ෆොන්සේකා නිදහස්! ඊළඟට කුමක්ද?

May 27, 2012
Publication:
The President's decision to release General Sarath Fonseka, whatever its motives, signals willingness to move towards a softer government and reform, Ivan writes. The prosecution looked to fair-minded people like the victor's revenge, displeasing even those who voted against Fonseka. He traces the rift between Fonseka, the President and the Defence Secretary after the war, and argues that its breaking of the ruling triumvirate was good for the country, since a united trio might have produced a harsher, more militarised government, and a Fonseka victory in 2010 might even have led to dictatorship. Fonseka's leap into politics at the head of anti-war forces was his greatest folly; abandoned by his allies except Karu Jayasuriya, he accepted a conditional release, yet history will remember him as one of the world's great commanders.

අත්අඩංගුවේ සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය කෙරෙහි බලපාන්නට ඇති හේතු මොනවා වුවත් එම ක්‍රියාව ලිහිල් පාලනයක් සමග ප්‍රතිසංස්කරණ මාවතකට මාරුවීමට ආණ්ඩුවේ ඇති කැමැත්ත පෙන්නුම් කළ සංඥාවක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට බලපෑ හේතු මොනවා වුවද ආණ්ඩුව ඔහුට එරෙහිව ක්‍රියාවට නගන ලද වැඩසටහන සාධාරණව කල්පනා කරන මහජනයාට පෙනුණේ ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහකයා විසින් පරාජිතයාගෙන් කරනු ලැබූ දරුණු පළිගැනීමක් ලෙසය. එම උද්වේගකර රාජකීය තරගයේදී ජනතාවගේ කැමැත්ත ලැබුණේ සරත් ෆොන්සේකාට නොව ජනාධිපති මහින්ද රාජපක්ෂටය. එහෙත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඔහු පීඩාවට පත් කරන ප්‍රතිපත්තිය ඔහුට එරෙහිව ඡන්දය දුන් ජනතාවගේ පවා සතුටට හේතුවී තිබුණේ නැත.

එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයේදී ෆොන්සේකා විසින් ඉටුකරන ලද කාර්යභාරය ඉතාමත් සුවිශේෂීවීයැ”යි කිව හැකිය. එහිදී ඔහු පෙන්නුම් කළ ඇපකැපවීම හා යුද්ධ කෞශල්‍යය ලැබූ ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ සාධකයක් විය. ඔහු යුද්ධය විසින් බිහිකළ ලොකුම වීරයන් තිදෙනාගෙන් කෙනෙක් විය.

යුද්ධයේ ජයග්‍රහණයේ අවසානය තෙක් සරත් ෆොන්සේකා, ආරක්ෂක ලේකම් හෝ ජනාධිපති අතර ගැටුම් හෝ මතභේද නොතිබුණි. භේද ඇතිවීම ආරම්භවන්නේ ඉන්පසුවය. යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසුව යුද හමුදාවේ වේගවත් ප්‍රසාරණයක් සඳහා වන අලුත් බඳවා ගැනීම් වෙනුවෙන් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ සැලැස්මක් භාරගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. භේද ඇතිවීම ආරම්භවන්නේ එතැන් සිටය. ඉන්පසු සරත් ෆොන්සේකා මහතාට ලබාදුන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර සරත් ෆොන්සේකා මහතාගේ සතුටට හේතු නොවීය. සරත් ෆොන්සේකා මහතා විසින් බලය ලබාගැනීමේ අරමුණින් සැලසුම් කරමින් තිබෙන හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් ජනාධිපතිවරයා විසින් ඇතිකරගෙන තිබුණු බව පෙනෙන්නට තිබුණි. මේ අමනාපකම් නිසා මේ දෙපක්ෂය එකිනෙකා කෙරෙහි කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියාකරන තත්ත්වයකයට පත්වීසිටියේයැ”යි කිව හැකිය.

ෆොන්සේකා මහතා හමුදා සේවයෙන් ඉවත් වූයේ 2010 ජනාධිපතිවරණයට සිය සේනාධිනායකයාට එරෙහිව විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහාය. එල්ටීටීඊ යුද ජයග්‍රහණයෙන් පසුව ජනාධිපතිවරයා සිටියේ සිය ජනප්‍රියත්වයේ ඉහළම හිනිපෙත්තේය. ජනාධිපතිවරයාට බලවත් තරගයක් දිය හැකි කිසිදු බලවත් අපේක්ෂකයකු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයට නොසිටියේය. ඒ අඩුව සපුරාදීමට සරත් ෆොන්සේකා එකඟවීමේ තීරණය රාජපක්ෂ විරෝධී බලවේගයන් කුල්මත් කිරීමට හේතුවීමෙන් නොනැවතී රාජපක්ෂ විරෝධී පරස්පර බලවේගයන්, ව්‍යාපාර එකට එකතු කරන මහා සාධකය ලෙසද ක්‍රියා කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන බල ත්‍රිත්වයේ බිඳීමක් ඇතිවීම රටේ පොදු යහපතට හේතුවූ සාධකයක් ලෙසද සැලකිය හැකිය. සරත් ෆොන්සේකා මහතා එම බලපූට්ටුවෙන් නොබිඳී තවදුරටත් එහි රැඳී සිටියේ නම් ආණ්ඩුවේ ස්වභාවය මීටත් වඩා හිතුවක්කාර හා දරදඬුවන්නට ඉඩ තිබුණු අතර මීටත් වඩා මිලිටරියට බර තබා ක්‍රියාකරන මර්දනීය ආණ්ඩුවක් වන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් මේ ඇතිවූ බිඳීම රටේ පොදු යහපතට හේතුවූ බිඳීමක් ලෙසද සැලකිය හැකිය.

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට නියමිතව සිටි සරත් ෆොන්සේකා පළමු පෙළේ යුද වීරයෙකු වී සිටි තත්ත්වය තුළ ජනාධිපති හා සේනාධිනායකයා වශයෙන් තමන්ට තිබුණු බලතල අනුව ජනාධිපතිවරයා සරත් ෆොන්සේකාට තරග බිමට ඒමට අවසර නොදෙනු ඇතැ”යි කියන ප්‍රබල විශ්වාසයක් එකල විරුද්ධ පක්ෂ විචාරකයන් අතර තිබුණි. එහෙත් ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා මහතාට තරග බිමට ඒමට බාධා කළේ නැත. එයින් පෙනෙන්නේ සරත් ෆොන්සේකාට මහතාට යුද විෂය ගැන කෙළපැමිණි දැනුමක් තිබුණා විය හැකි වුවත් දේශපාලන විෂය ගැන ජනාධිපතිවරයාට ඊට වැඩි දැනුමක් තිබුණු බවය.

යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදෙන ලද කැපීපෙනෙන දායකත්වය නිසා ජනතාව අතර පළමු පෙළේ වීරයකුගේ තත්ත්වය හිමි කරගෙන සිටි සරත් ෆොන්සේකා මහතා ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගන්නේ නැතිව වහාම තමන් නොදන්නා දේශපාලන පොරපිටියකට තල්ලුවීම ඒ මහතා සිය ජීවිතයේ කරගත් ලොකුම මෝඩකම ලෙස සැලකිය හැකිය. ඔහු නායකත්වය දීමට තෝරාගත් බලවේගයන් හා ඔහු අතර ගැළපීමක් නොතිබුණි. ඒ නොගැළපීම හොඳින් පෙනෙන්නට තිබුණු සාධකයක් විය. ඔහු යුද්ධයේ වීරයකු වන විට ඔහු නායකත්වය දෙන්නට ගියේ යුද විරෝධී බලවේගයන්ටය. ඒ සියලුදෙනාට සරත් ෆොන්සේකා අවශ්‍ය වී තිබුණේද දීර්ඝකාලීන අර්ථයෙන් නොව කෙටිකාලීන අර්ථයෙනි. සරත් ෆොන්සේකා මහතාටද ඊට පෙර තමාගේ උදහසට හේතුවී සිටි එම දේශපාලන බලවේගයන් අවශ්‍ය වූයේ දීර්ඝකාලීන අර්ථයෙන් නොව කෙටිකාලීන අර්ථයෙනි. ජනාධිපතිවරණයේදී තමන්ට හිමි තත්ත්වය පිළිබඳ යථා තක්සේරුවක් ඔහුට නොතිබුණේය. ලබන ජයග්‍රහණයන් ගැනම සිතුවා මිස පරාජයක් ගැන කොහෙත්ම කල්පනා නොකළේය. සරත් ෆොන්සේකා මහතා අපේක්ෂා කළ ආකාරයට ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි වී පරාජිත වූ විට ඒ වෙනුවෙන් දැවැන්ත වන්දියක් ගෙවීමට ඔහුට සිදුවිය. එය එසේ නොවී ඔහු ජයග්‍රාහී වී නම් වඩා යහපත් රටක් ඇතිවන්නට ඉඩ තිබුණේද?

දේශපාලන ප්‍රතිසංස්කරණවලට මාරුවී යහපත් සමාජ හා දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට අසමත්වෙතොත් රාජපක්ෂ ආණ්ඩුවද ඉතිහාසයට එකතු වනු ඇත්තේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් ලැබෙන ගෞරවයේදී හැර හොඳ ආණ්ඩුවක් ලෙස නොව දූෂණයෙන් ඉහවහා ගිය තවත් නරක ආණ්ඩුවක් වශයෙනි. කුණුවී තිබෙන සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට මීට පෙර කිසිදු ආණ්ඩුවකට ලැබී නොතිබුණු ඓතිහාසික අවස්ථාව මනා ලෙස ප්‍රයෝජනයට ගැනීමට අසමත්වීම එල්ල වන තවත් ලොකු චෝදනාවක් වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ හොඳ නරක එසේ තිබියදීත් අහම්බෙන් හෝ ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණය ජයගෙන රටේ පාලකයා බවට පත්වී නම් රට ඍජු ඒකාධිපති පාලනයකට පවා තල්ලුවන්නට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය. ඒ අර්ථයෙන් ඔහු ලද පරාජය සාපේක්ෂ අර්ථයෙන් රටේ යහපතට හේතුවීයැ”යි කිව හැකිය.

මැතිවරණ පරාජයෙන් පසුව ඔහු වටා පෙළගැසුණු දේශපාලන සංවිධාන ඉක්මනින් ඔහු අත්හැරියේය. ඔහු අවංක ලෙස අත්නොහරින ලද එකම දේශපාලකයා වශයෙන් සැලකිය හැක්කේ කරු ජයසූරිය පමණය. අනෙකුත් දේශපාලන ව්‍යාපාර ඔහු අත්හැරීම කෙරෙහි බලපෑ විවිධ හේතු අතර ඔහු සමග එකට වැඩ කිරීමේදී ඇති කරගත් අවිශ්වාසයන් හා හිත් අමනාපකම්ද බලපෑවේය. ෆොන්සේකා මහතා ජයග්‍රාහී වී නම් එම ජයග්‍රහණයට උර දුන් දේශපාලන බලවේගයන් අතහැර ඔහු ඒකාධිපති පාලනයකට මාරුවීමට ඉඩ තිබුණේය කියන විශ්වාසයත් ඔහුට ආධාර කළ විවිධ දේශපාලන නායකයන් අතර ගොඩනැගී තිබුණි. ඊළඟ වටයේදී ඇතිවන තනිවීම කෙරෙහි ඒ කාරණාද බලපෑවේය.

එහෙත් ෆොන්සේකා මහතා රාජපක්ෂ ආණ්ඩුව ඔහුට එරෙහිව ක්‍රියාවට නගන ලද පළිගැනීමේ වැඩසටහනට එරෙහිව නිර්භීතව හා අධිෂ්ඨානශීලීව මුහුණ දුන්නේය. එහෙත් එක මොහොතක ඔහු කෙරෙන් එම ධෛර්යය පලාගිය බවක්ද පෙනෙන්නට තිබේ. අවසානයේදී ඔහුට නිදහස ලබාගන්නට සිදුවූයේ කොන්දේසි රහිතව නොව කොන්දේසි සහිතවය. ඊට ෆොන්සේකා මහතාද එකඟ වී තිබෙන බව පෙනේ. දේශපාලන වශයෙන් තනිවී සිටින තත්ත්වයක් තුළ මෙවැනි විශාල වන්දි ගෙවීමක් කළයුත්තේ ඇයිදැ”යි ඔහු ද කල්පනා කළා විය හැකිය. නිදහස ලබන අවස්ථාව වන විට ජනාධිපතිවරණයේදී ඔහු කරට ගෙන සිටි දේශපාලන සංවිධානවලින් වැඩි කොටසක් ඔහු අතහැර දමා තිබුණි. ඔහු සේනාවක් නැති සේනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත්ව තිබුණි.

දේශපාලන වශයෙන් ගත් විට ඔහු සිටින්නේ ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය. එසේ තිබියදීත් ඔහු ඉතිහාසයට එකතුවනු ඇත්තේ ශ්‍රී ලංකාවේ බිහිකළ දක්ෂතම හමුදාපතිවරයා වශයෙන් පමණක් නොව ලෝකය බිහිකළ දක්ෂතම සෙන්පතිවරුන් අතරට වැටෙන සෙන්පතිවරයකු වශයෙනි.