේ බරපතළකම ගැන පමණය. පෑරී තිබෙන දෙමළ හදවත් සුවපත් කොට යථා තත්ත්වයට ගැනීමට නම්, ඒ සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙලක් රටට තිබිය යුතුය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම රටේ පොදු යහපතට පමණක් නොව, දෙමළ ජනතාවගේ ද යහපතට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණු බව හා ඔවුන් දෙමළ ජනතාවට විමුක්තිය ගෙනදීම පිණිස ක්‍රියාකළ විමුක්තිවාදී ව්‍යාපාරයක් නොව දුක, වේදනාව හා විනාශය ගෙනදුන් විනාශකාරී ව්‍යාපාරයක් වන බව එක් අතකින් දෙමළ ජනතාවට තර්කානුකූලව කියාදිය යුතුය. ඒ සමග සිංහල, දෙමළ භේදය ගැටුමක් දක්වා වර්ධනයවීම කෙරෙහි සිංහලයන් අතින් ද වැරදි සිදුවී ඇති බව හා ඒ වැරදි ගැන වැටහීමක් හා අවංක කණගාටුවක් සිංහල අප තුළ ඇති බව ඔවුන්ට පෙන්නුම් කළයුතු අතර, ඔවුන්ගේ සාධාරණ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදෙමින් සමාන අයිතිවාසිකම් ඇති පුරවැසි ප්‍රජාවක් බවට පත්කිරීමට අවශ්‍ය කරන වෙනස්කම් ඇති කිරීමට සූදානම් බව ද ඔවුන්ට පෙනෙන්නට සැලැස්විය යුතුය.

ඔවුන්ගේ අභ්‍යන්තර තුවාලවලට ප්‍රතිකාර කරන අතර, බාහිර තුවාලවලට ද ඉක්මනින් ප්‍රතිකාර කරන තැනකට යා යුතුය. තමන්ගේ පවුල්වල සාමාජිකයන් අහිමි වූ අය තුවාල ලබා සිටින අය සේම දේපොළ අහිමි වූ හා උන්හිටි තැන් අහිමිවූ විශාල පිරිසක් ඔවුන් අතර සිටිති. ආණ්ඩුව භාරයට පත්ව සිටින අය අතර, බරපතළ අපරාධවලට වගකිවයුතු අය හා එසේ නොවන කාර්ය ධරයන්, සාමාන්‍ය ජනයා වශයෙන් වර්ග කිරීමක් කරනු ඇතැ”යි සිතිය හැකිය. භාරවීම යන්නෙන් අදහස් වන්නේ යටත්වීමකි. යටත්වීමකදී බරපතළ අපරාධවලට වගකිවයුතු අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හා භාරවූ අයකු අතර, විශාල වෙනසක් ඇති අතර, භාරවන්නා තුළ තමන් කළ ක්‍රියා ගැන පසුතැවීමක් හා පරාජය පිළිගැනීමක් සංකේතවත් කරයි. එවැනි අය පුනරුත්ථාපනය කොට යහපත් පුරවැසියන් බවට පත්කිරීමේ වගකීමක් රජයට ඇත්තේය. මෙහිදී 71 කැරලිකරුවන් සම්බන්ධයෙන් එවකට සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය ආදර්ශයට ගත හැකිය.

ආණ්ඩුව පළමු දින කිහිපය තුළ අනුකම්පා විරහිතව කැරැල්ල මර්දනය කළේය. මරා දමන ලද අයගේ සංඛ්‍යාව 30,000 ක් ලෙස විජේවීර ප්‍රකාශ කර ඇතත්, 50,000 ක් පමණ දෙනා මරණයට පත්විය. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු නොමග ගිය දරුවන් රජයට භාර කරන ලෙස රජය මහජනයාගෙන් ඉල්ලා සිටියේය. දෙමාපියන් විසින් රජයට භාරදෙන ලද අයගේ සංඛ්‍යාව 13,000 ක් පමණ වූ අතර, 5000 ක් පමණ අත්අඩංගුවට ගත්තේය. මෙම සියලුදෙනා රඳවා ගැනීම පිණිස තිබුණු හිරගෙවල්වල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා තිබුණු විශ්වවිද්‍යාල පහෙන් දෙකක් (විද්‍යාලංකාරය හා විද්‍යෝදය යන විශ්වවිද්‍යාල) රැඳවුම් කඳවුරු බවට පත්කරන ලදි. විශාල පිරිසකගේ වාසස්ථාන බවට පත්වූයේ රැඳවුම් කඳවුරුවල ඉදිකළ තාවකාලික පොල්අතු මඩුය. ආරම්භක අවස්ථාවේදී ඔවුන්ට පස් පොළොව මත නිදාගන්නට සිදුවූයේ පැදුරු වෙනුවට බිම එලා ගත් කොළ අතුවලය.

ආරම්භක අවස්ථාවේදී දෙන ලද ආහාරවල තත්ත්වය ඉතාමත් අයහපත් විය. ආරම්භක අවස්ථාවේදී දෙමාපියන්ට සිය දරුවන් බැලීමට අවස්ථාවක් ලබානොදෙන ලද අතර, ඔවුන්ට සිය දරුවන් සඳහා අවශ්‍ය ඇඳුම් පාර්සලයක් කඳවුර වෙත භාරදීමේ අයිතිය ලැබුණි. දෙවැනි අදියර වනවිට සිරකරුවන්ට ලබාදෙන පහසුකම්වල දියුණුවක් ඇතිවූ අතර, ඒ සමග අත්අඩංගුවේ සිටි පුද්ගලයන් ජවිපෙට හා කැරැල්ලට ඇති සම්බන්ධයේ ප්‍රමාණය සොයාගැනීම සඳහා වන පරීක්ෂණ ඇරඹුණි. සමහර හඳුනාගත් පුද්ගලයන් කඳවුරුවලින් රැගෙන ගොස් දීර්ඝ කාලයක් (සමහරවිට මාස 3 ක් දක්වා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා ගත් අතර, ඔවුන් ආපසු නොඑනු ඇති බවට විවිධ කටකතා කඳවුරුවල සිටින සිරකරුවන් අතරත් පිටත සමාජයේත් පැතිරී යන තත්ත්වයක් තිබුණි. පරීක්ෂණවලදී සිරකරුවන්ට පහර දුන්නේය. බහුතර පිරිසක් පහරදීම් නිසා නොව සිත්වල ඇතිව තිබූ පශ්චත්තාපය නිසා තමන් දන්නා තොරතුරු නොවළහා හෙළිදරව් කළේය.

ඒ නිසා විවිධ සැකකරුවන් ජවිපෙට හෝ කැරැල්ලට සම්බන්ධ වී තිබෙන ප්‍රමාණය හරියාකාරව තේරුම් ගැනීමට පරීක්ෂකයන්ට හැකිවිය. පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසුව 14,000 ක් පමණ පිරිසක් විටින් විට නිදහස් කර හරිනු ලැබීය. ඉන්පසු අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය නමින් වන විශේෂ නීතියක් ඇති කොට රඳවාගෙන සිටි ඉතිරි අයගේ නඩු අසන තැනකට ගිය අතර, ඒ නඩුවලදී ද තවත් විශාල සංඛ්‍යාවක් අත්හිටවූ සිරදඬුවම් මත නිදහස් කර හරින ලදි. අවසානයේ 1977 එජාප ආණ්ඩුව බලයට පත්වී කැරැල්ලේ දඬුවම් ලබා සිටි සිරකරුවන්ට පොදු සමාවක් ලබාදෙන අවස්ථාව වන විට සිරගෙවල්වල සිටියේ සිරදඬුවම් ලැබූ 500 කටත් අඩු පිරිසකි. පළමු කැරැල්ලෙන් වසර 15 කට පසුව විජේවීරගේ ප්‍රධානත්වයෙන් ජවිපෙ වඩා සාහසික ආකාරයකින් දියත් කළ දෙවැනි කැරැල්ලේදී ඊට පළමු කැරැල්ලේ අයගෙන් 2% ක්වත් සහභාගී නොවූහ.

දෙවැනි කැරැල්ලේදී ඊට ක්‍රියාකාරී ලෙස එරෙහිවූවන් බවට පත්වූයේ ද පළමු කැරැල්ලේ සාමාජිකයෝය. 71 කැරැල්ලේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා යොදාගත් පිළිවෙතට සමාන පිළිවෙතක් ප්‍රභාකරන්ගේ කැරැල්ලේ කැරලිකරුවන් සඳහා ද යොදාගත හැකිය. ඔවුන් හරියාකාරව පුනරුත්ථාපනය කිරීමට සමත් වෙතොත්, දෙමළ ජනතාව අතර අනාගතයේ ඇතිවිය හැකි ප්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවලට එරෙහිව පළමුවෙන්ම නැගී සිටින පිරිස බවට පත්වනු ඇත්තේ ද ඔවුන්ය. මීට අතිරේකව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන වැඩපිළිවෙලක් ද අවශ්‍ය වන්නේය. උතුර නැවත ගොඩනැගීම සඳහා වන කඩිනම් සංවර්ධන ව්‍යාපාරයක් දියත් කළ යුතුව තිබෙන අතර, ඒ සඳහා ජාත්‍යන්තර ආධාරවලට සීමා නොවී දකුණේ සිංහල ජනයාගේ ද ආධාර ලබාගන්නා ප්‍රතිපත්තියක් මගින් මෙම වර්ග දෙක අතර පවතින දුරස්ථ බව තුනී කළ හැකිය.

Editor’s Note

Published in March 2009, this visionary piece looks beyond the immediate military triumph to address the looming psychological and social fallout of the war. By directly comparing the necessary rehabilitation of Tamil militants to the state’s handling of Sinhalese JVP rebels in the 1970s, the author provides a historically grounded blueprint for restorative justice and national healing.