සේකරගේ ප්‍රහේළිකාව ගැන වැඩිදුරටත්

December 18, 2011
Publication:
The article on the Sekera puzzle and the interpretation of the communal crisis brought a number of telephone responses, and this is Ivan's answer to them — including a correction he is careful to make gently about the answer Professor Sarath Wijesuriya had given him.

සේකරගේ ප්‍රහේළිකාව හා ජනවර්ග අර්බුදයට තිබෙන අර්ථකථනය ගැන පසුගිය රාවයට මා ලියන ලද ලිපියට දුරකතන ප්‍රතිචාර ගණනාවක්ම ලැබුණේය.

පළමුවෙන්ම කතා කළේ රාවය පාඨකයෙකි. මහගමසේකරගේ මරණයෙන් පසුව කේ. ජයතිලක පුවත්පතකට සේකර ගැන ලියන ලද ලිපියක සේකරගේ ගමේ නම රදාවාන වුවත් ඔහුගේ කුලය ගොවිගම බව කියා තිබුණු බව ඔහු කියා සිටියේය. ඒ නිසා මා ලියා තිබෙන විග්‍රහය බොරුවන්නේදැ”යි මම ඔහුගෙන් අසා සිටියෙමි. එය පිළිගත හැකි අර්ථකථනයක් බව ඔහු කියා සිටියේය.

ඊළඟට ඒ ගැන මා අමතා කතා කළ දෙවැනි පුද්ගලයා වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දුය. සේකරගේ කුලය ගැන එන සඳහනේ ඇත්ත නැත්ත තමා නොදන්නා බවත් එහෙත් එබඳු විවරණයක් සඳහා සේකරගේ නම පාවිච්චි කිරීම කොතරම් සුදුසුද යන ප්‍රශ්නය ඔහු මතු කරන බවත් කීවේය. එය සේකරගේ දරුවන්ට බලපෑ හැකි බව කියන අතර පිළිරුව කැඩීමේ සිද්ධිය සත්‍යයක් බවත් ඊට බලපෑ හේතු තමා නොදන්නා බවත් තමා ඒ ගැන විෂය භාර ඇමතිවරයාට ලියා යවන ලද බවත් පිළිරුව වටා ආරක්ෂක ආවරණයක් ඇති කරන ලද්දේ ඉන් පසුව බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අදහස් පළ කළ තුන්වැන්නා විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙකි. ඔහු කියන ලද ආකාරයට ඔහු මහගමසේකර ඇසුරු කළ හා ඔහු සමග එකට වැඩ කළ පුද්ගලයෙකි. ඔහු මට කතා කළේ දෝෂාරෝපණාත්මක ස්වරයකිනි. සේකර ගොවිගම කුලයේ කෙනකු බව තමා හොඳින් දන්නා බව කියා සිටියේය. ඔහු එහිදී සයිමන් නවගත්තේගම ගැනද යමක් කීවේය. එය මෙහි සඳහන් කිරීමට සුදුසු නැති තරමට සාහසිකය. ඔහු මහාචාර්ය සරත් විජේසූරිය ගැන කතා කළේද අවඥාවෙනි. ඔහුට නම් කුල ප්‍රශ්නයක් තිබෙන බව කීවේය. මාගේ කුලය ගැනද ඔහු සොයා බැලූ බව කීවේය.

මට පෙනෙන අන්දමට සේකරගේ කුලය ගැන විදුහල්පතිවරයා කියන දේ නිවැරදිය. මහාචාර්ය සරත් විජේසූරියගෙන් ලබාගත් අර්ථකථනයට පමණක් සීමාවීමෙන් මා කර තිබෙන්නේ වරදකි. ඉන් සේකරගේ පවුලේ අයට අවනම්බුවක් වී නම් මම ඒ සියලුදෙනාගෙන් සමාව අයදිමි. මගේ අරමුණ වූයේ මහගමසේකර නින්දාවට ලක්කිරීම නොවේ. සේකර වැනි දැවැන්තයකුගේ ගමේ ගොඩනගන ලද පිළිරුව විටින් විට කඩා දැමුවේ ඇයිද කියන ප්‍රශ්නය මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වී තිබුණි. සමහරවිට එය කුල ප්‍රශ්නයක් නිසා විය හැකියැ”යි කියන හැඟීමක්ද මා තුළ තිබුණි. සේකරගේ පිළිරුව විටින් විට කඩා දමන ලද්දේ ඇයි කියන ප්‍රශ්නය මා බොහෝ දෙනකුගෙන් අසා තිබුණි. ඉන් සමහරෙක් සේකර ප්‍රිය කරන කලාකරුවෝය. කිසිවකුගෙන් මට ඊට උත්තරයක් ලැබී නොතිබුණි. සේකරගේ එම ප්‍රශ්නය වඩාත්ම මාගේ කුතුහලයට හේතුවී තිබුණේ ශ්‍රී ලංකාවේ කලාකරුවන් අතරින් ඔහු මාගේ ගෞරවයට හේතුවී සිටි වීරයකු වූ නිසාය. සුනිල් ශාන්ත එම විෂය ක්ෂේත්‍රයට මට සිටි තවත් එවැනි වීරයෙක් විය. ඒ දෙදෙනාගේම නිර්මාණවලින් ප්‍රකාශ වූ අව්‍යාජභාවයට සේ ම ඔවුන්ගේ ජීවිතවලින් ප්‍රකාශ වූ අව්‍යාජභාවයටද මම ප්‍රිය කළෙමි.

සේකර පිළිබඳව මට තිබුණු ප්‍රහේළිකාවට මහාචාර්ය සරත් විජේසූරියගෙන් ලැබුණු උත්තරය වැරදි විය හැකිය. එහෙත් එය කූට අරමුණකින් යුතුව කරන ලද දෙයකැ”යි මම විශ්වාස නොකරමි. ඔහුද සමාජ සංවේදී අහිංසක සාහිත්‍යකරුවෙකි. ශාස්ත්‍රාලයීය උගතෙකි.

සේකරගේ පිළිරුව කඩා බිඳ දැමීම ගැන මා කරන ලද අර්ථකථනයේ වැරැද්ද ආශ්‍රයෙන් ඇතිවූ දුරකතන කතාබහවලින් සනාථ වන්නේද කුලභේදය තවමත් ජාතිය බෙදා වෙන් කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන බව නොවේද?

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කියා සිටියේ සේකරගේ කුලය ගැන කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් එය සේකරගේ දරුවන් කෙරෙහි බලපෑ හැකි බවය. ඔහු නිවැරදිය. එහෙත් ඉන් පෙන්නුම් කරන්නේ සේකර කොතරම් ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වුවද ඔහු අයත්වන්නේ උසස් කුලයකට නොවේ නම් එය ඔහුගේ ප්‍රතිරූපය කෙරෙහි පමණක් නොව ඔවුන්ගේ දරුවන් කෙරෙහි පවා බලපාන බව නොවේද? ඉතාමත් ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වුවද ඔහු අයත් කුලය උසස් නොවේ නම් ඔහුට පරිපූර්ණ පිළිගැනීමක් ලැබිය නොහැකි බව ඉන් අදහස් නොවේද? පුද්ගලයකු ගැන කරන සඳහනකදී ඔහු ගාල්ලේ කෙනකු වී සිටියදී පොළොන්නරුවේ කෙනකු ලෙස සඳහන් කළහොත් එය ලොකු වරදක් ලෙස සැලකෙන්නේ නැත. එහෙත් ගොවිගම නොවන කුලයක කෙනකු ගොවිගම කෙනකු ලෙස සඳහන් කළහොත් එය සැලකෙන්නේ ලොකු වරදක් ලෙසය. ඉන් පෙනෙන්නේ අපේ බාහිර ජීවිතය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වුවත් අභ්‍යන්තර ජීවිතය වැඩවසම් බව නොවේද?

මම මීට දශකයකට හෝ දශක එකහමාරකට පමණ ඉහතදී ගොවිගම නොවන උගත් ඇමතිවරයකුගෙන් ඇමතිවරයකුගේ සීමාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය නායකයා වීමට නොසිතන්නේ ඇයිදැ”යි ප්‍රශ්න කළෙමි. ඔහු ඊට පුංචි සිනහවකින් පිළිතුරු දුන්නා මිස වචනවලින් කිසිදු පිළිතුරක් දුන්නේ නැත. එහෙත් ඔහුගේ ඒ සිනහව තුළ පිළිතුර අඩංගු වී තිබුණේයැ”යි කිව හැකිය. තවත් අවස්ථාවකදී ගොවිගම කුලයේ නොවන වෙනත් සුදුසුකම් ඇති තවත් ඇමතිවරයකු වෙත එම ප්‍රශ්නයම ඉදිරිපත් කළෙමි. එහෙත් ඔහු පළමු ඇමතිවරයා මෙන් නොව, ඒ ගැන මා සමග සන්සුන් ලෙස කතා කළේය. කොතරම් වෙනත් සුදුසුකම් තිබුණද ගොවිගම නොවන කෙනකුට රාජ්‍ය නායකයා වීමේ හැකියාවක් මේ රටේ නැති බව කියා සිටිමින් ඒ නිසා එවැනි හීනයක් ඇතිකර ගැනීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

කුලය මාගේ උනන්දුවට හේතුවන විෂයයක් බවට පත්වූයේ 71 කැරැල්ල නිසාය. කැරැල්ලට කඳවුරුවල රඳවාගෙන සිටි සියලු රැඳවියන්ගේ කුලය ගැන සොයා බැලීමක් කරන ලදි. ඊට හේතුව ආණ්ඩුව එය ගොවිගම නොවන කුලවල කැරැල්ලක් ලෙස දැකීමය. සමහර තැන්වලදී කැරලිකරුවන්ට කුලය අනුව පහරදෙන ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. ජේවීපී දෙවැනි කැරැල්ල ගැන සොයා බැලීමට පත් කළ තරුණ අසහන කොමිෂන් සභාව සිංහල දකුණේත් දෙමළ උතුරේත් ඇතිවී තිබෙන තරුණ කැරලි කෙරෙහි කුල පීඩනය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය.

මා හිතන අන්දමට ලංකාව නියම නිදහස් රටක් බවට පත්වනු ඇත්තේ වර්ගය, කුලය, ආගම යන සාධක නොසලකා රට පාලනය කිරීමට සුදුසුකම් හා දක්ෂතා ඇති පුද්ගලයකුට රාජ්‍ය නායකත්වයට පත්විය හැකි සමාජ වටාපිටාවක් රටේ ඇතිවූ දාටය.