මහගමසේකර රටේ ජනතාවගේ මහත් ආදරයට හා ගෞරවයට හේතුවූ කලාකරුවෙකි. ඔහු කලාවේ ප්‍රධාන අංශ ගණනාවකම දක්ෂතා පෙන්වන ලද පළමු පෙළේ කලාකරුවකු වන අතර ඔහුගේ නිර්මාණවලට ආවේණික අව්‍යාජභාවය ඔහුගේ ජීවිතයට ආවේණිකව තිබූ අව්යාජභාවයේම කලාත්මක ප්රකාශනයක් ලෙස සැලකිය හැකිය. සේකර පිළිබඳව මට කාලයක් තිස්සේම විසඳා ගැනීමට නොහැකි වී තිබුණු ප්‍රහේලිකාවක් තිබුණි. ඒ ඔහුගේ ගමට ඇතුළු වන තුංමංහන්දියේ ඉදිකර තිබෙන ඔහුගේ පිළිරුව, අවස්ථා ගණනාවකදීම කිසියම් පිරිසකගේ පහරදීමකට ලක්වූයේ ඇයිද යන ප්රශ්නයයි. පිළිරුවේ ආරක්ෂාව සඳහා දැල් ආවරණයක් යොදා තිබෙන ආකාරයද ඒ අසලින් යන කිසියම් අවස්ථාවකදී මට දකින්නට ලැබුණි. මුළු රටේම ආදරයට හා ගෞරවයට හේතුවූ කලාකරුවකු ඔහු ඉපදුණු ගම් ප්‍රදේශයේ එවැනි නොහොබිනා සැලකිල්ලකට ලක්ව තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට හරි පිළිතුරක් සොයා ගැනීමට මට අවශ්‍ය වී තිබුණි. මා ඒ ගැන විටින් විට කලාවට සම්බන්ධ විවිධ අය සමගද කතා කර තිබුණි. පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමගද විටින් විට කතාබහ කරද තිබුණි. එහෙත් ඒ කිසිවකුගෙන් ඒ ගැන හරි උත්තරයක් ලැබුණේ නැත. ඒ ගැන එසේ විවිධ අය සමග විටින් විට කතා කරනවා හැරුණු විට ඒ ගැන සොයා බැලීමේ වගකීම මා විසින් මා අතට ගැනීමක්ද සිදු නොවීය.
සේකර හා සයිමන්
මේ මෑත දිනකදී බොහෝ කලකට පසුව මහාචාර්ය සරත් විජේසූරිය රාවය කාර්යාලයට ගොඩ වැදුණේ ඔහුගේ නවකතා පොතක් දොරට වැඩීමේ උත්සවයකට ආරාධනා කිරීම සඳහාය. තමන්ගේ අලුත්ම නවකතාව ලියා ඇත්තේ මාගේ විශේෂ උනන්දුවට හේතුවී තිබෙන විෂයක් මුල් කොටගෙන බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන කුලභේදය ගැන බවත් ඔහු කීවේය.
මට සේකර පිළිබඳව විසඳා ගැනීමට නොහැකිව තිබුණු ප්‍රහේලිකාව ඔහු වෙත ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කර ගතිමි. මා ප්රශ්නය පැහැදිලි කළ විට ඔහු ඊට දෙන ලද පිළිතුර වූයේ ඊට හේතුවී ඇත්තේ කුලය බවය. ඔහු කේ. ජයතිලකගේ ස්වයං චරිතාපදානයේ (පුංචි පැලේ ගස වෙනා) එන, ජයතිලකගේ දක්ෂතා හඳුනාගත් ගුරුවරයා වූ විල්මට් ජයසේකරට අදාළ කොටස මට මතක් කොටදී ජයතිලකගේ දක්ෂතා හඳුනා ගත් එම ගුරුවරයා ජයතිලක සමග එකම පන්තියේ ඉගෙන ගත් සේකරගේ දක්ෂතා හඳුනා නොගත්තේ, සේකර එකල දක්ෂතා පෙන්නුම් නොකළ නිසාද, නැතිනම් කිසියම් වෙනත් හේතුවක් නිසාද යන ප්රශ්නය කේ. ජයතිලකගෙන් අසන ලද බව කීවේය. ඊට ජයතිලක දෙන ලද පිළිතුර වී ඇත්තේ සේකර එකලද තමන්ට වඩා දක්ෂතා පෙන්නුම් කළ බවත්, එහෙත් තමන්ගේ දක්ෂතා පන්තියේ ප්‍රශංසාවෙන් කතා කිරීමටත්, සේකර ගැන එසේ නොකිරීමටත් හේතුව සේකරගේ කුලය බවත්, එහෙත් තමන්ට එය ලිවීමේ හැකියාව නැති බවත් ජයතිලක කී බව සරත් විජේසූරිය මා සමග කීවේය. ඒ පිළිතුර මා තුළ පුදුමයක් ඇති කළේ නැතත්, ඒ පිළිබඳව මා ඇති කරගෙන තිබුණු අනුමානය සනාථ කළේය.
මම කුලය පිළිබඳ ප්රශ්නය සයිමන් නවගත්තේගම සමගද දීර්ඝ ලෙස කතා කර ඇත්තෙමි. ජේවීපීයේ දෙවැනි කැරැල්ල පැවති කාලයේදී ඔහු නිතර මගේ කාර්යාලයටත්, ඇඳිරි නීතිය වැනි හේතු නිසා කාර්යාලයේ කටයුතු සිදු නොවන දිනවල, මා නැවතී සිටි කාමරයටත් නිතර ආව ගියේය. ඔහු ඔහුගේ “සාපේක්ෂණී” ලීවේ ඒ කාලයේදීය. ඔහු එක් අතකින් කැරැල්ලට ඇලුම් කළේය. අනෙක් අතට කැරලිකරුවන් විසින් තමා මරා දමනු ඇතැ”යි කියන බියක් ඔහු සිත තුළ රජ කළේය. ඔහු “සාපේක්ෂණී” ලීවේ මේ ආවේගයන් දෙකට මැදිවී මිරිකී සිටි කාලවකවානුවකදීය. මාගේ කාමරයට පැමිණි අවස්ථාවල සමහරවිට පැය හතර පහක් තරම් දීර්ඝ කාලයක් එහි ගත කළේය. එහිදී දීර්ඝ අදහස් හුවමාරු කරගැනීම් සිදුවිය. විටින් විට එහි සිදුවූ කතාබහ ගැන සටහනක් තැබුවේ නම් එය රසවත් ලොකු පොතක් වන්නට ඉඩ තිබුණේය. එහිදී ඔහුගේ ජීවිතය ගැනද, දේශපාලන හා නිර්මාණ ජීවිතය ගැන පමණක් නොව, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන පවා දීර්ඝ වශයෙන් කතා කළේයැ”යි කිව හැකිය. කුලයද කතාබහට ලක්වූ වැදගත් මාතෘකාවක් විය. ඔහු සාපේක්ෂණී නවකතාව ලියා අවසන් කළ පසු එහි අත් පිටපත මට ගෙනවිත් දී එය කියවා වැරදි හෝ ප්‍රශ්න ඇතැ”යි පෙනෙන තැන් සලකුණු කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මා අතින් වැඩියෙන්ම සලකුණු කැරුණේ ලිංගිකත්වයට බරව හා මට අනවශ්‍ය තරම්වේයැ”යි පෙනුණු විස්තරාත්මක දේවල්ය. ඔහු මා සලකුණු කොට තිබූ හැම තැනකටම යමින් මා හරි බව කියමින් අනවශ්‍ය විස්තර බොහොමයක් කපා හැරියේය. පිටපත නැවත සකස් කිරීමෙන් පසු පොත පළකිරීමට ප්‍රකාශකයකු සොයා දෙන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශකයා පොත පළකොට විකිණීමට පෙර පොතට ලැබිය යුතු සම්පූර්ණ කර්තෘභාවය තමන්ට ලබාදිය යුතු බවත් වැඩිදුරටත් කියා සිටියේය. ඒ ආකාරයට කර්තෘ භාගය ගෙවන ක්‍රමයක් ලංකාවේ නැතත් මම සිරිසුමන ගොඩගේ මහතාට දුරකතනයෙන් කතා කළෙමි. සයිමන්ගේ අලුත්ම නවකතාව ගැන කෙටි හඳුන්වාදීමක් කිරීමෙන් පසු සයිමන් සම්පූර්ණ කර්තෘ භාගය වහාම ඉල්ලා සිටින බවත් කියා සිටියෙමි. පොත සමග සයිමන්ට තමා හමුවන්න කියන්නැ”යි ඔහු කියා සිටියේය.
සාම්ප්‍රදායික අර්ථකථනයට ආවේණික සීමා
මේ ලියන ලිපියේදී මට වඩා වැදගත් වනුයේ ඉතාමත් සාමාන්‍ය මිනිසුන් කෙරෙහි පමණක් නොව, මහගමසේකර, සයිමන් නවගත්තේගම වැනි රටේ ජනතාව අතර විශාල පිළිගැනීමක් ඇති ලොකු මිනිසුන් කෙරෙහිද කුලය පීඩාකාරී සාධකයක් ලෙස බලපා තිබෙන ආකාරය පෙන්වාදීමය. එවැනි අනුවේදනීය නිදසුන් දෙමළ සමාජයටද කොතෙකුත් ඇතැ”යි මම විශ්වාස කරමි. එය ජනවර්ග අර්බුදය වශයෙන් හඳුන්වනු ලබන අර්බුදයට දී තිබෙන අර්ථකථනයේ සීමාසහිතකම මනා ලෙස පෙන්නුම් කරන්නේයැ”යි සිතමි. මෙම අර්බුදය ජනවර්ග අර්බුදයක් ලෙස හැඳින්වීම වැරදි නැත. එහෙත් ඊට දී තිබෙන අර්ථකථනය වැරදිය. පාවිච්චි කැරෙන සාම්ප්‍රදායික අර්ථකථනය අනුව අර්බුදය විෂය කොටගෙන ඇත්තේ සිංහල-දෙමළ-මුස්ලිම් යනාදී වශයෙන් වන ශ්‍රී ලංකාවේ මහ ජාතිය හා සුළු ජාතීන් අතර පවතින අන්තර් ගැටුම් පමණය. ඊට කුල අතර හෝ ආගම් අතර පවතින ගැටුම අදාළ නැත. මගේ මතය අනුව වර්ගය, කුලය, ආගම යන ප්‍රශ්න තුනම එකට වෙලී පැටලී තිබෙන, නැතිනම් අන්තර් සම්බන්ධයකින් යුතු, එකම අර්බුදයක පැතිකඩ කිහිපයක් පමණය. ජනවර්ග අර්බුදය ලෙස සැලකිය යුතුව තිබෙන්නේ අන්තර් වාර්ගික සම්බන්ධතා ආශ්රයෙන් තිබෙන ගැටුම් පමණක් නොව, අන්තර් කුල හා ආගම් ආශ්රයෙන් ඇතිවී තිබෙන ගැටුම් ද ඇතුළත් සමස්ත අර්බුදය මිස එහි තෝරාගත් කොටසක් පමණක් නොවේ. මෙම ප්‍රශ්න තුනම අන්තර් සම්බන්ධයකින් යුතුය. ඒවා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙක කෙරෙහි බලපායි. එකිනෙක මත රඳා පවතී. ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් සොයාගත හැකිවනු ඇත්තේ අර්බුදයේ තෝරාගත් එක පැතිකඩකට පමණක් සීමා නොවී ඊට සම්බන්ධ හැම පැති කඩක්ම ඇතුළත් වන ලෙස අර්බුදය දකින තැනකට යෑමෙන් පමණය.
සිංහල මහ ජාතියේ හා දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සුළු ජාතීන්ගේ ගැටුමට පමණක් සීමාවූ ජනවර්ග අර්බුදය පිළිබඳ සාම්ප්‍රදායික අර්ථකථනය, ජනවර්ග අධ්‍යයන කේන්ද්‍රය, මාර්ග ආයතනය, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වැනි සංවිධාන ආශ්රයෙන් ගොඩනැගුණක් ලෙස සැලකිය හැකිය. දෙමළ පක්ෂ එක පෙරමුණකට එකතු වී ඇති කරගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, 77 මැතිවරණයේදී දෙමළ ඊලමක් සඳහා ජනවරමක් ඉල්ලා සිටීම, දෙමළ ඊලමක් වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන ගණනාවක් උතුරේ ඇතිවීම, 1983 කළු ජූලිය වැනි සිද්ධීන් මේ අර්බුදය තුළ ඇති ජනවර්ග සාධකයට ලොකු වැදගත්කමක් හා පෙනුමක් ලබාදෙමින් ඒ තුළ ඇති කුලය හා ආගම යන සාධක දෙකට ඇති වැදගත්කම යටපත් කොට අන්තර් වර්ගගැටුම අර්බුදය කෙරෙහි බලපාන ලොකුම හා එකම සාධකය ලෙස පෙනෙන තත්ත්වයක් ඇති කර තිබුණේය. කළු ජූලියේදී ඇතිවූ අවලස්සණ සිද්ධීන් හා එම සිද්ධියෙන් පසුව විශාල දෙමළ ජනතාවක් යුරෝපා රටවලට සංක්‍රමණය වීම වැනි හේතු අන්තර් වර්ග ගැටුම ජාත්‍යන්තර අවධානය දිනාගත් ප්‍රශ්නයක් බවට පත්කිරීමටද හේතුවී තිබුණි. ඒ සමග ජනවර්ග ගැටුම විදේශ මුදල් ගලා එන සරු කර්මාන්තයක් බවට පත්විය. මෙම විෂය ගැන ලිවීම හා පර්යේෂණ කිරීම විලාසිතාවක් තරමට ජනප්‍රිය වූ අතර එම ශාස්ත්‍රීය රැල්ල අර්බුදය කෙරෙහි බලපා තිබූ අනෙක් සාධක දෙක (කුලය හා ආගම) නොසලකා හැර මෙම අර්බුදය තනිකර සිංහල දෙමළ ගැටුමක් හෝ වර්ගාන්තර ගැටුමක් ලෙස අර්ථකථනය කැරෙන තත්ත්වයක් ඇතිවිය.
එහිදී මෙම විෂය සමග ශාස්ත්‍රීය වශයෙන් හරඹ කළ උගතුන් මුළුමනින් නොසලකා හැර තිබෙන කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ප්‍රශ්න ගණනාවක් මෙසේය. ඔවුන්ට උතුරේ ප්රභාකරන්ගේ කැරැල්ල ගැන විග්‍රහයක් තිබුණි. එහෙත් දකුණේ විජේවීරගේ කැරැල්ල ගැන ඒ සමාන හා ඊට ගැළපෙන විග්‍රහයක් නොතිබුණි. උතුරේ දෙමළ ප්රචණ්ඩ ව්‍යාපාර ජනවර්ග අර්බුදයේ ඵලයක් ලෙස විග්රහ කළද දකුණේ සිංහල ප්රචණ්ඩ ව්‍යාපාර කුමන අර්බුදයක ඵලයක් වීද කියන ප්රශ්නය ඔවුන් විසින් මුළුමනින් නොසලකා හරින ලදි. උතුරේ සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලන තලයේ ආධිපත්‍යය හිමිව තිබුණේ වෙල්ලාල කුලයටය. එහෙත් අසාම්ප්රදායික ප්රචණ්ඩ දේශපාලනය තුළ වෙල්ලාල කුලයට කිසිදු ආධිපත්‍යයක් නොවූ තරම්ය. එවැනි වෙනසක් පෙන්නුම් කැරෙන්නේ ඇයිද කියන ප්‍රශ්නයද ඔවුන් සැලකිල්ලට ගත්තේ නැත. විජේවීර සේ ම ප්රභාකරන් ද අයත් වූයේ සිංහල, දෙමළ කුල ක්‍රමය තුළ ගොවිගම හෝ වෙල්ලාල කුලයට නොව අතරමැදි කුලයන් ලෙස සැලකිය හැකි කරාව හා කරයාර් කුලයටය. විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණේ හා ප්රභාකරන්ගේ කොටි සංවිධානයේ දේශපාලන මණ්ඩලය සිංහල, දෙමළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල (එජාප, ශ්‍රීලනිප, දෙමළ කොංග්‍රසය හා ෆෙඩරල් පක්ෂය වැනි) දේශපාලන මණ්ඩලවල දක්නට නැති පීඩිත කුල නියෝජනයක් පෙන්නුම් කළේය. මෙම සංවිධාන දෙක විසින් මෙහෙයවන ලද සටන්වලදී පාද සෙබළුන් ලෙස ප්‍රධාන වශයෙන් ක්‍රියා කළේද සිංහල හා දෙමළ සමාජවල පීඩිත කුලවලට අයත් ජනයාය. මෙම සංවිධාන දෙක කෙරෙන් මෙවැනි විශේෂ ලක්ෂණයක් ප්‍රකට වූයේ ඇයිද යන ප්‍රශ්නයද ඔවුන් සලකා බලා නැත.
අරුණාචලම්ගේ වෙන්වීම හා කුලය
සාම්ප්‍රදායික දෙමළ නායකයන් ජාතික සංගමයෙන් වෙන්වී මාර්ග දෙකක ගමන් කරන තත්ත්වයක් ඇතිවන්නේ පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික සංගමයෙන් වෙන්වීමේ සිද්ධියත් සමගය. 1920 ප්‍රතිසංස්කරණ යටතේ පැවැත්වෙන මැතිවරණයේදී කොළඹ නගර ආසනය ඔහුට ලබාදීමට ලංකා ජාතික සංගමයේ නායකයන් අරුණාචලම්ට පොරොන්දු වී තිබුණු අතර ඒ පොරොන්දුව නොසලකා ජේම්ස් පීරිස් මෙම ආසනයට නාමයෝජනා භාරදීම අරුණාචලම් ලංකා ජාතික සංගමයෙන් ඉවත්වීමට බලපෑ ප්‍රධාන හේතුවිය. ඒ කෙරෙහිද වර්ග සාධකයට වඩා කුල සාධකය බලපා තිබෙන බව ඒ කෙරෙහි බලපෑ හේතු සොයා බලන විට පෙනී යයි. බ්‍රයිස් රයන් Caste සබ පදාැරබ Ceylon නමැති ග්‍රන්ථයේ කියා තිබෙන ආකාරයට දහනව වැනි සියවසේ අවසානයේ පටන් 1925 පමණ දක්වා ලංකාවේ පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුණේ ජනවර්ග අතර නොව විවිධ කුල අතරය. ලිඛිතව කැරෙන කුල විවාදයකට හේතුවූ 1890වේදී ජී.ඒ. ධර්මරත්න විසින් ලියා පළ කරන ලද Kara-Govi Contest නමැති පොත් පිංච ආරම්භ කොට ඇත්තේ පොන්නම්බලම් අරුණාචලම් ගොවිගම කුලයේ ප්‍රමුඛතාව හා උසස් බව අළලා 1885 සැප්තැම්බර් 12 වැනිදා මාතරදී කරන ලද ප්‍රකාශයක් ගැන කරන දැඩි විවේචනයකිනි. එයින් පෙනෙන්නේ එකල සිංහලයන් අතර පැවති කුල විවාදයට පොන්නම්බලම් අරුණාචලම්ද පැටලී සිටි බවය. ඉන්පසු 1911 දෙසැම්බර්වලදී උගත් ලාංකිකයාගේ අසුන තමන් වෙත හිමිකර ගැනීමට කරාව කුලයේ ධනවතුන් දරන ලද උත්සාහයේදී සිංහල ගොවිගම ධනවතුන් ඒ උත්සාහය පරාජය කිරීම සඳහා යොදා ගන්නේ අරුණාචලම්ගේ සහෝදරයා වූ පොන්නම්බලම් රාමනාදන්ය. එකල ඡන්ද බලය තිබුණේ ධනවත් උගතුන්ට පමණය. ගොවිගම කුලයේ අපේක්ෂකයකු ඉදිරිපත් කොට කරාව කුලයේ අපේක්ෂකයා පරාජය කළ නොහැකි බව තේරුම් ගත් ගොවිගම කුලයේ ධනවත්තු ඔහු පරාජය කිරීම සඳහා දකුණු ඉන්දියාවේ විශ්‍රාම සුවයෙන් සිටි රාමනාදන් කරළියට ගෙනාවෝය. රාමනාදන්ට ඡන්ද බලය තිබුණු සියලු දෙමළ ජනයා ඡන්දය දෙන අතර සිංහල ගොවිගම ඡන්දදායකයන්ද ඡන්ද දීම නිසා දොස්තර මාර්කස් ප්‍රනාන්දු පහසුවෙන් පරාජය කිරීමට හැකිවිය. එය තිබුණු කුල ගැටුම උත්සන්න කළ අවස්ථාවක් විය. මේ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා රාමනාදන් වෙනුවෙන් ප්‍රසිද්ධ රැස්වීම් අමතා කරන කතාවලදී කරාව කුලය ප්‍රසිද්ධියේ නින්දාවට ලක් කරන ලද බව කේ.එම්.ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් කරයි. රාමනාදන් මේ තරගයට සම්බන්ධ වී තිබෙන බව පෙනෙන්නේද මේ තරගය ගොවිගම කුලය හා කරාව කුලය අතර කැරෙන කුල තරගයක් බවට පත්වන බව දැන දැනමය. ඒ තත්ත්වය වැළකීමට පොන්නම්බලම් අරුණාචලම්ද කිසිදු උත්සාහයක් දරා ඇති බවක් පෙනෙන්නට නැත. කරාව කුලයේ ධනවතුන් අතර දෙමළ විරෝධයක් ඇතිවීම කෙරෙහි මෙම අවලස්සණ තරගයද බලපෑ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රාමනාදන් සමග තරග කළ මාකස් ප්‍රනාන්දු, ජේම්ස් පීරිස්ගේ මස්සිනාය. ජෙම්ස් පීරිස් අරුණාචලම් කෙරෙහි දක්වන ලද නොසැලකිල්ල කෙරෙහි පොන්නම්බලම් සහෝදරයන් දෙදෙනා සමග ඇති කරගත් කුල මතභේදද බලපෑ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ඕල්කට් වැනි විදේශීය නායකයකු අවශ්‍ය වූයේද තමන් අතරින් සුදුසු කෙනකු නායකයා වශයෙන් තෝරා ගැනීමට බැරි තරමට බෞද්ධ නායකයන් අතර කුලභේදය රජකිරීම නිසාය. මා මෙම ප්රශ්නය මගේ පන්සලේ විප්ලවය නමැති කෘතියෙන් විග්රහ කර ඇත්තෙමි. අනගාරික ධර්මපාල ඉටුකළ කාර්යභාරය ඕල්කට් විසින් ඉටු කරන ලද කාර්යභාරයට වඩා විශාල වුවත් නායකත්වයේදී ඕල්කට්ට තිබුණු ඒකමතික පිළිගැනීම ලබාගැනීමට ධර්මපාල සමත් වූයේ නැත. ගොවිගම කුලයට අයත් නොවන කෙනකුට රටේ රාජ්‍ය නායකයා වීමේ හැකියාවක් නැතැ”යි කියන මතයක් අදත් දේශපාලන තලයේ පවතී. ඒ මතයට සාර්ථක ලෙස අභියෝග කිරීමට හැකිවූයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පමණය. එහෙත් ලේ වැගිරෙන කැරැල්ලක් රටේ නොතිබුණේ නම් ඒ සිහිනයද සාර්ථක නොවන්නට ඉඩ තිබුණු අතර නැවත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පැවැත්ම කෙටිකාලීන කිරීමට හේතුවූ අවුල් කෙරෙහිද කුල සාධකය බලපෑවේය.
ආගමික සාධකය
ආගම මේ අර්බුදය තුළ තිබෙන පුපුරනසුලු තවත් සාධකයකි. ආගම හා භාෂාව 1956 පෙරළිය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක දෙකක් ලෙස ක්‍රියා කළේය. හාවර්ඩ් රිගින්ස්ට අනුව 56 මැතිවරණ ව්‍යාපාරයේ බෞද්ධ ආගමික ව්‍යාපාරය තුළ අගමැති ජෝන් කොතලාවලගේ අබෞද්ධ පැවැත්ම පමණක් නොව, ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක බිරිඳගේ ආගමද කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඩී.එස්. සේනානායක හා ඔහුගේ සහෝදරයකු වූ ඩී.සී. සේනානායක විවාහ වී තිබුණේ දුනුවිල වලව්වෙනි. මෙය බෞද්ධ වලව්වක් නොවූ අතර ක්‍රිස්තියානි ආගම ඇදහූ වලව්වක් විය. මේ සම්බන්ධය තුළින් ක්‍රිස්තියානි පල්ලිය අගමැති ඩී.එස්. සේනානායක කෙරෙහි බලපෑවේය යන්න රිගින්ස්ට අනුව ඔවුන් දරන ලද මතය විය.
බණ්ඩාරනායක පරපුර සේ ම ජයවර්ධන පරපුරේ පූර්වගාමීන් ලන්දේසි යුගයේදී ඇදහූ ආගම වී තිබුණේ ලන්දේසි රෙපරමාදු ආගමය. ඉන්පසු මේ පරපුරේ අනුප්‍රාප්තිකයෝ බ්‍රිතාන්‍ය යුගයේදී ඉංග්‍රීසි ආගම අදහන්නන් බවට පත්වූහ. එහෙත් එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන සුළඟ හමන දිසාව කල්තියා තේරුම් ගනිමින් බුද්ධාගම වැළඳ ගැනීම මගින් රාජ්‍ය නායකත්වයට පත්වීමට තිබුණු ප්‍රධාන සම්බාධකයක් ඉවත් කර ගත්තෝය. රනිල් වික්‍රමසිංහට එරෙහිවද ප්රතිපක්ෂ ආගම පිළිබඳ සාධකය ඉතා නරක ලෙස පාවිච්චි කැරෙමින් තිබෙන බව දැකිය හැකිය. පියාගේ සහෝදරයා ක්‍රිස්තියානි බිෂොප්වරයකු වීම රනිල් අබෞද්ධයකු ලෙස චිත්‍රවත් කරන ප්‍රබල සාධකයක් වී තිබේ. ඒ නිසා බෞද්ධාගමට වැඩි වැඩියෙන් බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඔහුට සිදුවී තිබේ. ඉතාමත් ඍජු ගතිගුණ සහිත හොඳ පුද්ගලයකු ලෙස සැලකිය හැකි එස්එල් ගුණසේකරට සිංහලවාදී ව්‍යාපාරය තුළ තිබුණු පිළිගැනීම අර්බුදයකට ලක් කිරීමට ආගම සාධකයක් ලෙස බලපෑවේය. ඔහුට එම ව්‍යාපාරය තුළ තිබෙන පිළිගැනීම අවුලකට ලක්කිරීමට ප්රතිපක්ෂයට අවශ්‍ය වූ විට ඔවුන් කළේ ඔහු විස්කි බොන ක්‍රිස්තියානි සිංහලයකු ලෙස හඳුන්වාදීමය. ප්‍රතිවාදියකු අවලංගු කිරීමට මේ සාධක තුනෙන් ඕනෑම සාධකයක් පාවිච්චි කළ හැකිය. ලක්ෂපාන ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට කුලය සාධකයක් ලෙස සාර්ථකව යොදා ගැනීමට ප්රතිපක්ෂය සමත් විය. ඊ.ඩබ්ලිව්. පෙරේරාට තිබුණු පිළිගැනීම දුර්වල කිරීමට ද ප්රතිපක්ෂය ආගම සාධකයක් ලෙස යොදා ගත්තේය. මේ සියලු නිදර්ශන කුලය හා ආගම යන සාධක පුද්ගලයන්ගේ සමාජ, දේශපාලන ජීවිතය කෙරෙහි බලපා තිබෙන පීඩාකාරී ස්වරූපය පෙන්නුම් කරයි. එයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අර්බුදය කෙරෙහි බලපා ඇත්තේ වර්ගය පමණක් නොවන බවය. ආගම හා කුලයද ඒ කෙරෙහි බලපා තිබෙන බවය. ජනවර්ග අතර උස් පහත් බවක් තිබෙනවා සේ ම ජනවර්ග තුළද උස් පහත් බවක් පවතී. සියලු සිංහලයන් එක සමාන නොවන අතර සියලු දමිළයෝද එක සමාන නොවෙති. ජාතිය බෙදා වෙන් කරන හා ගැටුම් ඇති කරන එකම සාධකය වර්ග සාධකය පමණක් නොවන බව ඉන් පෙනී යයි.
මහත්මා ගාන්ධි
ලංකාව මුහුණ දී තිබුණු මෙම අර්බුදයේ ස්වභාවය ගැන ගාන්ධිට මනා අවබෝධයක් තිබුණු බව 1927 ලංකා සංචාරයේදී ඔහු කර තිබෙන දේශන අනුව පෙනී යයි. ඔහු හින්දු නායකයන් අමතා යාපනයේදී කළ දේශනයේදී හින්දු බෞද්ධ අන්තර් සම්බන්ධය ගැනත් බුදුන්වහන්සේ කුල භේදයට එරෙහිව පෙනී සිටි ආකාරය ගැනත් දෙමළ ජනතාව අස්පර්ශභාවය ප්‍රතික්ෂේප කරන තැනකට යෑමේ අවශ්‍යතාව ගැනත් ජනවර්ගයක් රටක සුළුතරයක් වන විට මහ ජාතිය සමග සහජීවනයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ගැනත් කතා කළේය.
මහත්මා ගාන්ධි ලංකා ජාතික සංගමයේ නායකයන් අමතා කරන ලද දේශනයේදී තමාගේ ගුරුවරයා ශෝහාල් බවත් දේශපාලනයට ආධ්‍යාත්මික ගුණධර්ම එකතු කළ පළමු පුද්ගලයා ඔහු බවත් කියා සිටින අතර බුදුන්වහන්සේ හින්දු ආගම ප්‍රතිසංස්කරණය සඳහා පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්‍රතිසංස්කරණවාදියා බවත් කියා සිටියේය. ස්වරාජ්‍යය උදුරාගත හැකි හෝ බාහිරෙන් දිනාගත හැකි දෙයක් නොවන බවත්, එය අභ්‍යන්තරයේ ඇති කරගත යුතු තත්ත්වයක් බවත් කියා සිටියේය. සත්‍යගරුකභාවය, නිර්භීතකම හා අහිංසාව නිදහස් අරගලයක් ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසි බව කියා සිටියේය. විදේශීය පාලනයක් ඇතිවිට හා එය ජයගැනීමට කරන උත්සාහයේදී ක්‍රිස්තියානින්, බෞද්ධයන්, හින්දුන් හා ඉස්ලාමිකයන් වශයෙන්වත් සිංහලයන්, දමිළයන්, මැලේවරුන් ලෙසවත් නොව, එකම හඬකින් කතා කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් කියා සිටියේය. රොඩී ජනයා අස්පර්ශ ගණයට වැටෙන ජනතාවක් ලෙස සැලකිය හැකි බවත්, ඔවුන්ට උඩුකය ආවරණය තහනම් බවත්, ජාතියක් ගොඩනැගීමේදී අස්පර්ශභාවයට එරෙහිව සටන් කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් කුලය අනුව පහළම තත්ත්වයක් හිමි කරගෙන සිටින රොඩී ජනයාගේ සිට ඉහළට, ඒ සියලුදෙනා සඳහා සමානතාව ඇති කරන තෙක් නිදහස් අරගලයකට අයිතිවාසිකම් කීමේ හැකියාවක් නැති බවත් කියා සිටියේය.
මහත්මා ගාන්ධි ඉන්දියානු ජාතිය ගොඩනගන ලද්දේ වර්ගවාදයට, කුලවාදයට හා ආගම්වාදයට තිබෙන නිල පිළිගැනීම නැති කිරීමෙනි. ඔහු හින්දු, මුස්ලිම් සමගියක් ඇති කිරීම සඳහා ක්‍රියාකරන අතර අස්පර්ශවාදයට හා කුලභේදයට තිබෙන පිළිගැනීම නැති කිරීම සඳහා දැවැන්ත ව්‍යාපාරයක නිරත විය. ඔහු එකවිට ආගම් වාදයට, කුල වාදයට හා වර්ග වාදයට එරෙහිව සටන් කරමින් මතවාදී සියලු ආගම්, සියලු කුල හා සියලු ජනවර්ග එකට එකතු කරන, ඒ සියලුදෙනාට සමාන පිළිගැනීමක් ලබාදෙන ජාතිකවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් අවසානයේ ඒ අරමුණ ජයගැනීමට සමත් විය. අපේ අසමත්කමේ කේ්න්ද්රීය ලක්ෂ්‍යය ඇත්තේ ද එතැනය. අපි එක්සත් ජාතියක් ඇති කරන තැනකට යනවා වෙනුවට ජාතිය අනුව, වර්ගය අනුව, කුලය අනුව, ආගම අනුව, භාෂාව අනුව ජාතිය බෙදා වෙන් කළෙමු. කෙළවරක් නැති තරමට රට ලේ හලන තැනකට තල්ලු වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ශ්‍රී ලංකාවේ තිබෙන ලොකුම දුර්වලතාව අප ඉදිරියේ තිබෙන අභියෝගය පිළිබඳව හරි න්‍යායික විශ්ලේෂණයක් නැතිකමය. මහත්මා ගාන්ධිගේ ඉන්දියානු කොංග්‍රසයට යටත්විජිතවාදය ගැන, නිදහස ගැන, නව ජාතියක් ගොඩනැගීම ගැන, ආගම් භේදය, කුලභේදය හා වර්ගවාදය වැනි මූලික ප්‍රශ්න ගැන ඔවුන් අපේක්ෂා කරන අනාගත ඉන්දියාව ගැන හරි න්‍යායික විග්‍රහයක් තිබුණි. ඉන්දියාවට හරි ඉදිරි දැක්මක් ඇති කරගැනීමට හැකිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අපේ රටේ කිසිම පක්ෂයකට, ජාතික නායකයකුට, දේශපාලන න්යායවාදියකුට මොනම ප්‍රශ්නයක් ගැනවත් හරි න්‍යායික විග්‍රහයක් නොතිබුණි. න්‍යායික විග්‍රහයක් ඇති කරගැනීමේ අවංක උත්සාහයක්ද නොවීය. ජනවර්ග අර්බුදය ගැන පවතින සාම්ප්‍රදායික විග්රහයද එවේලේ දැනෙන රශ්මියට ගැළපෙන ලෙස ගැඹුරු හැදෑරීමකින් තොරව උඩින් පල්ලෙන් අතගා ඇති කරගන්නා ලද විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. මේ තත්ත්වය ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් ඉදිරි දර්ශනයක් ඇති කරගත හැකිවනු ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ අර්බුදය ගැන හරි න්‍යායික විශ්ලේෂණයක් ඇති කරගැනීමෙන් පමණය. වර්ග භේදයට පමණක් නොව, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන නිල පිළිගැනීම අවසන් කළ හැකිවනු ඇත්තේ එවිටය.
වර්ග වශයෙන්, කුල වශයෙන්, ආගම් වශයෙන් හා කතා කරන භාෂා වශයෙන් බෙදී සිටින ජාතියක් නීතියෙන් එකට එකතු කළ නොහැකිය. එය හදවත් සමග කරන හෘදයංගම ගනුදෙනුවක් විය යුතුය. නීතිය අවශ්‍ය වන්නේ ඔවුන් හදවත්වලින් එකට එකතු කළ පසුව තවදුරටත් එකතුව ශක්තිමත් කොට ආරක්ෂා කරගැනීම සඳහාය. හරි න්‍යායික විග්‍රහයක් අවශ්‍යවන්නේ හදවත්වලින් කරන එවැනි ගනුදෙනුවක් සඳහා අවශ්‍ය මතවාදී අරගලයකට ශක්තිමත් අඩිතාලමක් ඇති කරගැනීම අවශ්‍ය නිසාය. අප මුහුණදී තිබෙන සහ අර්බුදයට අවශ්‍ය විසඳුම් මොනවාද යන්න තේරුම් ගැනීමට අපට හැකිවනු ඇත්තේද එවිටය.
ජනවර්ග අර්බුදය පිළිබඳ තිබුණු සාම්ප්‍රදායික අර්ථකථනයේ ඇති සීමිතබව පෙන්වාදීම සඳහා ලියන මෙම විමර්ශනයේ අරමුණ අන්තර් වාර්ගික ගැටුමක් නැති බව කීම හෝ එය අවතක්සේරු කිරීම නොව අර්බුදය ඊට පමණක් සීමා කොට දැකීම වැරදි බව පෙන්වාදීමය. වර්ගයට අතිරේකව ඊට කුලය හා ආගම යන සාධක දෙකද ඇතුළත් විය යුතුය. තවත් එකතු කළ හැකි අතිරේක සාධකද තිබෙනවා විය හැකිය. අප මුහුණදී තිබෙන අර්බුදය පිළිබඳව හරි දැක්මක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.
##