2005-2010 දක්වා ආපසු හැරී බැලීමක්

December 18, 2011
Publication:
The years 2005 to 2010 were a period crowded with events: a great war between the government and the LTTE, and alongside it a great conflict between the government and the opposition movements. Ivan had wanted for some time to write a review of the conflict between those two sides in those five years, and of his own part in it.

2005-2010 සිදුවීම්වලින් ගහණ ඉතාමත් උද්වේගකර කාලවකවානුවක් වීයැ”යි කිව හැකිය. ඒ කාලයේ ආණ්ඩුව හා එල්ටීටීඊය අතර ලොකු යුද්ධයක් තිබුණු අතර ඒ සමග ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතරද මහා ගැටුමක් තිබුණි. මෙම වසර පහක කාලය තුළ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පැවති ගැටුම පිළිබඳවත් ඒ ගැටුම තුළ මගේ ක්‍රියාකාරීත්වය ගැනත් ආපසු හැරී බැලීමක් කරන විමර්ශනාත්මක ලිිපියක් ලිවීමේ උනන්දුව මා තුළ ඇතිවූයේ මීට ටික කලකට ඉහතදීය. එම උද්වේගකර වසර පහ ගැන කරන විමර්ශනයකින් දේශපාලන විෂය ගැන උනන්දුවක් දක්වන අයට උගත හැකි පාඩම් ගණනාවක් ඇතැ”යි කිව හැකිය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග මා ඇති කරගෙන තිබූ ගැටුම් නිසා ඇගේ පාලනයේ ඉක්මන් අවසානයක් දැකීමේ වුවමනාවක් මට තිබුණේය. එහෙත් ඉන්පසු සරල ආණ්ඩු පෙරළි දේශපාලනයට සම්බන්ධවීමේ උනන්දුවක් මට නොතිබුණි. සරල ආණ්ඩු පෙරළි දේශපාලනය මට තිත්ත වී තිබුණේයැ”යි කිව හැකිය. මා ඇති කරගෙන තිබුණු නිගමනය වූයේ යහපත් වෙනසක් සඳහා දේශපාලන ක්‍රමයේ වෙනසක්ද අත්‍යවශ්‍ය වන බවය. සරල ආණ්ඩු පෙරළි දේශපාලනයකට සම්බන්ධ නොවී දේශපාලන ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන මහජනතාව දැනුවත් කිරීම සඳහා උපරිම ලෙස දායකවීම මගේ අලුත් අභිලාෂය වීයැ”යි කිව හැකිය.

මගේ භාවිතය

ඒ සමග මගේ සුපුරුදු දේශපාලන හැසිරීමද මට වෙනස් කරගැනීමට සිදුවිය. සරල ආණ්ඩු පෙරළි දේශපාලනයකදී වැදගත් වන දේවලට සම්බන්ධ නොවී සිටීමට මට අවශ්‍ය වූ අතර ඒවාට සම්බන්ධ වෙන්නට ගියහොත් නැවත මා මගේ අරමුණින් ඉවත් වී, නැවත ආණ්ඩු පෙරළි දේශපාලනයේ හිරකාරයකු බවට පත්විය හැකි බව මම දැන සිටියෙමි. රටේ පවතින දේශපාලන තරගය මට පෙනුණේ රට පාලනය කරනවාට අතිරේකව අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය හිමිකර ගැනීම සඳහා කැරෙන වියරු පොරයක් ලෙසය. මෙම පොරයට දේශපාලකයන්, උගතුන් හා ජනමාධ්‍යවේදීන් පමණක් නොව සාමාන්‍ය සමාජයද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට අනුගතවී සිටින්නේයැ”යි කිව හැකිය. මෙම පොරයට දායකවන්නන්ට, ලබාදෙන දායකත්වයේ ප්‍රමාණය අනුව, තිළිණ ප්‍රදානය කැරෙන ක්‍රමයක්ද, මේ ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ. ජයග්‍රාහී කණ්ඩායමේ ඉහළම නායකයන්ට රට පාලනය කිරීමේ බලයද ඊට අතිරේක වශයෙන් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය හිමිවන්නේය. ඊට පහළින් සිටින තවත් පිරිසකට ආණ්ඩුවේ විවිධ ආයතන පාලනය කිරීමේ බලය හා ඒවායින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතියද හිමිවන්නේය. තුන්වැනි පිරිස ලෙස සැලකිය හැකි සාමාන්‍ය ආධාරකරුවන්ට විශේෂ පුරවැසි පිරිසක් ලෙස ජීවත්වීමේ අයිතිය ලැබෙන්නේය. එවැනි අයට අවශ්‍ය සුදුසුකම් නැතිවත් රැකියා ලබාගත හැකිය. රැකියා කරන අයට අවශ්‍ය සුදුසුකම් නැතිවත් උසස්වීම් ලබාගත හැකිය. තමන්ගේ දරුවන් පගාවකින් තොරව හොඳ පාසල්වලට ඇතුළත් කරගත හැකිය. පොලීසිය සමග කරන ගනුදෙනුවලදී විශේෂ රැකවරණයක් ලබාගත හැකිය.

මේ පොරය තුළ විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන් පාලක පක්ෂයට එරෙහිව එහි දූෂණයට, භීෂණයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව හඬ නගන්නන් ලෙස ක්‍රියා කළ යුතුය. ඔවුන් එසේ කළයුත්තේ වඩා හොඳ හා යහපත් ආණ්ඩුවක් ඇති කරගැනීමේ අභිලාෂයෙන් නොව පාලක පක්ෂයට මහජනයා අතර තිබෙන පිළිගැනීම අහිමි කොට ඔවුන් පිළිකුලට හා අවමානයට ලක් කොට සිය පක්ෂය පාලක පක්ෂය බවට පත්කිරීම සඳහාය. විරුද්ධ පක්ෂය පාලක පක්ෂය වූ විට එහි ආධාරකරුවන් තමන්ට ලැබෙන වරප්‍රසාද මත ආණ්ඩුව කරන සියලු වැරදි වැඩවලදී ආණ්ඩුව ආරක්ෂා කළ යුතුය. ඊළඟ වටයේදී අලුත් ආණ්ඩුවේ දූෂණයට, භීෂණයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව හඬ නගන්නන් බවට පත්වන්නෝ ඊට පෙර පාලන බලයේ ඉඳිමින් හා ඊට සම්බන්ධවෙමින් දූෂණය, භීෂණය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ පිරිසය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය, භීෂණය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ගැන හඬ නගන ප්‍රකාශකයන්ගෙන් වැඩි පිරිසක් එජාප පාලන යුගවල හෝ චන්ද්‍රිකා පාලන යුගයේ විවිධ තනතුරු දැරූ අය වන අතර ඔවුහු එම තනතුරුවල සිටියදී දූෂණයෙන්, භීෂණයෙන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලින් තොර ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ අය නොවෙති. ඔවුන් කතා කරන්නේ දූෂණය, භීෂණය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ගැන වුවත් ඔවුන් අපේක්ෂා කරන්නේ දූෂණයෙන්, භීෂණයෙන් තොර යහපාලනයක් ඇති රටක් නොව, නැවත ආණ්ඩු බලය ලබාගැනීමය. ඒ මගින් නැවත තනතුරු ලබාගනිමින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අවස්ථාව තමන් වෙත හිමිකර ගැනීමය.

මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බලයට පත්වන හැම පාලකයෙක්ම හා පාලනයක්ම අඩු වැඩි වශයෙන් දූෂිතය. ඒ කිසිදු පාලනයක් තුළ නීතියේ පාලනයක් නොතිබුණේය. දූෂණය රජ කළේය. ඥාති මිත්‍ර හා පාක්ෂික සංග්‍රහය ඉහළම මට්ටමකම තිබුණි. එය මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ බිහිවූ සියලු පාලකයන්ට ආවේණික පොදු ලක්ෂණය වුවද ඒ නරක ලක්ෂණය එසේම තිබියදීත් සමහර පාලකයෝ රටේ යහපතට හේතුවන දේවල් ද කළෝය. එහිදී සමහර පාලකයන් තවත් පාලකයන්ට වඩා ඉදිරියෙන් සිටියෝය. හොඳ හෝ දක්ෂ පාලකයන් ලෙස සලකන්නට සමාජය පුරුදු වී සිටින්නේ ඉහත විස්තර කළ නරක ලක්ෂණය තිබියදීත් රටේ යහපත පිණිස වැඩ කළ පාලකයන්ය.

ඉතිහාසයේ අදාළභාවය

මා හැම ලිපියකදීම අනවශ්‍ය ලෙස ඉතිහාසය ඇදගන්නා බවට මගේ සමහර මිතුරෝ පවා මට චෝදනා කරති. පරණ දේවල් වෙලා ඉවරයි. ඒගොල්ලො දැන් ජීවතුන් අතරත් නෑ. හැමදේටම ඒගොල්ලො ඈඳ ගැනීමේ තේරුමක් තිබේදැ”යි ඔවුහු ප්‍රශ්න කරති. ඔවුන් මහින්ද රාජපක්ෂ තනිකොට විවේචනය කරනවා හෝ පහර දෙනවා දකින්නට කැමතිය. වෙනත් පාලකයන් සමග කරන සැසඳීම්වලට කැමති නැත. ඔවුන් මාගේ එම ප්‍රවේශයට විරුද්ධවන්නේ ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය කරන සටන දුර්වල කරන නිසාය. එම ප්‍රවේශය බලයේ සිටින ආණ්ඩුවේ වැරදිවලට සීමා නොවී තිබුණු ආණ්ඩුවල වැරදිද මතක් කරදෙන නිසාය. අවසාන විග්‍රහයේදී උනුත් එකයි මුනුත් එකයි කියන්නා වැනි හැඟීමක් මහජනතාව තුළ ඇති කරන නිසාය. එම ප්‍රවේශය සරල ආණ්ඩු පෙරළිවලට තිබෙන ඉඩ අහිමි කොට දේශපාලන ක්‍රමය කෙරෙහි මහජන අවධානය යොමු කරන නිසාය. මාගේ විවේචනයන් වෙනදා මෙන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ආධාර නොවන නිසාය. එහෙත් මා හිතන්නේ මාගේ ප්‍රවේශය නිවැරදි බවය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අහඹුවක් නොවේ. එයද දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයකි. මේ දේශපාලන ක්‍රමය තුළ මීට පෙර පහළ වු ආණ්ඩු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා වෙනස් නොවීය. ඒ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් දූෂිත විය. අඩු වැඩි වශයෙන් අත්තනෝමතික විය. මෙම අවාසනාවන්ත තත්ත්වයෙහි යහපත් වෙනසක් ඇති කරගත හැක්කේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කැරෙන සරල ආණ්ඩු පෙරළියකින් නොව, තිබෙන දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමට හේතුවන ආණ්ඩු පෙරළියකින් පමණය. එහෙත් රටේ තිබෙන ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සරල ආණ්ඩු වෙනසක් මිස දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා නොකරයි. එවැනි අවංක අපේක්ෂාවක් ඇති කර ගැනීමේ හැකියාවක්ද ඔවුන්ට නැත.

2005 පසුබිම

චන්ද්‍රිකා අවලංගු වී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම නිසා චන්ද්‍රිකාගේ පවුලේ බූදලයක්ව තිබූ ශ්‍රීලනිප එම පවුලට අහිමිවීම මගේ සතුටට හේතුවූ කරුණක් ලෙස සැලකිය හැකිය. එහෙත් රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර 2005 ජනාධිපතිවරණය තරගයේදී මා වෙනදා මෙන් එක කණ්ඩායමක් තෝරාගෙන ඊට මුළු වැර යොදා ආධාර කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේ නැත. මට ඒ ගැන තිබුණේ කවුරු දිනුවත් මට වැදගත් නැතැ”යි කියන්නා වැනි හැඟීමකි. සරල ආණ්ඩු පෙරළි දේශපාලනයක ඇති නිරර්ථකභාවය තේරුම් ගැනීමෙන් පසුව මැතිවරණවලදී මා කිසිවකුට ඡන්දය පාවිච්චි කර නැත. කර ඇත්තේ ඡන්දය කටුගෑම හෝ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමය.

රනිල් චන්ද්‍රිකා සමග සන්ධානගතවී ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවී තිබීම නිසා රනිල් ලබන ජයග්‍රහණයක් චන්ද්‍රිකාගේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැ”යි කියන හැඟීමක් සේ ම ඒ හේතු නිසාම රනිල් පරාජය වීම වඩා යහපත්වේයැ”යි සිතන තත්ත්වයක්ද මා තුළ තිබුණි. එසේම මහින්ද සමග එකතු වී සිටි අන්තවාදී බලවේගයන් නිසා ඔහු ලබන ජයග්‍රහණයක් රට අන්තවාදී තැනකට තල්ලු කිරීමට හේතුවනු ඇතැ”යි කියන බියක් ද මා තුළ තිබුණේයැ”යි කිව හැකිය.

දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ගැන මා තුළ බලවත් අනුකම්පාවක් තිබුණද ප්‍රභාකරන් හා එල්ටීටීඊය ගැන මා තුළ හැමදාමත් සැකයක් තිබුණි. ඒ සමග තිබෙන ප්‍රශ්න යුද්ධයෙන් නොව සාකච්ඡා මගින් විසඳා ගැනීම වඩා යහපත්වේය කියන හැඟීමක්ද මා තුළ තිබුණි. එල්ටීටීඊය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම මෙම ප්‍රශ්නය අවංක ලෙස විසඳා ගැනීමේ අරමුණින් ඇති කරගත් දෙයකට වඩා දෙපැත්තේ නායක දෙපළම අවස්ථාවාදී හේතු මත ඇති කරගත් උපාය මාර්ගික එකඟත්වයක් යන්න වහාම නොවෙතත් මා ක්‍රමයෙන් ඇති කරගෙන තිබූ මතය වූයේය. මට පෙනුණු අන්දමට එවැනි ගිවිසුමක් මගින් රනිල්ට අවශ්‍ය වී තිබුණේ ඒ මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේද සහාය ඇතිව ඊළඟ ජනාධිපතිවරණය තෙක් තනතුරේ රැඳී සිටීමය. ප්‍රභාකරන්ට අවශ්‍ය වී තිබුණේද ඔහුගේ ව්‍යාපාරයට එරෙහිව පනවා තිබෙන ජාත්‍යන්තර තහංචි ඉවත් කරගැනීම මගින් ඊලමක් දිනාගැනීම සඳහා කරන අරගලයේ පදනම ශක්තිමත් කරගැනීමය.

ජනාධිපති බලය එක පක්ෂයක අත තිබියදීත් පාර්ලිමේන්තු ආණ්ඩුවලට තවත් පක්ෂයක් අතට පත්වීම ශ්‍රී ලංකාව සඳහා නවමු අත්දැකීමක් වූ අතර රනිල් වික්‍රමසිංහ උගත් ඇසූ පිරූ දේශපාලන නායකයකු වුවද එවැනි ද්වන්ද්ව බල තත්ත්වයක් තුළ තමන්ට ලැබී තිබුණු ආණ්ඩු බලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යායුතු ආකාරය ගැන ඔහුට හරි තක්සේරුවක් නොතිබුණි. ජනාධිපතිනි චන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසුරුවා හරින තෙක්ම එසේ කරනු ඇතැ”යි රනිල් විශ්වාස නොකළේය. එවැනි ක්‍රියාවකට ජාත්‍යන්තරය ඉඩ නොදෙනු ඇතැ”යි ඔහු තරයේ විශ්වාස කළේය.

ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතුයැ”යි කියන බලකිරීමේ ව්‍යාපාරයක් කරළියට ගත්තේ රනිල්ය. එහෙත් එහි වාසිය ගියේ මහින්දටය. ජනාධිපතිනිය වරක් ප්‍රසිද්ධියේද, තවත් වරක් අප්‍රසිද්ධියේද යනාදී වශයෙන් දෙවරක් දිවුරුම් දී තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ උපදෙස් මතය. සරත් නන්ද සිල්වාගේ බෙල්ල හිරවී තිබෙන අවස්ථාවක ඔහු ගලවා ගන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකාය. එහෙත් අවසානයේදී චන්ද්‍රිකාගේ පැවැත්ම අවලංගු කරන ලද්දේ ද ඔහු විසිනි. එහෙත් ඒ දේ කිරීම මගින් මහින්ද රාජපක්ෂගෙන් ලොකු වන්දියක් ඔහු අපේක්ෂා කළේය.

චන්ද්‍රිකාගේ අවලංගුවීමත් සමග මහින්දගේ පැවැත්ම ශක්තිමත් විය. මහින්ද හා රනිල් අතර පැවති තරගය ළඟ ළඟ තරගයක් වුවත් ජයගැනීමේ වැඩි වාසිය තිබුණේ රනිල්ටය. අප්‍රසිද්ධියේ වුවත් චන්ද්‍රිකාගේ සහාය ලැබුණේද රනිල්ටය. ඇය ඊළඟ ජයග්‍රාහකයා තනතුරේ දිවුරුම් දෙන තෙක් නිල බලයෙන් රටේ ජනාධිපතිනිය වූ අතර ශ්‍රීලනිපයේද නායිකාව වූවාය. ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා අනුගමනය කළ ප්‍රතිපත්තිය ශ්‍රීලනිපයේ ජාතික මට්ටමේ නායකයන් අතර ව්‍යාකූලතාවක් ඇති කිරීමට හේතුවී තිබුණි.

ජේවීපීයට සිය ඉතිහාසය පුරාම තිබුණේ මහින්ද විරෝධී ආකල්පයකි. මහින්ද අගමැති කරනවාට පවා ඔවුහු විරුද්ධ වූහ. ඔවුන් අගමැතිකමට ගන්නට උත්සාහ කළේ ලක්ෂ්මන් කදිරගාමර්ය. එහෙත් මේ අවස්ථාවේදී ඔවුන්ට මහින්ද හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නොතිබුණි. ජේවීපීය තමන්ගේ ප්‍රමාණයට වඩා ලොකු කෘත්‍රිම පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගෙන සිටි තත්ත්වයක් තුළ මහින්ද ජයගතහොත් ඔහුගේ ගමන් මග තීරණාත්මක ලෙස හැසිරවීමේ බලය තමන්ට ලැබෙනු ඇතැ”යි විශ්වාස කරමින් මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම ශක්තිය යොදා ක්‍රියාකරන තැනකට යොමුවිය. මහින්ද හා මංගල අතර පැවති අතීත සම්බන්ධයද යහපත් නොවීය. චන්ද්‍රිකාගේ පාලන යුගයේදී ඒ ආණ්ඩුවේ සිටි ලොකුම මහින්ද විරෝධියා වූයේ මංගලය. එහෙත් ජනාධිපතිවරණයේදී මහින්දට ආධාර කරනවා හැර ගත හැකි අන් මගක් ඔහුටද නොතිබුණේය. රනිල් වික්‍රමසිංහට තිබුණු පිළිගැනීම මුළුමනින් නැතිභංග කර තිබුණේ මංගලය. ඔහුගේ පළිගැනීමට ලක් නොවී සිටීමට, ඔහු පරාජය කිරීමේ අවශ්‍යතාව මංගලට ද තිබුණි. මහින්ද සමග කොතරම් මතභේද තිබුණද ජේවීපීයේද ආධාර ඇතිව මහින්ද අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් දිනාගැනීමට හැකිවනු ඇතැ”යි මංගලගේද විශ්වාසය වී තිබුණි.

මහින්දට දෙමළ ඡන්ද තීරණාත්මක නොවූවද රනිල්ට දෙමළ ඡන්ද තීරණාත්මක විය. ප්‍රභාකරන්ට රනිල් කෙරෙහි විශාල ප්‍රසාදයක් නොතිබුණද අන්තර් වාර පාලනයක් සඳහා රනිල් සමග රහසිගත ගිවිසුමක් ඇති කරගන්නට ප්‍රභාකරන් උත්සාහ කළේය. එල්ටීටීඊය සමග ගිවිසුමක් ඇති කරගන්නවා තබා ජනාධිපතිවරණයේදී ඔවුන් සමග ඇඟෑලුම්කමක් තිබෙන බව පෙන්වන්නටවත් රනිල් කැමති නොවීය. ඒ මොහොතේ ප්‍රභාකරන් සමග සම්බන්ධකම් පැවැත්වීම බූමරංගයක් විය හැකි බව රනිල්ගේ සේ ම ඔහුගේ උපදේශකයන්ගේද මතය විය. එල්ටීටීඊ ආධාරයකින් තොරවම ජනාධිපතිවරණය ජයගත හැකි බව රනිල්ගේ අඳ බාල දේශපාලන උපදේශකයන් දරන ලද දැඩි මතය විය. ජනවර්ග අර්බුදය එල්ටීටීඊය සමග කැරෙන සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් මගින් විසඳා ගැනීමට හැකියැ”යි රනිල් විශ්වාස කළේ නම් හා ඒ සඳහා දුරදිග ගිය ගිවිසුමක්ද ඇති කරගැනීමට සමත් වී නම් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරණය ජයගැනීම සඳහා එල්ටීටීඊය සමග එකඟතාවක් ඇතිකර ගැනීමට රනිල් බියවිය යුතුව තිබුණේ නැත. දෙපක්ෂයටම එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම පිළිබඳව පැහැදිලි හා ශක්තිමත් අදහසක් නොතිබුණේ දෙපක්ෂයම කර තිබුණේ බොරුවක් වන නිසාය. ඒ නිසා එහි අවසාන වාසිය ලැබුණේද දෙපක්ෂයට නොව මහින්දටය. මහින්ද ළඟ තරගයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය.

ආණ්ඩු පෙරළන ලසන්තගේ සැලැස්ම

මැතිවරණය පරාජයත් සමග වහා පක්ෂ නායකත්වය අතහැර යෑමේ උනන්දුවක් රනිල්ට තිබුණි. එහෙත් එම පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ වටේ සිටින සමීපතමයෝ එය වැළකුවෝය. පවුලේ සාමාජිකයන්ද ඒ කෙරෙහි බලපෑවා විය හැකිය. නායකත්වය අතනොහැර යෑමට රනිල් ගන්නා ලද තීන්දුව කෙරෙහි වැඩියෙන්ම බලපෑ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ලසන්ත වික්‍රමතුංගය. ඉක්මනින් නැවත බලය අල්ලා ගැනීම සඳහා වන ලස්සන එහෙත් මනෝරාජික වැඩසටහනක් ලසන්තට තිබුණේය. ඔහුගේ මතය අනුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් සිටින්නේ මහින්ද සමග නොව චන්ද්‍රිකා සමගය. දෙමළ සන්ධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ හා තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසයේ සහාය ලබාගත හැකිනම් චන්ද්‍රිකාගේ සහාය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර බලය එජාපය අතට ගත හැකිය. එවිට නැවත විධායක ජනාධිපති බලය පොදු පෙරමුණ අත තිබෙන ආකාරයටත් පාර්ලිමේන්තු බලය එක්සත් ජාතික පක්ෂය අතට ලැබෙන ආකාරයටත් ද්වන්ද්ව බලයක් ඇති කළ හැකිය. ඉන්පසු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කැරෙන දෝෂාභියෝගයක් මගින් ඔහු තනතුරෙන් පහ කළ හැකිය. පාර්ලිමේන්තුවේ සංයුතිය සකස් වී තිබුණේද මෙම තර්කයකට යම් පිළිගැනීමක් ලැබෙන ආකාරයටය.

2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සන්ධානය ජයගත්තද කතානායක ධුරය සඳහා පැවති තරගයෙන් ආණ්ඩුව පරාජය වී තිබුණි. තිබෙන තුරුම්පු හොඳින් පාවිච්චි කිරීමට සමත් වෙතොත් පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමේ හැකියාවක් ඇතැ”යි කියන විශ්වාසය ලසන්ත තමන් තුළ ඇති කරගෙන තිබුණා පමණක් නොව, රනිල් ප්‍රමුඛ එජාප නායකත්වය තුළද ඒ විශ්වාසය ඇති කිරීමට සමත්ව තිබුණේය. මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි ආණ්ඩුවෙන් ඉවත්වීම හා ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්වීම යන සාධක මෙම බලාපොරොත්තුව තවදුරටත් වර්ධනය කිරීමට හේතුවී තිබුණි. මංගල හා චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් සැලකිය යුතු තරමින් මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කරගැනීමට සමත්වනු ඇතැ”යි ද තවදුරටත් මංගල සමරවීර ජවිපෙ මෙම වැඩසටහනට එකතු කරගැනීමට සමත්වනු ඇතැ”යි ද ඔවුහු විශ්වාස කළහ. ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට තල්ලුවීම ඔවුන් අතර ඔවුන්ගේ ආණ්ඩු පෙරළන වැඩසටහනකට ලැබෙන වැදගත්කම තවදුරටත් තීව්‍ර කළේය. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයෙන් ආණ්ඩුව පරාජය වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව වී තිබුණි. ඒ නැතත් යුද්ධය විසින් ඇති කරන අවුල්සහගත තත්ත්වය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවී රෙජීමයේ වෙනසක් කරන තත්ත්වයක් ඇතිවනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි. මේ කුමන ප්‍රතිඵලයක් ඇති වුවත් නැවත අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ආණ්ඩු බලය තමන් අතට පත්වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළෝය.

මෙම බලය ඇල්ලීමේ වැඩසටහන නිසා මෙම වැඩසටහනට සම්බන්ධ පිරිස ක්‍රියා කළේ වියරු වැටුණු පිරිසක් ලෙසය. ආරම්භක අදියරයේදී ලසන්ත මේ වැඩසටහන මා සමගද කතා කර තිබුණි. ඔහුට සවන්දීමෙන් පසුව “ලසන්ත ඔයාට හොඳටම පිස්සු” යි කියා ඔහුට කියා සිටියෙමි. ලසන්ත 2005 ජනාධිපතිවරණය කෙරෙහි විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන සිටියේය. ඔහුද බලවත් ඇමති ධුරයක් ගැන සිහින දැක්කේය. 2005 ජනාධිපතිවරණය පරාජයවීමෙන් පසු තවදුරටත් එම සිහින ලෝකයේ ජීවත්විය හැකි දේශපාලන වැඩසටහනක් ඔහු කරළියට ගත්තේය. එය ලසන්තට පමණක් නොව, 2005 ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු සුන් කරගත් අයට අලුත් බලාපොරොත්තුවක් ලබා දුන්නේය. ඔවුන් දකිමින් සිටි මෙම සුන්දර සිහිනය විසින් සන්සුන්ව හා තර්කානුකූලව කරුණු දැකීමේ හැකියාව නැති කොට ඔවුන් දේශපාලන වශයෙන් වියරුසහගතව ක්‍රියා කරන පිරිසක් බවට පත්කර තිබුණේය. රනිල් වික්‍රමසිංහ වැනි පළපුරුදු නායකයකු මෙවැනි බොරු සිහිනයක සිරකරුවකු වූයේ කෙසේද යන්න සිතාගැනීමට අමාරුය. සමහරවිට පක්ෂය තුළ එවැනි ලස්සන සිහිනයක හිරවී සිටින තෙක් අභ්‍යන්තර කැරැල්ලක් ඇති නොවනු ඇතැ”යි ඔහු කල්පනා කළ නිසා විය හැකිය.

එල්ටීටීඊයට එරෙහිව කැරුණු යුද්ධය

මෙම සුන්දර සිහිනය තුළ ජීවත් වන අය එය සැබෑ කරගැනීම සඳහා උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන තැනක සිටියෝය. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් විදේශ ආක්‍රමණයකට හෝ අභ්‍යන්තර කැරැල්ලකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අවස්ථාවක විරුද්ධ පක්ෂයක් ඊට අවහිර කරන තැනකට යන්නේ නැත. මීට පෙරද රටේ යුද්ධ සිදුවී තිබුණි. ඒ කිසිම අවස්ථාවකදී විරුද්ධ පක්ෂ ව්‍යාපාර පැත්තකට වී බලා ඉඳිමින් සිදුවන දේවල හොඳ නරක කතා කළා මිස ඊට එරෙහිව බලවත් ලෙස ක්‍රියා කරන තැනකට ගොස් නැත. එහෙත් පළමුවරට රටේ එවැන්නක් සිදුවූවේය. එජාප බලය ලබාගැනීම සඳහා ඇති කරගෙන තිබුණු දර්ශනය අනුව යුද්ධය අසාර්ථක වනවා දැකීම ඔවුන්ගේ අභිලාෂය වී තිබුණි. යුද්ධයෙන් ආණ්ඩුව පරාජය නොවේ නම් එය ඉදිරියට ගෙන යා නොහැකි ලෙස ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි. ඔවුහු ඒ අරමුණට ගැළපෙන ලෙස ක්‍රියා කළෝය. බටහිර බලවත්තුද මේ ප්‍රශ්නය යුද්ධයෙන් විසඳා ගන්නවා දකින්නට කැමති නොවූහ. ඒ නිසා ඔවුහු ද යුද්ධයට අවහිර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළෝය. ඒ තත්ත්වය තුළ මේ දෙපිරිස අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ මෙම ආණ්ඩු පෙරළන වැඩසටහන ගැන හරි අවබෝධයක් ඇතිව හෝ නැතිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මෙම යුද විරෝධී පෙරහැරට එකතු වී එහි කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන පිරිසක් බවට පත්ව සිටියේය. එම පෙරහැරට එකතු වී සිටි සෙසු සංවිධාන අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ද විය. යුද්ධය ගැන මගේ කියවීම ඊට වෙනස් විය. මට එල්ටීටීඊය පෙනුණේ ප්‍රගමනය කරා යන ව්‍යාපාරයක් ලෙස නොව අවගමනය කරා යන ව්‍යාපාරයක් ලෙසය. ඒ නිසාද වෙනත් හේතු නිසාද එම යුද්ධය පෙනුණේ පරාජයවීමට නියමිත දෙයක් ලෙස නොව ජයග්‍රාහීවීමට නියමිත දෙයක් ලෙසය. එය එසේ වීම රටේ පොදු යහපතට සේ ම දෙමළ ජනතාවගේද යහපතට හේතුවනු ඇතැ”යි මගේ විශ්වාසය විය.

එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුව ආරම්භ කර තිබූ යුද්ධය ආණ්ඩුවේ නායකයන් කෙරෙහිද බරපතළ ජීවිත තර්ජනයක් ඇති කර තිබුණේය. යුද හමුදාපතිවරයා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉතා දුෂ්කර ලෙස ජීවිතය බේරාගෙන තිබුණු අතර ආරක්ෂක ලේකම්වරයාගේ ජීවිතය තොර කිරීමට දරා තිබුණු උත්සාහයකින්ද ඔහු සිය ජීවිතය බේරාගෙන තිබුණි. රණවිරු ප්‍රදර්ශනයකට සහභාගිවෙමින් සිටියදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ උත්සාහයක්ද අසාර්ථක වී තිබුණි. ඔවුන්ගේ එම උත්සාහයන් තුන අසාර්ථක වී තිබුණද සාර්ථක කරගත් වෙනත් උත්සාහයක්ද තිබුණි. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනකුගේ ජීවිත බිලිගැනීමට සමත්ව තිබුණු අතර ඊට අතිරේකව එක් ඇමතිවරයකු සදා රෝගී තත්ත්වයකට පත්කිරීමට සමත්ව තිබුණි. මේ කාලයේ ආණ්ඩුවේ නායකයන් ජීවත් වූයේද මරණ බියෙනි.

මෙම විශේෂ වටාපිටාව තුළ ජනාධිපති හා ඔහුගේ සමීප අනුගාමිකයන් පමණක් නොව හමුදා ප්‍රධානීන් ද විරුද්ධ පක්ෂයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ දැක්කේ සමස්ත යුද්ධ ව්‍යාපාරය කඩාකප්පල් කොට ආණ්ඩු බලය අල්ලා ගැනීම පිණිස එල්ටීටීඊය සමග පමණක් නොව, බටහිර බලවතුන් සමග එකතු වී දියත් කර තිබෙන සාහසික වැඩපිළිවෙළක් ලෙසය. එය ඔවුන්ගේ කෝපයට සේ ම වෛරයටද හේතුවී තිබුණි. එජාපයේ මෙම වැඩසටහන ව්‍යර්ථ කිරීම පිණිස ජනාධිපතිවරයා කළේ එජාපයෙන් මන්ත්‍රීවරුන් කිසියම් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමය. ඒ මගින් එජාපයට තිබෙන ශක්තිය දුර්වල කොට ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කරගනිමින් ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට තිබෙන හැකියාව නැති කළේය. ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා යොදාගත් ප්‍රවේශය ව්‍යවස්ථාවට පටහැනි වූවා සේ ම විරුද්ධ පක්ෂය ආණ්ඩු පෙරළියක් සඳහා ක්‍රියාවට නගන්නට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළද ව්‍යවස්ථාවට පටහැනි විය. මේ අතර කාලයේ ජනමාධ්‍යවේදීන් ගණනාවක් පහරදීම්වලට ලක්වූ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්විය. තවත් ජනමාධ්‍යවේදීහු ගණනාවක් ජීවිත ආරක්ෂාව සඳහා වෙනත් රටවල්වලට පලා ගියෝය. මේ හැම සිදුවීමක්ම රටේ දේශපාලන චිත්‍රයේ උද්වේගකර ස්වභාවය උත්සන්න කිරීමට හේතුවී තිබුණි.

2010 සිහිනය

විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ අපේක්ෂාවන්ට පටහැනිව හා ඔවුන්ගේ විස්මයට හේතුවන ලෙස යුද්ධය ජයැගනීමට ආණ්ඩුව සමත් විය. ඒ සමග බටහිර බලවතුන් ආණ්ඩුවේ නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නට වීම නිසා ඇති කරගත් බලාපොරොත්තු මුළුමනින් අතනොහැර ජීවත්විය හැකි තත්ත්වයක් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට ලැබී තිබුණි.

යුද්ධයේ ජයග්‍රහණය ආරක්ෂක හමුදාවන්ට විශාල මහජන පිළිගැනීමක් ලබාදීමට හේතුවී තිබුණි. ජයග්‍රාහී යුද හමුදාපති ජෙනරාල් ෆොන්සේකා පළමු පෙළේ යුද වීරයන් තිදෙනාගෙන් කෙනකු බවට පත්ව තිබුණේය. එයින් ලැබුණු උද්දාමය “මම මේ රටේ පාලකයා වෙමි”යි කියන අදහස ඔහු තුළ ඇති කිරීමට හේතුවී තිබුණු අතර ඒ අරමුණ දිනාගැනීම සඳහා වන වැඩපිළිවෙළක්ද ඔහුට තිබුණු බව පෙනේ. ජෙනරාල් ෆොන්සේකාගේ හැසිරීම ජනාධිපතිගේ සැකයට හේතුවී ජෙනරාල්ගේ තටු කපන ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයා අනුගමනය කළේය. එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය වූයේ මේ දෙදෙනා අතර ගැටුමක් ඇතිවී සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමය. ඉන්පසු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ බලාපොරොත්තු කුලුගන්වන වීරයා බවට පත්වූයේ ජෙනරාල් ෆොන්සේකාය.

ඒ වනවිටත් ලසන්ත වික්‍රමතුංග ඉදිරියට ගෙනවිත් තිබූ බලය ලබාගැනීමට සඳහා වන දේශපාලන වැඩසටහන යල් පැනගිය තත්ත්වයකට පත්ව තිබුණේය. ඒ වෙනුවට ජෙනරාල් ෆොන්සේකා කේන්ද්‍ර කරගත් වැඩසටහනක් කරළියට ගෙනවිත් තිබුණු අතර එහි නියමුවන් බවට පත්ව තිබුණේ ජවි පෙරමුණය. එක්සත් ජාතික පක්ෂය හා අන් සියලුදෙනාගේ මහජන බලය ප්‍රයෝජනයට ගනිමින් ඒ සියලුදෙනාට නැති බලයක් ඒ මගින් හිමිකර ගැනීම ජවි පෙරමුණේ දේශපාලන අභිලාෂය වී තිබුණි. රනිල් වික්‍රමසිංහට ද අකමැත්තෙන් හෝ මෙම වැඩසටහනට එකඟවන්නට සිදුවී තිබුණි. ජෙනරාල් ෆොන්සේකා එජාපයේ සිට දෙමළ සන්ධානය හරහා ජවිපෙ දක්වා වන සියලු ආණ්ඩු විරෝධී ව්‍යාපාරයද, සියලු මහින්ද විරෝධීන්ද රෙජීමයේ වෙනසක් අපේක්ෂා කළ බටහිර බලවතුන් ද තමන් වටා ඒකරාශී කරගැනීමට සමත් විය. ජෙනරාල් ෆොන්සේකා පමණක් නොව ඔහු වටා ඒකරාශි වී සිටි මුළු මහත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයම ප්‍රතිඵල ප්‍රකාශ කරන තෙක් ජීවත් වූයේ උන්මාදනීය සිහින ලෝකයකය. ඔවුන්ට උන්මාදනීය ආවේගයක් මිස යථා තක්සේරුවක් නොතිබුණි. මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය යහපත් ඉදිරි දර්ශනයක්ද නොතිබුණි. අවසානයේ ඔවුන්ගේ සිහින ලෝකය බිඳ වැටෙන විට සමස්ත විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද චප්ප වී තිබුණේය.

වැරදුණේ කොතැනද?

2005 ජනාධිපතිවරණය ජයගැනීමට වැඩි ඉඩක් තිබුණේ එජාපයටය. එහෙත් මොන මොන හේතු නිසා හෝ එම පක්ෂය එම ජනාධිපතිවරණයේදී ළඟ ළඟ තරගයකින් පරාජය විය. ලැබූ එම පරාජය නිහතමානී ලෙස භාරගෙන මහජනයා අතර නැවත වැඩ කරන තත්ත්වයකට යනවා වෙනුවට මහජනයා බලයට පත් කළ අලුත් ජනාධිපතිවරයා ඉක්මනින් බලයෙන් පහ කිරීම ඉලක්ක කරගත් මනෝරාජික වැඩසටහනක් ක්‍රියාත්මක කරන තැනකට ගියේය. එසේ කළේද නිසි තක්සේරුවකින් හෝ ඉදිරි දර්ශනයකින් තොරවය. ඉන්පසු යුද්ධයක් ආරම්භ වූ පසුද තමන්ගේ බලය අල්ලා ගැනීමේ වැඩසටහන සාර්ථක කරගැනීමට යුද්ධය ප්‍රයෝජනයට ගත යුතුයැ”යි විශ්වාස කරමින් උපරිම ලෙස යුද්ධයට අවහිර කරන තැනකට ගියේය. ඒ මගින් එම පක්ෂයට තිබුණු ජන පදනම දුර්වල කරගත්තේය. 2010 ජනාධිපතිවරණයේදීද එම පක්ෂය ජීවත් වුණේ සිහින ලෝකයකය. ළඟ ළඟ තරගයක් ගැන හරි තක්සේරුවක් කිරීමේ අමාරුවක් තිබිය හැකි වුවත් විශාල පරතරයක් ඇති තරගයක් කල්තියා තක්සේරු කිරීමේ බැරිකමක් තිබුණේ නම් එය එම පක්ෂයේ ලොකු දුර්වලතාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. 2010 ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලැබීමෙන් පසුත් එය “පරිගණක ජිල්මාට්ටුවක්” බව ප්‍රකාශ කරන තැනකට යෑම නිසා එම පරාජය කෙරෙහි බලපෑ ඇත්ත හේතු සාධක සොයා බලන තැනකට යෑමට තියෙන හැකියාව නැති කරගත්තේය. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයට තිබුණු ශක්තිය හීනවී එය කැබලි වී නන්නත්තාර තත්ත්වයකට ඇද වැටීමය.

මෙවැනි මෝඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට 2005 පරාජයෙන් පසුව ළඟ ළඟ තරගයකින් හෝ මහින්ද ලැබූ ජයග්‍රහණය පිළිගනිමින් නැවත ඵලදායක විරුද්ධ පක්ෂයක් ලෙස ඊළඟ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමින් පක්ෂයේ මුළු ශක්තිය සපුරාගත නොහැකි මනෝරාජික වැඩසටහනක් වෙනුවෙන් වැය නොකොට ජනතාව අතර පක්ෂයට තිබෙන පිළිගැනීම ශක්තිමත් කිරීම සඳහා වැය කළේ නම් හා එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් ආරම්භවීමෙන් පසු යුද්ධයට අවහිර කරන ප්‍රතිපත්තියකට නොගොස් ඊට විවේචනාත්මකව ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් එම පක්ෂයේ තත්ත්වය ශක්තිමත් වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ලැබූ යුද ජයග්‍රහණයේ ගෞරවයේ කිසියම් කොටසක් එජාපයටද හිමිවන්නට ඉඩ තිබුණි. ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ අභියෝග විසඳාගැනීම මීට වඩා පහසු වන්නට ඉඩ තිබුණි. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර පවතින අන්තර් සම්බන්ධය මීට වඩා මටසිලිටුවන්නට ඉඩ තිබුණු අතර රාජපක්ෂ ආණ්ඩුවේ ස්වභාවයද රළු පරුෂ නොවන්නට ඉඩ තිබුණේය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරය අවුරුදු පහක්ම ජීවත් වූයේ සිහින ලෝකයකය. තාමත් ඔවුන් එම සිහින ලෝකයෙන් මුළුමනින් අත්මිදී ඇති බවක් පෙනෙන්නට නැත.